ඉතා සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත BA5 නැමැති නව කොවිඩ් ප්‍රභේදයක් මේ වනවිට ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක ව්‍යාප්ත වෙමින් පවතින බවත් මෙය දැනට ඇති ප්‍රතිශක්තිය මග හැරිය හැකි වෛරස් ප්‍රභේදයක් ලෙසද සැලකෙන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කර තිබුණි. ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ වෛරස ප්‍රභේදය සහ තවත් විකෘත නව මාදිලි කිහිපයකම බලපෑම ගැන ලෝක ප්‍රජාව හදිසියේ දැනුවත් කිරිමට කටයුතු කර තිබුණි.
මෙලෙස ලොවපුරා Covid හි නැවුම් වැඩිවීමක් ඇති කර තිබුණේ Omicron හි වේගයෙන් ව්‍යාප්ත වන නව උප ප්‍රභේද දෙකක් මගිනි. මෙතෙක් ලොව පුරා ව්‍යාප්ත වූ වෛරස් ප්‍රභේදයන්ට වඩා ප්‍රබල සහ වේගවත් පැතිර යාමක් පෙන්නුම් කරන BA.4 සහ BA.5 මෙම ප්‍රභේදයන්ය. මේ වෛරස් ප්‍රභේද ඉදිරියේදී ලෝක සෞඛ්‍යයට ඉතා බරපතළ තත්ත්වයක් ඇති කරනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ අතර අනතුරු අඟවා තිබුණි. ඔවුන් පෙන්වා දී තිබුණේ මේ වනවිට ලොව රටවල් 110ක මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූවන් සොයාගෙන ඇති බවයි.
මෙම වෛරස් ප්‍රභේදය පැතිර ගියහොත් ඒ හරහා සමස්ත ගෝලීය රෝගීන්ගේ 20%ක පමණ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත. එමෙන්ම මේ වනවිටත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කලාප හයෙන් තුනක මෙම වෛරස් ප්‍රභේදයේ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. නවතම රුල්ල මෙහෙයවනු ලබන්නේ නව ප්‍රභේද වන BA.4 සහ BA.5 මගිනි, එය දැන් එංගලන්තයේ වාර්තාවන සියලුම නව Covid-19 රෝගීන් අතරින් අඩකට වඩා වැඩි වේ.
එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සිය (UKHSA) විසින් ප්‍රකාශයට පත්කරන ලද පර්ෙය්ෂණ දත්තවලින් පෙනී යන්නේ BA.5 කලින් පැවැති BA.2 ට වඩා දළ වශයෙන් සියයට 35ක වේගයෙන් වර්ධනය වන අතර BA.4 සියයට 1 ක වේගයෙන් වර්ධනය වන බවයි. මෙයින් අදහස් කරන්නේ BA.5 ඉක්මනින්ම රටේ ප්‍රමුඛ Covid-19 ප්‍රභේදය බවට පත් වීමට ඉඩ ඇති බවය. BA.4 සහ BA.5 ප්‍රථම වරට දකුණු අප්‍රිකාවේ හඳුනාගෙන ඇති අතර ඉක්මනින් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ ප්‍රමුඛතම වික්‍රියා බවට පත්විය හැකි බව සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයයි.
බොහෝ යුරෝපීය රටවල දැන් එය පැතිර ඇති අතර ඉක්මනින්ම වෙනත් වර්ගවල කොවිඩ් වෛරස අභිබවා යාමට සූදානම් බව සනාථ වී ඇත. එය දැනටමත් පෘතුගාලයේ සිදුවී ඇත. BA.5 දැන් එහි ප්‍රමුඛ වෛරසය වේ. දැනට එක්සත් රාජධානියේ කොවිඩ් ආසාදනද BA.4 සහ BA.5 මගින් මෙහෙයවනු ලබන ඉහළ යාමක මුල් ලක්ෂණ පෙන්නුම් කර තිබේ. ඕස්ට්‍රේලියාවේද රෝගීන් වාර්තා වී ඇත.
බොහෝ අය අතීත ආසාදනවලින් සහ එන්නත් කිරීමෙන් යම් ප්‍රතිශක්තියක් ගොඩනඟා ගෙන ඇති අතර, එය සමස්තයක් ලෙස රෝගය අවදානම අඩු කිරීමට උපකාරී වනු ඇත. නමුත් නව උප ප්‍රභේද වඩාත් පහසුවෙන් ව්‍යාප්ත වන බව පෙනේ. මෙයට හේතුව කාලයත් සමග ප්‍රතිශක්තිය අඩු වීම විය හැකි අතර වෛරසය ගොදුරු වී ඇති නව විකෘති නිසාද ඒ අන්දමට ඉක්මන් බෝවීමක් සිදුවේ.
මේ වනවිට බොහෝ රටවල් ඔවුන්ගේ කොවිඩ් සීමාවන්ද ඉවත්කර ඇත. එයින් අදහස් වන්නේ දැන් මිනිසුන් වැඩිපුර මිශ්‍රවන අතර එමඟින් වෛරසය පැතිරීමට වැඩි අවස්ථාවන් ලැබී ඇති බවය. මෙවන් BA.4 සහ BA.5 නව ආසාදන රුල්ලක් මගින් නැවත වැඩි පිරිසක් රෝහල් ගතවීම්වලට සහ තවත් මරණවලට හේතු විය හැක. අනෙකුත් කොවිඩ් ප්‍රභේද මෙන්ම, මෙහිද අවදානම හෝ බරපතල රෝගාබාධ වැඩිම වශයෙන් පවතින්නේ වයෝවෘද්ධ හෝ සැලකිය යුතු නිදන්ගත සෞඛ්‍ය තත්වයන් ඇති පුද්ගලයින් සඳහාය.
වත්මන් එන්නත් පරිපූර්ණ නොවුණත්, ඒවා තවමත් හොඳම ආරක්ෂක මාර්ගය බව වෛද්‍ය විශේෂඥයෝ මේ සම්බන්ධව ගතහැකි පූර්ව ආරක්ෂණ පියවර ලෙස පෙන්වා දෙති. දැනට භාවිත එන්නත් ඩෙල්ටා, ඇල්ෆා, බීටා සහ ගැමා ඇතුළු අනෙකුත් ප්‍රධාන කොවිඩ් ප්‍රභේදවලට එරෙහිව දරුණු රෝගාබාධ ඇතිවීමේ අවදානම අඩුකර ඇත. මේ නිසා පවතින සහ මෙවන් නැගී එන ප්‍රභේදවලට එරෙහිව උපරිම ආරක්ෂාවක් ලබා ගැනීම සඳහා නිර්දේශිත මාත්‍රා ගණන ලබාගැනීම අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙති. මෙම නව Covid ප්‍රභේදවලට එරෙහිව එන්නත්වල යාවත්කාලීන කරන ලද නව අනුවාද දැනටමත් නිර්මාණය කර, පරීක්‍ෂා කරමින් පවතී. නිෂ්පාදකයින්ට ඉක්මනින් නිෂ්පාදනය ඉහළ නැංවිය හැකි අතර, අනුමත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරන්නේ කෙසේදැයි නියාමකයින් දැනටමත් සාකච්ඡා කරමින් සිටිති.
ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ආචාර්ය චන්දිම ජීවන්දරට අනුව ඔවුනට ලංකාව තුළින් තවමත් මේ ප්‍රභේද වාර්තා වී නැත. නමුත් ලොව පුරා මෙම ප්‍රභේදය වේගයෙන් පැතිර යන හෙයින් එය අප රටටද ළඟාවීමේ අවදානම ඉහළය. ඒ නිසාම ශ්‍රී ලංකාවද මේ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
මේ නව විශේෂය ශ්‍රී ලංකාවට කෙසේ බලපානු ඇතිද යන්න ගැන අප කළ විමසීමකදී වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවැසූවේ දැනට ලබා දෙන වර්ධක එන්නත් (බූස්ටර්) මාත්‍රා නිසි පරිදි ලබා ගැනීම මේ නව ප්‍රභේද වලට ඒරෙහිව නැවත ප්‍රත්ශක්තිය වගාකර ගැනීම සඳහා අත්‍යවශ්‍යම ආරක්ෂණ පියවරක් බවය. මේ වනවිට මුල් එන්නත ගත් අය තුළ පවා ප්‍රතිශක්තිය යම් දුරකට අඩු වී ඇති නිසා වර්ධක මාත්‍රාව ලබා ගැනීමෙන් රෝගයෙන් ගැළැවී සිටින්නට අවශ්‍ය හැකියාව ලැබෙන බව ඔහු පෙන්වා දෙයි. තවමත් වයස අවුරුදු 20ට වැඩි පිරිස මේ වර්ධක මාත්‍රා සම්පූර්ණ ලෙස ලබාගෙන නැති නිසා ලබාදිය හැකි වඩාත් හොඳම සෞඛ්‍ය උපදේශය වන්නේ වහාම ඒ මාත්‍රාවන් සපුරා ගන්නා ලෙස ඉල්ලීම යැයි ඔහු කියයි.
ලංකාව තුළ දැනට කොවිඩ් කිසියම් මට්ටමකට පාලනයට ලක්ව ඇතත් සමාජ ප්‍රතිශක්තිය අඩු වුවහොත් ඕනෑම අවස්ථාවක අලුත් කොවිඩ් රුල්ලක් පැතිර යාමේ අවදානම ඇති බවත් මේ පිළිබඳ නිදර්ශන වෙනත් රටවලින් ඕනෑ තරම් හමුවන බවත් ඔහු කියයි.
අලුතෙන් බිහිවන ප්‍රභේද- නව විකෘති, ලංකාව තුළට ඕනෑම මොහොතක පැමීණිමට ඕනෑ තරම් ඉඩකඩ ඇති බවත් ඒ නිසා තම ප්‍රතිශක්තිය නිසි පරිදි උපරිම මට්ටමකට වර්ධනය කර තබා ගැනීමෙන් පමණක් තවමත් ලෝකයෙන් තුරන්ව නැති කිසියම් පාලනයකට පමණක් යටත්ව සැඟවී සිටින සතුරෙකු වන කොවිඩ් 19 ට සහ එහි නව ප්‍රභේද සඳහා ගත හැකි හොඳම පූර්ව ආරක්ෂණය බව ඔහුද අවධාරණය කරයි.
I සුගත් පී. කුලතුංගආරච්චි