2022 ජුලි 10 වන ඉරිදා

ඩොලර් බිලියන එකහමාරේ තේ කර්මාන්තය අනතුරේ

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 93

ශ්‍රී ලංකාවේ දවසකට තේ කහට කෝප්පයක් දෙකක් නොබොන නිවෙසක් නොමැති තරම්ය. තේ යනු අප හැමගේ ජීවිතවලට දැඩිද බැඳී ඇති පානයකි. ඒ අප හුදෙක් තේ බොන්නන් වීම නිසාම නොවේ. අප රටේ ආර්ථිකයෙන් සැලකිය කොටසක් තේ කර්මාන්තය විසින් දරා සිටීමට ඊට හේතුවයි. එහෙත් තේ කර්මාන්තය පිළිබඳ මෑතකාලීනව අසන්නට ලැබෙන පුවත් එතරම් සතුටුදායක නොමැත. එම නිසාම අපි ඒ පිළිබඳ සොයා බැලුවෙමු.

පසුගිය ජූලි පස්වැනිදා වතු හාම්පුතුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරේ මහතා තලවකැලේ ප්‍රදේශයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා සුවිශේෂී අනාවරණයක් සිදුකොට තිබුණි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ මේ වනවිට තේ වතු සමාගම් කිහිපයක තේ කුඩු නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව ඔහු අනාවරණය කළේය. තේ වත්තේ සිට තේ කර්මාන්ත ශාලාව දක්වා තේ දලු ප්‍රවාහනයටත්, තේ කුඩු නිෂ්පාදනයටත්, තේ වතු පාලනය කිරීමටත් ඩීසල් සහ පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි කියැවුණි. විදුලි කප්පාදුවත් සමඟ ඉන්ධන අවශ්‍යතාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවද ඔහු සඳහන් කළේය.

මේ අතර ප්‍රමාණවත් ඉන්ධන තොග ඉදිරි දින කිහිපයේදී නොලැබුණහොත් රට පුරා දිස්ත්‍රික්ක හතක තේ කර්මාන්ත ශාලා වැසීයෑමේ අවදානමක් පවතින බව තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතාද පසුගිය සතියේ පැවසීය. ඉන්ධන ප්‍රශ්නය සහ විදුලිය කැපීම හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල කර්මාන්තශාලා ක්‍රියාත්මක වන්නේ සතියේ දින හතරක් පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මීට අමතරව තේ කර්මාන්තශාලා සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් මීට පෙර ආරම්භ වුවත් එය අසාර්ථක වූ බවද තේ කම්හල් හිමියෝ පවසති.

මෙය හුදෙක් වර්තමාන ඉන්ධන අර්බුදය හමුවේ තවත් එක් කර්මාන්තයක් තුළ පැන නැගුණු ගැටලුවක් ලෙස සලකා බැහැර කළ නොහැකිය. ඊට හේතු සාධක අපමණය. තේ අපනයනයෙන් වාර්ෂිකව මෙරට ලබන ආදායම ඩොලර් බිලියන 1.5ක් පමණ වන අතර අපනයනකරුවෝ පෙන්වා දෙති. රටක් ලෙස අපට තවදුරටත් ඩොලර්වලින් ආදායම් ලබන කර්මාන්ත සීමිතය. එවන් විටක තේ කර්මාන්ත කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් ප්‍රමාණයද රටට අහිමි වී ගියහොත් සිදුවන්නේ බරපතළ පාඩුවකි. අනෙක් පසින් ලක්ෂ විස්සකට ආසන්න පිරිසක් කර්මාන්ත ආශ්‍රිතව ජීවනෝපාය පවත්වාගෙන යති. එයද අමතක කළ නොහැකි තත්ත්වයකි.

ශ්‍රී ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය කිලෝ මිලියන 330ක් පමණ වන අතර එයින් කිලෝ මිලියන 323ක් පමණ ලොව පුරා රටවල් රුසකට අපනයනය කරනු ලබයි. එහෙත් තේ මිල දී ගන්නා රටවල්වල අවශ්‍යතාවට සරිලන තේ සැපයුමක් මෙරටින් සිදුකිරීමට නොහැකි වුවහොත් එම රටවල් ඉන්දියාව සහ කෙන්යාව වැනි රටවල්වලින් තේ මිල දී ගැනීමේ අවදානමක්ද මේ වනවිට මතු වී තිබේ. ඉන්ධන අර්බුදය කරළියට පැමිණීමට පෙරද තේ කර්මාන්තය පැවැතියේ දැඩි අර්බුදයකය. අපට එයද මුළුමනින්ම අමතක කොට දැමිය නොහැකිය.

2021 වසරේ මැයි මාසයට සාපේක්ෂව මේ වසරේ මැයි මාසය තුළ තේ අස්වැන්න 15%න් පහත වැටී බව රජය පාර්ශ්වයෙන්ම ප්‍රකාශයට පත් වී තිබුණි. පොහොර හිඟය අයහපත් කාලගුණික තත්ත්වය ඊට හේතුව බව ඔවුහු කියා සිටියහ. කෙසේ වෙතත් කාලගුණය යහපත් වීම හා පොහොර නැවත ගෙන්වීමට තීරණය කර ඇති නිසාවෙන් නැවතත් තේ කර්මාන්තයේ ප්‍රගතියක් අත්කර ගනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කළහ. එහෙත් ජූනි, ජූලි මාස තුළදී සිදුවූයේ අනෙකකි. ඉන්ධන සහ විදුලි අර්බුදය බරපතළ වීමත් සමඟ කර්මාන්තය පරිහානිය බරපතළ විය.

රට පුරාම පෞද්ගලික තේ කම්හල් දෙසිය හැට හතරක් සහ වැවිලි සමාගම යටතේ වූ සහ සාමාජිකයන් නොවන කම්හල් තවත් දෙසිය පනහක් පමණ ක්‍රියාත්මක වේ. මහා පරිමාණ වතු සේම කුඩා තේ වතු හිමියෝද මෙම කර්මාන්ත ශාලා වෙත දලු සපයති. එහෙත් ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට වතු මට්ටමින් සහ ගම් මට්ටමින් දලු ප්‍රවාහනය කිරීමට අවශ්‍ය රථවාහන සොයා ගැනීම අපහසු වී තිබේ. අනෙක් පසින් විදුලි හා ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙස දර භාවිතයට යොමු වූ කර්මාන්තකරුවන්ටද අවශ්‍ය දර තොග ලබාගැනීමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම දුෂ්කර වී තිබේ. සියල්ලටම හේතුව ඉන්ධන අර්බුදයයි.

තේ වතු ආශ්‍රිතව නගරවල පිහිටි ඉන්ධන පිරවුම්හල්වලින් තේ වතුවලට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට යාමේදී පෝලිම්වල රුඳී සිටින පිරිස් එයට විරුද්ධ වන නිසාවෙන් තේ වතුවලට කිසිසේත්ම ඉන්ධන තොග නොලැබෙන බව වතු හිමියෝ කියා සිටිති. ඛනිජ තෙල් නිතිගත සංස්ථාව ඍජුවම තේ වතු සමාගම්වලට අවශ්‍ය ඉන්ධන නිකුත් කරන්නේ නම් එම ඉන්ධන තොග ගබඩා කර ගැනීමේ පහසුකම් වතු සමාගම් සතුව පවත්නා බව ඔවුහු ප්‍රකාශ කරති. කෙසේ වෙතත් වතු හිමියන් ප්‍රකාශ කර සිටින්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් කොතරම් ඉල්ලීම් කළද තමන්හට කිසිදු සහනයක් නොලැබෙන බවයි.

ශ්‍රී ලංකාවේ සමස්ත තේ නිෂ්පාදනයෙන් 71%ක් කුඩා තේ වතු හිමියන් විසින් සිදුකරනු ලබන අතර 28%ක් මහා පරිමාණ වතු හිමියන් විසින් සිදුකරනු ලබයි. රටපුරා කුඩා තේ වතු හිමියන් ලක්ෂ හතරක් පමණ සිටින බව බොහෝ වාර්තාවලට අනුව කියැවේ. ඔවුන් සියලුදෙනාම වර්තමාන ඉන්ධන අර්බුදයේ පීඩිතයෝය. දලු ලොරි නොපැමිණීම සහ බොහෝ ප්‍රදේශවල තේ කර්මාන්තශාලා පවත්වාගෙන යන දින ගණන සීමාකිරීමද ඔවුනට බරපතළ පීඩාවකි. මේ වනවිටත් බලංගොඩ ප්‍රදේශයේ කර්මාන්තශාලා ක්‍රියාත්මක වන්නේ සතියකට දින හතරක් පමණි. මාතර දින පහකි. ඉදිරියේදී එම දින ගණන තවදුරටත් පහත හෙළීමට ඔවුන් කටයුතු කරනු ඇත. මේ කර්මාන්ත ශාලා සේවකයන්ට ඉතා අහිතකර තත්ත්වයකි.

මේ අතර වතු  වතුකම්කරුවන්ගේ පාර්ශ්වයෙන්ද දුක් ගැනවිලි ඉදිරිපත් වෙමින් තිබේ. පසුගිය සතියේ ප්‍රසිද්ධියට පත්වූ එක් මාධ්‍ය සාකච්ඡාවකදී තේ දලු අමුවෙන් කමින් රටට දුක කීවේ පහතරට වතු කම්කරු සංගමයේ සභාපති රුවන් ගාල්ලගේ නම් නැතැත්තාය. ඩීසල් නොමැති වීම නිසා තේ දලු ඇඹරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කී ඔහු එම නිසාවෙන් දෛනික වැටුපට වැඩකරන කම්කරුවන්ට වරුවක් පමණක් වැඩ කිරීමට සිදුව ඇතැයි කීවේය. ඒ හේතුවෙන් කම්කරුවන්ට මේ වනවිට කෑමට සිදුවී ඇත්තේ අමු තේ දලු යැයි ඔහු කීවේ අමු තේ දලු සපා කමිනි.

මේ ආදී සිදුවීම් සන්දර්ශනාත්මක වුවද සැබවින්ම තේ කර්මාන්තය ආශ්‍රිතව රුකියා සිදුකරන සියලුදෙනා මේ වනවිට බොහෝ ආර්ථික අපහසුතාවන්ට මුහුණ දී සිටින බව  සත්‍යයකි. සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ නියැලී සිටින ප්‍රජාව මිලියන දෙකකට අධිකය. එම ප්‍රජාව රටේ ජනගහනයෙන් සියයට දහයකටද ආසන්නය. ඔවුන් බොහෝ දෙනකුගේ රැකියා මේ වනවිටත් අවදානමට ලක්ව තිබේ. මෙය සුළුකොට තැකිය හැකි තත්ත්වයක් නොවේ. පවතින ආර්ථික වටපිටාව යටතේ වතු ආශිත කම්කරුවන් විශාල වශයෙන් විදේශ රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවක්ද ඇති බව දැනගන්නට ලැබේ. එයද මෙම කර්මාන්තයේ බිඳවැටීම පිළිබඳ පූර්ව අනතුරු සංඥාවකි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික බෝගය වූයේ තේ ගසයි. මෙරට පාලකයන්ගේ අනුවණ තීරණ හේතුවෙන් පසුගිය දශක කීපය පුරාවට අප දුටුවේ කර්මාන්තයේ බිඳ වැටීමය. රසායනික පොහොර තහනම පසුගිය වසරකට ආසන්න කාලය පුරාවට තේ කර්මාන්තයට සිදුකරනු ලැබූ බලපෑම සුළුකොට තැකිය නොහැකිය. ශ්‍රම හිඟයද කර්මාන්තය කෙරෙහි කලක පටන් බලපෑම් කරයි. එවන් වටපිටාවක ඉන්ධන අර්බුදයෙන්ද තේ කර්මාන්තය බැටකෑම ශෝචනීය තත්ත්වයකි.තවදුරටත් බලා නොසිට මෙම කර්මාන්තය රුකගැනීමට සිය ප්‍රමුඛතා අතරට එක්කර ගැනීම බලධාරීන්ගේ වගකීමකි. ඉන්ධන ඇතුළු සියලු පහසුකම් කඩිනමින් තේ කර්මාන්තයේ නියුතු ප්‍රජාව වෙත සැපයීම රටේ ආර්ථික සුරක්ෂිතතාව කෙරෙහි අතිශය වැදගත්ය. මන්ද තේ කර්මාන්තය අප රටේ ජනගහනයෙන් දහයෙන් එකකගේ පමණ ජීවනෝපායද, මෙරට ඩොලර් රුගෙන එන සුවිශාලම කෘෂිකාර්මික අපනයනය වේ.

අඩුපාඩු තිබුණත් ඉන්ධන ලබාදෙනවා

ජයන්ත එදිරිසිංහ

තේ කොමසාරිස් - ශ්‍රී ලංකා තේ මණ්ඩලය

මේ වනවිට අපි විසඳුම් කිහිපයක්ම ලබාදී තිබෙනවා. ඉන් එකක්  වෙන්දේසිය ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පවත්වාගෙන යෑම. ඊට අමතරව ප්‍රවාහන කටයුතු සඳහා තේ කර්මාන්ත ශාලාවලට ලංගම ඩිපෝ හරහා ඉන්ධන ලබාදීම සිදුවෙනවා. ඩිපෝ නොමැති ප්‍රදේශවල සාමාන්‍ය ඉන්ධන පිරවුම්හල්වල ප්‍රමුඛතාව ලබාදීම සිදුවෙනවා. ඒ කටයුතු නිසි ලෙස සිදුවීම් නැත්තම් මෙච්චරකල් කර්මාන්තය දුවන්නෙ නෑ. සමහර තැන්වල පොඩි පොඩි අඩුපාඩු ඇති. එහෙත් යම් මට්ටමකට කෙසේ හෝ වේවා අපි සමථයකට පත් කරගෙන තියෙනවා.

 

 චමිඳු නිසල් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05