අපේ රටේ ජීවත්වන බහුතරය දිළිඳු ජනතාව නියෝජනය කරයි. නමුත් මොවුහු කෙසේ හෝ එදාවේල හරිහම්බ කරගෙන ජීවිතය ගැට ගසා ගනිමින් ජීවත් වූහ. ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් හොයාගන්නට එතරම් ගැටලුවක් තිබුණේ නැත.
මේ ජීවිත නිසි පරිදි ගෙවා දමන්නට සෞඛ්‍ය සේවාවෙන් නිසි සහයෝගය ලැබුණා. ගමේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියගෙන් ඒ සඳහා සියලුම සෞඛ්‍ය උපදේශය ලැබුණා. ඒ තුළින් අංග සම්පූර්ණ ආහාර වේලක් ලබාගන්නේ කොහොමද? අංග සම්පූර්ණ වේලකට අවශ්‍ය පෝෂණ සංඝටක මොනවාද? එම පෝෂ්‍ය සංඝටක විනාශ නොවී මුළුතැන්ගෙයි පිසගන්නේ කොහොමද? ආදී බොහෝ උපදෙස් සමඟ ජනතාව දැනුවත් කරනු ලබනවා. ඒ නිසා මේ රටේ මව්වරුන්ගේ පෝෂණය දැඩි ඌණතාවයකට පත්වුණේ නැහැ. ඒ සඳහා රජය විසින්ද ගැබිණි මවගේ සෞඛ්‍යයට පූර්ණ සහයෝගයක් ලබලා දුන්නා. ඒ අනුව රජයෙන් අතිරේක පෝෂණයක් ලෙසින් &ත්‍රිපෝෂ* ලබා දුන්නා. ඒ වගේම ගැබිණි මවට අවශ්‍ය විටමින්, යකඩ පෙති, ෆෝලික් ඇසිඩ්, කැල්සියම් ආදිය ලබාදුන්නා. ඒ අනුව ඉතාමත් හොඳ නිරෝගී පරිපූර්ණ ගැබිණි මවක් ඉදිරියට ගෙන එන්නට අපි උත්සාහ ගත්තා.* යැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසුවාය.
ගැබිණි මවක් තුළ ජීවිත දෙකක් රුඳී පවතී. ඒ ජීවිත දෙකින් අනාගතයේ රට බාරගන්නට සිටිනා දරුවා ජීවත් වන්නේත් මේ කුස තුළය. එහෙයින් ඒ කුස තුළ සිටින දරුවා නිරෝගිමත් දරුවෙක් විය යුතුය. මේ හේතුවෙන් ගැබිණි මවත් ඒ කුස තුළ සිටින දරුවාත් පරිස්සම් කිරීම ඉතා වැදගත් වේ.
දරුවා බිහිවූදා සිටද ඒ ජීවිත දෙක පරිස්සම් කිරීම ඉතා වැදගත් වේ. බිහිවූ දරුවා මෙන්ම දරු ප්‍රසූතිය සිදුකළ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසිලිමත් වීම ඉතා වැදගත් වේ. දරුවාට මව්කිරි ලබාදෙන්නේද ඒ මවය. ඇයගේ රුධිරය කිරි බවට පත්වෙමින් දරුවාගේ කුස පිරේ. දරු ප්‍රසූතියේදී මවගෙන් අධික රුධිර වහනයක් සිදුවෙයි. ඒ හේතුවෙන් ඇයට නිසි පෝෂණයක් ලබාදිය යුතුය. එමෙන්ම ඇය මතු අනාගතයේදී තවත් දරුවන් බිහි කිරීමට හැකි ලෙසින් නිරෝගීමත්ව සිටිය යුතුය. ඒ හේතුවෙන් මේ රටේ දරුවන් බිහිකරනු ලබන සෑම මවක්ම දරු ප්‍රසූතියකින් පසුවද රුකබලා ගත යුතුය. ගසක ඵලදාවක් නෙලා ගැනීමෙන් පසුව ගස කපා නොදැමිය යුතුය. එහි නැවත නැවතත් ඵලදාව ඇතිවන්නේ ඒ ගසට ලැබෙන ඵලදාව හා රුකබලා ගැනීම හේතුවෙනි.
මාස හයෙන් පසුව උපදින අඩු බර දරුවන් වෙනුවෙන් රජය මගින් ත්‍රිපෝෂ නොමිලේ ලබාදෙනු ලැබීය. නමුත් පවතින මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ එම දරුවන්ට ඒ ත්‍රිපෝෂ ටික අද ලැබෙන්නේ නැත. දරුවන් වෙනුවෙන් තවත් යකඩ අතිරේකයක්ද විටමින්ද ලබාදී තිබූ නමුත් ඒ කිසිවක් අද වනවිට ළමා සායනවලින් දරුවන්ට ලැබෙන්නේ නැත. රජයෙන් ලබාදුන් පෝෂණ සංඝටක බොහෝමයක් අද දරුවන්ට ලැබෙන්නේ නැත.
මේ මාස කිහිපය ඇතුළතදී රටේ ආහාරපානවල මිලෙහි විශාල ඉහළ යාමක් සිදුවුණා. ඒ වගේම ආහාර හිඟයක්ද ඇතිවෙලා තිබෙනවා. මේ හේතු නිසා ආහාර මිලදී ගැනීමට ජනතාවට නොහැකි තත්ත්වයක් උදාවෙලා තිබෙනවා. කොයිතරම් දිළිඳු රටක් වුණත් එදා ආහාර වේලකට මාළු කෑල්ලක් එකතු කරගන්නට ඒ තරම් අමාරුවක් තිබුණේ නැහැ. අඩුම තරමේ දහවල් ආහාර වේලේ බිත්තරයක්, හාල්මැස්සන් ටිකක් හෝ තිබුණා. නමුත් අද මේ පවතින මිල ඉහළ යාමත් සමඟ මාළු කෑල්ලක් හෝ බිත්තරයක් කෑමට එකතු කර ගන්නට නොහැකි තත්ත්වයක් පවතින්නේ. අද සාලයෝ කිලෝවක මිල රුපියල් දාහට ඉතා ආසන්නයි. මේ පවතින අර්බුදකාරී තත්ත්වයත් සමඟ රටේ ජනතාව ඉතා අසරණභාවයට පත්වෙලා තියෙනවා.* දේවිකා කොඩිතුවක්කු මහත්මිය වැඩිදුරටත් පැවසීය.
අපේ රට ආගන්තුක සත්කාරය හොඳහැටි දන්නා රටකි. නිවසට ආ කෙනකුට කෑම වේලක් ලබාදෙන්නට පසුබට නොවුණ ජාතියකට අද අත්ව ඇති ඉරණම ශෝකජනකය. අද මේ රටේ උද්ගතව ඇති තත්ත්වයට අනුව නිවසට ආ කෙනකුට කෑම වේලක් නොව කහට කෝප්පයක් ලබාදෙන්නට බැරි තත්ත්වයක් උද්ගතව තිබේ. ගර්භණී මවට දොළදුක නම් සාම්ප්‍රදායික නාමයත් සමඟ දන්නා හඳුනන අය ඇය කැමති ආහාරපාන ලබාදෙන්නට ඉදිරිපත් වූහ. එයින් ගැබිණි මව පමණක් නොව ආහාරපාන ලබාදුන් අයද සතුටක් ලැබූහ. නමුත් අද පවතින මේ අර්බුදකාරී තත්ත්වය හමුවේ තමන් දන්නා හඳුනන කෙනකුට පමණක් නොව තම නිවසේ ජීවත්වන ගැබිණි මවගේ &දොළදුක* පවා සංසිඳුවා ලන්නට හැකියාවක් නැත. අපගේ රට වර්තමානය වනවිට පත්වී තිබෙන තත්ත්වය එයයි. මේ සියලු කරුණු හේතුවෙන් අනාගතයේ බිහිවෙන දරුවන්ගේ පෝෂණය සම්බන්ධයෙන් සැකයක් ඇතිවෙමින් තිබේ.
දරුවකු පිළිසිඳගත් මවක් මානසික තෘප්තියකින් යුතුව කටයුතු කළ යුතුවේ. දරුවාගේ පළමු පාසල වන්නේද මව්කුසයි. මවට දැනෙන, හැඟෙන වේදනාවන් සියල්ලම කුසේ සිටින දරුවාටද දැනේ. ඒ සියල්ලම විඳදරා ගනිමින් දරුවා කුස තුළ වැඩේ. නිසි කාලයේදී දරුවා මව්කුසින් බිහිවෙයි.
අද බොහෝ ගැබිණි මව්වරුන්ට තමන්ගේ ගැබිණි සායනවලට යන්නට බස් රථයක් නැහැ. බස්වල සෙනඟ හේතුවෙන් එන බස් රථයකට ගැබිණි මවකට ගොඩවෙන්නට බැහැ. කෙසේ හෝ සායනයට ගියත් එහිදී ඇයට අවශ්‍ය ඖෂධ ලැබෙන්නේ නැහැ. ඇතැම්විට සායනවල සිටින වෛද්‍යවරුන්ට, සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කරන්නට වාහනයක් නැහැ. ඒ නිසා ඔවුන් එන්න ප්‍රමාද වෙනවා. එතෙක් ගැබිණි මවට කුසගින්න දරාගෙන ඔවුන් එනතුරු බලාගෙන ඉන්නට සිදුවෙනවා. අඩුම තරමේ බනිස් ගෙඩියක් හා කහට කෝප්පයක් බී කුස පුරවාගන්නට නොහැකි ආර්ථික ගැටලු රාශියකට මුහුණ දෙන ගැබිණි මව්වරුන් ඕනෑතරම් අද අප සමාජයේ ජීවත් වෙනවා. යැයි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසීය.
ආහාරපානවල මිල ඉහළ යාම, හිඟවීම මෙන්ම ඉන්ධන ගැටලුව හේතුවෙන් ගැබිණි මව්වරුන්ට මුහුණදීමට සිදුව ඇත්තේ විශාල අර්බුදකාරී තත්ත්වයකටය. ඉන්ධන මිල ඉහළ යාම මෙන්ම ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද බොහෝ රථවාහන ඇත්තේ තෙල් පෝලිම්වලය. සාමාන්‍ය පන්තියේ ගැබිණි මවකට තම ඇඳුම් බෑගය ඇතුළු අවශ්‍ය කළමනා සමග තම සැමියා හෝ තම වැඩිහිටි කාන්තාවක් සමඟ රෝහලට යාමට ඇති ළඟම ප්‍රවාහන පහසුකම වන්නේ ත්‍රිරෝද රථයයි. අද රටේ සෑම තැනකම ඇති ත්‍රිරෝද රථවලින් බහුතරයක් ඇත්තේ මේ ඉන්ධන පෝලිම්වලය. තවත් සමහර ත්‍රිරෝද රථ ඇත්තේ අයිතිකරුවන්ගේ මිදුලේය. ධාවනයේ ඇත්තේ ඉතාමත් සුළු ත්‍රිරෝද රථ සංඛ්‍යාවක් පමණි. මේ නිසාම තමන්ට කොයි මොහොතේ හෝ අසනීප වීමෙන් රෝහල් ගතවීමට සිදුවේදැයි ගැබිණි මව්වරු දැඩි බියකින් පසුවෙති. මේ නිසාම අඩුම තරමේ ගර්භණී මවක් සිටින නිවසේ සිට ළඟම රෝහල වෙත යාමට අවශ්‍ය ඉන්ධන සුළු ප්‍රමාණයක් කෙසේ හෝ ලබාදීමට පහසුකම් සැලැස්විය හැකි නම් ඉක්මණින් ඇයව රෝහල් ගත කිරීමට හැකියාව පවතී. ඒ හේතුවෙන් ගැබිණි මවක් සිටින නිවෙසක අවශ්‍ය ඇඳුම් බෑගය පමණක් නොව අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන සූදානම් කර ගැනීම සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුවේ.
මේ ඉන්ධන අර්බුදය මේ රටේ ජන ජීවිතවලට පමණක් නොව මේ කිසිවකටවත් වගකිවයුතු නැති මේ කුසේ සිටින දරුවාට පවා මේ අර්බුදය තදින්ම බලපා ඇත්තේ ඒ අයුරිනි. යම් හෙයකින් ප්‍රසූත දිනයට පෙර ප්‍රසව වේදනාවන් පැමිණියේ නම්, කුසේ සිටින දරුවා දඟලන්නේ නැතිනම් හෝ වෙනත් අසාමාන්‍ය ලක්ෂණයක් හෝ වේදනාවක් දැනේ නම් දින ඉදිරියට තිබුණද ක්ෂණිකව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි අමතන්න අමතක නොකළ යුතුය.
මේ රටේ සිටින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරියන්ට අවශ්‍ය අවස්ථාවක මව්වරුන් වෙත ඒමට හැකියාව තිබිය යුතුවේ. නමුත් අද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ට තමන්ගේ යතුරු පැදියට අවශ්‍ය ඉන්ධන ලීටර් තුනහමාර හෝ ලබාගැනිමට සාමාන්‍ය ජනතාව සමඟ පැය ගණන්, වරු ගණන්, දින ගණන් ඉන්ධන පෝලිම්වල සිටිය යුතුවේ. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තම යතුරුපැදියට ඉන්ධන ලබාගන්නේ නිවසේ සිට කාර්යාලයටත් කාර්යාලයේ සේවාව සැපයීම සඳහා ක්ෂේත්‍රයෙන් ගෘහ පිරික්සීම කිරීමටය. ඒ සඳහා ඇයට සේවා ලබාදිය යුතු නිවාස කිහිපයක්ම ඇත. එවැනි සේවාවන් සපයන අයටද සිදුව ඇත්තේ දින ගණන් ඉන්ධන පෝලිමේ සිට ඉන්ධන ලබාගැනීමටය. අත්‍යවශ්‍ය සේවාවන් සපයන, නිවසින් නිවසට ගොස් සේවාව සපයන ඔවුන්ට මීට වඩා සහනයක් ලබාදිය යුතු බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.
දිශානි ජයමාලි කරුණාරත්න