මේ වනවිට රටේ ඇතිවී ඇති අධි උද්ධමනකාරී තත්ත්වය ශ්‍රී ලංකා රුපියලේ විදේශ අගය ස්ථාවර මට්ටමක පවත්වාගෙන ඒමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ගන්නා උත්සාහයට බාධා ගෙන දෙමින් තිබේ. මෙය හරියට ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් බවට පත්ව ඇත්තේ බලාපොරොත්තු නොවූ පරිදිය.
උද්ධමනය යනුවෙන් ආර්ථික විද්‍යාවේදී නිර්වචනය කරනුයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගයයි. මෙම තත්ත්වය අධි උද්ධමනකාරී තත්ත්වයකට ඉහළ යන්නේ නම් රටේ ආර්ථිකයට සිදුවන හානිය තවත් බරපතළ වේ.
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාව අනුව මැයි මාසයේ සාමාන්‍ය උද්ධමනය 54%ක්ව තිබේ. එසේම ආහාර උද්ධමනය වාර්තාගත ලෙස 80% දක්වා ඉහළ ගොස් ඇත. ප්‍රවාහන උද්ධමනය 120%කි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පුරෝකථනය කරනුයේ ජූනි මාසයේ උද්ධමනය මෙයට වඩා බොහෝ වැඩිවනු ඇති බවය. එය 75% පරාසයක් තුළට ඉහළ නැංවෙනු ඇත. ජූනි මාසය තුළ ඇතිවූ ඉන්ධන මිල ඉහළ යාම, සහල් ඇතුළු පාරිභෝගික ද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඖෂධ මිල වැඩිවීම ආදියේ ප්‍රතිවිපාක නිසා උද්ධමනය තවත් ඉහළ නගිනු ඇතැයි බලාපොරොත්තු වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව අමෙරිකානු ඩොලරය හමුවේ දුර්වල වන ශ්‍රී ලංකා රුපියල රැකගැනීමේ උත්සාහයක නිරත වෙයි. රුපියලේ විදේශ අගය පහළ වැටීම නිසා ආනයන භාණ්ඩවලට විශාල මුදලක් ගෙවන්නට සිදුවීමෙන් ඒවායේ මිල ඉහළ නගී. ආනයන භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීම සඳහා සැපයුම්කරුවන්ට ගෙවීමට ඩොලර් අවශ්‍ය වෙයි. මේ වනවිට මහ බැංකුවේ මිලට ඩොලරය ගනුදෙනු නොකෙරේ. එයට හේතුව මහ බැංකුව මිල නියම කළද ඩොලර් නොමැතිවීමය. මහ බැංකුව රුපියල් 370 – 375 පරාසයක් තුළ ඩොලරය මිල කළද කළු කඩයේ ඩොලරය රුපියල් 400 ඉක්මවා තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස වැඩි මිලට ඩොලර් ගෙන ලබාගන්නා ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාම නිසා ජනතාව කබලෙන් ලිපට වැටෙන්නේ ඒවායේ අලෙවි මිල අසාධාරණ ලෙස වැඩිවීම නිසාය.
රුපියල අවප්‍රමාණ වීම සමඟ රටේ උද්ධමනය විශාල ලෙස ඉහළ නගින්නේ ආනයනික භාණ්ඩවල පමණක් නොව සහල් ඇතුළු දේශීය භාණ්ඩවලද මිල වැඩිවීම නිසාය. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව රටේ අධි උද්ධමනයක් ඇතැයි පවසන්නේ මේ හේතුවෙනි. 2021 දී තනි ඉලක්කමක මට්ටමේ පැවැති උද්ධමනය අද වනවිට ඉලක්කම් තුනකට කිට්ටුවීමෙන් මිල මට්ටම කොතරම් ඉහළ ගියා දැයි වටහා ගත හැකිය. මෙලෙස කෙටි කාලයකදී මිල ඉහළ ගිය වකවානුවක් අපේ ආර්ථික ඉතිහාසයේ ලියවී නැත. මෙය ඇත්තවශයෙන්ම අතිශයින් අර්බුදකාරී තත්ත්වයකට මග විවර කිරීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති, ආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ රටේ අධි උද්ධමනයක් ඇතැයි දැනට මාධ්‍ය මගින් සිදුවන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බවයි. ඒවා හරිහැටි කරුණු වටහා නොගෙන කරන ප්‍රකාශ යැයි ඔහු කියයි.
''අධි උද්ධමන තත්ත්වයක් ඇතිවීමට නම් මාසික උද්ධමනය 50%කට වැඩි විය යුතු වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය 50.4% යැයි කියන්නේ මාසික උද්ධමනය නොව වාර්ෂික උද්ධමනය බවයි කිව යුතු වන්නේ. අද උද්ධමනය අධික වුණාට අධි උද්ධමන තත්ත්වයක් නැහැ. එහෙම වෙන්න නම් වාර්ෂික උද්ධමනය 6000% විය යුතුයි. අද එහෙම උද්ධමනයක් නැහැ. අද පවතින තත්ත්වයට කියන්නේ (පනින උද්ධමනය) කියලා. එකවර පිම්මක් පැනීමයි මෙහිදී සිදුවන්නේ.
අධි උද්ධමන තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට පුළුවන්. දැන් අගමැති කියනවා ලබන වසරේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ නැහැ කියලා. අජිත් කබ්රාල් මහ බැංකු අධිපතිව සිටියදී අත්තනෝමතික ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළා. ඊටපසුත් එය සිදු වුණා. මේ අගමැති මුදල් ඇමැති ලෙස කටයුතු කරන විටත් රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්නට යැයි රුපියල් ට්‍රිලියන ගණන් නෝට්ටු ගැහුවා. දැන් වරද තේරුම් ගෙන තිබෙනවා.
උද්ධමනය අධි උද්ධමනය බවට පත්වුණාම මුදල් කෙරෙහි ඇති විශ්වාසය පළුදු වෙනවා. පැයෙන් පැයට මිල වැඩි වෙනවා. උදේට රුපියල් 100ක් වූ පාන් රාත්තල සවසට 200ක් වෙන්න පුළුවන්.
මෙතැනදි සිදුවන්නේ මුදල් පිළිබඳ තිබූ විශ්වාසය බිඳවැටීමයි. එම විශ්වාසය නැති වූ විට මුදල්වලින් ගනුදෙනු කරන්න බැහැ. කොච්චර නෝට්ටු ගත්තත් වැඩක් නැහැ. යමකුට නෝට්ටුවලින් කුලිය ගෙවන්නට හදන විට ඔහු කියාවි ''මට සල්ලි එපා.. මට හාල් කිලෝවක් දෙන්න. නැත්නම් පොල් ගෙඩියක් දෙන්න'' කියලා. ඇයි ඒ මුදල් නෝට්ටු කොළවලට වැඩියෙන් ද්‍රව්‍යවල භාණ්ඩවල වටිනාකම වැඩියි. වැඩවසම් යුගයේදි වගේ භාණ්ඩ හුවමාරුව ආරම්භ වෙනවා. මට හාල් කිලෝවක් දෙන්න. මම පොල් ගෙඩි පහක් දෙන්නම්'' ආදී වශයෙන් භාණ්ඩ හුවමාරුවට ආපහු යනවා ඇති. මේවාට කියන්නේ ''මූර්ත භාණ්ඩ ගනුදෙනු'' කියලයි.
උද්ධමනය සමඟ කරන තෙරපිල්ල රුපියල තව තවත් දුර්වල වීමට හේතු වෙනවා. ආනයනවලට ගෙවන්න ඩොලර් නැහැ. ඉතින් ඒ අයට සිදුවෙනවා කළු කඩයෙන් ඩොලර් අරන් ගෙවන්න. එහෙම වුණාම භාණ්ඩ මිල ඉහළ යනවා. ආහාර උද්ධමනය ඉහළ යනවා. මේ තත්ත්වය ළඟදි ස්ථාවරව වෙච්ච බංගලිදේශය වැනි රටවලට බලපාන්නේ නැහැ. ඒ අයට මිලදී ගැනුම්වලට ඩොලර් තියෙනවා. උද්ධමනය අතින් අපි සැම්බියාවට පමණයි දෙවැනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගන්න ඔය කියන තරම් ලේසි නැහැ. අයි.එම්.එෆ්. අමෙරිකානු සෙනෙට් එක කියනවා ණයක් දෙනවා නම් ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන විය යුතුය කියලා. ඒ තත්ත්වයට තවම පත්වෙලා නැහැ. මහ බැංකුවට ස්වාධීන තීරණ ගන්න බැහැ. එය කරන්න නම් අපේ රටේ දැන් තියෙන මූල්‍ය නීති වෙනස් කළ යුතුයි.''
තම නම සඳහන් කිරීමට අකැමැති මිල දර්ශක දත්ත සැපයීම කළමනාකරණය කරන, ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරිනියක් පැවසුවේ මැයි මස උද්ධමනය අනුව දැනට රට අධි උද්ධමන තත්ත්වයකට මුහුණ දී ඇතැයි පැවසිය හැකි බවයි. ජූනි මාසයේ උද්ධමනය 54.6%ක්ව ඇති අතර 50% ඉක්මවා ඇති නිසා එය අධි උද්ධමනකාරී තත්ත්වයක් ලෙස හැඳින්වීම නිවැරදි බව ඇය කියයි. තම දෙපාර්තමේන්තුව සෑම මාසයේම උද්ධමනය ප්‍රකාශ කරන බව ඇය සඳහන් කරයි.
''මේ උද්ධමනය ගණනය කර ඇත්තේ කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය අනුවයි. එයින් නිරෑපණය වන්නේ කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික මිල මට්ටමයි.
අපේ නිලධාරීන් විවිධ ස්ථානවල මිල විමර්ශනය සඳහා සතියකට දින දෙකක් ඒ ඒ ප්‍රදේශවලට යනවා. ඉන්ධන නොමැති වුණත්, ප්‍රවාහනය අඩපණ වී තිබුණත් අපි කෙසේ හෝ එම වගකීම ඉටු කරනවා. කොළඹ දිස්ත්‍රික්කයේ වෙළෙඳපොළවල් 14ක්, ආර්ථික මධ්‍යස්ථාන දෙකක් ආවරණය කරනවා. එක වර්ගයකින් මිල ගණන් තුනක් විවිධ ස්ථානවලින් ගන්නවා. අයිටම 407කට මිල ගණන් තුන බැගින් 1221ක් ගන්නවා.
මෙවර කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මැයි මාසයේ සාමාන්‍ය උද්ධමනය ප්‍රතිශතය 54.6% යි. ආහාර උද්ධමනය 80.3% වෙනවා. ප්‍රවාහන උද්ධමනය 120% ඉක්මවා ඇත. මෙම වසරේ මැයි මාසයේ වාර්තාගත වන ලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගියා. සහල්, අල, පරිප්පු, ලූනු, කරවල, මස්, මාළු, සැමන්, බිත්තර ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල මුල් මාසයේ තිබුණට වඩා එකට එකකටත් වැඩියෙන් ඉහළ ගියා. ඉන්ධන අර්බුදය නිසා ගමනාගමනය, ප්‍රවාහනය සඳහා වියදම ඉතාම වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගියා. ඒ නිසා තමා ප්‍රවාහන උද්ධමනය මෙතරම් දුරට වැඩිවෙලා තියෙන්නේ.
2021 දෙසැම්බර්වලින් පසුව තමා මෙතරම් දුරට වැඩි වුණේ. මාස 2-3 කෙටි කාලයක් තුළ මෙලෙස අධි උද්ධමනකාරී තත්ත්වයක් ඇතිවූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. පසුගිය යුද්ධය තිබුණු සමයේ පවා උද්ධමනය තිබුණේ 20% - 22% මට්ටමේ.
කෙසේ හෝ අද රටේ පවතින තත්ත්වය අනුව ජාතික හා පාරිභෝගික මිල දර්ශකය අනුවද විශාල වෙනසක් සිදුවන්නේ නැහැ. අද පවතින මිල දර්ශක සහ උද්ධමන ප්‍රතිශතය වැඩි වුවොත් මිස අඩු වෙන්නට හේතුවක් නැති බව මගේ පළපුරුද්ද අනුව කිව හැකිය. රටේ ජීවන වියදම මැනීම, ආර්ථික සහ මූල්‍ය ශක්තිය නිගමනය කිරීම, ජාත්‍යන්තර දත්ත සඳහා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන දර්ශක තමා උපයෝගී කර ගන්නේ. ඒ නිසා එම මිල දර්ශක ඉතාම නිවැරදිව, වගකීමකින් යුතුව නිකුත් කිරීමට අප උපරිම උත්සාහ ගන්නවා.''
යසවර්ධන රුද්රිගූ