2022 ජුලි 10 වන ඉරිදා

ගුරුවරුන්ටත් තෙල් නැහැ: උත්තර පත්තර බැලිල්ලත් හබක්!

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 41

මේ වනවිට ශ්‍රී ලංකාවේ ක්ෂේත්‍ර රැසකම අර්බුද පවතී. එහෙත් පාලකයෝ තවමත් මර නින්දේය. තම තනතුරු රැක ගැනීම හැර ජනතා ප්‍රශ්න පිළිබඳව සිතන්නට ඔවුන්ට වෙලාවක් නැත. රටේ දැවැන්තම අර්බුදය නිර්මාණය කර ඇත්තේ ඉන්ධන හිඟය විසිනි. රටේ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ දෙවැනි අදියර තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාට අනුව ප්‍රශ්නපත්‍ර පරීක්ෂකවරුන් මුහුණදෙන ප්‍රවාහන ගැටලු හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති අතර  විභාග දෙපාර්තමේන්තුවට පිළිතුරු පත්‍ර යළි ලබාගැනීමේ අපහසු තත්ත්වයක්ද නිර්මාණය වී තිබේ. ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීමේ පළමු අදියර සාර්ථක ලෙස නිමකළ නමුදු දෙවැනි අදියරේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂාවට ඉන්ධන හිඟය බලපා ඇති බව ඔහු පෙන්වා දෙයි.

''ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි බවට ගුරුවැරන් සහ නිලධාරීන් අපට දන්වා තිබෙනවා. යළි නැවත ආරම්භ කිරීම සඳහා අපට නිශ්චිත දිනයක් නොමැති වුවද රජය ඉන්ධන සැපයීම සහතික කළ විගස යළි පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ආරම්භ කරන බව'' ඔහු පවසා තිබේ. 

2021 උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ මේ වනවිට පැවැත්වේ. එම පරීක්ෂණ ජූලි මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ලකුණු කිරීම දැනට අවසන් අදියරේ පවතී. ඒ අනුව උසස් පෙළ විභාග ප්‍රතිඵල ජූලි මස අවසන් වනවිට හෝ අගෝස්තු පළමු සති දෙක තුළ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. 

පසුගිය දිනවල අ.පො.ස. සා/පෙළ දෙවැනි අදියරේ පිළිතුරු පත්‍ර අගැයීමේ නිරත ගුරුවරුන් තමන්ට ඉන්ධන ලබාදෙන ලෙසට ඉල්ලමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ පවත්වනු දැකිය හැකි විය. තමන්ට පස්වරු 4.00 පමණ වනතුරු රාජකාරියේ නිරත වීමට ඇති බැවින් බැවින් පෝලිම්වලින් තොරව ඉන්ධන සහ ගෑස් සපයා ගැනීමේ ක්‍රමවේදයක් සලසා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටියහ. ඉන්ධන ගැටලුවට විසඳුමක් නොලදහොත් පිළිතුරු පත්‍ර පරීක්ෂාවෙන් ඉවත් වීමට සිදුවන බවද ඔවුහු ප්‍රකාශ කළහ.  එම ගුරුවරුන්ට ඉන්ධන ලබාගැනීමට ප්‍රමුඛත්වය ලබාදීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු සම්පාදනය කළද බොහෝ පිරවුම්හල්වල ඉන්ධන නොමැතිවීම නිසා එම ප්‍රමුඛතා ලිපිවලින් ප්‍රයෝජනයක් අත්වූයේ නැත. අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා ගැනීමට යාමේදී පෝලිම්වල සිටින ජනතාවගෙන් විරෝධතාද එල්ල වන්නට විය. මෙම තත්ත්වය යටතේ  2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිළුල නිකුත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇත. 

මෙම තත්ත්වය දරුවන්ට බලපාන්නේ කෙළෙසකදැයි අප විමසා සිටියේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතාගෙනි. ඒ මහතා සඳහන් කරන්නේ රටේ ප්‍රශ්නවලට වන්දි ගෙවන්නට දරුවන්ට සිදු වී ඇති බවයි. පාසල් ශිෂ්‍යයන් මෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද මෙම අර්බුදයට මුහුණ පා සිටිති. විශ්වවිද්‍යාල වසා දමා වසර තුනකට ආසන්න කාලයක් ගතවී තිබුණද තවමත් විවෘත කර නැතැයිද පාසල්වල තත්ත්වයද ඊටත් වඩා බරපතළ වී ඇතැයිද පුබුදු ජයගොඩ මහතා පෙන්වා දෙයි.

''පාසලක් යනු දරුවකු පවුල නමැති ඒකකයේ සිට සමාජය නැති ඒකකයට ඇතුළුවන අතරමැදි ස්ථානයයි. පාසලක විෂය මාලාව මෙන්ම ඊට සමගාමී ක්‍රියාකාරම්ද බාහිර ක්‍රියාකාරකම්ද තිබෙනවා. මාර්ගගත ක්‍රමයට දැනුම ලබාදිය හැක්කේ විෂය මාලාව සම්බන්ධයෙන් පමණයි. දරුවකුගේ පෞරුෂය ගොඩනැඟෙන්නේ විෂය මාලාව, සමගාමි සහ බාහිර ක්‍රියාකාරකම්වලින්. පසුගිය සමයේ කොවිඩ් වසංගතය නිසා දරුවන්ට පාසල් කාලය අහිමි වුණා. එම තත්ත්වය අපට තේරුම් ගත හැකියි. එහෙත් මේ වනවිට දරුවන්ගේ පාසල් කාලය අහිමි කරන්නේ ඉන්ධන නොමැති බව පවසමින්. එය අතිශය වැරදි ක්‍රියාවක්.

පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන් විශාල මානසික පීඩාවකට මුහුණ දෙමිනුයි විභාගයට ලියුවේ. වසර දෙකකට ආසන්න කාලයක් ඔවුන්ට  පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට නොහැකි වුණා. අන්තිම වාරයේ ඉන්ධන නැහැ කියලා එක පාරටම ඒ වාරය අවසන් කළා. ඉන්පසුව කඩදාසි නොමැති බව පවසමින් බස්නාහිර පළාතේ වාර විභාග පැවැත්වූයේ නැහැ. එවැනි අසීරුතා මැද විභාගය ලියූ දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර බැලීම සඳහා ගුරුවරුන්ට සේවයට වාර්තා කිරීමට ක්‍රමවේදයක් සකස් නොකොට ඉන්ධන හිඟය පිට දමා නවතා දමා තිබෙනවා. 

උසස් පෙළ විභාගයේ ප්‍රයෝගික පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙනවා. එහි තත්ත්වයත් මේ හා සමානයි. ඇතැම් විභාග පරීක්ෂකවරුන්ට විභාග මධ්‍යස්ථානයට කිලෝමීටර 90- 100 වගේ දුරක් යාමට තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ ශිෂ්‍යයකුට ප්‍රායෝගික පරීක්ෂණය සඳහා කිලෝමීටර 110ක දුරක් යාමට සිදුවී තිබෙනවා. ප්‍රවාහන පහසුකම් නොමැති තත්ත්වයක් තුළ එම ශිෂ්‍යයා ප්‍රායෝගික පරීක්ෂණයට එතරම් දුරක් යන්නේ කොහොමද? අධ්‍යාපන අමාත්‍යංශය කළ යුතුව තිබුණේ එම දරුවන්ගේ ප්‍රයෝගික පරීක්ෂණ ටික එම කලාපයේ ගුරුවරුන් සම්බන්ධ කර ගෙන ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථානයක් සකස් කොට දරුවන්ට එම පරීක්ෂණයට මුහුණ දීමට ක්‍රමවේදයක් සකසා දීමයි. පාසල් වසා තිබෙන්නේ ප්‍රවාහන පහසුකම් නොමැති නිසා යැයි අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කරනවා. එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති වාර්තා අනුව පාසල් සිසුන්ගෙන්. 28.9%ක් පාසල් යන්නේ පයින්. 20.4% යන්නේ බස්වල. 3%ක් යන්නේ දුම්රියේ. 23.6%ක් පමණයි පුද්ගලික වාහනවල යන්නේ. 17.4% පාසල් වෑන්වල ගමන් කරන පිරිසයි. ආණ්ඩුව කළ යුත්තේ දුම්රිය සහ පාසල් බස්රථ ප්‍රමාණය වැඩි කරලා තිබෙන ඉන්ධනවලින් කොටසක් ඒ සඳහා වෙන් කිරීමයි. එවැනි වැඩපිළිවෙළක් හැදුවොත් දරුවන්ට පාසල් යෑමට බාධාවක් ඇතිවෙන්නේ නැහැ. එහෙත් බලධාරින් ගන්නා පළමු තීරණය වෙන්නේ පාසල් වසා දැමීමයි. පාසල් වැසුනම විභාග කල් යනවා. කරපු විභාගවල ඉතිරි කොටස් කරගැනීමට නොහැකි වෙනවා. ලිඛිත විභාගවලට පෙනී සිටි දරුවන්ට ප්‍රායෝගික විෂයන් සඳහා පෙනී සිටීමට නොහැකි වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයට මේ කිසිවකට පිළිතුරක් නැහැ. අද අධ්‍යාපන ඇමැතිවරයා රුසියාවට යනවා තෙල් හොයන්න. දරුවන්ගේ අධ්‍යාපනය මේ වනවිට විනාශ වෙමින් පවතිනවා. දරුවන් සමාජය සමඟ මුසුවීම අඩුවීම මත ඔවුන්ගේ පෞරුෂයට යම් හානියක් සිදු වෙනවා. මේවායේ නරක ප්‍රතිඵල එන්න තියෙන්නේ තව වසර ගණනකින්. තව වසර දහයකින් පමණ අපට හමුවන්නේ කායිකව මෙන්ම මානසිකවත් වැහැරීමට ලක්වුණු පෞරුෂ ගැටලු සහිත පිරිසක්.'' යනුවෙන් සඳහන් කළේය.

ලංකා ගුරු සේවා සංගමයේ  ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කරන්නේ ආණ්ඩුව දරුවන්ගේ විභාග ටිකවත් පවත්වාගෙන යාමට අසමත් වී ඇති බවයි. 

''මේ වනවිට පාසල් ටික සම්පූර්ණයෙන් වහලා දාල. විභාග උත්තර පත්‍ර අගැයීම්, මේ වන විට පැවැත්වෙන උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේද ප්‍රායෝගික පරීක්ෂණ, දෙවැනි අදියරේ සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම මේවා නිසි පරිදි පවත්වන්නට ආණ්ඩුවට හැකියාවක් නැහැ. අපොස සාමාන්‍ය පෙළ පළමු අදියරේ අගැයීම් සිදුවුණෙත් ගැටලුකාරී තත්ත්වයක් යටතේ. එයත් දින දෙකක් නතර කිරීමට සිදුවුණා ඉන්ධන ගැටලුව නිසා. මේ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙළක් හදලා මෙම කටයුතු ක්‍රියාත්මක කළ යුතුව තිබුණත් එවැන්නක් නිසි පරිදි සිදු නොවන නිසා ඉන් පීඩාවට පත්වන්නේ දරුවන්. ඇතැම් දරුවො සා.පෙළ ප්‍රතිඵල එනකම් බලන් ඉන්නවා උසස් පෙළට ඇතුළත් වෙන්න. උසස් පෙළ අය බලා සිටිනවා උසස් අධ්‍යාපන කටයුතු සඳහා සූදානම් වෙන්න. මේ අයුරින් මෙම කටයුතු ප්‍රමාද කිරීම හරහා මේ සියලු දරුවන්ට දැඩි බලපෑමක් සිදු වෙනවා.'' යැයි සඳහන් කළේය.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා