ඉන්ධන මිල ඉහළ යාම සහ ප්‍රමාණවත් පරිදි ඉන්ධන සැපයුම සිදු නොවීම යන හේතු පදනම් කර ගනිමින් රටපුරා නිර්මාණය වී ඇති අර්බුදය මෙතෙකැයි කීමට නොහැකිය. බොහෝ දෙනකුට සිය ජීවනෝපාය තවදුරටත් සිදු කරගත නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ. ඉන්ධන අර්බුදය හේතුවෙන් බිඳවැටෙන ජීවනෝපාය අතරින් අපි ධීවර ප්‍රජාව මුහුණ පා සිටින අභියෝග පිළිබඳව සොයා බැලීමට තීරණය කළෙමු.
ධීවර කර්මාන්තයේ නියුතු පාර්ශ්ව කිහිපයක් සම්බන්ධ කර ගනිමින් මෙම තොරතුරු සොයා බැලීම සිදුවේ. ඉන්ධන හිඟය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රටපුරා බහුදින ධීවර යාත්‍රා ධීවර ප්‍රජාව අපහාසුතාවයට පත්ව සිටිති. බොහෝ විට මාසයකට අධික කාලයක් මහ සයුරේ කර්මාන්තයේ නියුතු වන මෙම පිරිස හට ඩීසල් ලීටර් දහදාහකට අධික ප්‍රමාණයක් වරකට අවශ්‍ය වේ.
එහෙත් මේ දිනවලදී ඔවුනට ප්‍රමාණවත් ඉන්ධන ලබාගැනීම දුෂ්කරය. ධීවර වරායේ ඉන්ධන පිරවුම්හල්වලද අධික තදබදයක් හටගෙන ඇත. ඉන්ධන ලබාදීමට යම් අනුපිළිවෙළක් සකසා ඇතත් ප්‍රමාදය බරපතළය. ධීවරයන් පවසන පරිදි බහුදින ධීවර යාත්‍රාවකට ඉන්ධන ලබාගැනීම සඳහා ඇතැම්විට සති කිහිපයක්, මාසයක් බලා සිටීමට සිදුවේ. ඒ අතර දිගින් දිගටම සිදුවන ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ද පසුගිය වර්ෂවලට සාපේක්ෂව දෙගුණයක ඉන්ධන වියදමක් දැරීමට ඔවුනට සිදුව තිබේ.
“මාළු මිල වැඩිවෙනවා කියලා කිව්වාට මිල තීරණය කරන්නේ අපි නෙවෙයි. මේ දවස්වල තියෙන වියදමට අනුව මාළු මිල තීරණය වුණොත් මිනිස්සුන්ට මාළු කෑල්ලක් නම් කන්න වෙන්නේ නෑ. මේ පාර මුහුදු ගිහිල්ලා ඇවිල්ලා තෙල් වියදමයි බඩු මුට්ටුවල වියදමයි අයින් කළාම ඉතුරු වුණේ සොච්චමයි. මෙහෙම ගියොත් අපිට ළඟදීම මේ කර්මාන්තය අතහරින්න වෙයි. මාසෙක එකහමාරක ගමනකට හැම දෙයක්ම ගොඩින් අපි අරගෙන යන්න ඕනෑ. ගියපාර ගියපු වියදම මේ පාර යන්න හදද්දි ඉබේටම දෙගුණ වෙලා. අයිතිකාරයයි කර්මාන්තය කරන අපියි වියදම අයින් කරලා තමයි ලාභ බෙදාගන්නේ. මේ යන විදිහට ලාභයක් නම් ගන්න වෙන්නේ නෑ." බහුදින ධීවර යාත්‍රාවක ගමන් කරන ධීවරයෙක් වර්තමානයේ තමන් මුහුණ දී සිටින ගැටලුව පිළිබඳ එලෙස අදහස් දැක්වීය.
මෙරට බහුදින යාත්‍රා 5000ක් පමණ ඇතැයි පැවසේ. රට වටා සිටින ධීවරයන් පවසන පරිදි එම ධීවර යාත්‍රාවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් නැවත ගමන ප්‍රමාද කිරීමට තීරණය කර ඇතැයි කියැවේ. ඒ අනුව බොහෝ යාත්‍රා රටපුරා ධීවර වරායවල නැංගුරම්ලා ඇත. වෙනත් කාලවලදී වසරකට ගමන් වාර හත අටක් සිදු කළ මෙම පිරිස් මෙම වසරේ උපරිම ගමන්වාර තුන හතරකට සීමා වී සිටිති.
සමස්තයක් ලෙස ගත් කල බහුදින ධීවර යාත්‍රා ආශ්‍රිතව රුකියා ලක්ෂ දෙකක පමණ ප්‍රමාණයක් උත්පාදනය වී ඇතැයි කියැවේ. උද්ගත වී ඇති තත්ත්වය හමුවේ එම සියලු දෙනාම පීඩාවට පත්ව සිටිති. බොහෝ බහුදින ධීවර යාත්‍රා හිමියෝ යැපෙන්නේ බැංකු ණය මතය. විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ඔවුහු ධීවර යාත්‍රා මිලට ගනිති. එම නිසාම ඔවුන් ලක්ෂ ගණනින් බැංකු වාරික ගෙවිය යුතුය. කෙසේ වෙතත් මෙම වසරේදී බැංකු වාරික ගෙවීම ඔවුන්ට බරපතළ ගැටලුවක් වී තිබේ.
“බැංකු වාරිකයක් දාන්න ඕනෑ මාසෙන් මාසෙට. අපේ බෝට්ටුවක් ගිහිල්ල එන්න මාසයක් එකහමාරක් විතර යනවා. වෙනදාට ලාභයක් ලැබුණොත් වාරික දෙකක් එකපාර ගෙවන්න අපිට පුළුවන්. ඒත් දැන් ඒක කොහොමවත් කරන්න බැරි දෙයක් වෙලා. එන බෝට්ටුවක් පිටත් කර ගන්න විදියක් නෑ. ගෑස් ටික, තෙල් ටික හොයාගන්න අමාරුයි. හැමදේකම මිල ගණන් දෙතුන් ගුණයක් ඉහළ ගිහිල්ලා. මාළු මිල එහෙම ලොකුවට ඉහළ ගිහිල්ලා නෑ. මිල ඉහළ ගියත් පහළ ගියත් අපිට ගේන්න පුළුවන් මාළු ප්‍රමාණයක් තියෙනවා. ඊට වඩා මාළු අපේ බෝට්ටුවල පටවාගෙන එන්න බෑ. අඩු ගාණේ බැංකුවලින්වත් අපිට සහනයක් ලබා දෙන්න ඕන. මෙහෙම ගියොතින් බැංකුවට බෝට්ටු බාර දෙන්න වෙයි. අපි කොහොමද ලෝන් ගෙවන්නේ" බහුදින ධීවර යාත්‍රා හිමියෙක් වර්තමාන අර්බුදය හමුවේ තමන් මුහුණ දී සිටින තත්ත්වය එලෙස පැහැදිලි කළේය.
වර්තමාන ඉන්ධන අර්බුදයේ බලපෑමට ලක්ව සිටින්නේ බහුදින යාත්‍රා ධීවරයෝ පමණක් නොවේ. කුඩා ධීවර යාත්‍රා හිමි ධීවරයෝ ද ඉන්ධන අර්බුදය හමුවේ විශාල වශයෙන් පීඩා විඳිති. දෛනික ජීවනෝපාය ලෙස ධීවර කර්මාන්තය සිදු කරගෙන යන මෙම පිරිස් සඳහා ඉන්ධන සපයා ගැනීම විශාල ගැටලුවක්ව ඇත. මෙම ධීවර ප්‍රජාව වෙත ඉන්ධන ලබා දීමට වෙනම පිරවුම්හල් සීමිත ප්‍රමාණයක් ඇතත් ඒවාට ද ඉන්ධන ප්‍රමාණවත් පරිදි නොලැබේ. එසේම ප්‍රධාන පිරවුම්හල්වලින් බෝතල් බූලී සඳහා ඉන්ධන ලබා නොදීමට කටයුතු කිරීම හේතුවෙන් ද මෙම ධීවර ප්‍රජාව පීඩාවට පත්ව සිටිති.
“එක දවසක් මුහුදු ගියොත් දවස් දෙකක් යන්න විදියක් නෑ. තෙල් ටික හොයාගන්න පුදුමාකාර දුකක් විදින්න ඕන. අපිට දෙන තෙල් ටිකත් සමහර අය කොල්ල කනවා. ධීවරයාට ඉන්ධන ටික බෙදා දෙන්න හරි වැඩපිළිවෙළක් තිබුණේ නම් මෙහෙම වෙන්නේ නෑ. අපි මේ රස්සාව කරන්නේ ජීවත් වෙන්න. ඒ නිසා අපිටත් මේක අත්‍යවශ්‍ය සේවයක් තමයි. තෙල් ටිකේ ඉඳන් හැමදේම ගණන් ගිහිල්ලා තියෙන්නේ. ඒත් වෙනදාට හම්බකරපු ගාණවත් දැන් හම්බකරගන්න බෑ. අපි නිසා තමා මිනිස්සු දවස ගාණේ මාළු කන්නේ. බලන්න, හෙට අනිද්දාට මාළු හිඟ වෙයි."
එක්දින ධීවර කර්මාන්තයේ නියුතු වන මෙම ධීවරයන් සඳහා වැඩිමනක් අවශ්‍ය වන්නේ භූමිතෙල්ය. එක් වරකට ලීටර 20 ක් පමණ ඔවුනට අවශ්‍ය වේ. එහෙත් භූමිතෙල් මේ වන විට බස්රථ ධාවනය සඳහා යොදාගන්නා බැවින් රටපුරා භූමිතෙල් හිඟය තවත් උග්‍ර වී තිබේ. ධීවරයන් සඳහා වෙන්වූ ඉන්ධන පිරවුම්හල්වලින් ද රහසේ පෞද්ගලික බස් හිමියන් භූමිතෙල් ලබාගන්නා බවට ධීවරයෝ චෝදනා කරති.
ධීවරයන්ට භූමිතෙල් ලැබෙන්නේ විවිධ සීමා කිරීම්වලට යටත්වය. ඒ අනුව 40,000කට ආසන්න ධීවරයන් ප්‍රමාණයක් ජීවනෝපාය කරගෙන සිටින මෙම කුඩා බෝට්ටු ධීවර කර්මාන්තය ද විශාල අර්බුදකට මැදිව තිබේ. බලධාරීන් භූමිතෙල් බෙදාහැරීමේදී සිදුවන අකටයුතුකම් වළකාලීමට කඩිනමින් වැඩපිළිවෙළක් නිර්මාණය කළ යුතුය.
ධීවර කර්මාන්තය ආශ්‍රිත තවත් බොහෝ රුකියාවල පිරිස් වෙති. ඔවුන්ද වර්තමානයේ ඉන්ධන අර්බුදය හමුවේ පීඩාවට පත්වී සිටිති. මෙම පිරිස අතරින් මත්ස්‍ය අස්වනු ප්‍රවාහනය කරන ෆ්‍රීෂර් ලොරි රථ හිමියෝ සහ රියැදුරෝ සුවිශේෂී පිරිසකි. ඉන්ධන හිඟය හේතුවෙන් මෙම පිරිස හටද සිය ජීවනෝපාය පවත්වාගෙන යාම අතිශය දුෂ්කර වී තිබේ. දින ගණනාවක් පෝලිම්වල රුඳී සිටීමට ඔවුන්ට ද සිදුව තිබේ.
ඒ අනුව ලීසිං පහසුකම් යටතේ මිලදී ගෙන ඇති මෙම ලොරි රථවල ගමන් වාර සීමිත වී ඇත. තමන්ගේ ද ලීසිං ඇරියස් වී ඇතැයි මෙම පිරිස මැසිවිලි නගති. අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා තමන් හටද ඉන්ධන ලබා දෙන මෙන් ඔවුහු ඉල්ලා සිටිති. තවත් පසෙකින් ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් ධීවරයන්ද අපහසුතාවට පත්වන අවස්ථා වාර්තා වේ.
මේ අතර විදුලි බිඳවැටීම සහ ඉන්ධන හිඟයේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ අයිස් නිෂ්පාදකයෝ ද අපහසුතාවට පත්ව සිටිති. සාමාන්‍යයෙන් මාසයකට අධික කාලයක් කර්මාන්තයේ නියුතු වන බහුදින ධීවර යාත්‍රාවක් එක් ගමනකට අයිස් හොණ්ඩර 500ක් පමණ රුගෙන යයි. එහෙත් එම අයිස් ප්‍රමාණය සොයා ගැනීම වෙනුවෙන් ද අද වන විට දින කිහිපයක් බලා සිටීමට ධීවරයන්ට සිදුව තිබේ. මේ වන විට අයිස්වල තත්ත්වය බාල වී ඉක්මනින් දියවෙන බවද ධීවරයෝ කියා සිටිති. එය කර්මාන්තයේ ගුණාත්මකභාවය කෙරෙහි ඍජුව බලපායි.
අයිස් නිෂ්පාදකයන් පවසන පරිදි ඊට හේතුව නම් විදුලි අර්බුදයයි. ඔවුන් පවසන පරිදි විදුලිය ඇණ හිටින අවස්ථාවලදී ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට පවා ඉන්ධන සොයා ගැනීම දුෂ්කර වී ඇත. බොහෝ නිෂ්පාදනාගාර වැසී යන තත්ත්වයක් උද්ගත වී ඇත. එම නිසාම බොහෝ ධීවර වරායවලට ප්‍රමාණවත් පරිදි අයිස් නොලැබෙන බව කියැවෙයි. එසේම අයිස් මිල ගණන් ද පසුගිය මාස දෙකක පමණ කාලය තුළ දරාගත නොහැකි ආකාරයෙන් ඉහළ ගොස් ඇති බව ද වාර්තා වේ.
ඒ අතර මත්ස්‍ය අස්වැන්න ගබඩා කර තනන කූල් රෑම් හෙවත් ශීතාගාර ද වර්තමාන විදුලි ඉන්ධන අර්බුදය හමුවේ පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත. තවදුරටත් වර්තමාන ඉන්ධන අර්බුදය බරපතළ වුවහොත් මෙරට සැලකිය යුතු ශීතාගාර ප්‍රමාණයක් වැසී යනු ඇතැයි ධීවරයෝ පවසති. මෙය ද සැලකිය යුතු බරපතළ තත්ත්වයකි.
ධීවර කර්මාන්තය ආශ්‍රිතව අසන්නට ලැබෙන මෙයාකාරයේ සියලු තොරතුරු අසුබදායකය. රට වටා මුහුද තිබුණද රටපුරා කුඹුරු තිබුණ ද බතක් මාළුවක් කෑමට ගෙන ජීවිතය සරිකර ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට නොහැකි වන දිනය වැඩි ඈතක නොවේ. මෙම සියලු තොරතුරු හරහා කියවෙන්නේ ඒ ඛේදවාචකය පිළිබඳ අසුබ ආරංචියයි. පමාවීමට කාලයක් නැත. ප්‍රමුඛතා හඳුනා ගනිමින් ජීවනෝපාය පවත්වාගෙන යාමට සහන සැලසීමට බලධාරීන් කටයුතු කළ යුතුමය.
චමිඳු නිසල් ද සිල්වා