2022 ජුලි 03 වන ඉරිදා

ගුටිකෙළි සමඟ දික්වන තෙල් පෝලිම්

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 246

මග දිගට පෝලිම්ය. රජ ගෙදර කෝලම්ය. නැවක් එනතුරු මුහුදට දත නියවමින් බලා සිටිනු හැර කුමක් කරන්නද? මේ දුෂ්කරම සති තුනයි. ඉන්පසුව එළඹෙන්නේ වසන්තයද? අප ඔබට කියනුයේ ඉන්ධන නොමැතිව දහනය වන ජීවිතවල කතාවයි.

ඉතිහාසයේ මෙතෙක් කිසිදිනක අත් නොවිඳි අත්දැකීමක් පසුගිය සතියේ ශ්‍රී ලාංකිකයෝ අත්වින්දෝය. ඉන්ධන නොමැති වීම හේතුවෙන් මංමාවත් පාළුවට ගොස් තිබුණි. පිරවුම් හල අසල සැතැපුම් තුන හතර දිගට ඇදුණු රථවාහන පෝලිමේ දැකගත හැකි විය. දහස් සංඛ්‍යාත මිනිසුන් එම පෝලිම්වල රුය පහන් කළෝය. ඒ අතර ඉන්ධන මිල ගණන්ද ඉහළ දැමීමට බලධාරීන් කටයුතු කර තිබුණි. මැරකම්, ජඩකම්, හොරකම් ගුටිබැට හුවමාරුද පෝලිම්වක නොඅඩුව දැකගත හැකිවිය. සැබවින්ම දසඅත වූයේ අරාජිකත්වයේ සලකුණුය.

නැවත ඉන්ධන නැවක් පැමිණෙන්නේ කවදාද? ඒ පිළිබඳ පොදු මහජනතාවට වූයේ කුතුහලයකි. ආණ්ඩුවේ ඉහළ පෙළ පෙළේ ආරංචි අනුව ජූලි 10 වැනිදා හෝ 11 වැනිදා ඩීසල් නැවක් පැමිණීමට නියමිත බව කියැවේ. කෙසේ වෙතත් පෙට්‍රල් නැවක් පැමිණීම තවත් සති දෙක තුනක් ගතවෙනු ඇතැයි දැනගැනීමට ලැබේ. ඉන්ධන අර්බුදය පිළිබඳ සොයාබැලීම සඳහා අග්‍රාමාත්‍යවරයා පත්කළ කමිටුවට අනුවද එම තොරතුර සනාථ විය.

ඔවුනට අනුව පෙට්‍රල් නෞකාවක් පැමිණීම ජූලි 22 වැනිදා පමණ සිදුවනු ඇති බවකි. එසේ නමුත් ඉන් පෙර නැවක් ලබාගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බවද දැනගැනීමට ලැබේ. ඩීසල් නෞකාවක් මිලදී ගැනීම සඳහා මේ වනවිට ඇණවුමක් ලබාදී ඇති බවත් පෙට්‍රල් ගැනීම සම්බන්ධයෙන්ද ඉන්දියාව සමඟ සාකච්ඡා කරන එම කමිටුවේ සභාපති සාගල රත්නායක ඉකුත්දා පැවැති සාකච්ඡාවක සාකච්ඡාවකදී පවසා තිබුණි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙවන් කතා කියැවෙන විට රටපුරා නිර්මාණය වී තිබේ ඉන්ධන පෝලිම්වල තත්ත්වය භයානක වෙමින් පැවතුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී සමාගම ජූනි 26 වැනිදා අලුයම 2.00 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නැංවීමද ඊට හේතුවක් විය. ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 470 ක් වූ අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 550 ලෙස කියැවුණි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 60කින් ඉහළ දමා ඇත. ඒ අනුව, එහි නව මිල රුපියල් 460 විය. සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 75කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වූයේ රුපියල් 520 ක් ලෙසය.

මිල ඉහළ ගියද හිඟය පහළ නොගියේය. ඉන්ධන හිඟය තවත් බරපතල විය. ඒ අනුව ඉන්ධන බෙදාදීම සඳහා හදිස්සියේම ටෝකන් ක්‍රමයක් හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කළේය. මුලදී පොලීසිය ලබාදුන් අතර පසුව යුද හමුදාවද මෙම ක්‍රියාවලියට මැදිහත් විය. කොළඹ බොහෝ ප්‍රදේශවල යම් සාර්ථකත්වයක් පෙන්නුම් කර මෙම ක්‍රමවේදය දිවයිනේ අනෙකුත් පළාත්වල එතරම් සාර්ථක නොවුණි. ඇතැම් ප්‍රදේශවල ටෝකන් නොතකමින් මැර බලය යොදවමින් ඇතැමුන් ඉන්ධන ලබාගන්නා විට පොලිසිය බලා සිටියහ. ඇතැම් තැනක ගමේ තෙල් ගමේ කපුටන්ට යයි කියමින් එම පිරහුම් හල් පැවති නගරවල පිරිස් පෝලිම් පැන්නෝය. සැබවින්ම ඉන්ධන පිරහුම් හල අවට නීතිය ක්‍රියාත්මක නොවුණි.

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් වැසීගිය අතර යම් පමණකට හරි ඉන්ධන ලැබුණේ අයි.ඕ.සී. පිරවුම්හල් වෙත පමණි. ඔවුන්ද ඉන්ධන නිකුත් කරන සීමාවන් පහළ දැමුවේය. ඒ අනුව යතුරු පැදි සඳහයා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2500ක සහ මෝටර් රථ සඳහා රුපියල් 7000ක සීමාවකට යටත්ව ඉන්ධන ලබාදීමට අයි.ඕ.සී. පිරවුම්හල් කටයුතු කළේය. කෙසේ වෙතත් රටපුරා 1500කට අධික පිරවුම්හල් අතරින් ඉන්දියානු ඔයිල් සමාගමට අයිතිව තිබුණේ ඉන්ධන පිරවුම්හල් 210ක් පමණය. එමනිසා එම පිරවුම්හල්වල අඛණ්ඩ පෝලිම් දැකගත හැකි විය.

මේ අතරවාරයේ ජනාධිපති මන්දිරයේදී ඉන්ධන සම්බන්ධව නිතර සාකච්ඡා පැවැත්වුණි. හදිසි මිලදී ගැනීමක් ලෙස මුහුදේ ගමන් කරමින් සිටින නෞකාවකින් පෙට්‍රල් මිලදී ගත යුතු බව එම සාකච්ඡාවලදී තීරණය විය. එහෙත් එවන් නෞකාවක් සොයාගැනීම දුෂ්කර විය. මෙම ගනුදෙනුව සඳහා යම් ඩොලර් ප්‍රමාණයක් සොයා ගැනීමට රජය සමත් වී සිටියද ඒ සඳහා ඉන්ධන නෞකාවක් සොයාගැනීම නොහැකි වූයෙන් එම කටයුත්ත කල් ගියේය. මේ අතර අග්‍රාමාත්‍යවරයාද වර්තමාන ඉන්ධන අරමුණ සම්බන්ධව අදහස් දැක්වූයේ පුවත්පත් කතුවරුන් මුණගැසුනු අවස්ථාවකදීය.

ඒ අනුව දැනට ලංකාව සතුව තිබෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 11,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 7,000ක් සහ දැවිතෙල් මෙට්‍රික් ටොන් 30,000ක් යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය. ඩීසල් හා පෙට්‍රල් අර්බුදය හදිසි තත්ත්වයක් නොව මාස ගණනාවක සිට තෙල් නැව් ගෙන ඒමේ කළමනාකරණ දුර්වලතාවක් යැයිද ඔහු අවධාරණය කළේය. මීට පෙර ඉන්ධන ලබාගත් සැපයුම්කරුවන්ට ඇමරිකානු ඩොලර් මිලියන 650කට ආසන්න මුදලක් නොගෙවීමෙනුත් ලංකා විදුලිබල මණ්ඩලය ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගත් ඉන්ධනවලට කිසිදු මුදලක් නොගෙවීමෙනුත් එය පැහැදිලි වන බව අග්‍රාමාත්‍යවරයා පවසා තිබුණි.

රජ ගෙදර මෙවන් කතා අතරේ පෝලිම්වල තවත් අර්බුදයක් වූයේ අත්‍යවශ්‍ය සේවාය. ඉන්ධන පිරවුම්හල් වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා පෝලිම් වලින් තොරව ඉන්ධන නිකුත් කිරීමට තීරණය කෙරුණි. ප්‍රවාහන, සෞඛ්‍ය, දුම්රිය, වරාය, ගුවන්තොටුපල, කෘෂිකර්ම යන සේවා සඳහා සහ ආරක්ෂක අංශ ආදී ක්ෂේත්‍ර රුසකට මෙම වරප්‍රසාදය හිමිවිය. එහෙත් ඉන්ධන පෝලිම්වල දින ගණනක් රුඳී සිටි මහජනයා මේ පිළිබඳ එතරම් සතුටු නොවුණි. දින තුන හතරක් බලා සිට තමන් ඉදිරියට පැමිණෙන ඉන්ධන බවුසරය අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන ලබාදීමෙන් අවසන් වීම හේතුවෙන් බොහෝ ස්ථානවල ගැටුම් පවා ඇතිවුණි.

විශේෂයෙන්ම දිවයින පුරා බොහෝදෙනාගේ දෝෂ දර්ශනයට ලක්වූයේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකාරකම්ය. තම හිතවතුන්ගේ රථවාහනවලට ඉන්ධන ලබා ගැනීමට බොහෝ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණේ පෝලිම්වල රුඳී සිටි ජනතාව අපහසුතාවයට පත්කරමිනි. එක් පොලිස් නිලධාරියෙක් දෙතුන් විඩක් පැමිණ ජනතාව බලා සිටියදීම ඉන්ධන ලබාගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තාද ලැබුණි. මෙම තත්ත්වය හේතුවෙන් නීතිය සහ සාමය කරේ කෙරෙහි මහජන විශ්වාසය ක්‍රමයෙන් බිඳී යන බවද පසුගිය සතියේදී මනාව පැහැදිලි විය.

මේ අතර  කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එරට බලශක්ති කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සාද් ෂෙරීදා අල් කාබි මහතා හමුවිය. ඔහු කටාර් රාජ්‍යයේ කටාර් එනර්ජි සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරියාද වේ. මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා පිළිබඳ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කාංචන විජේසේකර අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදය විසඳා ගැනීම සඳහා ඛනිජතෙල් නිෂ්පාදන, එල්.පී.ජී. හා එල්.එන්.ජී ගෑස් සම්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවූ බවකි. ඒ අනුව යම් ණය වැඩසටහනක් යටතේ ඉදිරියේදී කටාර් රාජ්‍යය රාජ්‍යයෙන් ඉන්ධන මිලදී ගැනීමට රජය බලාපොරොත්තු වන බව පැහැදිලි විය.

මීට අමතරව ඉන්ධන ලබාගැනීම පිළිබඳ සාකච්ඡා සඳහා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා රුසියාවට බලා පිටත්ව යාමට නියමිත විය. ඔහුට අදාළ සාකච්ඡා සඳහා දින ලැබී තිබුණේ ජූලි 10 වැනිදාය. ඔහු සමඟ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති සමන් වීරසිංහ මහතාද රුසියාව බලා පිටත්ව යාමට නියමිත බව දැන ගැනීමට ලැබේ. මේ අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයාද ඉකුත් සතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී ඉන්ධන ඇතුළු බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවන් පිළිබඳ සාකච්ඡා කොට තිබුණි. කෙසේ වෙතත් රුසියාවෙන් ඉන්ධන ලබාගැනීමේ වැඩපිළිවෙළ පවතින ගෝලීය දේශපාලන වටපිටාව සහ ශ්‍රී ලාංකීය ණය අර්බුද හේතුවෙන් කොතරම් සාර්ථක වේදැයි අනාවැකි කිව නොහැක.

මේ ආදී වූ විවිධ නාටකීය ජවනිකා අතරේ ඉන්ධන පෝලිම්වල මරණ කිහිපයක් කිහිපයක්ද ඉකුත් සතියේ වාර්තා විය. මහ පරිමාණ ඉන්ධන වංචාද අත්අඩංගුවට ගැනීම්ද වාර්තා විය. තමන් වෙත ලැබෙන්නේ අවසාන ඉන්ධන තොගය ඇයි සිතූ බොහෝ දෙනා අඛණ්ඩව පෝලිම්වල රුඳී සිටියහ. පොදු ප්‍රවාහන සේවය පවත්වා ගෙන ගියේ යාන්තමිනි. ඉන්ධන නොමැති වීමෙන් බොහෝ ජීවන උපායන් බිඳ වැටෙමින්ට විය. බොහෝ දෙනාගේ මුහුණෙන් සතුට සිනහව අතුරුදහන්ව ගොස් තිබුණි. ඉන්ධන නොමැතිව නැවතුණු වාහන සේ ඔවුන්ගේ ජීවිතද අතරමග නැවතී තිබුණේ බලාපොරොත්තුවේ සේයාවකුදු නොමැතිවය.

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05