2022 ජුලි 03 වන ඉරිදා

ඉල්ලුමට බඩු සපයන්න බැහැ: කන්ටේනර් තෙල් පෝලිමේ!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 444

මේ දිනවල හැමතැනටම එකසේ දැනෙන ඉන්ධන රස්නය කිසිදු අඩුවක් නැතිව කොළඹ වරායටත් දැනෙන්නට අරන්ය. පිටරටින් ගෙන්වන ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමට වරාය බහාලුම්වලට ඉන්ධන නොමැති වීමෙන් එම භාණ්ඩ බෙදාහැරීම් බස්නාහිර පළාතට පමණක් සීමා කිරීමට සිදුවන බවත් මේ හේතුවෙන් ඉදිරි දින කිහිපයේ උග්‍ර ආහාර හිඟයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් සමස්ත ලංකා වරාය ඒකාබද්ධ බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංසදය අනතුරු ඇඟවීමක් කරයි.  

කොළඹ වරායට ස්වර්ණමය යුගයක් උදාවූයේ 70 දශකයේ අගභාගයේදී ලලිත් ඇතුළත්මුදලි වෙළෙඳ සහ නාවික අමාත්‍ය ධුරයට පත්වීමත් සමගය. එතෙක් වරායේ බඩු පැටවීම සහ ගොඩබෑම සඳහා ක්‍රියාත්මක වූ බත්තල් ක්‍රමය වෙනුවට කන්ටේනර් බහාලුම් ක්‍රමය හඳුන්වා දුන් ඔහු ප්‍රතිනැව්ගතකරණය මගින් වරායට විශාල ලාභයක් අත් කර දුන්නේය. එසේම ඒ තාක් වරාය සේවකයන්ට දවසකට එක් වේලක කෑම ලබාදීම වෙනුවට තුන් වේලටම කෑම ලබාදුන්නේ ලලිත් ඇතුළත්මුදලි අමාත්‍යවරයාය. එහෙත් මේ වනවිට රටේ ජනතාව එක් වේලක්වත් කෑම නැති තරමේ අනතුරකට මුහුණ පා සිටිති.

කොළඹ වරාය යනු මෙරට ආර්ථිකයේ හදවත යැයි පැවසුවොත් නිවැරුදිය. එවන් ඓතිහාසික ගමනකට උරුමකම් කියූ කොළඹ වරාය පවතින ආර්ථික අර්බුදය හමුවේ නැවතත් අතීතයට ගමන් කිරීමට සැරසෙන බවක් පෙනෙයි.

ධාන්‍ය ධනය මල් පලතුරු පිරි අපේ රටේ සහල් මිටියේ පටන් සරුංගල් නූල දක්වා බොහෝ දේ ගෙන්වන්නේ පිටරටිනි. එසේම දෛනික පරිභෝජනයට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යද ගෙන්වන්නේ එලෙසිනි. වැවේ හැදෙන දිය කොච්චි මිටක් කඩාගෙන වැව් තාවුල්ලෙන් පලා මිටක් නෙළාගෙන සිංහල හාලේ බත් කෑ ඉතිහාසයක් තිබූ රටක ජනතාවකට පිටරටින් ආහාර ගෙනෙන තෙක් නැවක් එනතෙක් මුහුද දෙස බලා සිටීමට සිදුවීම ඛේදවාචකයකි. එය වෙනමම සිතා බැලිය යුතු කරුණකි.
මේ වනවිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස සහල්, අර්තාපල්, සුදුලූනු, බීලූනු, වටානා, කරවල, මයිසූර් පරිප්පු, සැමන්, සීනි, බටර් ආදී වූ ආහාර ද්‍රව්‍ය මෙරටට ගෙන්වීමට කටයුතු කරන අතර එම ආනයනික ආහාර ද්‍රව්‍ය කන්ටේනර් මගින් කොළඹ වරායෙන් කොළඹ බජාරය ලෙස හඳුන්වන පිටකොටුව පළමුවැනි හරස්වීදියේ සිට පස්වැනි හරස්වීදිය දක්වාත්, කොළඹ ආර්ථික මධ්‍යස්ථානයටත් තවත් විශාල ප්‍රමාණයක් දඹුල්ලටත් බෙදාහැරීම් සිදුකරයි. ලංකාවටම ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් බෙදා හරිනුයේ දඹුල්ලෙනි. ඊට අමතරව වැලිසර මීගොඩ ආදී තෝරාගත් ආර්ථික මධ්‍යස්ථානවලටද ගෙන යයි.  එසේම අපේ රටින් පිටරටට ගෙනයන ඇඟලුම්, සිලෝන් ටී ආදී අපනයන භාණ්ඩ කොළඹ වරායට ගෙන ඒමටත් මේ හේතුවෙන් බාධා මතුවෙයි. ආනයන සහ අපනයන ක්‍රියාවලියට බාධා ඇතිවීමෙන් රටේ ආර්ථිකයට අත්වන ඉරණම පිළිබඳ අමුතු පැහැදිලි කිරීම් අනවශ්‍යය. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලෙස එන බොහෝ ආහාර ද්‍රව්‍ය ඉන්ධන ලැබෙනතෙක් තබාගැනීමට නොහැකි අතර සීනි වැනි ද්‍රව්‍ය දියවී වැගිරීමේ සහ අනෙකුත් දෑ කුණුවීමේ අවදානමක් මේ හමුවේ ඇති බවද ආනයනකරුවෝ කියති.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියන්නේ රටේ ආර්ථික මරමස්ථානයක්. එවන් ස්ථානයක ප්‍රවාහන කටයුතු සිදුකරන අංශවලට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදයක් තිබිය යුතුයි. මේ අර්බුදය ඇරුඹී මාස 6කට ආසන්නයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට සහ නිසි ක්‍රමවේදයක් සකසන ලෙස වරාය අධිකාරියට සහ ඛනිජ තෙල් සංස්ථාවට අපි ඉල්ලීම් කළා. පසුගිය දිනෙක නව අගමැති සමගත් අප සාකච්ඡා කරා. මේ සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කර තිබූ කමිටුවටත් පැහැදිලි කිරීම් කළා. මේ වනතුරු කිසිම අංශයකින් කිසිම ක්‍රමවේදයක් සකසා නෑ” යැයි සමස්ත ලංකා වරාය බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා චෝදනා කළේය. ඔහු වැඩිදුර මෙසේද පැවසීය.

“ආනයනකරුවන්, අපනයනකරුවන් සහ ප්‍රවාහන හිමිකරුවන් සහ රියැදුරන් දින 10-15 දිගු පෝලිම්වල රුඳී සිටයි ඉන්ධන ලබාගන්නේ. බස්නාහිර පළාතේ ඔටෝ ඩීසල් ලොකු හිඟයක් තිබෙනවා. මේ වෙනකොට අපේ කන්ටේනර්වලට කිසිම තැනකින් ඩීසල් ලබාගන්න හැකියාවක් නෑ. අපිට ලොකු අර්බුදයකට මුහුණදෙන්න වෙලා තියෙනවා ඉන්ධන ගනිද්දී. ලංකාවේ තියෙන බර වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා අප ළඟ. ඩීසල් ලීටර 250 සිට 500 දක්වා ගහන්න පුළුවන් වාහන තියෙන්නේ. මේ සියලු බරවාහනවලට විශාල ඩීසල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් පිරවුම්හලකට ගිහින් ඩීසල් ලීටර 50ක් අරගෙන මේ රස්සාව කරන්න බෑ. එකක් අවසන් කරන්නත් ලීටර 100කට ආසන්න ප්‍රමාණයක් ඕනෑ වෙනවා. ඩීසල් එනකල් කියලා පිටරටින් එන නැව වරායේ තියාගන්න බෑ. බහාලුමක් අරගෙන එද්දී ඒ එන දින කාලවකවානුව ඇතුළත ඒ අවශ්‍ය කටයුතු කර කොළඹ වරායට රුගෙන එන්න ඕනෑ.

ආනයනික බහාලුමටත් දින නියමයක් තිබෙනවා නිදහස් කරගන්න. මේ ක්‍රමවේදයට කටයුතු නොකිරීම භාණ්ඩ හිඟයකට බලපානවා. අපි දිගින් දිගටම ඉල්ලීම් කළේ මෙයට ඩීසල් ලබාදෙන ක්‍රමවේදයක් සකසන ලෙසයි. අපිට තෙල් නැතිව ආනයනික භාණ්ඩ වෙළෙඳපොළට යාමට බාධා ඇතිවෙනවා. අපි බලධාරීන්ට මේ ගැන කිව්වාත් ඔවුන්ට වගේ වගක් නෑ. ඔවුන් කරන්නේ ඔවුන්ගේ පුටුව රුකගැනීමයි. අපි මේ සම්බන්ධයෙන් පැහැදිලි කළේ මේ තත්ත්වය වැටුණොත් යළි හදන්න බෑ. මේ වනවිට විශාල තොග තිබෙනවා අපනයන කලාපවලින් රට යවන්න සැලසුම් කර ඇති  භාණ්ඩ. මේ තත්ත්වය දිගටම ගියොත් බරපතළ ආහාර අර්බුදයක් ඇතිවෙනවා. හිමිදිරියේ අවදි වී රාත්‍රියේ නින්දට යනතෙක් අප භාවිත කරන්නේ ඩොලර්වලට ගෙනෙන දේවල්. කොළඹ වරායෙන් අරඹන අපේ රස්සාව නැවත අවසන් කරන්නෙත් කොළඹ වරායෙන්. දඹුල්ලට අපට අල කන්ටේනරයක් රුගෙන යාමට ඇතිනම් දඹුල්ලට ගොස් එය බාරදී නැවත එය රුගෙන පැමිණිය යුතුයි නම්කර ඇති අංගනයකට බාරදීමට. එය තිබෙන්නේත් බස්නාහිර පළාතේ. මේ වනවිට කෑන්වලට ඉන්ධන ලබාදෙන්නේ නෑ. මේ තාක් සීමාකර තිබූ ආහාර ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ විශාල ප්‍රමාණයක් පවතින අර්බුදකාරී තත්ත්වය සමග නැවත ගෙන්වීමට අවසර ලබා දී තිබෙනවා. ඒ භාණ්ඩ බොහෝදුරට ලබන සතියේ මෙරටට ලැබෙනවා. ඉන්දියාවෙනුයි වැඩිම ප්‍රමාණයක් එන්නේ. ඒ ලැබෙද්දී අපට අවශ්‍ය ඉන්ධන නොතිබුණොත් නැවට ප්‍රමාද ගාස්තු ගෙවමින් තියාගන්න වෙනවා. එසේ වුවහොත් ඉහත කී ආහාර අර්බුදයට මුහුණ දෙන්න වෙනවා. අපිට ඩීසල් නෑ කියන එක පිටරටවලට නිදහසට කරුණක් නෙමෙයි. අපනයනකරුවන් සහ හිමිකරුවන් මේ වෙලාවේ කුමන ක්‍රමයකට හෝ ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය උත්සාහ ගනිමින් සිටිනවා. මෙරට ආර්ථිකයට භාණ්ඩ අපනයනයෙන් තමා ඩොලර් ලැබෙන්නේ. බඩු මිල ඉහළ යන්න ලොකුම හේතුව භාණ්ඩ හිඟකම. මෙරටට ගෙන්වන ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ කොළඹ වරායෙන් පිටතට අරගෙන රේගු පරීක්ෂාවෙන් අනතුරුව මුළු දිවයිනම ආවරණය වෙන පරිදි  සම්පූර්ණයෙන් බෙදාහරින්නේ අපේ කන්ටේනර් රථවලින්. එල්.සී.එල්. අදින ට්‍රක්වල ඉඳන් අපේ කන්ටේනර් 6000ක් පමණ තිබෙනවා. එහෙත් ඩීසල් ප්‍රශ්නය නිසා මේ වෙද්දී කන්ටේනර් 2000ක් වත් ධාවනයට යොදවන්න බැරිවෙලා තියෙනවා. අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් ඉන්ධන ලබාදීමට ඉක්මන් ක්‍රමවේදයක් සකසන ලෙසයි. එසේ නොවුණහොත් මෙම සතියේ පටන් වැඩ වර්ජනයකට යාමට සිදුවෙනවා” යැයි ඔහු පැවසීය. පවතින ඉන්ධන අර්බුදය හමුවේ වරායේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකිරීමේදී ගැටලු මතුවිය හැකි බවත්, ඒ හේතුවෙන් රට තවදුරටත් අඩාල වීම වැළැක්විය නොහැකි බවද සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය කීය.

වරාය අධිකාරියේ බලධාරීන් බහාලුම්වලට ඉන්ධන ලබාදීමට නිසි ක්‍රමවේදයක් සකසා නැතැයි කන්ටේනර් සංගමයේ සභාපතිවරයා චෝදනාවක් කරයි. එහෙයින් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස මහතා පැවසූයේ මෙවන් අදහසකි.

“මෙම ගැටලුව සම්බන්ධයෙන්  ප්‍රවාහන සංගමය අමාත්‍යවරයා සමග සාකච්ඡා කරා. අපිටත් ඩීසල් නැතිව අපි කොහොමද දෙන්නේ? කොහෙන්ද දෙන්නේ? වරාය ඇතුළේ දුවන්නත් අපිට ඩීසලුත් නෑ පෙට්‍රලුත් නෑ. අපිත් ජීවත් වෙන්නේ මේ සමාජයේනේ” යැයි අධ්‍යක්ෂවරයා පැවසීය.

අප මෙම ප්‍රශ්නය විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසීම සඳහා වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් දැරෑ උත්සාහය ව්‍යර්ථ විය. වරාය බහාලුම්වලට ඉන්ධන නොමැතිවීමෙන් ප්‍රවාහන සංගමය පවසනුයේ භාණ්ඩ බෙදාහැරීම බස්නාහිරට පමණක් සීමා කිරීමට සිදුවන බවයි. ‍ආනයනික භාණ්ඩ ග්‍රාමීය ප්‍රදේශ කරා ගෙනයාමේ අපහසුතාව මගහරවා ගැනීමට දේශීය නිෂ්පාදන ඉල්ලුමට සරිලන සැපයුමකින් නිසි ක්‍රමවේදයක් යටතේ සෙසු පළාත්වලට බෙදාහැරිය යුතුමය‍. එසේ නොවුණහොත් වන්නේ කොළඹට කිරි ගමට කැකිරි වැඩකි.

ටයිටැනික් නැව ගිලෙන බව මගීන්ට නොදැනෙන්නට අවසන් මොහොත දක්වාම සංගීතය සපයා තිබේ. අපිත් බලධාරීන්ගේ එවැනි නැව ගිලුණත් බෑන්ඩ් චූන් ප්‍රකාශ ගොඩක් මැද අතරමං වී සිටිමු. වරාය අධිකාරියේ නිලධාරීන් ඇතුළු සේවකයන්  ආහාර වේලට කජු කද්දී රටේ ජනතාවගේ කෑම පිඟානට අඩු තරමින් හැමදාම කන පරිප්පුවවත් තිබුණොත් හොඳය. වේල් දෙකකින් බඩ වියත රුකගැනීමට උපදෙස් දීමට රටකට නායකයන් අනවශ්‍යය. එහෙයින් මෙම ඉන්ධන අර්බුදයට යම් ක්‍රමවේදයක් සකසා මෙයට යම් පිළියමක් නොයෙදුවහොත් ඇතිවන අනාගතය අනතුරුදායක බව සක් සුදක් සේ පැහැදිලිය.

 සසංක චලන ගිම්හාන

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05