දේශපාලන පක්ෂ සන්ධාන නිර්මාණය වන්නේ රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණින්ය. එහෙත් එලෙස නිර්මාණය වෙන දේශපාලන පක්ෂ සන්ධානවලට බලය ලබාගැනීමට රාජ්‍යයක් ඉතුරු වේදැයි අපට මතුවන්නේ සැකයකි. කෙසේ වෙතත් දේශපාලන තුළ කලින් කලට දේශපාලන සන්ධාන පක්ෂ නිර්මාණය වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙරට දේශපාලනය බලය නිරන්තර සන්ධාන විසින් දරන බැවිනි නව සන්ධානයක් බිහිවීම පිළිබඳව ලැබෙන ආරංචි මග හැර යාමට අපට නොහැකිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල්-උදය ඇතුළු කණ්ඩායම නව දේශපාලන සන්ධානයක් වෙනුවෙන් පිඹුරුපත් සකසමින් සිටිති. නමක් ගමක් නිල පිළිගැනීමක් නොමැතිව පක්ෂ 10යේ කණ්ඩායම පක්ෂ එකොලහේ කණ්ඩායම ලෙස හඳුන්වනු ලැබූ මෙම දේශපාලන බලවේගය මෑතකාලීනව දේශපාලනයේ තීරක බලවේගයක් බවට පත්විය. එමනිසාම ඔවුන්ගේ අතීත වර්තමාන අනාගත දේශපාලන භාවිතයන් පිළිබඳ සොයා බැලීමට අපි තීරණය කළෙමු. මන්දයත් අපගේ උපකල්පනය පරිදි පැහැදිලිවම ශ්‍රි ලංකාවේ දේශපාලනයේ ඊළඟ අදියරේදී ඔවුන් තීරණාත්මක භූමිකාවක් නිරෑපණය කරනු ඇත.
දැනටමත් හෙළිදරව් වී ඇති පරිදි ජාතික නිදහස් පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ඇතුළු හවුල් පක්ෂ නවය මූලිකත්වයෙන් පෙර කී සන්ධානය පිහිටුවීමට නියමිතය. සන්ධානයේ නව ව්‍යවස්ථාවද සකස් කොට අවසන් බව කියැවේ. නිලධාරි මණ්ඩලය පත් කිරීම සඳහා වන කටයුතුද සිදුවෙමින් පවතී. කෙසේ වෙතත් මෙම නව සන්ධානයේ නායකත්වය කා හටද යන්න පිළිබඳව තවදුරටත් අපැහැදිලිය. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර අය ජ්‍යෙෂ්ඨයන්ගේ නම් නායකත්ව කතිකාවේ තිබේ. නව සන්ධානයට මෙතෙක් නමක්ද ලබා දී නොමැත. ඒ සඳහාද විවිධ යෝජනා ඉදිරිපත් වී ඇති බව දැනගන්නට ලැබේ.
දේශපාලන සන්ධානයක් පිහිටුවා ගැනීම දක්වා මෙම කණ්ඩායමේ දේශපාලන භාවිතයන් මොනවාද? වර්තමානයේ ලාංකීය දේශපාලනයේ ඔවුන්ගේ දේශපාලන ස්ථානගතවීම කුමක්ද? අප පළමුව සාකච්ඡා කරමු. 2015ට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුකරණයේ යෙදෙන විට මෙම පිරිසෙන් බහුතරය එම සන්ධානයේ හවුල්කරුවෝ වූහ. අභ්‍යන්තර අර්බුද තිබූ නමුත් අවසානය තෙක්ම ඔවුන් රාජපක්ෂ ආණ්ඩුව සමඟ රුඳී සිටියහ. කෙසේ වෙතත් එම කාලයේ ඔවුන් සහ ආණ්ඩුව අතර වූ මත ගැටුම් පිළිබඳ සැකෙවින් කියවා ගැනීම වටී. මන්ද වර්තමාන නව සන්ධාන ක්‍රියාවලිය දක්වා විකාශනය වී ඇත්තේ එම ගැටුම්ය.
මෙම පිරිස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාරීත්වය දරන අවස්ථාවේ හටගත් ප්‍රධානතම ගැටුම මැතිවරණ නාම යෝජනා ගැටලුවයි. එවක මැතිවරණ නාම යෝජනා ක්‍රියාවලියේ අධිකාරීත්වය දැරෑ බැසිල් රාජපක්ෂ හවුල්කාර දේශපාලන පක්ෂ ඉල්ලූ කෝටාව බොහෝවිට කප්පාදු කළේය. එසේම තනතුර වරප්‍රසාද ආදිය සම්බන්ධයෙන්ද මෙම කණ්ඩායම නොසලකා හැරීම් වලට ලක්විය. දේශපාලන කරුණුවලට අමතරව ආර්ථික කාරණා සම්බන්ධවද එජනිස ආණ්ඩුවේ අවසාන සමයේ විශාල මත ගැටුම් හට ගත්තේය. බැසිල් රාජපක්ෂගේ ආර්ථිකය හැසිරවීම ප්‍රිය නොකළ විමල් වීරවංශ ආදීන් ආර්ථික ඝාතකයන් පිළිබඳ කළ කී දෑ තවත් කරළියේ සංවාද බඳුන්වේ. සැබැවින් ඒ වර්තමාන අර්බුදයේ මුදුන් මුලයි.
කෙසේ වෙතත් 2015 පරාජයෙන් පසුව යහපාලන ආණ්ඩුවට විරුද්ධ ප්‍රබල දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමට මූලිකවය ගත්තේ මෙම පිරිසයි. මහින්ද සුළඟ වැනි දේශපාලන ව්‍යාපෘති හරහා නැවතත් මහින්ද රාජපක්ෂ කරළියට ගෙන ඒමට මෙම කණ්ඩායම පෙරමුණ ගත්තේය. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලය රාජපක්ෂවරු වෙතින් ගිලිහී තිබුණි. එම නිසාම රාජපක්ෂ පුනරාගමනය වෙනුවෙන් වේදිකා තැනීම කොඩිවැල් බැඳීම මොවුහු සිය රාජකාරි කරගත්හ. බැසිල් රාජපක්ෂ නැවතත් පක්ෂයක් නිර්මාණය කරගෙන කරළියට පැමිණෙන්නේ මේ අතර කාලයේය. මෙම කණ්ඩායම සහ ශ්‍රීලනිපයෙන් වෙන්වී රාජපක්ෂ කඳවුරේ හුදකලා වූවන් ඒ වනවිට දේශපාලන කරමින් සිටියේ ඒකාබද්ධ විපක්ෂය නම් දේශපාලන එකමුතුවක් හරහාය.
තත්ත්වය එසේ වුවද රාජපක්ෂවරුන් ශ්‍රී ලංකා සියලුදෙනා පොදුජන පෙරමුණ වටා එකතුකර ගැනීමේ වැඩපිළිවෙළ බැසිල් රාජපක්ෂ සාර්ථක කර ගත්තේය. ශ්‍රීලනිපයෙන් වෙන් වූ කණ්ඩායමේද නව තොරාගැනීම පොහොට්ටුව විය. ඒ අනුව නැවතත් විමල් ඇතුළු කණ්ඩායම් හුදකලා වූහ. තීරණාත්මක දේශපාලන බලවේගයක් බවට පත්වීමට ඔවුනට තිබූ පළමු අවස්ථාව ගිලිහී ගියේ ලෙසිනි.
2018 පළාත් පාලන මැතිවරණය වනවිට බැසිල් රාජපක්ෂ සහ මෙම කණ්ඩායම අතර නැවත ගැටුම් නිර්මාණය වී තිබුණි. පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂක ලැයිස්තු පිළියෙල කිරීමේදී එම ගැටුම් මනාව නිරෑපණය විය. කෙසේ වෙතත් රාජ්‍ය බලය ලබාගැනීමේ අරමුණෙන් යුතුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග හවුලේ කටයුතු කිරීමට මෙම පිරිස් එකඟ වූහ. යහපාලන ආණ්ඩුවේ දුර්වලතාද ඊට හේතු විය. එහෙත් ජනාධිපතිවරණ අපේක්ෂකත්ව ගෝඨාභය රාජපක්ෂ කර ලබාදීම ආදී ගැටලුවලදී පොහොට්ටුව සහ මෙම පිරිස් අතර බෙදීම් රේඛාව නැවත නැවත නිරෑපණය විය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙම ගැටුම ආරම්භ වූයේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය ගෝඨාභය රාජපක්ෂ විසින් මෙහෙයවනු ලබනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරන මුත් එය ඉටු නොවුණි. වරාය ජැටිය ඉන්දියාවට විකිණීම සම්බන්ධ වූ අර්බුදය සමඟ ගැටුම් උග්‍ර අතට ගමන් කළේය. එතැනින් පසුව අප කවුරුත් දන්නා පරිදි කොවිඩ් සංචරණ සීමා ගැටුම, යුගදනවි බලාගාර ගැටුම ඇතුළු අවස්ථා ගණනාවකදී මෙම බෙදීම මනාව නිරෑපණය විය.
ආර්ථික අර්බුදය කරළියට පැමිණීම සහ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බවට පත්වීමත් සමග ගැටුම වර්ධනය වූ අතර මෙම කණ්ඩායම පැහැදිලි එකමුතුවක් ලෙස දේශපාලන කරලියේ වැඩ කිරීමට පටන්ගත්හ. විටෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම පිරිස සමඟ හවුලේ වැඩ කිරීමට කටයුතු කළේය. වෙනම පාර්ශ්වයක් ලෙස පොදු ජන පෙරමුණ ප්‍රමුඛ රාජ්‍ය නායකත්වය සමග මෙම කණ්ඩායම සාකච්ඡාවලට එළැඹුණි. විවිධ යෝජනා සහ අදහස් ප්‍රසිද්ධියට පත් කරන්නටද විය.
කෙසේ වෙතත් විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍ය පදවිවලින් ඉවත් කරන මොහොත දක්වාම මෙම කණ්ඩායම් දෙක අතර යම් යම් එකඟතා තිබුණි. මහින්ද රාජපක්ෂ නම් සාධකය ඒ සඳහා මූලික විය. මෙම දෙපිරිස සමගි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා නිරන්තර උත්සාහ දැරුවේය. එහෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයේ බැසිල් රාජපක්ෂවාදී මැති ඇමතිවරු සෘජුවම විමල් උදය ඇතුළු මෙම කණ්ඩායමට පහර දුන්හ. ඔවුන් කුමන්ත්‍රණකරුවන් ලෙස හඳුන්වනු ලැබීය.
කෙසේවෙතත් අවසානයේදී බෙදීම, පිරිස ආණ්ඩුවෙන් ඉවත් වීම දක්වා දුර දිග ගියේය. පොදුජන පෙරමුණ ආණ්ඩුවද බිඳවැටුණු අතර විමල්-උදය ඇතුළු කණ්ඩායම තීරණාත්මක දේශපාලන භූමිකාවක් නිරෑපණය කරන්නට විය. මේ වනවිට එම කණ්ඩායම දේශපාලන සන්ධානයක් ලෙස කරළියට පැමිණීම සඳහා සූදානම්ය. මෙය දීර්ඝ ක්‍රියාවලියක ප්‍රතිඵලයකි. මේ දේශපාලන වශයෙන් තනිකොට පැහැදිලි කළ නොහැකි සිද්ධි දාමයක ප්‍රතිඵලයකි.
කෙසේ වෙතත් මෙහිලා සලකා බැලිය යුතු කරුණු කාරණා කිහිපයකි. මෙම කණ්ඩායමේ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය නොවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද අභ්‍යන්තර අර්බුදයකට මැදි වී සිටින බැවින් නිර්මාණය වීමට යන සන්ධානය තුළ ඔවුන් නොරුඳෙනු ඇත. එහෙත් අනාගතයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද මෙම කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. කෙසේ නමුත් ඒ පිළිබඳ අනාවැකි කීමට තවම කල් වැඩිය.
මෙම කණ්ඩායම් අභ්‍යන්තරයද වාමාංශික අදහස් සහ ජාතිකවාදී අදහස් අතර ගැටුම් පවතින බව සිහිපත් කළ යුතුය. වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ ආදී ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන්ගේ අදහස් සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, අතුරලියේ රතන හිමි ආදී අයගේ අදහස් අතර නොගැලපීම් තිබේ. එම නිසාම මෙම සන්ධානය බිහි වුණද එහි ගැටුම් නිර්මාණය වීමට ඇති ඉඩකඩ විශාලය. කෙසේ වෙතත් පොදු ජන පෙරමුණ දුර්වල වී ඇති පසුබිමක එම කඳවුරේ ප්‍රමුඛයා බවට පත්වීමට මෙම නව සන්ධානය කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
දැනට අප වෙත ලැබී ඇති දේශපාලන ආරංචි අනුව ඉදිරි මාසයක දෙකක කාලය තුළ නව සන්ධානය නිල වශයෙන් බිහිවනු ඇත. මෙම සන්ධානය සමඟ හවුලේ වැඩ කිරීමට පොදුජන පෙරමුණෙන් ස්වාධීන වූ කණ්ඩායමද සැරසෙන බව කියැවේ. බොහෝවිට ඔවුන් වෙනත් පක්ෂයක් නිර්මාණය කර ගනිමින් අදාළ සන්ධානය සමඟ එකතු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය ශ්‍රී ලාංකීය දේශපාලනයේ සුවිශේෂි සන්ධිස්ථානයක් බව අවසානයේ කිව යුතුය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ වාමාංශික කඳවුරේ හුරුපුරුදු දේශපාලන භාවිතයට නව මුහුණුවරක් ලබාදීම මේ හරහා සිදුවේ.
චමිඳු නිසල් ද සිල්වා