ශ්රී ලංකාවේ ස්වභාවය දිනපතා නොසන්සුන්ය. ගැටුම් නැති දිනක්, නැති කාලයක් නොපෙනේ. තැනක ඇතිවන ගැටුමක් සමාජ මාධ්‍යයෙන් පැතිරෙන අතර අනෙක් තැනක ජනයා ද තමන් අරගලයකට යා යුතු යැයි සිතති. එය තවත් වටයකින් ඇවිලෙන තත්ත්වයක් නිර්මාණය කර තිබේ. ඉන්ධන පිරවුම්හලක්, ගෑස් පෝලිමක්, බස් රථයක සිද්ධියක් දුරදිග යන ගැටුමක ආරම්භය බව පෙනේ.
ප‍්‍රශ්න ගණනාවකින් හෙම්බත් වී සිටින ජනයා ඒවාට විසඳුම් සොයති. දරුපවුල් ආරක්ෂා කරගෙන ආර්ථික අර්බුදයේ පීඩනයට මුහුණදීම පහසු නැත. සමාජ ක‍්‍රමය ගැන තරහක් හා වෛරයක් ඇතිව මහ මගට බසින වැඩි දෙනෙක් අරගලයේ කොටස්කරුවෝ බවට පත්වී සිටිති. ඇවිලවීමකින් දැවෙන ප‍්‍රශ්න නිවාගත නොහැක. ගැටුම් හා අරගලවලින් ජය අත්පත් කරගත හැකි නම් ලෝකයේ හොඳම රට ශ‍්‍රී ලංකාව බව නොරහසකි. පාලනයක් සහිත, විනයානුකූල සමාජයක් ගොඩනගා ගතහොත් රටට අනාගතයක් තිබේ.
කෙළවරක් නැති අත්අඩංගුවට ගැනීම්
පසුගිය මාස දෙක තුළ පැවැති උද්ඝෝෂණ අවසානයේ දී පොලිස් අත්අඩංගුවට පත් පිරිස විශාලය. කොටසක් පොලිස් ඇප මත මුදා හැරිණි. තවත් කොටසක් මහේස්ත‍්‍රාත්වරයකු හමුවට පමුණුවා ඇප නියම කෙරිණි. පොලිස් භාරයට ගන්නා ඇතැමකු නිදහස් කර ගන්නට සැලකිය යුතු නීතිඥ කණ්ඩායමක් ඉදිරිපත්වීම මාධ්‍ය වාර්තා කරන ලද සිද්ධි අතර වේ. ව්‍යවස්ථාව, විධායකය හා අධිකරණය අතර බල තුලනයක් ඇත. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මට අවශ්‍යය. විධායකය හා ව්‍යවස්ථාදායකය අභිබවා අධිකරණය ඉදිරියට පැමිණීම පවා විකෘතියකි. නීති හදන, ඒවා සම්මත කරන ආයතන ගැන විශ්වාසය වැදගත්ය. විශ්වාසය පළුදු වන විට ජනතාව නැගී සිටිති. නැවත ක‍්‍රමානුකූල තත්ත්වයකට ගෙන එන ක‍්‍රමය ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් කර ඇත. එකී පියවරවලට එපිටින් තනි පාර්ශ්ව සිය බලය හා මමත්වය සලකුණු කරන්නට උත්සාහ කළොත් එය විනාශකාරී ස්වභාවයක් ඇති කරයි.
මහජන ආරක්ෂාව, පොදු දේපළ පනත වැනි වගන්ති භාවිත කරන ඕනෑම පුරවැසියකුට විරුද්ධව නඩු පැවරිය හැකිය. අධිකරණ ක‍්‍රියාවලිය සඳහා ගතවන කාලය, එයට වැය කරන්නට සිදුවන මුදල සුළු පටු එකක් නොවේ. ඇප ගන්නට සාමූහිකව ඉදිරිපත් වන නමුත් ඇතැම් නීතිඥවරුන් නඩු විභාගයේ දී හැසිරෙන ආකාරය ද මතක තබාගත යුතුය. ඇප සඳහා පෙනී සිටි නීතිඥවරුන් සමහරවිට නඩු විභාගයේ දී නොමිලේ පෙනී සිටින්නේ නැත. එපමණ ජාතිකවාදී නොවෙන්නට ඉඩ තිබේ.අරගලකරුවන් හුදෙකලා වන අවස්ථා ඇති අතර ඒවා කෙරෙහි අවධානයෙන් පාරට බැසීම සුදුසුය. පොලිස් පොතක ලියාගන්නා කාරණය ඕනෑම පැත්තකට හරවන්නට ශ‍්‍රී ලංකාවේ පොලීසියට හැකියාව තිබේ. මත්ද්‍රව්‍යයක් ගැන නොදන්නා අහිංසකයකු පවා මත් ජාවාරම්කාරයකු බවට හරවන්නට සුදු පැහැති කුඩකට හැකියාව ඇත. ඒවා මත්ද්‍රව්‍ය නොවන බව ඔප්පු වන අතරවාරයේ සැකකරු විශාල වන්දියක් ගෙවා ඇති පුරවැසියෙකි. ආයුධ පෙන්වන්නට යන අවස්ථා, සාක්ෂි රහිතව දීර්ඝ කාලයක් රිමාන්ඩ් කිරීම වැනි තීරණ කොපමණ සූක්ෂම මානව අයිතිවාසිකම් වාර්තාවකට පවා හසුකර ගන්නට අසමත්ව ඇති කරුණුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කරන්නට ආණ්ඩුවට වගකීමක් ඇති අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගොදුරු නොවී ජීවත්වීමේ හිමිකමක් ද පුරවැසියන්ට ඇති බව වටහා ගැනීම ඉතාම වැදගත්ය.
ආර්ථිකය අවදානමක
ශ‍්‍රී ලංකාව එක්තරා ආකාරයක ආර්ථික ප‍්‍රවණතාවයක සිටි බව නොරහසකි. බාහිර හා අභ්‍යන්තර හේතු මත ආර්ථිකය අවුල් ජාලයක් බවට පත්ව ඇත. ජාත්‍යන්තරයේ අද පවතින ගැටලු කෙරෙහි අවධානය යොමු කළ පසු ශ‍්‍රී ලංකාව දරුණු අවදානම් තැනක නැත. මෑත කාලයේ ආර්ථික අර්බුදවලට ගොදුරු වූ රටවල බැංකු බිඳවැටිණ. ආහාර මිල විශාල වශයෙන් ඉහළ ගියේය. සමාජ විනය පිරිහී ගිය අතර කිසිසේත් පාලනය කළ නොහැකි අන්තවාදී බලවේග අතට රාජ්‍ය බලය මාරු විය. ඒවා අතිශය අවදානම් අවස්ථා බව සදහන් කළ යුතුව තිබේ.
2022 වසරේ ආර්ථිකය 7%ක පමණ ඍණ අගයක් ගන්නට ඉඩ ඇති බව දැක්වේ. වසර ගණනක් ආදායම පහතට වැටුණු රට දැන් අනතුරක් අබියසය. පොදු ප‍්‍රවාහනය අඩාල වී ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස පාසල් හා කාර්යාල සීමා කර ඇත. එයට හේතුව බලශක්ති හිඟය බව පෙනේ. ආනයන නතර කරන්නට සිදුවී තිබේ. ඛණිජ තෙල්, ගෑස් යනාදී බලශක්ති උත්පාදන අංශවල හා අනෙක් ආනයනවල ප‍්‍රශ්නවල යථාර්ථය විදේශ විනිමය හිඟය හැර අනෙකක් නොවේ. විනිමය උත්පාදනය අතිශය වැදගත්ය. ආර්ථික ක‍්‍රමය නැවත උස් ස්ථානයකට කැඳවීම සඳහා විදේශ විනිමය උවමනා කර තිබේ. රටක සන්සුන්භාවය, එකමුතුභාවය වඩාත් වටින්නේ අද වැනි කාල වකවානුවකය. අරගල, ගැටුම්වලින් ඩොලර් ලැබෙන්නේ නැත. ත‍්‍රස්තවාදී කලබල ඉහවහා ගිය එනම්, කටුනායක බෝම්බ පිපිරීම, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය හා මහ බැංකුව පුපුරුවා හැරීම යන සිද්ධි අතරවාරයේ පවා රටට සංචාරකයෝ පැමිණියහ. විදේශ රටවල සේවය කරන පිරිස නිසි පරිදි විනිමය එවන ලද අතර අපනයන අංශය අඛණ්ඩව කරගෙන ගියේය. අද මාසයකට එන සංචාරකයන් ගණන තිස් දහසකට පසු බැස ඇත. එයාර් ඉන්දියා ඇතුළු ගුවන් සේවා කටුනායකට පැමිණීම අත්හිටුවා තිබේ. විදේශගත ශ‍්‍රමිකයන් සහ අපනයනකරුවෝ විනිමය එවීම ප‍්‍රමාද කරමින් සිටිති. අලුත් ආයෝජන ලැබෙන්නේ නැති තරම්ය.
අවිනිශ්චිතභාවය සමඟ ආයෝජකයෝ ආපසු හැරෙති. ආයෝජනය සඳහා ශ‍්‍රී ලංකාව හැර අනෙක් රටවල් ඇත. කොළඹ කොටස් වෙළෙඳපොළ දිගටම පසුබසින අතර රටට එන ආයෝජකයන්ගෙන් පවා අල්ලස් ඉල්ලන සිද්ධි පාර්ලිමේන්තුව හෙළි කර තිබේ. රටක් ගොඩනගන්නේ කෙසේද? අරගලයෙන්, අවිනිශ්චිතභාවයෙන් තව තවත් සංකීර්ණත්වය නිර්මාණය වනු හැර අනෙක් කිසිවක් සිදු නොවේ.
විපක්ෂයටද බලවත් වගකීමක්
විපක්ෂය සුළු කොට තැකිය යුතු නැත. ඕනෑම රටක බලවත් විපක්ෂයක් ඊළඟ වතාවේ බලයට එන ආණ්ඩුව බව කල්පනා කිරීම සුදුසුය. විපක්ෂ නියෝජනය තුළ අනාගත ආණ්ඩුවක වගකිව යුතු මැති ඇමැතිවරු සිටිති. පාර්ලිමේන්තුවේ දී හැසිරීම කෙරෙහි ජනතාව අවධානයෙන් සිටිති. පවතින දුබල තැනින් ගැලවෙන්නට වාරුවක් අවශ්‍යය. වැටී සිටින පුද්ගලයකුට නැගිටින්නට අතදීම සුදුසුය. නැගිටගන්නට උත්සාහ කරන විට කෑකෝ ගසා නැවත වැට්ටවීමත්, අවමානයට පත් කිරීමත් මානුෂික තත්ත්වයක් නොවේ. තමන් අර්බුදයක සිටින අවස්ථාවක දැන් සිටින ආණ්ඩුව විපක්ෂයේ භූමිකාව මෙම ආකාරයටම ඉටු කරන්නේ නම් ඇතිවන හැඟීම මෙනෙහි කළ යුතුය. නැගෙන්නට ආධාර ඉල්ලන හැම අත්තක්ම සිඳින, උපකාර අපේක්ෂාවෙන් ක‍්‍රමය වෙනස් කරන්නට වැර වෑයම් කරන අවස්ථාවල හරස් කිරීමකින් ලැබෙන වාසිය කුමක්ද?
ජනයා දුඛිත තත්ත්වයට පත්ව සිටින බව අවධාරණය කළ යුතුය. මැති ඇමැතිවරුන්ගේ පහසුකම් අඩු කර නැත. බස් සේවා, අධ්‍යාපනය, ඉන්ධන, ගෑස් අවශ්‍ය දෙසිය විසිපස් දෙනාට නොව පොදු ජනතාවටය. තමන්ගේ ඡන්ද දායකයන්ටය. ඡන්ද දායකයන් ගෞරවනීය තැනකට කැඳවීම අවශ්‍යය. ඔවුන් දුකට තල්ලු කරන වක‍්‍ර ක‍්‍රියාමාර්ගවලින් ආණ්ඩුව කෙරෙහි කලකිරීමක් ඇතිකර එම වාසිය තමන්ගේ පැත්තට හරවා ගැනීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. මතය ඉදිරිපත් කරන්නට, ක‍්‍රියාත්මක වෙන්නට ඉඩ දිය යුතුය. සැලැස්ම අසාර්ථක වූ පසු එය ජනතාව තීරණය කරනු ඇති අතර බලයට පාර කපා ගැනීම සඳහා අන්ධකාරය වෙත සමස්ත සමාජය තල්ලු කරන අරගල එපමණ සුදුසු නැති ක‍්‍රියාවකි.
ඡන්දයකින් බලය හුවමාරුව
ව්‍යවස්ථාව ගැන අපට අවබෝධයක් තිබේ. විපක්ෂය ව්‍යවස්ථා සංශෝධනය සඳහා යෝජනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගෙන ගියේය. එහි ඇතැම් වගන්ති වෙනස් කරන්නට ජනමත විචාරණයක් අවශ්‍ය බව අධිකරණයේ නිගමනය වී තිබේ. ජනමත විචාරණයක් පවත්වන්නට දැනට වාතාවරණයක් නැත. දරුවන්ගේ විභාග පැවැත්විය නොහැකි රටක ඡන්දයකට බල කිරීම අමනෝඥ අදහසකි. ඡන්ද කල් දැමීම ද නුසුදුසුය. පළාත් සභා ඡන්ද කල් දමා ඇති අතර එය විශාල ප‍්‍රශ්න ඇති කර තිබේ. මහ මැතිවරණයක් පැවැත්විය හැකි ආකාරය ව්‍යවස්ථාවෙන් නියම කර ඇත. ජනාධිපතිවරයකු ඉවත් කරන හෝ අලුතින් පත්කර ගන්නා ආකාරය අප ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව එකඟ වී ඇති කරුණකි. වෘත්තිකයන්, ආගමික නායකයන්, නායක හිමිවරුන් හෝ සිවිල් සංවිධාන බල කරන පමණින් ව්‍යවස්ථාවට එපිටින් තීරණ ගත නොහැකිය. එහෙත් එය අනාගතයේ දී පූර්වාදර්ශයක් විය හැක.
රටට අවශ්‍ය නිසි පාලනයකි. කුඩා දේශපාලන කණ්ඩායම්, අරගලය තුළ සිටින පිරිස් රටට සංයමය ඇති කළ යුතු ප‍්‍රධාන සාමාජිකයෝ වෙති. පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්ට ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නට වගකීමක් ඇත. ත‍්‍රස්තවාදයට ඉඩ නොදෙන හා ව්‍යවස්ථානුකූලව කටයුතු කරන බවට දෙන දිව්රුම හුදෙක් ආයුධ අතට ගත් පිරිසකට එරෙහිවීමක් පමණක් නොවේ. රට කරවන්නට සහභාගීවීම ගැන සංකේතයකි. රට ගොඩනගන්නට, නීතිය හා සාමය ආරක්ෂා කරන්නට නීති හදන තැනින් ලැබෙන සහතිකයකි. එය අවධාරණය කළ යුතුව ඇත. ශ‍්‍රී ලංකාව නැවත සාමකාමී යුක්ති සහගත තැනක් කළ හැකි අප සියලු දෙනාටය. පිටතින් එන මූල්‍ය අරමුදලට හෝ වැඩිම ආධාර දෙන ඉන්දියාවට වඩා අයිතියක් පොදුවේ අපට ඇත. එය නිදහස් විය නොහැකි වගකීමකි. සමාජය සන්සුන් කරන්නට ඉවසන, විනයගරුක තැනක් කරන්නට ලබා දෙන සහාය රට ඉදිරියට ගෙන යන්නට ලැබෙන විශාල වාරුවකි. එය දෙන්නටත්, ලබාගන්නටත් දෙපාර්ශ්වයම පියවරක් පිටුපසට ගැනීම අවශ්‍යය.
සාරා කන්දෙගොඩ