2022 ජුලි 03 වන ඉරිදා

ගිනි පොලියට යන ක්‍රෙඩිට් කාඩ්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 251

හරපත් හෙවත් ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ ජනතාව අතර යළිත් සංවාදයක් නිර්මාණය වූයේ ක්‍රෙඩිට් කාඩ් පොලිය අසීමිත ලෙස වැඩිවීම හේතුවෙනි. අද රටේ සෑම පාරිභෝගික භාණ්ඩයකම මිල ඉහළ ගොස් ඇති අතර එවැනි පසුබිමක හරපත් පොලිය ඉහළ යාම ජනතාවට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් වැනි විය. රටේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන බොහෝ දෙනෙක් දිළිඳු සහ මධ්‍යම පාන්තිකයන් වන අතර ඔවුන්ට මෙමගින් යම් සහනයක් ඇතිවිය යුතුව තිබියදී එය තවත් විපතකට හේතුවක් නම් එම තත්ත්වයට ඉක්මන් විසඳුමක් අවශ්‍ය වෙයි.

මේ වනවිට රාජ්‍ය බැංකු, පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන මගින් ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනු සිදුවේ. දිවයිනේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ විසි දෙකක් පමණ වන අතර ගනුදෙනු වන ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව මෙයට වැඩිය. එයට හේතුව ඇතැම් අය ක්‍රෙඩිට් කාඩ් එකකට වැඩියෙන් පාවිච්චි කිරීමය. මෙම සමස්ත ක්‍රෙඩිට් කාඩ්වල නොගෙවූ වටිනාකම 2022 වසරේ මාර්තු අවසන් වනවිට රුපියල් බිලියන 138.8ක් වී ඇත. අද සාමාන්‍ය ජනතාව තමන්ට අත්‍යවශ්‍ය ආහාර පාන සහ පාරිභෝගික ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලට ගන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් මගිනි. මුල් කාලයේ සුපිරි වෙළෙඳසල් පමණක් මෙම කාඩ් පිළිගත්තද මේ වනවිට නගරයේ මෙන්ම ගමේද බොහෝ වෙළෙඳසල්වලින් ක්‍රෙඩිට් කාඩ්වලට භාණ්ඩ ලබාගත හැකිව තිබේ. මෙය එක් අතකින් දුප්පත් ජනතාවට සහනයක් බව ඇත්තකි. එහෙත් එම සහනයට මුවා වී ඔවුන් ඒ මගින් ගසා කන්නේ නම් ඒ පිළිබඳ ගවේෂණයක යෙදීම වැදගත්ය.

බැංකු සහ මූල්‍ය ආයතන ක්‍රෙඩිට් කාඩ් සඳහා අයකරන පොලිය ගැන සොයා බැලීමේදී අනාවරණය කරගත හැකිවූයේ එම ප්‍රමාණය සියයට 30ක මට්ටමේ පවතින බවය. ඇතැම් බැංකුවල සියයට 30කට අඩු අතර ඇතැම් ඒවායේ එම සීමාව ඉක්මවා ගොස් ඇත. පාරිභෝගිකයා ගෙවීම් කිරීමේදී මුලින්ම කපාගනු ලබන්නේ පොලියයි. ණය මුදල ආවරණය කෙරෙන්නේ ඉන් අනතුරුවය. මේ නිසා ණය මුදල දිගටම එක ලෙස පැවතීමක් සිදුවේ. අඩුවෙන්නේ නම් සුළු ප්‍රමාණයකි. එයින් පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවේ. දිගටම පොලිය ගෙවීමට ඔහුට සිදුවීමට එය හේතුවෙයි. එසේම පොලිය ගෙවීම ප්‍රමාද වනවිට දඩ පොලියක්ද ගෙවීමට පාරිභෝගිකයාට සිදුවනු ඇත.

ක්‍රෙඩිට් කාඩ් සමාජයේ වැඩිපුර පරිහරණය වෙන්නේ තරුණ කණ්ඩායම් අතරය. එක්තරා කාලයකදී මෙය රුල්ලක් බවට පත්ව තිබුණි. ක්‍රෙඩිට් කාඩ් ව්‍යාප්ත කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අතර මෙන්ම මූල්‍ය සමාගම් අතරද දැඩි තරගයක් ඇතිව තිබේ. ඇතැම් ආයතන තම ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ මිලදී ගැනීම සුවිශේෂ වෙළෙඳ ආයතන නියම කර ඇති අතර ඒවායින් මිලදී ගැනීම් කරන විට විශාල වට්ටම් ප්‍රමාණයක් ලැබේ. හෝටල් සහ තානායම් ආදියේ බිල් ගෙවීමේදීද නම්කරන ලද ණයපත් මගින් ගෙවන්නේ නම් ඇදහිය නොහැකි තරම් වට්ටම් අඩු කිරීමක් සිදුවේ. මෙලෙස කටයුතු කරනුයේ තම ක්‍රෙඩිට් කාඩ් ජනප්‍රිය කරවීමට වන අතර මේ ක්‍රමයට අඩුවන මුදල ආයතන දෙකෙන්ම දරාගන්නා බව පෙනෙන්නට ඇත.

ක්‍රෙඩිට් කාඩ්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී පාරිභෝගිකයාට සිදුවන අසාධාරණකම් බොහෝය. ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන තැනැත්තා බොහෝවිට තමා මිලට ගන්නා භාණ්ඩයේ මිල පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. භාණ්ඩ ට්‍රොලියට දමාගෙන කවුන්ටරය වෙත ගොස් බිල ගෙවන නිසා තමා මිලට ගත් භාණ්ඩ එකිනෙකේ මිල පිළිබඳ විමසීම් නොකරන බව පෙනේ. ඒ නිසා ඇතැම් අවස්ථාවල පාරිභෝගිකයාට වැඩි මිලට මිලදී ගැනීමට සිදුවේ. පොකැට්ටුවෙන් මුදල් එවෙලේම ගෙවන්නේ නම් තමන් වියදම් කරන මුදල හා අතැති මුදල පිළිබඳ දැනුවත් වන නමුත් ණය කාඩ් මගින් ගෙවන විට එවේලේ මුදල් නොගෙවන නිසා පාරිභෝගිකයා තමාගෙන් අයවන මුදල පිළිබඳ සැලකිල්ලක් නොදක්වයි. එසේම මෙහිදී අත්‍යවශ්‍ය නොවන අනවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමටද ප්‍රවනතාවක් ඇතිවේ. බොහෝ වෙළෙඳ භාණ්ඩවල ඇසුරුම් ඉතා චිත්තාකර්ෂණීය ලෙස පාරිභෝගිකයා නතුකර ගැනිමේ පරමාර්ථයෙන් සකස් කර ඇති නිසා හැඟීම්වලට වහල්වන පාරිභෝගිකයා වැඩිදුරටත් කල්පනා නොකර බාහිර පෙනුමට මුලාවී භාණ්ඩ මිලට ගැනීමට උනන්දු වෙයි. එසේම අත්පිට මුදලට ගෙවා මිලදී ගන්නා භාණ්ඩ ප්‍රමාණයට වැඩියෙන් මිලදී ගැනීමද මෙහිදී සිදුවේ. එයට හේතුව එකවර මුදල් ගෙවීමක් සිදු නොවන නිසාය. මේ ආදී වශයෙන් ක්‍රෙඩිට් කාඩ් මගින් පාරිභෝගිකයා නොමග යවා අලෙවි කිරීමක් සිදුවෙයි. බොහෝ අවස්ථාවල ඔහු හැඟීම්වලට වහල් වී කටයුතු කරන නිසා අසාධාරණයට ලක්වෙයි. මේ නිසා ක්‍රෙඩිට් කාඩ් මගින් මිලදී ගැනීමේදී භාණ්ඩ තෝරාගන්නා විට වඩාත් කල්පනාකාරී විය යුතුය.

අද වනවිට සෑම භාණ්ඩයකම මිල ඉහළ ගොස් පාරිභෝගිකයා අමාරුවේ වැටී සිටින අවස්ථාවක ක්‍රෙඩිට් කාඩ්වලටද ඉහළ පොලී අනුපාතයක් නියම කර තිබීම පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටීමක් වේ. මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව පොලී අනුපාත නියම කිරීමේදී බැංකු සහ මූල්‍ය ආයතනවලට නිසි මග පෙන්වීමක් නොකිරීමය. මෙයට පෙර ක්‍රෙඩිට් කාඩ්වල උපරිම පොලිය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය කළද මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව එම වගකීමෙන් නිදහස්ව එය එම ආයතනවලටම පවරා තිබේ.

මේ පිළිබඳ විමසීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ක්‍රෙඩිට් කාඩ් පිළිබඳ රාජ්‍ය පෞද්ගලික බැංකු සහ මූල්‍ය ආයතන අතර මේ වනවිට තරගයක් ඇතිව ඇති බවය. පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ඔවුන් එකිනෙකා පරයා විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටී. මේ නිසා පොලිය නියම කිරීමේදී එම ආයතන වැඩි පොලියක් අය කිරීමෙන් වැළකී සිටීමට සිදුව ඇත. එයට හේතුව පොලිය වැඩිවන විට පාරිභෝගිකයා වෙනත් ආයතනයකට ඇදී යාමේ ප්‍රවනතාව වැඩිවීමය. මේ නිසා පොලිය නියම කිරීම ස්වයංක්‍රීයව පාලනය වන බව ඔහුගේ අදහස විය.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මෙලෙස ක්‍රෙඩිට් කාඩ් ප්‍රචලිත කිරීම බැංකුවල ද්‍රවශීලතාවය ඉහළ නැංවීමට හේතුවන බවය.

අපේ රටේ සාක්ෂරතාව ඉහළය කියලා කිව්වට මූල්‍ය සාක්ෂරතාව ඉතාම පහළ මට්ටමෙයි තියෙන්නේ. ඒ නිසා ජනතාවට නියම පොලිය තේරුම් ගන්න බැහැ. රටේ මූල්‍ය සාක්ෂරතාව සියයට 30ක් පමණ මට්ටමෙයි තියෙන්නේ. මෙම තත්ත්වය නිසා අත්තනෝමතික ලෙස ණයපත් පාවිච්චි කරන ජනතාව අමාරුවේ වැටෙනවා. මේ පිළිබඳ වැටහීමක් නොමැතිව ණයපත් පරිහරණය කිරීම නිසා ණයවලට දුන් කාලය ඉක්මවා ගියවිට වැඩි පොලියක් ගෙවන්නට සිදුවීමෙන් පාරිභෝගිකයා විපතට පත්වෙනවා. ඒ නිසා ණයපත් පරිහරණය කරන ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමුකළ යුතුයි.

මේ දිනවල භාණ්ඩ මිල වැඩිවෙලා ජනතාවගේ ජීවන ගැටලු උග්‍ර වූ විට එයින් තාවකාලික සහනයක් ලැබීම සඳහා ණයපත් උපයෝගී කර ගන්නවා. ඒත් දිගටම ණය වැඩිවෙලා පොලිය ඉහළ ගොස් විශාල මුදලක් ගෙවන්නට වනවිට පාරිභෝගිකයා අමාරුවේ වැටෙනවා. ණයපත් නිකුත් කරන විට කොන්දේසි සහිත ලිපියකට අත්සන් ලබාගන්නවා. එය කියවා අත්සන් කරන අය අඩුයි. කුඩා අකුරුවලින් ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන නිසා අන්තර්ගතය වටහා ගන්න අමාරුයි. ඒ නිසා අත්සන් කළ අය වගකීම්වලට බැඳෙනවා. ණයපත් ගන්නා අය එයින් යම් සහනයක් සලසා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. එහෙත් බොහෝදෙනා අනවශ්‍ය බර කරට අරන් අමාරුවේ වැටෙනවා.

2020 වසරේ 3 කාර්තුව වනවිට ක්‍රෙඩිට් කාඩ් දහනව ලක්ෂ අසූ එක්දහස් දෙසීය අසූපහක් (19,81,285) පරිහරණය වී ඇති අතර 2021 වසරේ 3 වන කාර්තුව වනවිට ඒ ප්‍රමාණය විසි එක් ලක්ෂ හැත්තෑ එක්දහස් තුන්සිය හතළිස් හතක් (21,71,347) දක්වා වැඩිවෙලා තියෙනවා. 2022 මාර්තුවල පමණක් ක්‍රෙඩිට් කාඩ්පත් බිලියන 3.9ක් පමණ වැඩිවෙලා ඇත. 2022 පළමු මාස තුන තුළ පමණක් බිලියන 5.5කින් වැඩිවෙලා තියෙනවා.

2021 වසරේ 3 කාර්තුව වනවිට ණය ගෙවීම් පැහැර හැරි කාඩ් සංඛ්‍යාව එක් ලක්ෂ හැත්තෑපන් දහස් එකසිය පනස් දෙකක්. එහි වටිනාකම රුපියල් බිලියන 16.4 හෙවත් රුපියල් කෝටි 16400ක්. 2022 වසරේ අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම පොලී අනාපතය ඉවත් කිරීමෙන් පසු බැංකු එම පොලිය සියයට 30 දක්වා වැඩිකළා. උද්ධමනය ඉහළ යාම නිසා ක්‍රෙඩිට් කාඩ්වල ඉල්ලුම වැඩිව ඇති අතර පසුගිය මස තුන තුළ බලපත්‍රලාබී වානිජ බැංකු නිකුත් කළ ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය තිස් අට දහස් දෙසීය එකකින් වැඩිවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අනුව සනාථ වෙයි. මාර්තු මස පමණක් වැඩිවී ඇති සංක්‍යාව 18716ක්. මෙයින් පෙනෙන්නේ උද්ධමනය වැඩිවීම ක්‍රෙඩිට් කාඩ්වලට බලපා ඇති අයුරුය. ජනතාව ක්‍රෙඩිට් කාඩ් නමැති මිරිඟුව පසුපස දිගටම දුවන බව මෙයින් සනාථ වෙනවා

පාරිභෝගික අයිතීන් සුරුකීමේ ජාතික සංවිධානයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ ක්‍රෙඩිට් කාඩ් ව්‍යාපාරය තුළින් පාරිභෝගිකයා ඉතා සූක්ෂම ලෙස ගසා කන බවය.

මේ දිනවල ජනතාව ඉතාම අපහසුතාවයෙන් ඉන්නේ. හැම දේකම මිල වැඩියි. ආදායම අඩුවෙලා. හැමදෙනාම ජීවත්වීමේ අරගලයක නිරත වෙලයි ඉන්නේ. එසේ තිබියදී ජනතාව සූරා ගැනීමට බැංකුවලට ඉඩදී රජය බලා සිටීම ඉතාම අසාධාරණයි.
දියුණු වන ලෝකයේ මුදල් පරිහරණය අඩුකරලා ජනතාව ඊ ගනුදෙනුවලට හුරු කිරීමයි ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයේ බලාපොරොත්තුව වුණේ. දුරකතන බිල්, විදුලි බිල්, ජල බිල් ආදිය මුලින්ම ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමට දිරි දුන්නා. අනතුරුව මෙම තත්ත්වය දියුණුවෙලා මුදල් ගෙවිය හැකි බොහෝ ක්ෂේත්‍ර පුළුල් වුණා. එහෙම සිද්ධ වුණාට පසුව ආණ්ඩුව එය නියාමනය කිරීමෙන් ඉවත්වෙලා පාරිභෝගිකයා එම පුද්ගලික ආයතනවලට ඕනෑතරම් සූරා ගන්නට ඉඩ දුන්නා. අද වෙලා තිබෙන තත්ත්වය එයයි. ජනතාව බඩු ගන්නා විට සෑම වෙලාවේම බිල බලන්නේ නැහැ. බඩු අරගෙන කාඩ් එක දෙනවා. මාසයක් දෙකක් යනතුරු මොකක්ද වුණේ කියලා ඔහු දන්නේ නැහැ. අය කරන මිලට කවුරුවත් තර්ක කරන්නේ නැහැ. අතේ සල්ලි දීලා ගන්න විට අඩුකර ගන්න උත්සාහ කළත් ක්‍රෙඩිට් කාඩ්වලට ගන්න විට එහෙම වෙන්නේ නැහැ. නියමිත මුදලම ගෙවනවා.

මෙහි තවත් සූරා ගැනීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ගෙවන සියයට 30 පොළියට අතිරේකව ඇතැම් වෙළෙඳ ආයතන ක්‍රෙඩිට් කාඩ් පාරිභෝගිකයන්ගෙන් තවත් සියයට 2 ½ - 3 ක පමණ පොලියක් අය කරනවා. මෙයට නීත්‍යානුකූල බලයක් නැහැ. එහෙත් ක්‍රෙඩිට් කාඩ්වලට ඒ අයට මුදල් ලැබෙන්නට දින 30-45 යන නිසා මෙම අතිරේක පොලිය අය කරනවා. එහෙත් අවාසනාවකට වගේ රජය හෝ වගකිවයුතු ආයතන ඒ ගැන සොයා බලන්නේ නැහැ.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පවසන්නේ වාණිජ බැංකු ක්‍රෙඩිට් කාඩ් සඳහා වැඩි පොලියක් අයකිරීම අතීතයේ සිටම පැවැති බවය. එය මෙවර පමණක් කරන ලද්දක් නොවන බව ඔහු කියයි. අනික් අතට ක්‍රෙඩිට් කාඩ්වලට දින 45ක් පොලිය අය කරන්නේ නැහැ. ඒ නිසා නියම දිනයට ගෙවනවා නම් ජනතාවට එයින් සිදුවන්නේ සහනයක්. බැංකුවල පොලී ප්‍රතිශත පසුගිය අප්‍රේල්වල සිට වෙනස් කළ නිසා ඒ අනුව යමින් ක්‍රෙඩිට් කාඩ් පොලියද ඉහළ දැම්මා. පොලිය දැන් තීරණය වන්නේ ඉල්ලුමට හා සැපයුම අනුවයි. ඒ නිසා අධික පොලියක් අය කරන්න බැහැ. එය ඉබේම පාලනය වෙනවා. මෙහිදී සියලුම පොලී නිදහස් කර තිබෙන විට බැංකු පොලිය පමණක් තද කරගෙන සිටීම රජයේ ප්‍රතිපත්තියට විරුද්ධයි. ඒත් මේ තත්ත්වය දිගටම පවතින්නේ නැහැ. පොලී අනුපාත වෙනස් වනවිට අනිවාර්යයෙන්ම මෙයද වෙනස් වෙයි. කෙසේ වුවත් ක්‍රෙඩිට් කාඩ්වලින් ජනතාවට අසාධාරණයක් වන්නේ නැහැ. එය විධිමත්ව පාලනය කිරීමයි වැදගත් වන්නේ.

 යසවර්ධන රුද්රිගු