ගිය සතියේම පාසල් නොගිය බස්නාහිර පළාතේ කොළඹ ඇතුළු නගරවල හා අනෙක් පළාත්වල නගරවල ජනප්‍රිය පාසල්වල දරුවන් මේ සඳුදා සිට පාසල් යාමට පෙරුම් පුරා සිටියද තෙල් අවුල් තවත් උග්‍ර වූ හෙයින් එම පාසල් ජූලි 10දා දක්වා වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කළේය. ඒ මාර්ග, ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගනිමිනි.
දැනට රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අන්තර් පළාත් දුර ගමන් සේවා මෙන්ම පළාත් අතර බස්රථ ධාවනය අඩාල වී තිබේ. ඉඳහිට කෙටිදුර ගමන් බස් රථ ධාවනය වේ. ඒ අතර වෙනදා මහාමාර්ග බදුගෙන තිබූ ත්‍රිරෝද රථ සහ මෝටර් සයිකල් මෙන්ම කාර් රථ ඇතුළු වාහන ගමන් කරන්නේ කලාතුරකිනි. කොළඹ නගරයේ මහා මාර්ග පාළුවට ගොසිනි.
ඉන්ධන නැව් නොපැමිණීම නිසා පසුගිය 28දා සිට ජූලි මස 10 වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට රජය තීරණය කළ අතර පාසල් ගමන යළිත් නතර කිරීමට දරුවන්ට සිදුවිය. ඉරිදා සවස පොත් බෑග් සකස් කර පසුදින පාන්දර පාසල් වෑන් රථයට යාමට බලා සිටි දරුවන්ගේ අපේක්ෂා මේ නිසා කඩවිය. ඒ අතර දෙමාපියන්ට නම් සම්පූර්ණ මාසයටම පාසල් වෑන් රථ ගාස්තු ගෙවීමට සිදුවිය.
මේ වනවිට පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා ඇති අතර ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල අධ්‍යයන කටයුතු ජුනි 29දා සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කළ බව ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාද පැවසුවේය. අනෙකුත් ප්‍රදේශවල ග්‍රාමීය සහ නාගරික පාසල් විදුහල්පතිවරුන්ගේ සහ පළාත් අධ්‍යාපන නිලධාරීන්ගේ අභිමතය පරිදි පැවැත්වීමට තීරණය කිරීමට හැකියාව ඇති බවද මෙහිදී ප්‍රකාශ විය.
මේ අතර හය මාසයක් තුළ හය වෙනි වතාවට ද ඉන්ධන මිල ඉකුත් සතියේ ඉහළ නැංවීම සිදුවිය. එයින්ද වැඩිපුර බැටකන්නේ ගුරුවරු සහ දෙමාපියන්මය.
ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ අධ්‍යාපන කලාප 92කි. එම කලාපවලට අදාළ අධ්‍යාපන කොට්ඨාස සංඛ්‍යාව 304කි. මේ අතරින් වැඩිම පාසල් සංඛ්‍යාවක් සහිත බස්නාහිර පළාතේ පාසල් සංඛ්‍යාව1366කි. ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,194ක් ඇති අතර, ඉන් පාසල් අඩක් එනම් පාසල් 5,161ක් ශිෂ්‍ය සංඛ්‍යාව 200 ට අඩු පාසල්ය. මෙම කුඩා පාසල් සියල්ල විවෘතව තැබීමට රජය තීරණය කළේ ඒවාට පැමිණෙන්නේ ගමේ අසල්වැසි දරුවන් බැවිනි. නමුත් ඒවායේ ඉගැන්වීමට එන්නේ දුරබැහැර ගුරුවරු බව අධ්‍යාපන බලධාරින්ට අමතක වීම ගැටලුවකි. එමෙන්ම බොහෝ දරුවන්ද කි.මී. 3-4 ගෙවා පාසලට පැමිණි යුතු බවද බලධාරීන්ට අමතකව ගොස් තිබේ.
ලංකාවේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 4,165,964 ක් හා ගුරුවරු සංඛ්‍යාව 241,591 ක් වන අතර රජයේ මෙම පිළිවෙලක් නැති තීරණ නිසා ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන් මෙන්ම ලක්ෂ දෙකහමාරක් වන ගුරුවරු ද අපහසුතාවයට පත්ව සිටිති. විවෘතව පවතින ග්‍රාමීය දුෂ්කර පාසල් රාශියකට යාමට පොදු ප්‍රවාහන සේවා නැත. බොහෝ ගුරුවරු පාසල් යන්නේ මෝටර් බයිසිකල්වලය. ගුරුවරු පෙට්‍රල් පෝලිම්වල ඉන්ධන මිලට ගැනීමට රස්තියාදු වෙති. බොහෝ ග්‍රාමීය දරුවන් පාසල් රුගෙන එන්නේ ද පියා හෝ මව විසින් මෝටර් බයිසිකල්වලය. පාසල් සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්නා අවිධිමත් තීරණ නිසා සිදුව ඇති ප්‍රතිවිපාක ගැන අපට පැහැදිලි කළේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහයි:
''ආණ්ඩුවේ මේ තීරණය නිසා රටේ තවත් විශාල අවුලක් ඇති වෙලා. මේ තීරණය රටට පොදු නොවීම නිසා තමයි ප්‍රශ්නය වී ඇත්තේ. ගුරුවරු, විදුහල්පතිවරු වගේම පාසල් සිසුන්ගේ දෙමාපියන්ද මේ නිසා ප්‍රශ්නවලට මුහුණ දීලා. අපි බල කරන්නේ රටටම බලපාන පොදු තීරණයක් ක්‍රියාත්මක කරන්න කියලා. තෙල් ගන්න නැතිකම වගේම තෙල් මිලදී ගන්න මුදල් වියදම් කිරීමේ අපහසුවත් විශාල ප්‍රශ්නයක්. මේ අධික තෙල් මිල ගුරුවරුන්ට වගේම ජනතාවටත් දරාගන්න බෑ. ඉන්ධන මිල ඉහළ යාම නිසා පාසල් වෑන් රථ ගාස්තුත් වැඩිවෙලා. බස් ගාස්තුවත් අධිකයි. සිසු සැරිය වගේ ප්‍රවාහන සේවා හරහා හෝ පාසල් ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ ප්‍රවාහන ගැටලුව විසඳිය යුතුයි. කඩින් කඩ පාසල් වසා දමනවා වෙනුවට අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමට ආණ්ඩුවට වැඩ පිළිවෙලක් තිබිය යුතුයි.''
පසුගිය දිනවල අයගම ප්‍රදේශයේ පාසල් සිසුන් බස්රථවල වහලය මත නැගී අවදානම් ගමනක් යන අන්දම මාධ්‍ය ඔස්සේ දැකගත හැකිවිය. තවත් පළාත්වල සිසුන් ට්‍රුක්ටර්වල ගැනී ගමන් කරන අයුරුද දැකගත හැකි විය.
නගරයට නුදුරු පාසල්වලට ලංගම බස් හෝ ධාවනය වන අතර ගම්වල බස් ගමනාගමනය නතරවී ඇති නිසා පාසල් සිසුන්ට සිදුව ඇත්තේ කිලෝමීටර ගණන් පයින් ගමන් කිරීමටයි. මේ ගැන දැනගැනීමට අප කතාකළේ බුත්තලට නුදුරු මො/ වගුරුවෙල මහා විද්‍යාලයේ විදුහල්පති ඩබ්ලිව්. ඒ. සුසන්තටයි: ''මේ තත්ත්වය අපි වගේ දුර ගම්වලට ඉතා දරුණුවට බලපානවා. සිසුන්ට වගේම ගුරුවරුන්ට පාසලට ඒමට ක්‍රමවේදයක් නෑ. පසුගිය කාලයේම බුත්තල පිරවුම්හල්වලට තෙල් ආවේ නෑ. ඒ නිසා මේ පළාතටම තෙල් නෑ. මේ නිසා ගුරුවරුන්ගේ වාහන හා මෝටර් බයිසිකල්වලට තෙල් නෑ. හවස පාසලේ අතිරේක පන්ති අවසන් වෙලා යන සිසුන්ට රූ වෙනකම් පයින් යන්න සිදුවෙනවා.
''අප පාසල මේ දුෂ්කරතා මැද දැනට සතියකට දින දෙකක්, සඳුදා සහ බ්‍රහස්පතින්දා දවස්වල පවත්වනවා. ඒ දින දෙකේද ළමුන්ට පැවරුම් හා අභ්‍යාස ලබාදෙනවා. ගෙදර ඉන්න දිනවල ඒවා කරගෙන එන්න කියලා. පාසල් ගමන හරියට සිදුනොවන නිසා ළමුන් ඉන්නේ විශාල පීඩනයකින් බව පේනවා. ඔවුන් පාලනය කරගෙන නිසි විදිහට උගන්වන්න පවා ගුරුවරුන්ට අසීරුයි. ළමුන්ට අධිකව කේන්ති යනවා. නිතර අනවශ්‍ය ලෙස දබර කර ගන්නවා. ළමයි මේ විදිහට දිගටම හැසිරෙන්න ගියොත් ඒක විශාල අපරාධයක්.''
කොවිඩ් සමයේ දිගු කලක් නිවසේ අරමුණකින් තොරව සිටි ළමුන් යළිත් පාසලට පැමිණියේ අවුල්වූ මනසිනි. මේ නිසා ගුරුවරුන්ට ඔවුන්ව හසුරුවා ගැනීමට විශාල වෙහෙසක් ගැනීමට සිදුවිය. දැන් තෙල් අර්බුදයක් නිර්මාණය කළ ආණ්ඩුවම එය පාසල් ළමුන් හෙවත් අනාගත පරපුරේ කරපිට පටවා තිබේ. මේ ගැන විමසීමට අප කතා කළේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දුටය.
''මේකෙන් මම නම් දකින්නේ ආණ්ඩුව අධ්‍යාපනයට ලබාදී ඇති වැදගත්කමයි. නූගතුන් විශාල පිරිසක් මන්ත්‍රීවරු මෙන්ම ඇමැතිවරුත් වෙලා ඉන්න මේ වගෙ ආණ්ඩුවක් අධ්‍යාපනයේ වැදගත්කමක් දකින්නේ නෑ. මේ නිසා අද අධ්‍යාපන ක්‍රියාවලියම අවිනිශ්චිතභාවයකට පත්වෙලා. ඉන්ධන අර්බුදය හමුවේ පවා නිසි පරිදි තීන්දු තීරණ ගත්තා නම් මේ වගේ අර්බුද වළක්වා ගන්න තිබුණා. මේ විදිහට අධ්‍යාපනයේ විනාශයේ ප්‍රතිඵල ලැබෙන්නේ තරමක් කල් ගිහින්. උද්ධච්ඡ පාලකයන් අධ්‍යාපනය බිඳ වැටීම ගැන සංවේදීබවක් දක්වන්නේ නෑ. බොහෝ දේශපාලනඥයන්ගේ දරුවන් ඉන්නේ පිටරටවල. අඩු වරප්‍රසාදිත සමාජයේ දරුවන් ගැන හැඟීමක් ඔවුන්ට නෑ. අප රටේ පසුගිය මාස හතර තුළ අපනයන ආදායම හරියට කළමනාකරණය කර ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක් පමණක් ගෙන්වීමට කටයුතු කළා නම් මේ වගේ තෙල් ප්‍රශ්නයක් ඇති වන්නේ නෑ.
මේ අතර තෙල් අවුල හමුවේ ප්‍රවාහන අපහසුතා ඇති පාසල් දරුවන් පාසල් බස්රථයෙන් ප්‍රවාහනය කිරීමට මැදිරිගිරිය සිරිමාවෝ බණ්ඩාරණායක ප්‍රාථමිකයේ විදුහල්ති ජේ.කේ. චමින්ද ප්‍රියශාන්ත කටයුතු කිරීම ගැන අපට අසන්නට ලැබුණි. ඔහු බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කර ළමුන් ප්‍රවාහනය කරන බව වාර්තා විය. පදවිය අලිවංගුව අභයරාජ ප්‍රාථමික විදුහලේ ගුරුවරයෙක් වන උපුල් ඒකනායක තම අත්ට්‍රුක්ටරයෙන් පාසලේ ළමුන් රුගෙන ඒමට කටයුතු කරන බවද අසන්නට ලැබුණි. දුෂ්කරතාව ජය ගන්නට එවැනි තනි පුද්ගල ව්‍යායාම සිදුවන අතර ආණ්ඩුව පැත්තෙන් නම් ක්‍රමවත් සැලසුමක් ගැන දැනගන්නට ලැබී නැත.
කුසුම්සිරි විජයවර්ධන