මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නිවැසියන්ටත් ගම්මුන්ටත් කරදරයක් වී සිටි තරුණයෙකි. මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. එහිදී අධිකරණය නියෝග කොට තිබුණේ සැකකාර තරුණයා දීර්ඝකාලීනව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන කන්දකාඩුහි පිහිටි ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකරන ලෙසය.
මෙම මධ්‍යස්ථානය පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශය යටතේ පාලනය වන්නකි. අධිකරණ නියෝගය පරිදි සැකකාර තරුණයා පොළොන්නරුව කන්දකාඩු පිහිටි එම මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත්තේ ඉකුත් මැයි මස 22දාය. දැඩි ලෙස මත්කුඩු පානයට ඇබ්බැහි වී සිටි තරුණයා දීර්ඝකාලීනව මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින සෙසු පිරිස් මෙන්ම මුල් දින කිහිපය ගත කළේ දැඩි අසහනයකිනි.
දීර්ඝකාලීනව මත්ද්‍රව්‍ය භාවිත කළත්, පුනරුත්ථාපන කඳවුරේ ඊට ඉඩක් නොමැතිකමින් පුනරුත්ථාපනය සඳහා යොමුකරන පිරිස් මුල් මාසයක පමණ කාලයක් පසුවන්නේ දැඩි මානසික ව්‍යාකූලත්වයකිනි. ඔවුන් සිය අතපය කපා ගැනීම, අනෙක් පිරිස සමඟ වාදයේ පැටලීම, ගහ ගැනීම වැනි ප්‍රචණ්ඩත්වයන් සඳහා යොමුවෙති. ඇතැම්හු සියදිවි නසාගැනිමට උත්සාහ දරති. ඉකුත් මැයි 22දා පුනරුත්ථාපනය සඳහා යොමුකළ තරුණයාද මත්කුඩු නොමැතිව ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙමින් සියදිවි නසාගැනීම සඳහා උනන්දු වෙමින් සිටි අයකු බව සඳහන්ය.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දහස් ගණනක් මෙම මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වී දැනට සමාජගත වී සිටිති. යුද හමුදාවේ ආරක්ෂාව හා අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මධ්‍යස්ථානය එළිමහන් නිදහස් පරිසරයක පිහිටුවූවකි. එම පරිශ්‍රයේ මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිතය හෝ ළඟ තබා ගැනීම සපුරා තහනම් තැනක් වුවද එවැනි තහනම් ගණයට අයත් වන දුම්කොළ යම් ප්‍රමාණයක් මැයි 22දා පුනරුත්ථාපනය සඳහා යොමුකළ තරුණයා ළඟ තිබී එම මධ්‍යස්ථානයේ උපදේශකවරයකුට හමුව ඇත. ඒ පසුගිය 28 වැනිදාය. එම දුම්කොළ ඔහුට ලැබුණු ක්‍රමය පිළිබඳව විමසා ඇතත් ඊට නිසි පිළිතුරක් ලබාදී නැති බව වාර්තාවේ. මේ අතර කියැවෙන්නේ එම කාරණය මුල්කරගෙන අදාළ තරුණයාට උපදේශකවරුන් කිහිපදෙනකු විසින් පහරදී තිබෙන බවය. මෙම පහරදීමත් සමඟ රුඳවියන් හා උපදේශකවරුන් අතර තරමක නොසන්සුන්තාවයක් හටගෙන තිබූ බව වාර්තා වේ.
කෙසේ හෝ තත්ත්වය යම් තරමකට සමනය වී තිබුණේ 28 වැනිදා රාත්‍රිය ගෙවෙමින් තිබියදීය. එකිනෙකා නින්දට ගොස් පසුදා අවදි වුවද පෙරදින පහරකෑමට ලක්වූ බව කියන රැඳවියා අවදි වී නැත. ඒ පිළිබඳ සොයාබැලීමේදී එම රැඳවියා අබිරහස් ලෙස මියගොස් සිටි බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ හාලිඇල දෙමෝදර 7 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි බුද්ධික රාජපක්ෂ (25) නැමැත්තෙකි.
පුනරුත්ථාපනය වෙමින් සිටි මත්කුඩු ලෝලියකු එම මධ්‍යස්ථානයේදී සැකසහිත ලෙස මියයාම සම්බන්ධයෙන් හටගත් නොසන්සුන්තාව අතරතුර පුනරුත්ථානය වෙමින් සිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 750 දෙනකු පමණ ගේට්ටු හා වැටවල් කඩාගෙන පලාගොස් තිබුණි. ඔවුන්ගේ පලායාම නැවැත්වීම සඳහා කටයුතු කළ යුද හමුදාවට පිරිස විසින් ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබිණි. මෙම ගැටුමත් සමඟ එම මධ්‍යස්ථානයේ නවතා තිබූ බස් රථයකට යතුරුපැදියකට ඇතුළු තවත් දේපල රැසකට කුපිත වූ රැඳවියන් පහරදී අලාභහානි කර ඇත. තත්ත්වය පාලනය කිරීම සඳහා පොළොන්නරුව වැලිකන්ද ඇතුළු පොලිස් ස්ථාන කිහිපයකින් අමතර පොලිස් කණ්ඩායම් කැඳවා තිබූ අතර පිරිස පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබිණ.
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ මරණයක් සිදුව ඇති බව වැලිකන්ද පොලීසියට දැනුම් දී තිබුණේ 29 වැනිදා පෙරවරුවේය. විමර්ශනය සඳහා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියද විරෝධය පාමින් සිටි රැඳවියන් මිනිය තිබූ ස්ථානයට ළඟාවීමට හෝ ඉඩක් ලබාදී නැත. එහිදී එම රැඳවියන් කියා සිට ඇත්තේ මියගිය රැඳවියාට දුම්කොළ ලැබුණු ආකාරය පිළිබඳව ප්‍රශ්න කරමින් උපදේශකවරු පහරදුන් බවත් ඒ හේතුවෙන් මරණය සිදුව තිබෙන බවත්ය.
මේ අතර පිරිස කෑකෝ ගසමින් විරෝධතාවයේ නිරතව සිටියදී කියමින් ඇත්තේ එම භූමියට ජනමාධ්‍ය කැඳවන ලෙසත් ඔවුන් පැමිණි පසුව මළසිරුර බාරදෙන බවත්ය. ඒ සම්බන්ධයෙන් පොලීසිය සහ උපදේශකවරු අතර සාකච්ඡාවක් සිදුකර තිබෙන අතර එහි සිදුවන ප්‍රමාදය හමුවේ රැඳවියන් තවදුරටත් කුපිත වී දේපලවලට පහරදී අලාභ හානි සිදුකර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ 29 වැනි දින පස්වරුවේ පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා මරණය සිදුවූ ස්ථානයට ගොස් නිරීක්ෂණය කළ බවය. පොළොන්නරුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා එම ස්ථානය නිරීක්ෂණය කොට පිටව ගිය පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළසිරුර පොළොන්නරුව රෝහල වෙත රැගෙන යාමට සූදානම් වී ඇත. එම අවස්ථාවේදී රැඳවියන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු බව පොලීසිය පවසයි. එහිදී පිරිසක් මළසිරුර ඔසවාගෙන සෝමාවතිය මාර්ගය දෙසට ගමන්කර තිබුණි. එය පාලනය සඳහා පොලීසිය දැඩි වෙහෙසක් දරා තිබුණු අතර එදින රාත්‍රියේ මළසිරුර රුඳවියන් විසින් පොලීසියට බාර දී ඇත.
මෙම සිදුවීම වන අවස්ථාවේ පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් 998 දෙනකු රඳවා සිටි බව කියැවේ. කලහකාරී සිදුවීමත් සමඟ 29 වැනිදා රාත්‍රිය වනවිට එම මධ්‍යස්ථානයේ 250ක් පමණ රැඳවියන් හැර සෙසු පිරිස පලාගොස් තිබූ බව එම පාලනාධිකාරිය සඳහන් කළේය. මෙසේ පලාගිය පිරිසෙන් 250කට ආසන්න පිරිසක් එදිනම නැවත කොටුකර ගැනීමට යුද හමුදාව සමත්ව තිබුණේ සෝමාවතිය රක්ෂිත තුළ සිදුකළ මෙහෙයුමකින් පසුවය. එම පිරිස පොලීසියට බාරකොට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත වූ අතර එම රැඳවියන් බහුතරයක් පවසා ඇත්තේ නැවත එම පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යා නොහැකි බවකි.
මෙම සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ''දීර්ඝකාලයක පටන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් මෙහි පුනරුත්ථාපනය කරනවා. අලුතින් ආපු රැඳවියන් මුල් මාසයක් විතර යනකම් බොහොම අසහනයෙන් ගත කරනවා. ශරීරය තුවාල කර ගන්නවා. ගැටුම් ඇතිකර ගන්නවා. දිවි හානි කරගන්න හදනවා. දුම්කොළ ළඟ තබාගත් සිදුවීමක් වාර්තා වෙලා තිබෙනවා. එම ප්‍රශ්න කිරීම් සමඟ ගැටලුව නිරාකරණය වෙලා තිබෙනවා. කොහොම නමුත් මේ රැඳවියා පසුදින මියගොස් ඇති බව දැනගෙන තිබෙනවා. මරණය පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනවා. වරදකරුවන් හඳුනාගෙන නියමිත දඬුවම් ලබාදීමට පියවර ගන්නවා'' යැයි පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ රැඳවියන්ට එරෙහිව පලායාමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවය. එමෙන්ම මරණයට පත්වූ පුද්ගලයාගේ මරණය සිදුවූ ආකාරය සම්බන්ධයෙන්ද විමර්ශනයක් ආරම්භ කර ඇත. පොලොන්නරුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම මත වැලිකන්ද පොලීසිය මගින් ඉදිරි විමර්ශනය ක්‍රියාත්මකය.
සමන්ත ප්‍රදීප් විල්තෙර