2022 ජුලි 03 වන ඉරිදා

අලුත් උපදෙස් නිසා රාජ්‍ය සේවය කොට උඩ!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 103

වර්තමානයේ රට තුළ උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් රජයේ සේවකයන්ට පසුගිය 20 සඳුදා දින සිට සති දෙකක කාලයක් නිවසේ සිට රාජකාරි කිරීමට අවශ්‍ය උපදෙස් දී ඇත. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් විසින් මේ පිළිබඳ නිර්දේශ කරමින් පසුගිය 17දා අලුතින් චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි. එයට අමතර වශයෙන් රජයේ කාර්යාල දිගටම සතියකට දින කිහිපයක් පමණක් විවෘත කර තැබීම කෙරෙහිද අවධානය යොමුව ඇත.

ඒ අතර 20 සඳුදා සිට රජයේ සහ රජය අනුමත සියලුම පාසල් සති දෙකක් වසා දමා ඇති අතර, එම කාලය තුළ සිසුන්ට ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් දී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍රලේඛයේ දැක්වෙන්නේ රට තුළ දැනට උද්ගතව ඇති ඉන්ධන හිඟවීම මෙයට ප්‍රධාන හේතුව බවය. මෙම චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් පසුගිය 18දා නිකුත් කර තිබේ.

මෙලෙස රජයේ කාර්යාල සහ පාසල් සති දෙකක් වසා දැමීමට සිදුව ඇත්තේ ඉන්ධන අර්බුදය නිසා පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීමය. රාජකාරි කටයුතු බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවම කාර්ය මණ්ඩලය තීරණය කිරීම සහ අමාත්‍යංශයේ, දෙපාර්තමේන්තුවේ, ආයතනයේ නිලධාරීන් එම නිලධාරියා පදිංචියට ආසන්නයේ අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවේ, ආයතනයේ වෙනත් ස්ථානයකට අනුයුක්ත කිරීමේ බලය අදාළ අමාත්‍යංශවල ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ ආයතන ප්‍රධානීන් වෙත පවරා තිබේ.

අවම සේවක සංඛ්‍යාවක් කැඳවන අවස්ථාවේ වුවද සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු අතර එලෙස සේවා මුර ක්‍රමයක් හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් සැලසීමෙන් පසුව යම් නිලධාරියකු සේවයට වාර්තා නොකරන්නේ නම් එම දිනය ඔහුගේ පෞද්ගලික නිවාඩුවලින් අඩුකළ යුතු බවටද චක්‍රලේඛයේ සඳහන්ය.

සේවයට පැමිණෙන නිලධාරීන් සැමවිටම පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමට උපදෙස් දෙන ලෙසද ආයතන කාර්යාල අසල සිටින සේවකයන් ආයතනයේ වාහන භාවිතකර පිරිවැය කළමනාකරණයෙන් යුතුව ක්‍රියාකරන ලෙසද මෙම චක්‍රලේඛයේ දැක්වේ.

මෙම චක්‍රලේඛය නිකුත් කිරීමෙන් පසු සති දෙකක් තිස්සේ බොහෝ රජයේ කාර්යාල මේ වනවිට වැසී ගොස් තිබේ. ඇතැම් කාර්යාල සේවා මුර ක්‍රමයට ක්‍රියාත්මක වන අතර ඇතැම් ඒවායේ අත්‍යවශ්‍ය නිලධාරීන් කිහිප දෙනකු පමණක් රාජකාරියේ යොදවා තිබේ. එහෙත් ජනතාවට මෙම කාර්යාලවලින් සිදුවන සේවයක් නොමැත. යමක් සිදුවන්නේ නම් එය අල්ප වශයෙනි. කාර්යාලවල රාජකාරි නිලධාරීන් අතර දම්වැලක පුරුක් මෙන් සම්බන්ධ වී තිබේ. එක් අයකු නැති විට අනෙක් නිලධාරියාට පමණක් යම් රාජකාරියක් කළ නොහැකිය. කිහිප දෙනකු පමණක් පැමිණියා යැයි වැඩක් කරගත නොහැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන, විවිධ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණෙන ජනතාවට සිදුවන්නේ ආපසු හැරීයාමටය. ගමන් වියදම් පවා ඉහළ ගොස් ඇති පරිසරයක කාලයද, මුදල්ද අනිවාරතයේ වැයකර ගෙන රස්තියාදු වීමට දුප්පත් ජනතාවට සිදුව ඇත.

එසේම වෛද්‍ය සේවය, ගුරු සේවය වැනි අත්‍යවශ්‍ය රාජකාරිවලට යාමට එම නිලධාරීන්ට නොහැකිවීමෙන් ජනතාවට සිදුව ඇති හානිය අති විශාලය. ආණ්ඩුව චක්‍රලේඛ මගින් දෙන උපදෙස් ප්‍රායෝගික නොවේ. ඒවා ලිපිගොනුව, කඩදාසියට පමණක් සීමාවෙලාය. නිලධාරීන් නැතිවිට ආයතන ප්‍රධානීන් සේවය කළත් සිදුකළ හැකි දෙයක් නැත. ඔවුන්ටද මුහුණ දීමට සිදුව ඇත්තේ නුහුරු අත්දැකීම්වලටය.

ලක්ෂ 15කට අධික වන රාජ්‍ය සේවය රජයට බරක් වී ඇති බව අද රජය ගන්නා ඇතැම් තීරණ නිසා පෙනෙන්නට තිබේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම පවා අද ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඒ සඳහා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට සිදුව ඇති බව අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.

අද පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව අඩුකර බර සැහැල්ලු කිරීමට රජය මේ වනවිට කටයුතු කරමින් පවතී. එක් පියවරක් ලෙස වසර පහක් විදේශයක රාජකාරි කිරීම සඳහා වැටුප් රහිත නිවාඩු ලබාදීමට පියවර ගෙන ඇත. මෙම නිවාඩු නිසා ඔවුන්ගේ සේවා කාලයට හා විශ්‍රාම වැටුපට බලපෑමක් සිදු නොවේ. එසේම රාජ්‍ය සේවයන්ට ස්වකීය රුකියාවෙන් මුළුමනින්ම ඉවත් වී විදේශ ගතවීමට පහසුකම් සලසා ඇති අතර මෙරට සේවා කාලයට අනුව ඔවුන්ට යම් දීමනාවක් ගෙවීමටද නොඑසේ නම් විශ්‍රාම ලබාගැනීමටද වරප්‍රසාද හිමිවේ.

වෘත්තීමය සුදුසුකම් ලැබූ රාජ්‍ය නිලධාරීන් රටට අහිමි වී යාමේ ප්‍රවනතාවක් මෙමගින් නිර්මාණය වී ඇත. විශාල මහජන මුදලක් වැයකර විශේෂඥ දැනුම ලබාදුන් දොස්තර, ඉංජිනේරු ආදී වෘත්තිකයන්ට රටට සේවය කිරීමේ අවස්ථාව අහිමිව යනු ඇත. එසේම ජාතියේ ජීවනාලිය වැනි තරුණ පරපුර රටට අහිමිවීම විශාල අභාග්‍යයක් වී ඇත. එහෙත් මෙම තත්ත්වය වළකාලීමට වගකිවයුත්තන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නා බවක් නොපෙනේ.

රාජකාරියක් නොකර පින්පඩි ගන්න රජයේ සේවකයෝ කැමැති නෑ

ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමයේ හිටපු සභාපති සහ වර්තමාන නියෝජ්‍යසභාපති රංජිත් ආරියරත්න:

ආරක්ෂක අංශද ඇතුළුව රාජ්‍ය සේවයේ සාමාජිකයන් ලක්ෂ 17 පමණ සිටිනවා. අද අපේ රාජ්‍ය සේවය පවත්වාගෙන යන්නේ මේ අයගෙන්. තම උපතේ සිට මරණය දක්වාම ජනතාවට රාජ්‍ය සේවයේ සහාය අවශ්‍ය වෙනවා. ජනතාවට අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර ගණනාවක් රාජ්‍ය සේවය සමග ඍජුව සම්බන්ධයි. මෙම සේවාවල් නිසි පරිදි ඉටුවෙනවා නම් රාජ්‍ය සේවයකයන් වන අපිත් කැමැතියි. ජනතාවත් කැමැතියි. රටේ නිෂ්පාදන ක්‍රියාවලියේදී හා නීතිය ක්‍රියාත්මක වීමේදී, ජන ජීවිත ආරක්ෂා කිරීමේදී රාජ්‍ය සේවය තුළින් විශාල කාර්යභාරයක් සිදුවෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය මෙන්ම ආර්ථික ක්‍රියාකාරකම්වල සෑහෙන කොටසක් පෞද්ගලික අංශයෙන්ද සිදුවෙනවා. කම්කරුවා, ස්වයං රුකියාලාභියා සහ මහා පරිමාණ නිෂ්පාදකයා දක්වා මෙම තත්ත්වය විහිදී යනවා. පෞද්ගලික අංශය හා රාජ්‍ය අංශය මනා සම්බන්ධිකරණයක් පවත්වා ගත යුතු වෙනවා. පෞද්ගලික ව්‍යවසායකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සහ විවිධ සේවා සැපයීම සිදුවන්නේ රාජ්‍ය සේවය තුළින්.

අද පවතින රාජ්‍ය සේවයේ ගැටලු රාජ්‍ය සේවයට නොව පෞද්ගලික අංශයටද බලපානවා. එදිනෙදා කුලී වැඩකරන අයට මෙන්ම මහා පරිමාණ ව්‍යවසායකයාටද අහිතකර වෙනවා. කාර්යක්ෂම රාජ්‍ය සේවයක් තිබීම රටක ආර්ථික සංවර්ධනයට මහෝපකාරී වෙනවා. අද රාජ්‍ය සේවයට විවිධ අර්බුදවලට ලක්වීමට සිදුව තිබෙනවා. පසුගිය කොරෝනා සමයේදීද රාජ්‍ය සේවකයන්ට නොයෙක් ගැටලුවලට මුහුණදීමට සිදුවුණා. සේවා කාලය ගැන නොසලකා  එක දිගටම වැඩ කරන්නට සිදුවුණා. එසේම වැටුප් සහ විවිධ දීමනා පවා නිසියාකාරව ලැබුණේ නැහැ. එහෙත් ඒ කාලයේ රාජ්‍ය සේවකයා ඒ කිසිදු පහසුකමක් නොලබා රට වෙනුවෙන් කැපවුණේ ඒ ස්වභාවික විපතින් රට බේරාගැනීම සඳහායි. රාජ්‍ය සේවයේ හැම අංශයක්ම මේ කාලයේ එකට බද්ධ වී එක අරමුණක් කරා යොමුව තිබුණා.

එහෙත් අද ඇතිවී තිබෙන ගැටලුව එලෙස ඇතිවූ ස්වභාවික හෝ වැළැක්වීමට නොහැකි තත්ත්වයක් නිසා ඇතිවූවා නොවෙයි. මෙම තත්ත්වයට අද රාජ්‍ය සේවකයාට සහ ජනතාවට මුහුණ දෙන්නට සිදුව තිබෙන්නේ අතීතයේ සිට අද දක්වාම පාලකයන් ගත් වැරදි තීරණ නිසයි. එහි ප්‍රතිඵල නිසා අද වනවිට රාජ්‍ය සේවය මෙන්ම රාජ්‍ය සේවකයාටද විශාල ගැටලු සම්භාරයකට මුහුණදෙන්නට සිදුව තිබෙනවා. රාජ්‍ය සේවකයන් යනු පින්පඩි ලබන අය නොවෙයි. අපි කැමැති නැහැ නිසි රාජකාරියක් නොකර වැටුප් ලබන්න, පහසුකම් ලබන්න, රජය අද වුණත් විටින් විට ගන්නා එකිනෙකට පටහැනි විවිධ තීරණ නිසා රාජ්‍ය සේවය අවුලෙන් අවුලට පත්වී තිබෙනවා. රාජ්‍ය සේවය පහත වැටෙනවාට, බිඳ වැටෙනවාට අපි කොහොමත් කැමැති නැහැ. සමස්ත රාජ්‍ය සේවකයන්ගේ තත්ත්වය ආරක්ෂා කර ගනිමින් තෘප්තිමත් රාජ්‍ය සේවයක් තුළින් ජනතාවට සහන සැලසීමයි අපේ අවශ්‍යතාව.

මෙහිදී සිදුව ඇත්තේ නරක අතරින් හොඳ එකක් තෝරා ගැනීමයි. හොඳම එක තෝරාගන්න බැහැ. මෙම වාතාවරණය තුළ ගතයුතු පියවර පිළිබඳ පරිපාලන නිලධාරී සංගමය යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒත් ප්‍රතිචාරයක් නැහැ. අද බොහෝ රාජ්‍ය සේවකයන් කලකිරිලයි ඉන්නේ.

අද පාසල්වල ඇත්තේ නිර්මාණය කළ ගැටලුවක්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්:

පසුගියදා නිකුත් කළ අංක 16/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය අනුව රජයේ ආයතන වසා දැමීමෙන් රජයේ අකාර්යක්ෂමතාව මනාව පිළිබිඹු වෙනවා. මේ වනවිට රටේ රාජ්‍ය ආයතන පවත්වා ගෙන ඒම නැවතී තිබෙනවා. එයින් සනාථ වන එකම කාරණය වන්නේ රජයට ආණ්ඩුව ගෙන යන්න බැරි බවයි. රාජ්‍ය ආයතන වහලා කොහොමද ආණ්ඩු කරන්නේ? මෙම තත්ත්වය පාසල්වල සහ විශ්වවිද්‍යාලවල දරුවන්ගේ අධ්‍යාපනයට අහිතකර ලෙස විශාලව බලපානවා.

2020 වසරේ කොවිඩ් 19 වසංගතය නිසා රජයේ සේවය දින 100යි පැවැත්වූයේ. මෙයද කොටස් දෙකකට කඩලා පැවැත්වූ නිසා සාමාන්‍යයෙන් වසරේ දින 50ක් පමණයි උගන්වන්න හැකිවුණේ. 2021 වසරේද දින 210ක් පැවැත්විය යුතු පාසල් පැවැත්වුණේ දින 100ක් පමණයි. අධ්‍යාපන ඇමැති කියන ගණන් මිනුම් වැරදියි. 2022 ඇතිවූයේ කොවිඩ් වැනි ස්වභාවික ආපදාවක් නොවෙයි. කොවිඩ් සමයේ වෙන රටවල් සැලසුම් සකස් කරලා විධිමත් ලෙස අධ්‍යාපනය ලබා දුන්නත් අපේ රටේ එහෙම වුණේ නැහැ.

අද ඇත්තේ නිර්මාණය කළ, අර්බුදයක්. ගුරුවරුන්ට පාසල් එන්න බැහැ. සිසුන්ටත් එන්න බැහැ. ගමන් ගාස්තු වැඩියි. පෞද්ගලික වාහනවල එන්න තෙල් නැහැ. පාසල් ප්‍රවාහන වෑන්රථවල ගාස්තු දරාගන්න බැරි තරමට ඉහළ ගිහින්. කිසිදු ඇමැතිවරයකුට කියන්න බැහැ වාහනවලට කවදා ඉන්ධන ලැබෙයිද කියලා. ඒ තත්ත්වය මත ඉදිරි කටයුතු සැලසුම් කරන්න බැහැ. අධ්‍යාපන ඇමැතිට ඒ ගැන සහතික වෙන්න බැරුව කොහොමද අධ්‍යාපන කටයුතු කරන්නේ?
ආණ්ඩුව ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය දෙන්න කියනවා. ගිය පාර ඔන්ලයින් අධ්‍යාපනය සියයට 35ක්ම සාර්ථක වෙලා නැති බව සමීක්ෂණවලින් සනාථ වෙනවා. දැන් මේ වනවිට මේ සඳහා වන වියදම දෙගුණ වෙලා තියෙනවා. නොමිලේ පහසුකම් දිය යුතු වුණත් තිබුණු මිලත් එක දෙක වෙලා. දරාගන්න බැහැ. දරුවන්ට අවුරුද්දට නියමිත විෂය මාලාව ආවරණය කරන්න බැරිවෙලා තියෙනවා. වසර තුනක් තිස්සේ අදාළ විෂය මාලාව අවසන් කරන්න බැරි වුණා යැයි කියන එක ජාතික අපරාධයක්. බරපතල ව්‍යසනයක්. මේ අපරාධය කළේ වෙන කවුරුත් නොවෙයි ආණ්ඩුවයි.

 යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05