පවතින තත්ත්වය හමුවේ රටේ ජනතාව සිටින්නේ ජීවිතේ ඉතාම අර්බුදකාරී කාල වකවානුවකය. අවිනිශ්චිත හෙට දිනක් වෙනුවෙන් ජීවිතේ ගැටගසා ගන්නා ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු, හීන බොහොමයක්ම මේ රටේ බලධාරීන් විසින් විනාශ කර හමාරය. දරුවන්ට අධ්‍යාපනයක් නැත. දෙමාපියන්ට රස්සා නැත. අද බහුතරයක් සිටින්නේ මහා මාර්ගයේ පෝලිම්වලය. පැය ගණන්, වරු ගණන්, දවස් ගණන් පෝලිම්වල දුක් විඳින ජනතාව එසේ සිටින්නේ කෝපයෙනි. වෛරයෙනි. දින ගණනාවක් තම දරුවන්ගේ මුහුණ බලන්නට නොලැබුණු පියකුගේ ජීවිතය මහ මඟ අවසන් වූ අවාසනාවන්ත පුවතක්ද මේ අතර අපට අසන්නට ලැබුණි.
මෙලෙස ඉන්ධන පෝලිම්වල, ගෑස් පෝලිම්වල දුක් විඳින ජනතාවට හැකි අයුරින් කෑම වේලක්, සිසිල් පැන් සංග්‍රහයක් ලබා දී ඔවුන්ගේ කුස පුරවන ජනතාවද අපි අතර වෙති. බැංකු ගිණුමේ මුදල් නොතිබුණද, වත් පොහොසත්කම් නොවුණද ඔවුන් අනිකාගේ දුක දැනෙයි.
මොහොමඩ් ආයිස් අස්ලාම් වැල්ලවත්ත ප්‍රදේශයේ ජීවත් වන විදුලි කාර්මිකයෙකි. ආයිස් මේ දිනවල තමන්ට හැකි අයුරින් මෙවැනි පෝලිම්වල දුක් විඳින මිනිසුන්ගේ කුස පුරවයි. ඒ සඳහා අද වනවිට ආයිස් විශ්වාස කර ඔහුගේ මේ සත්ක්‍රියාවට අනුග්‍රහය ලබා දෙන පිරිසක්ද වෙති. කිසිදු ලාභයක්, කිසිදු ප්‍රචාරයක්, කිසිදු වාසියක් බලාපොරොත්තු නොවූ ආයිස් ඇතුළු පිරිස තෙල් පෝලිම්වල දුක් විඳින ජනතාවට මෙලෙස කෑම දන්සල් ලබා දීමට පියවර ගෙන තිබේ.
''මෙහෙම කෑම මම ලබා දුන්නේ පළවෙනි කොවිඩ් කාලයේදීමයි. මුලින්ම පාරේ සිඟමන් අයදින යාචකයන්ට තමයි කෑම ලබා දුන්නේ. ඊට පස්සේ පුළුවන් විදිහට වියළි ආහාර මලු අපි මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන මිනිසුන්ට ලබා දුන්නා. අපේ අල්ලා දෙවිඳුන් අපිට කියලා තියෙන්නේ ලෝකේ ඉන්න මිනිසුන් එක්ක ආදරයෙන් හිටියොත් දෙවියන් අපිත් එක්ක ආදරෙන් ඉන්නවා කියලයි. ඒ ආදරයට ජාති, ආගම් භේද නැහැ. අපි හැමෝම එකම මිනිස්සු.'' යැයි ආයිස් අස්ලාම් දේශයට අදහස් දැක්වීය.
ආයිස් පවසන්නේ මෙවැනි කටයුත්තක් කිරීමට ඔහුට ලොකුම ශක්තිය වූයේ දෙවියන්ගේ ආශිර්වාදය බවය. අද වනවිට ඔහුටද තමා ගැන ඇත්තේ පුදුමයකි. සාමාන්‍ය රුකියාවක් කරන, සාමාන්‍ය ජීවිතයක් ගත කරන ආයිස්ට මේ රටේ මිනිසුන්ගේ කුස පුරවන්නට හැකිවන්නේ සැබැවින්ම දෙවියන්ගේ ආශිර්වාදය හා හොඳ මිනිසුන්ගේ සහයෝගය නිසාවෙනි.
''හෙට මම මැරුණොත් මගේ ගෙදර පැනඩෝල් පෙත්තක් ගන්නවත් සල්ලි නැහැ. ඒක තමයි ඇත්ත. දවසින් දවස මම ගැන විශ්වාස කරන මිනිස්සු රුපියල් දාහ, දෙදාහ, පනස්දාහ වගේ සල්ලි දෙනවා. මට එක බැංකු ගිණුමක් විතරයි තියෙන්නෙ. කොවිඩ් කාලේ ඉඳන් මේ දක්වා මම ගැන, මගේ බැංකු ගිණුම් ගැන විස්තර හොයාගෙන දෙපාරක්ම සී.අයි.ඩී. එකෙන් ආවා. ඔවුන් ඒ හැමදේම පරීක්ෂා කළා. අපි බය වෙන්න ඕනෙ වැරදි දෙයක් කරනවා නම් විතරයි. මම කිසිමදාක වැරදි දෙයක් කරලා නැහැ. මට මෝටර් බයිසිකලයක් විතරයි තියෙන්නෙ. සල්ලිවලට වඩා මනුස්සකම වටිනවා. මම මැරුණත් මගේ පුතා මේ රටේ ජීවත් වෙන්න ඕනෙ. මම ගොඩක් දුරට ඉගෙන ගත්තු කෙනෙක් නෙමයි. අපි වැල්ලවත්ත කුඩා නිවෙසක ජීවත් වෙන්නෙ.'' යැයි ආයිස් අස්ලාම් වැඩිදුරටත් දේශයට පැවසීය.
පසුගිය දිනෙක ආයිස් වැල්ලවත්ත ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට වාහන පෝලිමේ සිටි ජනතාවට කුකුළු මස්, බුරියානි පාර්සල් ලබා දුන්නේය. ඒ සඳහා ආයිස්ට අනුග්‍රහය ලබා දුන්නේ වැල්ලම්පිටිය නගරයේ පිහිටා ඇති %The Dewdrop^ උත්සව ශාලා අධිපති ආනිෂ් මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයයි. එහිදී බුරියානි පන්සීයකට වැඩි සංඛ්‍යාවක් ආයිස් ඇතුළු කණ්ඩායම ඉන්ධන පෝලිම්වල සිටි පිරිසට ලබා දුන්හ. එවැනි හිත හොඳ පිරිසක් ආයිස් හා එක්ව පසුගිය දින කිහිපය පුරාවට මේ අසරණ මිනිසුන් වෙනුවෙන් දන්සල් ලබා දුන්හ. සැබෑ දන්සලක් යනු මෙයයි. කෑම පාර්සල් පමණක් නොව අනුග්‍රාහයකත්වය නොමැති දිනවලදී ආයිස් සරුවත් හෝ ලබා දී තෙල් පෝලිමේ සිටි ජනතාවගේ පිපාසය නිවා දැමුවේය.
''කොළඹ ඉන්න බොහෝ මුදල් තියෙන අය මගේ යාළුවෝ. ඔවුන්ට මාව විශ්වාසයි. ජාති, ආගම් භේදයකින් තොරව මම ඔවුන්ව ආශ්‍රය කරනවා. මම මේ අයට ''හෙට මම කෑම පාර්සල් තුන්සීයක් දෙන්න ඕනෙ'' කිව්වොත් ඒ අය අදිමදි නොකර මට උදව් කරන බව මම දන්නවා. ඒ මනුස්සකම් සල්ලිවලට වඩා වටිනවා. මේ සල්ලිවලින් මම මොකක් හරි වැරැද්දක් කළා නම් ඒ සාපය නිසා මගේ ළමයින්ට විතරක් නෙමෙයි මගේ ළමයින්ගේ ළමයින්ටත් විඳින්න වෙන බව මම දන්නවා. ඒ නිසා කිසිම දවසක, කිසිම මොහොතක ඒ සල්ලිවලින් මම වැරැද්දක් කරන්නෙ නැහැ.''
මෙලෙස පෝලිම්වල කල් ගෙවන අයගෙන් බහුතරයක් දවසේ ආදායම උපයාගන්නා පිරිසය. දින ගණනාවක් ඔවුහු පෝලිම්වල සිටිති. ඒ දින කිහිපය තුළදී කිසිම ආදායමක් නොලැබීම නිසා කෑම පාර්සලයක් මිලදී ගැනීමට ඔවුන්ට නොහැකිය. ඒ නිසාම පෝලිම්වල සිටින ජනතාවගෙන් බහුතරයක් සිටින්නේ කුසගින්නේය. ඇතැමුන් කුස පුරවා ගන්නේ වාහනයේ ඇති ජල බෝතලයෙනි. මේ නිසාම මෙවැනි මිනිසුන්ට කෑම පාර්සලයක් ලබා දී කුස පුරවන්නට හැකි නම් එය කෙතරම් වටින්නේද? මේ අතර නොමිලේ ලබා දෙන මෙවැනි කෑම පාර්සලයකින් තම කුසගිනි නිවා නොගෙන එය දරුවන් වෙත රැගෙන යන පියවරුන් ද ඕනෑ තරම් අපට මුණගැසෙයි. නිවෙසේ ලිප නොදැල්වෙන, බතක් මාළුවක් නොපිසෙන නිවෙසේ ඉන්ධන පෝලිමේ සිටින පියවරුන්ට තනියම බත්පත ගැනීමට කොහෙත්ම හිත ඉඩ නොදෙයි. මෙවැනි මිනිසුන්ගේ කුස එක වේලකට හෝ පුරවන ආයිස් වැනි මිනිසුන් සැබෑම මිනිසුන්ය.
මේ රටේ විහාරස්ථාන, දේවස්ථාන, කෝවිල් බොහෝය. මේ අතරේ වත් පොහොසත්කමින් වැඩි දායක සභාවකින් යුතු පූජනීය ස්ථාන බොහොමයක්ද වෙයි. අඩුම තරමේ මොවුන්ගේ අනුග්‍රහය ඇතිව එක වේලක් හෝ මේ අසරණ මිනිසුන්ගේ කුස පුරවන්නට හැකි නම් එය කෙතරම් අගනේද? අද මෙලෙස පෝලිම්වල දුක් විඳින්නේ, ගහමරා ගන්නේ එකම ගමේ ජීවත් වන, එකම විහාරස්ථානයේ පූජා පැවැත්වූ, එකම දේවස්ථානයේ යාඥා කළ, ආගම සිහි කළ මිනිසුන්ය. වෙසක්, පොසොන් පොහොයට දන්සල් යන්නට ජාති භේදයක්, ආගම් භේදයක් මොවුන්ට තිබුණේ නැත. සැබැවින්ම මේ දන්සල් දිය යුතුම කාලයයි.
මේ අතර පසුගිය දිනෙක ඉංගිරිය නම්බපාන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරු විසින් එදින දහවල් හා රාත්‍රී කාලයේදී බත් දන්සලක් ලබා දී තිබිණි. දින ගණනාවක් තිස්සේ පෝලිම්වල දුක් විඳින ජනතාවට ඉන්ධන පිරවුම්හල් හිමිකරු විසින් ලබා දුන් ආහාරවේල ඉතා අගනේය. මේ නිසාම ඉන්ධන එනතුරු වාහන නතරකොට මහ අව්වේ දුක් විඳින ජනතාව එම ලබා දුන් ආහාරපානවලින් තම කුස පුරවා ගත්හ.
''අපි දවස් දෙකක් තිස්සේ මේ තෙල් පෝලිමේ. ත්‍රීවිලර් එක හයර් කරලා ළමයි තුන්දෙනකුයි, මායි මගේ බිරිඳයි ජීවත් වෙන්නේ මේ රස්සාවෙන්. දැන් අපේ ගෙදර එක හාල් ඇටයක් නැහැ. දරුවෝ බඩගින්නේ. අද නෝනා ගෙදරක වැඩට ගියා. කවදාවත් ඒ මනුස්සයා එහෙම වැඩකට ගිහින් නෑ. පව්.. මොනව කරන්නද? අද මේ දීපු බුරියානි පාර්සලය මට දරුවෝ තුන්දෙනාට දෙන්න පුළුවන්. අපි බඩගින්නේ හිටියත් කමක් නැහැ. අපිට දරුවෝ බඩගින්නේ තියන්න බැහැ.'' වැල්ලම්පිටියේ නසීම් දේශයට පැවසීය.
■ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ