2022 ජුනි 26 වන ඉරිදා

අල්ලන්න - මිරිකන්න සෙල්ලම් බඩු නෙවෙයි...

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 222

මම මගේ පියයුරු ගැන ආඩම්බර වෙමි! මම ලස්සන ළමයි තුන්දෙනකුට කිරි දුන්නා, මම ඔවුන්ව පෝෂණය කළා, ඔවුන්ව සනසවා මගේ මුළු සිරුරම ඔවුන් වෙනුවෙන් කැප කළා.

කොහොම හරි ඔයා මගේ පියයුරු ගැන කතා කරලා, මිමිස් හදලා, හිනාවෙලා ඉවර වෙද්දි තවත් සිවිල් වැසියෙක් මැරිලා හිටියා... හිරුණිකා ප්‍රේමචන්ද්‍ර"

රාජපක්ෂවරුන්ගේ ආරක්ෂකයා ලෙස අමුතුම භූමිකාවක් රඟන්නේ යැයි පීඩනයට පත් මේ රටේ මිනිස්සුන්ගේ චෝදනාවන්ට ලක්වන අගමැති රනිල් වික්‍රමසිංහට තවත් මේ රටේ ජනතාව පීඩාවට සහ මුලාවට පත් නොකර ඉවත් වෙන්න යැයි බල කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවෙස ඉදිරිපිටට ගිහින් සමගි ජන බලවේගයේ කාන්තා එකමුතුවත් එක්ක විරෝධතාවක නියැලුණේ ගිය සතියේ දවසක. 

භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය අනුව එය ඇගේ අයිතියක්. එය ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලත් සියලු ශ්‍රී ලාංකිකයන්ට ඇති අයිතියක්. බැටන් පොල්ලට, කාකි සූට් එකට, මර්දනකාරී චින්තනයෙන් එහා ජනතාවාදී ජනහිතවාදී චින්තනයකින් විනිර්මුක්ත පොලීසියේ බහුතරයක් ගොයියන්ට ඇයි මිනිස්සු මෙහෙම කෑ ගසන්නේ, මොනවද මේ මිනිස්සු ඉල්ලන්නේ, මොනවා වෙනුවෙන්ද මිනිස්සු මේ අරගල කරන්නේ කියලා හිතන්න හිතක් පපුවක් මොළයක් චින්තනයක් නැතිවුණාට, අල්පමාත්‍රයකින්වත් ජන දුක නොදැනෙන විදිහට බැටන් පොල්ල ඉස්සුවාට, කඳුළු ගෑස් ටික විදලා දැම්මට, මේ මිනිස්සු මේ එක පෙළට කෑගහන්නේ රජ සැප, යස ඉසුරු ඉල්ලලා නෙවෙයි. භූමිතෙල්, ගෑස්, ඉන්ධන ටික ඉල්ලලා.. රජ කරන්න නෙවෙයි, ජීවත් වෙන්න.. ඒ ඉල්ලන්නේ නිකම් නෙවෙයි, හම්බ කරපු සල්ලිවලින් මිලට ගන්න.. ලුණු කැටේ ඉඳන් හාල් ඇටය, පරිප්පු ඇටය, සබන් කැටය, මිරිස් කුඩු ටික, පොල් ගෙඩිය, එළවළු ටික, මේ ඔක්කොම තුන් හතර ගුණයකින් මිල වැඩිවෙද්දී, ජීවන අරගලය මාරාන්තික වෙද්දී, තවත් පැත්තකින් තුන් හතර ගුණයකින් මිල වැඩිවෙච්ච බඩුවක්වත් ගන්න තැනක් නැතිවෙද්දී... ඒ අස්සේ කළු කඩකාරයෝ තමන් සන්තකයේ තියෙන පරණ බඩු තොග පවා පරණ මිල මකමින් අලුත් මිල ගණන් අලවමින් හූරාගෙන කෑමේ අන්තවාදීම න්‍යායෙන් පීඩනයෙන් පතුලටම වැටිච්ච මිනිසුන්ව හූරාගෙන කන අවලං අසමජ්ජාති අසාධාරණය ඉදිරියේ මට හිතෙන්නේ කොන්දක් තියෙන කිසිම එකෙකුට ගොලු අන්ධ බිහිරි ලීලාවෙන් බලාගෙන ඉන්න බෑ.. මම මේ කතා කරන්නෙ කල දුටු කල වල ඉහගෙන, සැඟවුණු න්‍යාය පත්‍ර කරපින්නාගෙන මහා අරගලකරුවන් විදිහට කෑගහන කැපීපෙනෙමින් සල්ලි ගරන්නන්ගේ කුලකය ගැන නෙවෙයි. ඇත්තටම පපුව කකියන වේදනාවෙන් අපිට ඉන්න රටක් දියව් කියන උන් ගැන...

තෙල් පෝලිම්වල, ගෑස් පෝලිම්වල මිනිස්සු දාහතර දෙනෙක්ට වඩා මේ වෙද්දි මැරිලා වැටුණා. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න නැතුව උන් බඩගින්නෙ ඉන්න, හූල්ලන, අඬන විදිහ බලාගෙන ඉන්න බැරුව තාත්තලා අම්මලා ගඟට පැන්නා... එල්ලිලා මැරුණා... ළය ලෙය විනිවිද දැනෙන සහකම්පනයක් තියා මගේ රටේ මිනිස්සු මෙහෙම දුක් විඳිනවද, මෙහෙම මැරෙනවද කියලා අල්පමාත්‍රයක්වත් නොදන්න ගාණට බකං නිලාගෙන ඉන්න   අමන අධම පාලකයන්ට එරෙහිව පාරට බහිනවා ඇරෙන්න, පපුව පැලෙන්න එන වේදනාව දිය වෙනකම් කෑ මොර දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ.. මිනිස්සුන්ට. මල් නැති කටු ඇනෙන මහ පොළොවක යථාර්ථය තමයි ඒ.

හිරුණිකා රනිල් වික්‍රමසිංහට එරෙහිව පාරට බැස්සෙත් මෙවන් වාතාවරණයකදි.. ඇගේ දේශපාලනය හෝ ඇගේ ගමන් මඟ ගැන කතා කිරීමේ අවශ්‍යතාවයක් මේ මොහොතේ මට නැහැ.. එහෙත් සාරි පොට ඈත් මෑත් වෙද්දි නිරාවරණය වූ ඇගේ පිරිපුන් පියයුරු සේයාරෑ සහ වීඩීයෝ  ඔස්සේ මුග්ධ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ එහා මෙහා යවමින් අමුතුම ස්වයං වින්දනයක් ලබන ඇතැම් මුග්ධයන් ගැන කතා නොකර බැහැ. ඒ වගේම කිසිම සදාචාරයක් නැතුව රබර් බෝලයක් අල්ලනවා වගේ පොලීසියේ මර්දකයෝ හිරුණිකාගේ පියයුරෙන් අල්ලන්නේ ඇයට කරන හුදෙකලා අපහාසයක් විදිහට නෙවෙයි, ස්ත්‍රිත්වයට මාතෘත්වයට කරන අපහාසයක්.. ස්ත්‍රිත්වයේ මාතෘත්වයේ ගෞරවය කෙලසීමක් විදිහට කියලා අර්ථකථනය කිරීම වැරදි නැහැ.
මේ ලෝකයට අඩිය තියන හැම මනුෂ්‍ය ජීවියෙක්ම අඬාගෙන ලෝකයට ඇවිත් සුවපත් වෙන්නේ අම්මාගේ තන පුඬුවට මුව තියාගෙන. අම්මා කෙනෙක් ඉන්න හැම දරුවෙක්ම දරුවෙක් විදිහට තුරුල් වෙන්නෙ, නැලවෙන්නෙ, සුව විඳින්නෙ, සුරතල් වෙන්නෙ, අම්මාගේ පියයුරත් එක්ක. මැක්සිම් ගෝරික් කියන රුසියානු ලේඛකයා කියනවා මේ ලෝකය නිර්මාණය වී තිබෙන්නේ හිරුගේ රුස් දහරින් සහ මවගේ කිරිවලින් කියලා. මේ ලෝකය බාරගන්න අනාගත පරපුරේ පුංචි ජීවීන් හැදෙන්නේ, වැඩෙන්නේ, සුවපත් වෙන්නේ, මේ මහ පොළොව මත යටිපතුල බිම තියලා ඇවිදින්න, පළමු වාරුව ගන්නෙ, ඒ බීව කිරිවල හයියෙන්... අම්මා කෙනෙක් තමන්ගේ වම් පියයුරට දරුවෙක් තුරුල් කරගෙන ඉන්නේ, හෘද ස්පන්දනය, තමන්ගේ හද ගැහෙන රිද්මය දරුවට ඇහෙන්න දෙන්නෙ, ඒ රිද්මය හා මව්කිරි සම්මිශ්‍රණයෙන් අම්මා සහ දරුවා අතර ගොඩනැගෙන ආත්මීය අපූර්ව බැඳීමක් තියෙන හින්දා.. එනයින් ගැහැනියකගේ පියයුරු කියන්නේ ගැරහීමට, උමතු රසවින්දනයට හෝ පාදඩ ස්වයං වින්දනයකට පාදක විය යුතු අංගයක් නොව, මාතෘත්වය සංකේතවත් කරන සොබාදහමේ මාතෘමය නිමැවුමක්.. කිරට හරවන රතු ලෙය ලෝකය බාරගන්න පරපුරක් උදෙසා තිළිණ කරන වාහකය තමයි අම්මාගේ පියයුරු කියන්නේ...

පාදඩ අත්වලට, බැල්මට, උත්තේජනයක් නොව, ජීවයේ පැවැත්ම පිළිබඳව සාක්ෂියක් සලකුණක් ලෙස ගෞරවාන්විත හරසරට පාත්‍ර විය යුතු ගැහැනියකගේ පියයුරු යුග්මය දිහා සල්ලාල ඇහෙන් බලන්න එපා.. ගැහැනියක් මර්දනය කරන්න අවැසි තැනකදි මේ විදිහට පියයුරු අල්ලන්න එපා.. මෙවන් මො‌ෙහාතක ඇරුණු පියයුරු සේයාරුවකින්, වීඩියෝවකින් එළියට එද්දි ඒක විකුණාගෙන කන්න එපා.. ඒක බලමින් විඳිමින් තුට්ටු දෙකේ රසවින්දනයක් ‍ෙසායන්න එපා... 

තමන්ගේ දරුවෙකුට කිරි දෙන්න, නිරාවරණය කරන පියයුරු දිහාත් වෛශ්‍යමය බැල්මෙන් බලන පිරිමි ඉන්න සමාජයක මෙහෙම ඉල්ලීම් කරලා වැඩක් නැතිවෙන්න පුළුවන්...

ඒත් ඇඟෙන් අනාචාරයේ යෙදුණත්, ඇසින් සහ සිතුවිලිවලින් අනාචාරයේ යෙදුණත් අනාචාරය අනාචාරයමයි.

 සංජීවිකා සමරතුංග