ශ්‍රී ලංකාවේ තවදුරටත් දහනය වන්නේ ඉන්ධන නොව ජීවිතයි. ඉන්ධන පෝලිම්වල ගුටිකෙළි, ඇණ කොටා ගැනීම්, හොරකම්, වංචා, මරණ පවා වාර්තා වෙමින් තිබේ. මග දෙපස පෝලිම්වල නවතා ඇති රථවාහන මහමඟ ගමන් කරන රථ වාහන ප්‍රමාණයට වඩා වැඩිය. උදා වී ඇත්තේ නැකැතින් තොර නොනගතයකි. මේ නොනගතය කවදා කෙලෙස නිමා වේවිද? ඊට පිළිතුර වගකිව යුත්තන් පවා නොදන්නා සෙයකි.
ඉන්ධන නැව් පැමිණෙන දින පිළිබඳව හරිහැටි ප්‍රකාශයක් කළේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) පමණි. මැති ඇමතිවරුන් විවිධ කතා කී මුත් ජනතාව ඒවා විශ්වාස නොකරති. ශ්‍රී ලංකාව විසින් ආනයනය කර ඇති පෙට්‍රල් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 90,000ක් වූ ඉන්ධන තොගයක් මෙම මස තුළ තුළ දී ලැබීමට නියමිත බව Lanka IOC ය නිවේදනය කළේය. එයින් මෙට්‍රික් ටොන් 30,000ක් රුගත් පළමු නෞකාව මෙම මස 13ත් 15ත් අතර දිනක කොළඹ වරායට පැමිණීමට නියමිත බවද ලංකා ඉන්දියන් ඔයිල් සමාගම වැඩිදුරටත් පැවසුවේය.
කොයිහැටි වෙතත් පසුගිය සතියේ යාන්තමින් හෝ ඉන්ධන ලැබුණේ Lanka IOC පිරවුම්හල්වලට පමණි. එහෙත් පෝලිම්වල රැඳී සිටි පිරිසට සාපේක්ෂව ලැබුණු එම ඉන්ධන ප්‍රමාණය අල්පමාත්‍රික විය. මේ හේතුවෙන්ම ඉන්ධන පිරවුම්හල් අසල ජනයා නිතර නොසන්සුන් වූහ. මේ සම්බන්ධව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය සඳහන් කළේ 200කට ආසන්න සීමිත ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයකට වරකට ලීටර් 6, 600 බැගින් Lanka IOC සමාගම ඉන්ධන නිකුත් කරන බවයි. එම සංගමයේ සභාපති කුසුම් සන්දනායක මහතා ඒ හා සම්බන්ධව මෙලෙස අදහස් දක්වා තිබුණි.
''ඉතා විශාල සංඛ්‍යාවක් මේ පෝලිම්වල රැඳී සිටිනවා ඛනිජ තෙල් ලබාගැනීම සඳහා. කාට වුණත් මේක බොහොම හොඳින් තේරෙනවා, ලීටර් 19,800 ක් ලීටර් 30,000 ඕනෑ සැපයුමකට ලීටර් 6,600ක් අවාම පිරවුම්හල් හිමියෝ අපහසුතාවයට පත්වෙනවා. ඒ වගේම පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් අපේ සේවක මහතුන් අපහසුතාවයට පත් වෙනවා. මම හිතන් නෑ Lanka IOC සමාගමට ලීටර් 6,600 ගානේ එවල මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. ඒ නිසා කරුණාවෙන් ඉල්ලනවා ලීටර් 6,600 ගානේ එවන්න එපා. ඊට වැඩි ප්‍රමාණයක් එවන්න. සතියකට අවශ්‍ය ප්‍රමාණය පිරවුම්හල් වෙත එවලා ඒ මිනිස්සුන්ව සනසන එක තමා හොඳම දේ.''
බොහෝ පිරවුම්හල් වෙත ලැබෙන ඉන්ධන කඩිනමින් අවසන් වීමට හේතුව වී ඇත්තේ අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන සැපයීමයි. ඒ අනුව දින පහ හයක් පුරා නිදිවරණ පිරිස් ඉදිරිපිටම කඩිමුඩියේ පැමිණෙන අත්‍යවශ්‍ය සේවා යැයි සඳහන් කරන අය වෙත ඉන්ධන නිකුත් කිරීම සිදුවේ. ඉන්ධන තොග පිරවුම්හල් වෙත ලැබුණු සැණින් අත්‍යවශ්‍ය සේවා සඳහා බොහෝවිට නව පෝලිම් නිර්මාණය වේ.
Lanka IOC යෙන් සිදුකළ විමසීමකට අනුව රජය අත්‍යවශ්‍ය සේවා සඳහා ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලීමක් ඔවුන් වෙත ඉදිරිපත් කර නොමැති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසා තිබේ. එසේම පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් ඇතැම් පිරවුම්හල් වෙත පැමිණ අත්‍යවශ්‍ය සේවා ලෙස වෙනම පෝලිමක් නිර්මාණය නොකරන ලෙස දන්වා ඇතැයි ඔවුන් සඳහන් කරයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ලෙස සඳහන් කරන අයටද සාමාන්‍ය පෝලිමේ පැමිණ ඉන්ධන ලබා ගන්නා ලෙස ඔවුන් පවසා තිබේ.
මෙය උභතෝකෝටිකයකි. මේ වනවිට ජනාධිපතිවරයා අත්‍යවශ්‍ය සේවා කිහිපයක් නම් කරමින් ගැසට් පත්‍රයක්ද නිකුත් කොට තිබේ. අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබා බව අමාත්‍යවරයාද පවසා ඇත. තවත් පසෙකින් රාජ්‍ය ආයතන විසින් අත්‍යවශ්‍ය සේවා කූපන් ලිපි නිකුත් කරමින් සිටිති. එහෙත් එහි නිසි කළමනාකරණයක් නොමැත. කූපනයකින් කී වරක් ඉන්ධන ලබාගත හැකිද? අවශ්‍යතාවය කොපමණද? යන්න පිළිබඳව ඇත්තේ අනවබෝධයකි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සම්බන්ධ නිසි වැඩපිළිවෙළක් නොවීම නිසාවෙන් වර්තමාන ඉන්ධන අර්බුදය තවත් සංකීර්ණ වී ඇති බව පැහැදිලිය.
මේ අතර අත්‍යවශ්‍ය සේවාවලට මුවා මුවාවී වංචනික ලෙස ඉන්ධන අලෙවිකරණ පිරිස් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත. කෙසේ වෙතත් ඉකුත්දා අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබාදීමේදී ප්‍රමුඛතාවය හිමිවන පාර්ශ්ව මොනවාද යන්න පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයා වෙත නියෝග කර තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගය නිකුකර ඇත. ඉන්ධන අර්බුදය හේතුවෙන් රෝහල්, ප්‍රවාහන ඇතුළු ජනජීවිතයට සෘජුව බලපෑම් කරන ක්ෂේත්‍ර රුසක් අර්බුදයට ගොස් ඇති හෙයින් ඉන්ධන අර්බුදය විසඳීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණි. ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට කැඳවූ මොහොතේ මෙම නියෝගය නිකුත් ලැබී තිබේ.
Lanka IOC ඉන්ධන සම්බන්ධ කතිකාව මෙලෙස ගලා යනවිට සිපෙට්කෝ ඉන්ධන සම්බන්ධවද විවිධ ප්‍රකාශ ඉකුත් සතියේ නිකුත් විය. කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදී විෂය භාර අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටියේ ජූලි 8–9 සහ ජූලි 11-14 අතර ඩීසල් නැව් 2ක් දිවයිනට පැමිණෙන බවය. එසේම පෙට්‍රල් නැවක් ජූලි 22-23 ලබාගන්නා අතර සහ ජූලි 15-17 අතර කලයේ තවත් ඩීසල් නැවක් ලබා ගැනීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. තවද ජූලි 10-11 අතර පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මලයාසියානු සමාගමකින් ලබා ගැනීමට සාකච්ඡා කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
ඉන්ධන ලැබීම පිළිබඳව ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේදී ද අවස්ථා කිහිපයකදී සාකච්ඡා විය. ඉන් එක් අවස්ථාවකදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාද විෂය භාර අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශය අනුව යමින් ඉන්ධන තොග ලැබෙන දින පිළිබඳ හෙළිදරව්වක් සිදුකළේය.
''මේවා කැබිනට් මණ්ඩලයේ මණ්ඩලයේ කතාවුණු දේවල්. ඩීසල් හතළිස්දාහක තොගයක් ලබන 8-9 අතර එනවා. දැවිතෙල් නැවක් 10-11 අතර එනවා. තවත් ඩීසල් නැවක් දාහතර වෙනිදා එනවා. 13-15 අතර විටොල් එකෙන් පැට්‍රල් එකක් එනවා. පහළොස් වැනිදා බොර තෙල් නැවක් එනවා. එදිනම ඉන්දීය තෙල් සමාගමෙන් වෙනම ඩීසල් එකක් එනවා. විසි දෙවැනිදාත් තොගයක් එනවා. අද විපක්ෂය කලබල වෙලා තියෙන්නේ මේ වැඩේ කරාවි කියලයි. මොකද මේක කළොත් ඒ ගොල්ලන් ඉවර වෙනවා. අපි කොහොම හරි මේක කරනවා.''
මේ අතර ඉදිරි මාස හය සඳහා ඉන්ධන බෙදාදීමට නව වැඩපිළිවෙළක් වැඩපිළිවෙළක් සකස් වන බවද විෂය භාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රකාශයක් අනුව දැනගත හැකිවිය. ඒ පිළිබඳ සිදුකළ සොයා බැලීමකදී හෙළිදරව් වූයේ ප්‍රමුඛතා ක්‍රමවේදයක් අනුගමණය කරමින් ඉන්ධන බෙදාදීම ඉදිරි මාස 6 තුළ සිදුවනු ඇති බවකි. බොහෝ දෙනෙකු විවිධ ප්‍රකාශ සිදුකරන නමුත් විදේශ විනිමය අර්බුදය නොවිසඳෙනා තාක්කල් ඉන්ධන අර්බුදයේ අවසානයක් නොමැති බව ඒ අනුව පෙනී යයි.
පෙරකී සැලැස්ම අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝවන් තුළ තිබෙන ඩීසල් පොම්ප භාවිතා කරමින් රජයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන, සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රථ වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමට රජය බලාපොරොත්තු වේ. ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ඩීසල් සහ භූමිතෙල් රටපුරා ධීවර වරායන් තුළ ඇති පිරහුම්හල් 22ක් භාවිතා කරමින් සැපයීමට රජය සූදානමින් සිටීයි. එසේම ගොවීන් සඳහා අවශ්‍ය ඉන්ධන තෝරාගත් පිරවුම්හල් 160ක් භාවිතා කරමි නිකුත් කරනු ඇත.
මේ අතර දැනටමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් නිසි ලෙස ඉන්ධන බෙදාදීමේ විවිධ උපායමාර්ග අනුගමනය කළ නිලධාරීන් පිළිබඳවද අසන්නට ලැබේ. වව්නියාව දිස්ත්‍රික්කය තුළ ගැටලුවකින් තොරව ඉන්ධන බෙදාහැරීමට පියවර ගෙන ඇතැයි දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා ඉකුත්දා පවසා තිබුණි. ඒ සඳහා නව දුරකථන යෙදවුමක්ද හදුන්වා දී ඇත. එමගින් සියලු දෙනාට ඉන්ධන ලැබීම සහතික කර තිබේ. එක් පුද්ගලයෙකුට දින 4 කට වරක් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව උදාවෙයි. ඊට සියලුදෙනාගේ සහාය ලැබී ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි.
අවසානයේ සඳහන් කළ යුත්තේ වර්තමාන ඉන්ධන අර්බුදය කඩිනමින් විසදීම අපහසු බවය. එනමුත් පවත්නා තත්වය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට අසමත්වීම රජයේ සහ නිලධාරීන්ගේ දුර්වලතාවය වයකි. මේ වනවිට ඇතැම් වගකිවයුත්තන් පෝලිමේ ප්‍රචණ්ඩත්වයට ප්‍රචණ්ඩත්වයෙන් උත්තර සොයන්නට යන බව පෙනෙයි. තවත් පිරිසක් ලාදුරු රෝගීන් මෙන් කිසිවක් නොදැනෙන ලෙස බලා හිදී. තවත් පිරිසක් සුපුරුදු දූෂිත යාන්ත්‍රණය අර්බුදය තුළ වුව ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙති. සැබැවින්ම අතලොස්සක් වූ අවංක උත්සාහයක නිරතවන පිරිස් හුදකලා වී සිටිති.
චමිඳු නිසල් ද සිල්වා