2022 ජුලි 03 වන ඉරිදා

තෙල් බැදෙන බඩු මිල

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 44

රට තුළ මේ ගෙවෙන්නේ තෙල් හිඟයෙන් කම්පනය වන ඉතාමත් අර්බුදකාරී කාල වකවානුවකි. දිනෙන් දින අත්‍යාවශ්‍ය සියලුම භාණ්ඩවල මිල ඉහළ යාමත්, අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයත් සමඟ රටේ ජනතාව වැටී සිටින්නේ බරපතළ අමාරුවකටය. දින ගණනාවක්ම පෝලිම්වල දුක් විඳින ජනතාවගෙන් ඇතැමුන් පෝලිම්වලදී ජීවිතය හැර යන්නේ රටේ තීන්දු තීරණ ගන්නා බලධාරීන්ගේ නිසි වැඩපිළිවෙළක් නොමැතිකම මෙන්ම නිසි කළමනාකාරීත්වයක් නොමැතිවීම හේතුවෙනි. පිරිසක් විසින් සිදු කළ වැරදි සහගත තීන්දු තීරණ ගැනීම් මෙන්ම පාලනයේ දුර්වලතා හේතුවෙන් මුළු මහත් ජනතාවම පීඩා විඳිති.

මේ තත්ත්වය හේතුවෙන් මේ වනවිට විශාල පිරිසකගේ රැකියා අහිමි වී ගොසිනි. ඇතැම්හු සිඟමන් නොයදින යාචකයන් බවට පත්ව සිටිති. ගිනිපෙට්ටියේ සිට සියලුම භාණ්ඩ හා ද්‍රව්‍යවල මිල ඉතා ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතී. කහට කෝප්පයේ සිට තරු පහේ හෝටලයක කෑමවේල දක්වා සියලුම ආහාරපානවල මිලද අහස උසට නැග තිබේ. 

මේ කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම කඩා වැටීමට ලක්වුණේ ගෑස් අර්බුදයත් සමඟයි. අද වනතුරු මේ පවතින ගෑස් අර්බුදය විසඳීම සඳහා රජය විසින් වැඩපිළිවෙළක් සූදානම් කරලා නැහැ. ගෑස්වලින් පවත්වාගෙන යන අවිධිමත් වෘත්තීන් ගණනාවක්ම තියෙනවා. ඒ අතරින් බේකරි කර්මාන්තය මෙන්ම ආපනශාලා කර්මාන්තයත් ප්‍රධාන තැනක් ගන්නවා. මේ කර්මාන්ත දෙකම අද පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතිනවා. එයින් ජීවත් වුණු ලක්ෂ ගණනාවකගේ රුකියා අද අහිමිවෙලා තියෙනවා. මහල් නිවාසවල මෙන්ම කොළඹ නගරයේ ජීවත් වුණු ජනතාවගේ ආර්ථිකය අද සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.* යැයි සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

අද වනවිට බේකරි පවත්වාගෙන යාමට නොහැකිවීමෙන් මාසික කුලිය ගෙවාගැනීමට නොහැකිව වෙළෙන්ඳෝ විශාල අර්බුදයකට මුහුණපා සිටිති. කලකට ඉහතදී හඳුන්වා දුන් චූන් පාන් බෙදාහැරීම නගරයක්, ගමක් පාසා ඉතා ජනප්‍රිය වුණු වෙළෙඳාමකි. උදෑසනින් චූන් පාන් හඬින් අවදි වන ජනතාවට, නිවෙස් අසලට එන රථයෙන් උදෑසන ආහාර ලබාගත් ජනතාවට අද චූන් පාන් සද්දය ඇසෙන්නේද ඉඳහිටය. මේ වන විටත් චූන් පාන් රුකියාවේ නිරත දහස් ගණනාවකගේ රුකියා අහිමී වී අවසන්ය.

ඉස්සර අපේ හෝටල්වල මොන තරම් ආහාරපාන තිබුණාද? උදේට කිරිමාළු එක්ක බත්, ඉඳිආප්ප කාපු මිනිස්සු ඇඹුල් තියල් සමඟ දවල් ආහාරය ගත්තා. ඒ පාරිභෝගිකයන් දැන් නැහැ. දැන් මේ රටේ මිනිසුන්ට උදේට, දවල්ට කන්න එහෙම ආපනශාලාවක් නැහැ.* යැයි අසේල සම්පත් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

අද වනවිට සියල්ල වෙනස් වී ඇත. උදෑසන බත් කෑමෙන් වැඩ ඇරඹූ ජනතාවට අද සිදුව ඇත්තේ වඩේ එකක් සමඟ ප්ලේන්ටියක් ආහාරයට ගෙන වැඩ ඇරඹීමටය. ලෝකයට නොපෙන්නුවාට මේ රටේ වඩයක් කෑමටවත් ආර්ථික තත්ත්වයක් නොමැති පිරිසක් ද වෙති. කාටත් හොර රහසේ කහට කෝප්පයක් හෝ වතුර වීදුරුවක් බී කුස පුරවාගනිමින් ඔවුහු ජීවිතය ගැටගසා ගැනීමේ යෙදෙති. අහස උසට භාණ්ඩවල මිල ඉහළ ගියද, බස් ගාස්තු මිල ඉහළ ගියද ආදායමේ කිසිදු ඉහළ යාමක් සිදු නොවේ. රජයෙන් හෝ වෙනත් අයුරින් හෝ හව්හරණක් නොමැතිව තම ස්ව උත්සාහයෙන් පවත්වාගෙන ගිය බොහෝ කර්මාන්ත රජය විසින් ගනු ලැබූ තීන්දු තීරණ හේතුවෙන් අද වන විට කඩා වැටී ඇත. ඔවුන් වෙනුවෙන් සාධාරණයක් ඉටුවීමක් හෝ වන්දියක් හෝ ලැබෙන්නේ ද නැත.

මේ කර්මාන්තවලට කරපු අසාධාරණය වෙනුවෙන් මේ ගැටලු විසඳපු ගමන් අපි ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. වන්දි මුදල් ලබාගැනීමට අපි ගත යුතු ක්‍රියාමාර්ග ගන්නවා. මේ වන විටත් සමස්ත ජනතාවට මේ තත්ත්වය නිසා පීඩා විඳිනවා. රටේ ධනය හොරකම් කරල විනාශ කරලා. අපේ කර්මාන්ත වෙනුවෙන් කිසිදු අයවැයකින් කිසිදු මුදලක් ලබා දුන්නේ නැහැ. මේ ආපනශාලා නවීන ලෝකය වෙනුවෙන් නවීකරණය කරන්න සත පහක උදව්වක් ලැබුණේ නැහැ. ඒ සියලු දේවල් කරලත් මේ අයගේ තීන්දු තීරණ නිසා අපේ කර්මාන්තය කඩා වැටුණා. මේක අපේ ස්ව උත්සාහයෙන් ගොඩනැගුණු කර්මාන්තයක්. එවැනි කර්මාන්තයක් මේ රජය විසින් නැත්තටම නැති කළා. ඇත්තටම මේක මනුෂ්‍ය ඝාතනයක්.* යැයිද අසේල සම්පත් මහතා කියයි.

ස්වයං රැකියාවකින් එදා වේල සොයාගත් බොහෝ ජනතාව අද පීඩා විඳිමින් සිටිති. රුකියා නොමැතිකම නිසාත්, විඳින්නට සිදුව තිබෙන දුක් ගැහැට නිසාත් අද කිසිම නිවෙසක සැනසීමක් නැත. ආපනශාලාවල සේවය කළ පිරිස තම රුකියා අහිමිවීමත් සමඟ කුලී වැඩ සඳහා ගොස් සිටිති. එයින් එක් අයකු නුහුරු රුකියාවක් හේතුවෙන් පසුගියදා පලංචියෙන් වැටී මිය ගියේය. අසේල සම්පත් පවසන්නේ මේ මරණවලට වගකිව යුත්තේ රජය බවය. මේ වන විටත් බේකරි සහ ආපනශාලා කර්මාන්ත බිඳවැටී අවසන්ය. එයින් ජීවත් වූ දහස් සංඛ්‍යාත ජනතාව අද මහ මඟය. මේ සියල්ලටම බඩු මිල ඉහළ යාම ප්‍රබල හේතුවක් වූ බව ඔවුහු පවසති.

පවතින ඉන්ධන ගැටලු සමඟ එළවළු හා පළතුරු ප්‍රවාහනය කර ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ගොවීහු විශාල ගැටලුවකට මුහුණ පා සිටිති. නෙලූ අස්වැන්න වෙළෙඳපොළට ප්‍රවාහනය කර ගැනීමට නොහැකිවීමෙන් අද එළවළු හා පළතුරු මිල අඩු වැඩි වශයෙන් වෙනස් වෙමින් තිබේ. එළවළු මිලදී ගැනීමට තොග වෙළෙඳුන් ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණීම නිසා එළවළු සහ පළතුරු විකුණා ගැනීමට නොහැකි වී ඇත. ඇතැම් ගොවියෝ තම අස්වැන්න සතුන්ට ආහාර පිණිස කැලේට දමන බවද වාර්තා විය.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයට එන එළවළු හා පළතුරු රථවාහනවල විශාල අඩුවක් පවතිනවා. පිට පළාත්වලින් කොළඹට පැමිණෙන එළවළු අද වන විට ශීඝ්‍රයෙන් පහළ ගොස් තියෙනවා. මේ නිසාම වෙළෙඳුන් පත්ව සිටින්නේ ඉතා අසීරු තත්ත්වයකටයි. කොළඹ මැනිං වෙළෙඳ සංකීර්ණයට වෙනදාට එන එළවළු ලොරිවලින් අද එන්නේ හතරෙන් එකයි. ඒ එළවළු මිලදී ගන්නවත් මැනිං වෙළෙඳ සංකීර්ණයට වෙළෙඳුන් එන්නේ නැහැ. සැපයුමට අනුව ඉල්ලුමක් නොමැතිකම නිසාම අද එළවළුවල මිලත් ටිකක් අඩුවෙලා තියෙනවා. බොහෝ එළවළු සල් අද පාළුවට ගිහින්. යැයි පෑලියගොඩ මැනිං වෙළෙඳ සල් සංගමයේ උප භාණ්ඩාගාරික ගාමිණී රෑපසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ පමණක් නොව බොහෝ ආර්ථික මධ්‍යස්ථානවලද පවතින්නේ මේ තත්ත්වයයි. එළවළුවලට පසුගිය දිනවල ඉතා ඉහළ මිලක් නියම වුවද තොග වෙළෙඳුන් නොමැතිකම හේතුවෙන් ඇතැම් එළවළුවල මිල අඩුකොට වෙළෙඳපොළට නිකුත් කිරීමට පවා ඔවුන්ට සිදුව තිබේ. වෙනදා පෑලියගොඩ මැනිං වෙළෙඳසලට පැමිණෙන රථවාහනවල විශාල අඩුවක් පවතින අතර තොග වෙළෙඳුන් නොපැමිණීම හේතුවෙන් එහි එළවළු මිලෙහි යම් අඩුවක් පවතී. නමුත් බොහෝ අවස්ථාවලදී එළවළුවල මිල ඉතා අධිකය. එය සාමාන්‍ය ජනතාවට දරාගත නොහැකි මිලකි.

මාළු මිල ගණන්ද එසේමය. ඇතැම් මාළු වර්ග අලෙවි නොවන මට්ටමට මිල ඉහළ ගොස් තිබේ. දරුවන්ගේ පෝෂණයට අවශ්‍යම මාළු මිලදී ගත නොහැකිවීමෙන් මවුපියෝ අපමණ දුකට පත්ව සිටිති.
පවතින මිල ඉහළ යාමත් සමඟ අද වනවිට ආහාරවේලක අඩංගු පෝෂණ තත්ත්වය එදාට සාපේක්ෂව ඉතා අඩු අගයක් ගනී. ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාර ගැනීම වෙනුවට අද සිදුව ඇත්තේ කුසගින්න නැතිකර ගැනීමට පමණක් ආහාර ගැනීම පමණි. මේ තත්ත්වය මෙරට දූ දරුවන් මන්දපෝෂණ තත්ත්වයට ඇද දමමින් තිබේ.

අද වනවිට මත්ස්‍ය වෙළෙඳුන් විශාල අර්බුදයක ඉන්නේ. මාළු වෙළෙඳසලට මාළු මිලට ගන්න එන වෙළෙඳන්ගේ පැමිණීමේ විශාල අඩුවක් තියෙනවා. එයට ප්‍රධාන හේතුව මේ ඉන්ධන ගැටලුවයි. ඒ නිසාම ඇතැම් දිනවලදී මාළු මිලෙහි අඩුවක්ද සිදුවෙනවා. ඉන්ධන ගැටලුව නිසා ලැබෙන මත්ස්‍යයන්ගේද විශාල අඩුවක් පවතිනවා. මේ විශාල අර්බුදයට විසඳුමක් මේ ඉදිරි දින තුළදී ලැබෙයි යැයි කියන්න බෑ. මේ නිසාම තොග වෙළෙඳුන්ට පමණක් නොව සාමාන්‍ය ජනතාවට පවා මෙතනට පැමිණ මාළු මිලදී ගැනීමට අවස්ථාව තියෙනවා. නමුත් ඒ අයත් මේ ඉන්ධන ප්‍රශ්නය නිසා මෙතනට එන්නෙ නැහැ.* යැයි පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා දේශයට පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05