2022 ජුලි 03 වන ඉරිදා

රාජ්‍ය ඇමැතිවරු රටට ඕනද එපාද

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 98

පසුගිය මැයි 9 ගෝල්ෆේස් අරගලයට පහර දීමේ සිදුවීම මත පදනම්ව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත නැගී ආ ජනතා විරෝධය හමුවේ ඔහුට ඉල්ලා අස්වන්නට සිදුවූ අතර ඒ සමඟ සියලු කැබිනට් තනතුරුද අහෝසි වී ගියේය. නව අගමැතිවරයා ලෙස පත් වූයේ රනිල් වික්‍රමසිංහ මහතාය. කඩින් කඩ පත් කෙරුණු ඔහුගේ කැබිනට් මණ්ඩලය 20 දෙනකුට සීමා වූ අතර බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරයට පත් කළ ධම්මික පෙරේරාටද අමාත්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. ආයතන වැඩි සංඛ්‍යාවක් සහිත අමාත්‍යාංශ සඳහා පමණක් නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නියමිත විය. එහෙත් රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනවා ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන තිබුණේ නැත.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අගමැති හා මුදල් ඇමැති ලෙස පත්ව දැන් මාසයකට අධික කාලයක් ගත වී තිබේ. මේ අතර පොහොට්ටු ආණ්ඩුවේ හිටපු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී තමන්ට රාජ්‍ය අමාත්‍ය තනතුරු කඩිනමින් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.  

තමන් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍ය ධුර දැරූ සමයේ ආරම්භ කළ වැඩසටහන් රැසක් අතරමග නැවතී ඇතැයිද, එම කටයුතු සම්පූර්ණ කිරීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙසද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. කැබිනට් ඇමැතිවරුන් සමඟ එක්ව එම කටයුතුවලට සහාය දක්වන ලෙස එහිදී ජනාධිපතිවරයා ඔවුන්ට පවසා ඇති අතර රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවද වාර්තා විය.

රට සම්පූර්ණයෙන්ම අර්බුදයකට පත්ව සිටින මොහොතක රාජ්‍ය අමාත්‍යවරුන් පත් කිරීම කෙතරම්දුරට වැදගත් වන්නේදැයි අපි පාර්ශ්ව කිහිපයකින් විමසා බැලුවෙමු. පහත පළවන්නේ ඔවුන්ගේ අදහස්ය.

මේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ජනතාවට බරක්
කළුගම්මන මාපාමඩුල්ල ශ්‍රී වර්ධනාරාමයේ ඇතිපොළ මංගල ස්වාමින්වහන්සේ

''දැනට රටේ සිටින ජනාධිපතිවරයා හා පාලන තන්ත්‍රය මේ රටේ ජනතාවට ඔරොත්තු නොදෙන තරම් බරක්. රටේ පාලන තන්ත්‍රය එරට ආර්ථික තත්ත්වය අනුව නිර්මාණය විය යුතුයි. ජනාධිපතිවරයාගේ සිට සියලුම මැති ඇමැතිවරුන්ගේ නඩත්තුව රටට ගැලපෙන අයුරින් හා ජනතාවට ඕනෑම අවස්ථාවක ප්‍රශ්න කළ හැකි විනිවිදභාවයකින් තිබිය යුතුයි. නිදහසින් පසු සමස්ත ජාතියක් වශයෙන් අත්විඳින දැවැන්තම අර්බුදයකට මේ වන විට අප මුහුණ දෙමින් සිටිනවා. ජනාධිපතිවරයාට මෙන්ම මැති ඇමැතිවරුන්ටද විශාල ජනතා විරෝධයක් නැගෙමින් තිබෙනවා. පසුගියදා ජනාධිපතිවරයා ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පුද්ගලයකු ජාතික ලැයිස්තුවෙන් පත්කර ඇමැතිකමක් ලබා දුන්නා. ඒ රටට ආදරයකින් නොව තමන්ගේ පැවැත්ම උදෙසායි. ඇමැති මණ්ඩලයක් පත් කර ගත්තද මේ වන විට ආණ්ඩුවට ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ ඉටු කිරීමටවත් හැකියාවක් නැහැ. ඩොලර් හිඟය හේතුවෙන් මතුවී ඇති ඉන්ධන අර්බුදය නිසා සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය, ප්‍රවාහනය ඇතුළු රටේ සෑම අංශයක්ම කඩා වැටී තිබෙනවා. දේශීය ආර්ථිකය හා අපනයන ආර්ථිකය සම්පූර්ණයෙන් කඩා වැටිලා. ඒ නිසා තවදුරටත් රටට විහිළු සපයමින් මැති ඇමැතිවරුන් පත් කිරීමට වඩා කළ යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වී අවම වශයෙන් සය මසකටවත් භාරකාර රජයක් පත් කර ගැනීමයි. බහුතරයකගේ කැමැත්ත පරිදි අගමැතිවරයකු හා සීමිත කැබිනට් මණ්ඩලයක් මගින් රටේ අර්බුද විසඳීමට පියවර ගත යුතුයි. ඉන්පසු ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයක් එකම දිනයක පවත්වා ජනතාවට කැමැති ජනාධිපතිවරයෙක් සහ ආණ්ඩුවක් පත්කර ගැනීමට පියවර ගත යුතුයි. එසේ නොවුණහොත් රට තුළ සිවිල් ගැටුම් හා කැරුලි නිර්මාණය වී විදේශීය සාම සාධක හමුදාවකට මෙරටට පැමිණෙන්නට පාර කැපෙන්නට පුළුවන්.'' 

රට මේ තත්ත්වයට පත් කළේ හිටපු කැබිනට් අමාත්‍යවරුන්ම තමයි
පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

අප මේ සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් අදහස් විමසා සිටියෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ මේ රට මේ තත්ත්වයට පත් කර ඇත්තේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් විසින්ම බවත්, තවත් රාජ්‍ය ඇමැතිවරුන් පත් කරන්නේ නම් එය රටට සේවයක් නොව ඔවුන්ගේ පැවැත්ම ස්ථාවර කිරීමක් පමණක් වන බවත්ය.

''අපි පසුගිය වසර 74ට බැන්නට ඇත්තටම සිදුවුණේ පසුගිය වසර 30ක් පමණ කාලයක් මේ රට පාලනය කළ සහ පසුගිය ආණ්ඩුවේ ඇතැම් පිරිස් රටේ මුදල් නිසි ලෙස කළමනාකරණය නොකිරීම, සොරාකෑම හා තම හිතවතුන්ට සොරාකෑමට ඉඩ දීම නිසයි රට මෙවැනි තත්ත්වයකට පත් වුණේ. එමෙන්ම මේ අය රටට අනවශ්‍ය, කිසිම ආදායමක් උත්පාදනය නොවන සංවර්ධන ව්‍යාපෘති ගෙනාවා. ලෝකෙන් ණය අරගෙන ඇතැම් පුද්ගලයන් පිම්බීම සඳහා කළ ව්‍යාපෘති නිසයි අද වර්තමාන ජනතාවට දුක් විඳින්නට සිදුවී තිබෙන්නේ. තමන් හා තම නායකයා අතින් වූ වැරදි දැන්වත් පිළිගෙන තනතුරු පස්සේ යන්නේ නැතුව, ඊළඟ ආණ්ඩුවේ බලය ගන්නේ කොහොමද කියා හිතන්නේ නැතුව, ඔවුන් සාමූහිකව එක්වී රට මුහුණ දෙන ආර්ථික ගැටලුවෙන් ගොඩ ඒමට පියවර ගත යුතුයි. අද අපට පිටරටවලින් මුදල් නොලැබෙන්නේ මේ ආණ්ඩුව ගැන කිසිදු විශ්වාසයක් නොමැති නිසයි. ජනතාවට සේවය කරන්න ඇමැති ධුර අවශ්‍ය නැහැ. මේ පිරිස බලයේ සිටියදී නිසි ක්‍රියාමාර්ග ගත්තා නම් අද රටේ ජනතාවට කන්න නැති වෙනවද? මේ වෙලාවේ රටට අත්‍යවශ්‍ය නොවන සියලුම ව්‍යාපෘති නැවැත්විය යුතුයි. කළ යුත්තේ රටට අත්‍යවශ්‍ය ව්‍යාපෘති පමණයි. මෑත ඉතිහාසය පුරාවටම සිදු කළේ ණය අරගෙන විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමයි. එම ව්‍යාපෘතිවලින් ආදායම් උත්පාදනය නොවන විට ණය ගෙවීමට හැකියාවක් නැහැ. ඇමැතිවරු අවශ්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නෙමෙයි. ඒකට නිලධාරින් ඉන්නවා. ඇමැතිවරු කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. තමන්ගෙ ආණ්ඩුව ඇතුළෙම රාජ්‍ය ඇමැති ධුර ගන්නවා කියන්නේ තමන්ට තව ටිකක් සම්පත් ඒකරාශි කර ගැනීමට ගන්නා උත්සාහයක් විනා රටට සේවය කිරීමක් නොවෙයි.'' 

රාජ්‍ය ඇමැතිවරුන් පත් නොකර, සිටින ඇමැතිවරුන්ගෙන් වැඩ ගත යුතුයි
ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා

ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතාගේ මතය වන්නේ මේ අවස්ථාවේ කළ යුත්තේ රාජ්‍ය ඇමැතිවරුන් පත්කිරීමට වඩා සිටින ඇමැතිවරුන්ගෙන් ප්‍රයෝජන ගැනීම බවයි.

''අලුතින් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමෙන් සිදුවන්නේ එම ඇමැතිවරුන් සඳහා කාර්යාල, කාර්ය මණ්ඩල, වාහන වැනි දේ සඳහා තවත් ජනතා මුදල් වැය කිරීමක් පමණයි. මේ අවස්ථාවේ එවැනි වියදම් කළ නොහැකියි. නව අගමැතිවරයෙක් සිටිනවා. ඔහුට අවශ්‍යතාව තිබෙනවා නම් නිසි කළමනාකරණයක් තුළින් රට ගොඩගන්න. ඒ දේ කරනවා විනා අලුතින් ඇමැතිවරු පත් කිරීමට අවශ්‍ය නැහැ. ආයෝජන ප්‍රවර්ධනය සඳහා නව ඇමැතිවරයෙක් පසුගියදා පත් කළා. දැන් රටට අවශ්‍ය ආයෝජන ලබා ගැනීමයි. ඒ නිසා එම ක්‍රියාවට අනුගතව කටයුතු කරමින් පවතින අර්බුදයෙන් ගොඩ එන්නට ආණ්ඩුව පියවර ගත යුතුයි. කවුරුන් හෝ මේ වෙලාවේ ඇමැතිකම් ඉල්ලනවා නම් ඔවුන් බලන්නේ මේ අවස්ථාවෙත් තමන්ට යමක් ලබාගැනීම විනා වෙන දෙයක් නොවෙයි. පසුගිය කාලය පුරාම හිටපු ඇමැතිවරු ජනාධිපතිවරයාට වැරදි අදහස් දීල, එතුමව ඒවට පොළඹවලා කරපු වැඩපිළිවෙළේ ප්‍රතිළුලය තමයි අද ජනතාවට භුක්ති විඳින්නට සිදුවී තිබෙන්නේ. ඉදිරි මැතිවරණයක් පිළිබඳව සිතමින් තවත් පත්කිරීම් කළොත් තවත් අගාධයට යනවා විනා වෙනත් දෙයක් නොවෙයි. හොඳම උදාහරණය වර්තමානේ ඇති තෙල් සහ ඩොලර් ප්‍රශ්නය. ඒ දෙක තමයි අපට තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ. එම ගැටලුව විසඳීමට ක්‍රමවේද ක්‍රියාත්මක කළ හැකි පුද්ගලයන් දැනට සිටිනවා. ඔවුනට වැඩ කිරීමට අවශ්‍ය පසුබිම සකසනවා විනා තවත් රාජ්‍ය ඇමැතිවරුන් පිරිසක් පත් කිරීමට යන්නේ නම් සිදුවන්නේ රට තවදුරටත් ව්‍යසන තත්ත්වයට පත්වීමයි. එහෙම වුණොත් ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා යා හැකියි. ඒ නිසා ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙනවා විනා තවත් ඇමැතිවරු පත්කිරීමට අවශ්‍ය නැහැ.'' 

අර්බුදය කලින් හඳුනාගන්න බැරිවුණු මිනිසුන්ට තවත් ඇමැතිකම් දිය යුතුද?
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්  

ඇමැති මණ්ඩල පත් වුණා කියා රටට සිදුවන සෙතක් නොමැති බව පැහැදිලි වී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන්  ප්‍රකාශ කරයි. 

''දැන් රාජ්‍ය ඇමැතිකම් අපේක්ෂා කරන ඇමැති පිරිස පසුගිය ආණ්ඩුවේ කැබිනට් එකේ වසර දෙකකට ආසන්න කාලයක් සිටියා. ඒ ඇමැතිවරුන්ට ලොකු කළමනාකරණ දැනුමක් තිබුණ නම් ඒ දැනුම තම නිලධාරින් සමඟ සාකච්ඡා කරල තීරණ ගැනීමේ හැකියාවක් තිබුණ නම් අද ජනතාව අත්විඳින මේ අර්බුදය ඇතිවන්නේ නැහැ. අද තියෙන්නේ ඩොලර් හිඟයට එහා ගිය ඩොලර් කළමනාකරණය කර නොගැනීමේ ගැටලුවක්. මේ අර්බුදය මීට වසරකට පමණ පෙර දකින්න තිබුණා. කැබිනට් එකක් තියෙන්නේ ඒකටනේ. මෙවැනි අර්බුදයක් අනාගතයේ ඇතිවෙයි කියලා දකින්න බැරිවුණු මිනිස්සුන්ට තවත් රාජ්‍ය ඇමැතිකම් දිය යුතුද? මේ අය දැන් උත්සාහ කරන්නේ තමන්ට නැතිවුණු වරප්‍රසාද යළි ලබාගැනීමට බව ජනතාවට වැටහෙනවා. දැන් අවශ්‍ය හිටපු ඇමැතිවරු නොවෙයි. කළ යුත්තේ මේ සම්බන්ධයෙන් විෂයානුබද්ධ දැනුමක් තියෙන පිරිසක් පත් කර ගැනීමයි. ජාත්‍යන්තර සබඳතා ගොඩනංවාගෙන පවතින අර්බුදයෙන් ගොඩ ආ හැක්කේ කෙසේද යන්න පිළිබඳ දැනුම ඇති පිරිසක් සොයා ගැනීමයි වැදගත්. අග්‍රාමාත්‍යවරයා පත්වුණු විට ඔහුට ඇති ජාත්‍යන්තර සබඳතා හා දැනුම හේතුවෙන් බොහෝ දේ කළ හැකි යැයි ජනතාව සිතුවා. ඔහු කරන්නේ හැමදාම අර්බුදය ගැන කතා කිරීම විනා එයට විසඳුම් සෙවීම නොවෙයි. දැන් අර්බුදය තිබුණටත් වඩා වර්ධනය වෙලා. අග්‍රමාත්‍යවරයා එනකොට රට ලොක්ඩවුන් වුණේ නැහැනේ. ඔහු ඇවිත් සති පහකින් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙලා. පවතින ආණ්ඩුවට අර්බුදයෙන් ගොඩ ඒමට කිසිදු ආකාරයක වැඩපිළිවෙළක් හෝ අනාගත දැක්මක් නොමැති බව එයින්ම පැහැදිලි වෙනවා. ඒක ජනතාව කියන්න අවශ්‍ය නැහැ. පාලකයන් තම භාවිතාවෙන්ම ඒ බව පෙන්වා තිබෙනවා.'' යනුවෙන් සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා