2022 ජුලි 10 වන ඉරිදා

බෙහෙත් හිඟය මැද මාෆියාව ගොඩ යයි!

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 433

වත්මන් දේශපාලන හා ආර්ථික අර්බුදය මැද ශ්‍රී ලංකාව මුහුණ පා සිටින බරපතළම ගැටලුව වී ඇත්තේ ඖෂධ හිඟයයි. අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් සමහර පළාත්වල ඇතැම් රෝහල්වල    පවතින බව කලෙක සිටම ඇසෙන කරුණකි. ඒ අතර පසුගිය සතියේ අසන්නට ලැබුණේ තිබෙන ඖෂධ ප්‍රමාණයත් අවශ්‍ය ස්ථාන කරා ප්‍රවාහනය කරගත නොහැකි වීම නිසා දැන් තත්ත්වය තවත් උග්‍ර වී ඇති බවය. ඉන්ධන අර්බුදයද ආකාර කිහිපයකින් සෞඛ්‍ය පද්ධතියට බරපතල ලෙස අභියෝග කරමින් සිටියි.

මේ වනවිට මෙරට හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා සහ දියවැඩියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග ගණනාවක ප්‍රමාණාත්මක හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය කියයි. ඒ අනුව එම රෝගීන් විශාල අනතුරකට මුහුණ දී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

වෙනත් පුද්ගලයෙකුගේ වකුගඩුවක් රෝගියෙකුට බද්ධ කළ විට එය ශරීරයෙන් ප්‍රතික්ෂේප නොවීම සඳහා ලබාදිය යුතු ඖෂධ පවා මේ වනවිට හිඟ බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ සභාපති අජිත් තිලකරත්න කියා ඇත. ඔහුට අනුව දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි ප්‍රමාණය ක්ෂණිකව පහත දැමීම සඳහා භාවිත කරන ද්‍රාව්‍ය ඉන්සියුලින්ද හිඟව පවතින අතර, එම ඖෂධ ගර්භනී මව්වරුන් සඳහා බහුලව නිර්දේශ කරනු ලබන්නකි. අපස්මාර රෝගීන් භාවිතා කරන ඇතැම් ඖෂධවලද හිඟයක් පවතින බවත් ජලභීතිකා එන්නත්ද හිඟව පවතින බවත් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය අනාවරණය කර ඇත.

මෙලෙස  රටේ ඖෂධ හිඟයක් මතුවීමට ප්‍රධාන හේතුව විදෙස් මුදල් හිඟය පමණක් නොව වෛද්‍ය සැපයුම් කළමනාකරණයේද පවතින දුර්වලතා බව ඒ සම්බන්ධව සිදුකළ විගණනය මගින් අනාවරණය වී තිබුණි. ජාතික විගණන කාර්යාලයට අනුව ඖෂධ සහ වෛද්‍ය ද්‍රව්‍ය රැසක හිඟයක් පැවතීම සැබෑවකි.

එහි වාර්තාවන්ට අනුව අප රටේ වැදගත් අත්‍යවශ්‍ය හා අත්‍යවශ්‍ය නොවන අයිතම වශයෙන් රෝහල් සඳහා භාවිතා කරන ඖෂධ වර්ග සංඛ්‍යාව 1146කි. ශල්‍ය ද්‍රව්‍ය සංඛ්‍යාව 8648කි. රසායනාගාර සංඛ්‍යාව 3900කි. එක්ස්රේ අයිතම සංඛ්‍යාව 44කි. කෙසේ වුවද මෙම වර්ෂයේ (2022) මැයි මස 13 වැනිදා වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 241ක් හා ශල්‍ය ද්‍රව්‍ය වර්ග 4880ක හිඟයක් පැවැති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි. එමෙන්ම වෛද්‍ය සැපයුම් අංශයේ හා රෝහල්වල නිතිපතා භාවිතයට ගන්නා රසායනාගාර ද්‍රව්‍ය 850ක් හා එක්ස්රේ අයිතම් 18ක හිඟයක් පැවතුණි. මෙදිනට වෛද්‍ය සැපයුම් අංශයේ හිඟව පැවැති වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යව 190කි. රෝහල් තුළද වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 51 හිඟයක් පැවැති බැව් විගණන වාර්තාවේ සඳහන් වෙයි. වෛද්‍ය සැපයුම් අංශයේ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය 2724ක සහ රෝහල් තුළ වැදගත් හා අත්‍යවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය අයිතම් 2156ක හිඟයක් පැවතුණි.

එමෙන්ම මැයි මස 13 වැනිදා වනවිට මාසයකටත් වඩා අඩු කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත්ව ඇත්තේ වැදගත් ඖෂධ වර්ග 14කින් 06ක් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 646කින් 104ක් හා අත්‍යවශ්‍ය නොවන ඖෂධ වර්ග 486කින් 45ක් බව ද විගණනය මගින් අනාවරණය කර ඇත. මාසයකටත් වඩා අඩු කාලයක් සඳහා ප්‍රමාණවත්ව ඇති ශල්‍ය අයිතම් සංඛ්‍යාව 1102ක් වන අතර රසායනාගාර අයිතම් 385ක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම රෝග කාණ්ඩ 15ක් සඳහා භාවිතයට ගන්නා වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 179ක් වෛද්‍ය සැපයුම් අංශය තුළ හිඟව පවතින අතර සෞඛ්‍ය ආයතන තුළ හිඟව පවතින වැදගත් හා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සංඛ්‍යාව 43කි. ආසාදන, හෘද, ස්නායු, ස්වසන, ආමාශ, ඇස, කන, නාසය, පිළිකා, ප්‍රසව හා නාරිවේද මුත්‍රා ආබාධ, මාංශපේශී හා සන්ධිරෝග වැනි රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග හිඟව පවතියි. එමෙන්ම අන්තරායකර ඖෂධ, පෝෂණ හා රුධිරයට බලපාන ඖෂධ ප්‍රතිශක්තිකරණ හා නිෂ්පාදන එන්නත්, අන්තරාසර්ග පද්ධතිය ආශ්‍රිත ප්‍රතිකාර, නිර්වින්දන, ප්‍රතිවිරෝධක සඳහා භාවිතයට ගන්නා ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවද විගණන වාර්තාවේ සඳහන් වෙයි. පිළිකා රෝග සඳහා භාවිතා කරන ඖෂධ වර්ග 85කින් 41ක හිඟයක්ද පවතියි. මෙලෙස ඖෂධ හිඟවීමට මුලික හේතුව විනිමය හිඟය නොව ප්‍රසම්පාදනක්‍රියා වලිය තුළ  මතුව ඇති ගැටලු බව නිරීක්ෂණය වී ඇති බැව් විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාව තුළ මතුව ඇති මේ ඖෂධ හිඟය කෘත්‍රිමව ඇතිකරන ලද්දක් බවට දැන් චෝදනා එල්ල වෙමින් තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අප හා පැවැසුවේ ඩොලර් හිඟය එන්නට පෙර සිටම කාලයක් තිස්සේ සිදුවූ මගඩි හේතුවෙන් මේ ඖෂධ හිඟය මතුව ඇති බවය. 

ඖෂධ මිලදී ගැනීම සඳහා ඩොලර් තිබුණත් එම මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් කඩිනමින් නොයෙදවීම නිසා රටේ දැන් ඇති ඖෂධ හිඟය ඇතිවූ බව සිය විමර්ශනවලදී තහවුරු වූයේ යැයි රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්)  මෑතකදී හෙළි කළේද මේ ගැනය. කාලයක් තිස්සේ සිදු වූ මේ මගඩියේ අතීත විස්තර ඖෂධ සංස්ථාවේ වත්මන් සභාපතිවරයාද හෙළිදරව් කළ කාරණාවකි. 

2019 වර්ෂය වනතෙක් ඖෂධ හිගයක් පවතින අවස්ථාවේදී පුරුද්දක් වශයෙන් සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියෙන් තොරව හදිසි මිලදී ගැනීම් හැටියට, අධික මිල ගණන් යටතේ ඖෂධ   මිලට ගන්නට පෙළඹී ඇත. නමුත් 2020 අප්‍රේල් මස සිට සම්පූර්ණයෙන්ම හදිසි මිලට ගැනීම් SPC විසින් නවතා දමා තිබේ. ඒ අනුව කලින් සිදුවූ හදිසි ගනුදෙනු හා පසුව සිදුවූ  නිසි ගනුදෙනු අතර වෙනස හා රටට සිදුව ඇති අලාභය ඔහු පහත නිදසුන් මගින් පෙන්වා දෙයි.

''පිළිකා රෝගීන් වෙනුවෙන් ලබාදෙන Rituximab ඖෂධය 2019 වර්ෂයේ හදිසි මිලදී ගැනීම් යටතේ රුපියල් 55,000 කට මිලට ගෙන තිබුණා. අප එය 2020 වර්ෂයේදී 17,735 කට තමයි මිලට ගත්තේ. 2019 මෙලෙස හදිසි මිලට ගැනීම් යටතේ මාත්‍රා 3443 ක් මිලට අරන් තිබුණා. 17,735 කට මිලට ගන්න තිබුණ ඖෂධයට 37,265ක් වැඩිපුර ගෙවලා තිබෙනවා. එතකොට මාත්‍රා 3443 හදිසි මිලට ගැනීම් නැතුව සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටියට ගියා නම් රජයට ඉතුරු කර ගැනීමට හැකි වූ මුදල 128,302,049.12ක් වනවා. එක බෙහෙතකින් පමණක් රුපියල් මිලියන 128 ක් මෙරටට ඉතුරු කර ගන්න තිබුණා. මෙලෙස ඖෂධ හිඟයක් මවමින්, මිලට ගත් හදිසි මිලට ගැනීම් නවත්තපු ගමන් මෙරටට වසරකට ඉතුරු වුණ මුදල රුපියල් බිලියන 1.14ක්. පිළිකා ඖෂධ වලින් බිලියන 2.260 ක් ඉතිරි වුණා. තව ඖෂධයක් ලෙස captopril Syrup 100ml අපි උදාහරණයකට ගමු. 2019 වර්ෂයේ රුපියල් 55,185 කට මිලට ගත් ඖෂධය අප මිලට ගත්තේ කීයද කියා ඔබ සිතනවාද? රුපියල් 395 යි.

එවිට ඔබට අවබෝධයක් ගන්න පුළුවන් ඖෂධ මාෆියාව තුළ වැඩිපුර අපේ සල්ලි ගෙවල තිබෙන විදිය. මේ සේරම මෙරට අහිංසක රෝගීන් වෙනුවෙන් තවත් ඖෂධ මිලියන ගණන් ලබාදෙන්න තිබුණ අවස්ථාව නැති කරලා තියන විදිය. මේක එක අවුරුද්දක සිදු වූ දෙයක් නෙවෙයි. 2019 ට පෙර වර්ෂවල පවා මේ විදියට තමයි මිලදී අර ගෙන තියෙන්නේ.''

දැන් නැවතත් මේ මාෆියාවට යහපත් කාලයක් මතුව ඇති බවට ඇණතුරු අඟවන්නේ  රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයයි. දැන් මතුව ඇති ඖෂධ හිගය හා ඉන්ධන අර්බුදය යන ද්විත්ව අභියෝගයන් හමුවේ සෞඛ්‍ය පද්ධතිය ඉදිරි කාලය තුළ බරපතල කඩා වැටීමේ අවදානමකට මුහුණ දී සිටින බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙයි.

නිලධාරි තන්ත්‍රයේ අකාර්යක්ෂමතාවත්, කවදත් ඖෂධ ක්ෂේත්‍රය වෙලාගෙන තිබූ දූෂණ හා අක්‍රමිකතා අඛණ්ඩව ඉදිරියට යාමත් මේ තත්ත්වයට සෘජුවම වගකිව යුතු බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයද පෙන්වා දෙයි. මේ වර්ෂය සදහා ඖෂධ ඇණවුම් කිරීම් නිසි කලට සිදු නොවීමත්, සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් පැහැර හැරීම හරහා ඔවුන් ඖෂධ ආනයන කටයුතුවලින් ඉවත්වීමත් පවතින තත්ත්වයන්ට සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇති බව ඔවුන් කියයි.
ඔවුන්ට අනුව කෙසේ හෝ මේ වටපිටාව මාෆියාවට ආශිර්වාදයක් වී ඇත. ඒ හදිසි මිලදී ගැනීම් නම් කඩතුරාවට මුවා වෙමින් අසීමාන්තික ලෙස වාසි සලසා ගැනිමට නැවත පාර්ශව කිහිපයකට අවස්ථාවන් සැලසීමට හැකි හෙයිනි. අතීත විගණකාධිපති වාර්තා හෙළිදරව් කරන පරිදි මේ හරහා සාමාන්‍ය ටෙන්ඩර් ක්‍රමවේදයන් තුළ රු. 6.00ට මිලදී ගැනීමට තිබූ සමහර  ඖෂධ පෙත්තක් රු 600/- කට වඩා අධික මුදලකට මිලදී ගැනීම සිදුව ඇති බව දැන් රහසක් නොවේ. මහජන බදු මුදලින් රුපියල් බිලියන 100කට අධික අති විශාල මුදලක් ඖෂධ හා උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියට යොදවන පසුබිමක මේ සිදුවන මුදල් නාස්තිය කිසි ලෙසකින්වත් සාධාරණීකරණය කළ නොහැක.

 සුගත් පී. කුලතුංගආරච්චි