2022 ජුලි 03 වන ඉරිදා

ලංකාවට හෙණයක් වූ ණයවර ලිපි ඇනහිටීම

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 120

මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික අගාධයේ පතුලටම ගිලී අවසන්ය. තම ප්‍රතිරෑපය පිම්බීම සඳහා ලෝකෙන්ම ණය ගෙන අසාර්ථක ව්‍යාපෘති රටට ගෙනා දේශපාලකයන් හා වැරදි තීරණ ගත් නිලධාරීන් නිසා දැන් රටම දුකට පත්වී තිබේ. මේ වනවිට අප මුහුණ දී ඇති බරපතලම ප්‍රශ්නය වී ඇත්තේ රටේ ඩොලර් නොමැතිකම හා ඉන්ධන හිඟයයි. රටේ තිබෙන මූල්‍ය වාතාවරණය සහ බැංකු ශ්‍රේණිගතකිරීම් මත ණයවර ලිපි විවෘත කිරීම මගින් ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට මුදල් ගෙවීමට නොහැකි වීම නිසා පොරොන්දු වූ පරිදි ඉන්ධන නෞකා රටට ගෙන්වා ගැනීමට නොහැකි වූ බවත්, ඒ සම්බන්ධයෙන් තමා මහජනතාවට කනගාටුව පළකරන බවත් විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පසුගිය ජූනි 26 දා ප්‍රකාශ කළේය.

මේ වනවිට අඩු මුදලට ඉන්ධන මිල දී ගැනීම සඳහා යෝජනා 64ක් ලැබී ඇති බවත් ඒවායින් 39ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි මට්ටමේ ඒවා බවත් පැවසූ ඔහු එම යෝජනා ඉදිරිපත් කරන ලද සැපයුම්කරුවන් 39 දෙනා වෙනවෙනම කැඳවා සාකච්ඡා කළ නමුත් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීමේ ගැටලුවක් මේ වනවිට පැන නැගී ඇති බැවින් එය ක්‍රියාවට නැංවිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ප්‍රකාශ කළේය. රාජ්‍ය බැංකු දෙකට මේ වනවිට ණයවර ලිපි විවෘත කිරීමට පුළුවන්කමක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. අපිට ප්‍රශ්නේ තියෙන්නේ මොන යෝජනාව කළත් ණයවර ලිපි නිකුත් කරලා අපට ආනයනය කරන්න පුළුවන්කමක් නොමැති කමයි. ණයවර ලිපි විවෘත කරන්න රාජ්‍ය බැංකු දෙකටම පුළුවන් කමක් නැහැ. පසුගිය සතියේ අපි පෞද්ගලික බැංකුවකට ගියා ණයවර ලිපි විවෘත කරන්න. මහ බැංකුව හරහා අවශ්‍ය ගැරන්ටියත් දුන්නා. නමුත් ඔවුන් කීවේ ණයවර ලිපි විවෘත කිරීමට නම් සම්පූර්ණ මුදල තැන්පත් කරන්න කියලයි.

රටට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, ඉන්ධන ඇතුළු සියල්ල ආනයනය කිරීමට නම් ණයවර ලිපි විවෘත කළ යුතුය. ණයවර ලිපිය (Letter of credit) බැංකුවකින් භාණ්ඩ අපනයනකරුවකුට ආර්ථික ඇපකරයක් සැපයීම සඳහා ජාත්‍යන්තර වෙළෙඳාමේ භාවිත කරන ගෙවීම් යාන්ත්‍රණයකි. ගිවිසුම්ගත පාර්ශ්වවල විශ්වාසනීයත්වය පහසුවෙන් තීරණය කළ නොහැකි විට ජාත්‍යන්තර වෙළෙඳාමේ මූල්‍යකරණයේදී ණයවර ලිපි බහුලව භාවිත වේ. එහි ආර්ථික බලපෑම වන්නේ භාණ්ඩ සඳහා විකුණුම්කරුට ගෙවීම සම්බන්ධයෙන් වන අවදානම ගනිමින්  ගැනුම්කරු වෙනුවෙන් බැංකුවක් පෙනී සිටීමය. නිශ්චිත ගනුදෙනුවක් සඳහා ලබා දී ඇති මුදල් ගැනුම්කරු විසින් විවෘත කරන ලද වෙනම ගිණුමක බැංකුවේ තැන්පත් කර ඇති අතර විකිණුම්කරු වෙත මාරුකරනු ලබන්නේ ගිවිසුමේ නියම කර ඇති වගන්ති එම පාර්ශ්වය විසින් ඉටුකළ විට පමණි. මේ අනුව, ගිවිසුමට පාර්ශ්වයන් අතර බේරුම්කරන ක්‍රියාවලියේදී බැංකුව අතරමැදි ඇපකරුවෙක් ලෙස ක්‍රියා කරයි. අදාල පාර්ශ්වයන් ගිවිසුමේ නියමයන්ට අනුකූලව මුදල් ගෙවීම සහතික කරයි.

සාමාන්‍යයෙන් රාජ්‍ය බැංකු විසින් රජයට අවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා ණයවර ලිපි නිකුත් කරන අතර දේශීය කර්මාන්ත හා, අපනයන පාදක කරගත් කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හෝ අමතර කොටස් ආනයනය කිරීම සඳහා වාණිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් කරයි. මේ වන විට විදේශ විනිමය නොමැතිකමින්  රාජ්‍ය බැංකුවලට ණයවර ලිපි නිකුත් කළ නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.

මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා දේශයට ප්‍රකාශ කළේ ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුව නිර්මාණය වී ඇත්තේ ශ්‍රී ලංකාවට විදේශ විනිමය නොමැතිකම හේතුවෙන් බවයි. මේ වනවිට මහ බැංකුවේ ඩොලර් සංචිතය පවතින්නේ සෘණ අගයකයි. එවැනි තත්ත්වයක් යටතේ අපට විදේශවලින් භාණ්ඩ ආනයනය කිරීමට හැකියාවක් නැහැ.

ඇතැම් පෞද්ගලික බැංකු සම්පූර්ණ මුදල තැන්පත් කරන තෙක් ණයවර ලිපි නිකුත් කළ නොහැකි යැයි ප්‍රකාශ කරන බවට බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් විජේවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ මෙවැනි අදහසකි.
පිටරටකින් භාණ්ඩයක් ආනයනය කරන විට ඒ සඳහා එදිනම මුදල් ගෙවන්නේ නැහැ. සාමාන්‍යයෙන් මාස තුනක් පමණ කාලයක් ගත වූ පසුවයි ගෙවන්නේ. ඒ නිසා මාස තුනකින් මුදල් තිබුණ නම් ඇති. අපි ඒකට කියන්නේ මාජින් එක කියලා. එහෙත් වර්තමානයේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් දැන් ඇතැම් බැංකු මාස තුනකින් ගෙවිය යුතු මුදලත් කලින්ම තැන්පත් කළ යුතු යැයි කියනවා. මේ ගැටලුව විසඳගන්න නම් අපට විදේශ විනිමය ලැබිය යුතුයි. ඉදිරි කාලයේ බොහෝ භාණ්ඩ පරිභෝජනය අත්හරින්නට ජනතාවට සිදුවේවි. දැනටමත් ඉන්ධනවලට ඒ තත්ත්වය ඇතිවී තිබෙනවා. කොතරම් පෝලිම්වල සිටියත් ඔවුන්ට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලැබෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් යටතේ අපට ණයවර ලිපි විවෘත කර ගැනීමේ හැකියාවක් නැහැ. ණයවර ලිපි විවෘත කිරීමට නම් කෙසේ හෝ විදේශ විනිමය උපයාගත යුතුයි. දැන් ඇතිවී තිබෙන්නේ කිසිදු රටක් අපට ණය දෙන්නෙත් නැති තත්ත්වයක්. ඒ හේතුවෙන් කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් උදාවෙලා. මේ තත්ත්වය නිර්මාණය වුණේ මහබැංකුවේ සියලු විදේශ සංචිත ණය ගෙවීමට යොදාගැනීම හා පසුගිය කාලයේ රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 202ක් ලෙස කෘත්‍රිම ලෙස රඳවා තබා ගැනීමට විශාල ඩොලර් ප්‍රමාණයක් වැය කිරීම නිසයි. ඒ සඳහා බිලියන පහමාරක් පමණ වැය කළා. එවැනි ක්‍රියා නිසයි අපේ ආර්ථිකය කඩා වැටුණේ.* යනුවෙන් සඳහන් කළේය. 

ආනයනය අපනයනය මත පදනම් වූ රටක විදේශ විනිමය සංචිතයන් පවත්වාගෙන යනු ලබන්නේ ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග, ආහාර ද්‍රව්‍ය, බලශක්තිය සඳහා අවශ්‍ය වන බොර තෙල්, ඛනිජ තෙල් යනාදිය ආනයනය කිරීම සඳහා වූ තැන්පතුවක් වශයෙනි. එහෙත් එම සංචිත කාලක සිට පැවැති රජයන් විසින් ලබාගත් කෙටිකාලීන ජාත්‍යන්තර ස්වෛරී බැදුම්කර නිදහස් කර ගැනීමට යොදා ගැනීම නිසා අද වනවිට අපේ රටද යුරෝපයේ ග්‍රීසියක් ලෙසද ලතින් ඇමෙරිකාවේ වෙනිසියුලාවේ තත්ත්වයටද පහත වැටී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව තවදුරටත් රටට අවශ්‍ය ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා ගැනීම සඳහා රාජ්‍ය බැංකු වන ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් ණයවර ලිපි විවෘත කර ගැනීමට කර තිබෙන උත්සාහය ආසාර්ථක වී ඇතැයි පැවසේ.

පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් කළ නව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා ප්‍රකාශ කළේ රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇති බැවින් ඉන් ගොඩඒමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි. මේ වනවිට නිර්මාණය වී ඇති රටේ මූල්‍ය බංකොලොත්භාවය මත විදෙස් සමාගම්වල විශ්වාසය බිඳවැටීම නිසා මහජන බැංකුව විසින් ණයවර ලිපි විවෘත කර ගැනීමට නම් එයට තුන්වැනි පාර්ශ්වයක් ලෙස ජාත්‍යන්තරව පිළිගත් බැංකුවක අනුමැතිය ලබාගන්නා ලෙසද දන්වා ඇතැයි වාර්තා වේ. විදේශ ණය ගෙවීමට මෙම රජයට නොහැකිය යන පදනම මත අප රටේ බැංකු මගින් නිකුත් කරන ණයවර ලිපි භාර ගැනීම ජාත්‍යන්තර බැංකු මගින් ප්‍රතික්ෂේප කරන අවස්ථා ඇති බව වාර්තා වීම මත ජාත්‍යන්තර බැංකු තහවුරු කරන ලද ණයවර ලිපි පමණක් ඉල්ලා සිටීම නිසා මෙරට ව්‍යාපාරික ප්‍රජාව ඉමහත් අපහසුතාවයන්ට පත්ව ඇතැයි වාර්තා වේ.

වයඹ විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා  බීබීසියට ප්‍රකාශ කර තිබූ පරිදි ණය ගෙවන්න එපා. ණය ප්‍රතිව්‍යුගත කරන්න කියලා ඉල්ලපුවාහම මහ බැංකු අධිපතිවරයා  හදිස්සියේ කළේ හොඳ දෙයක් නරක විදිහට. ඒකෙන් ජාත්‍යන්තර වශයෙන් අපි අපකීර්තියකට පත්වුණා. මේ මේ හේතුවෙන් අපේ සියලුම බැංකු ශ්‍රේණිගත කිරීම්වලින් පහළ දැමුණා. ආණ්ඩුව රට බංකොලොත් කියලා පිළිගන්නා බවයි අපි ලෝකයට දෙන පණිවිඩය වී තිබෙන්නේ.   ණය ගෙවන්න තියෙන අය සමග පෞද්ගලිකව කථාකරලා කල් ගත්තා නම් ජාත්‍යන්තරයට මේ පණිවිඩය යන්නේ නැහැ. අප ගැන තියෙන විශ්වාසය පහළ ගියා. අපි ගත්ත ණය ගෙවන්නෙ නැහැ කියනවා නම් තව කෙනෙක් ණය දෙන්නේ නැහැ. අපිට ණය අවශ්‍ය වෙලාවක ඩිෆෝල්ට් කිරීමක් කළාම ඒක ඉතාම නරක විදිහට බලපානවා. මේ වෙලාවේ ලොකුම බලපෑම තියෙන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟයි. භාණ්ඩ ගෙන්වද්දි අනිවාර් යෙන් එල්.සී. ඕපන් කරන්න ඕනේ. ණයවර ලිපියක් විවෘත කරද්දී අපිට භාණ්ඩ එවන ආයතනයට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ භාණ්ඩ එව්වාම අපි මුදල් ගෙවයි කියලා. දැන් ඒ විශ්වාසය බිඳිලා. ඩිෆෝල්ට් වීමේ බරපතලම තත්ත්වය තමයි නැවත ජාත්‍යන්තර වෙළෙඳපොළට යාමට නොහැකි වීම. ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහින් ණයක් ගන්න බැහැ. අයවැය හිඟය පියවන්න 40%ක් පමණ අපි ණය ගන්නේ විදේශ වෙ‍ළෙඳපොළෙන්. ඒකට යන්න බැහැ. ඩිෆෝල්ට් වීම තුළ බැංකු පද්ධතිය යම් අර්බුදයකට තල්ලුවෙනවා. බැංකුවල සල්ලි තියන්න තැන්පත්කරුවන් බයවෙනවා. පිටරටින් සල්ලි එවන අය, ව්‍යාපාරිකයන් ඩොලර් එවන්න. බය වෙනවා.  ගෙවන්න විදහක් නැතිව සල්ලි රඳවා ගනී කියලා සැකයක් ඇති වෙනවා.

එසේනම් අපට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කර ගැනීමට ආණ්ඩුව ඩොලර් සොයා ගන්නේ කෙසේද? රට මෙතරම් දැවැන්ත අර්බුදයකට පත් කිරීමේ වගකීම ගන්නේ කවුද? ආර්ථික උද්ධමනය අතින් අප සිටින්නේ සිම්බාබ්වේ රටට පමණක් දෙවැනිවය. නව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා පවසන්නේ මාස හයක් තුළ රට අර්බුදයෙන් ගොඩගන්නා බවය. ඒ සඳහා තම සාක්කුවෙන් ඩොලර් මිලියන ගණනක් යොදවන බවද ඔහු පවසයි. කෙසේ හෝ මේ අර්බුදයෙන් රට ගොඩ එනවිට ජනතාව යාචකයන් බවට පත්ව නොසිටියහොත් එය මහත් ආශීර්වාදයක් වනු ඇත.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05