විචිත්‍ර චරිතයකට උරුමකම් කියූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් මහත්මයකු යැයි කිව හැකි ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා පසුගිය සති අන්තයේ අපෙන් සමුගත්තේය.
අධිනීතිඥ දයාසිරි දැඩි ප්‍රතිපත්තිගරුක විද්වතෙකි. කෘතහස්ත නීති විශාරදයෙකි. රට දැය සමය වෙනුවෙන් කැපවූ ජාති හිතෛෂියෙකි. ඒ සියල්ල ඔබ අප දන්නා කරුණුය. මේ සියල්ලට අමතරව ඔහු දැඩි සෞන්දර්යවාදියකු මෙන්ම අපූරු පරිසරවේදියකු බව දන්නේ ඔහුගේ සමීපතමයන් පමණි.
ගෝමින් දයාසිරි මහතා ඉතා ළඟින් ඇසුරු කළ මා දන්නා පරිදි ලොව රටවල් 75ක පමණ විචිත්‍ර මෙන්ම දුෂ්කර පාරිසරික ඉසව් සොයා ඔහු චාරිකා කර තිබිණි. වරක් ඔහු මා ඇමතුවේ රුසියාවේ මහා සයිබීරියන් දුම්රිය මාර්ගයේ ගමන් කරන අතරතුරය. තවත් වරක් පිලිපීනයේ මින්දනාවෝ සිටද තවත් අවස්ථාවක හිමාලය කඳු තරණයකට එක්ව සිටියදීත් ඔහු මා සමඟ අදහස් හුවමාරු කර ගත්තේය. එක් අවස්ථාවක නේපාලයේ හුදෙකලා ප්‍රාදේශීය රාජධානියක් වන %මස්තාංග්^ වෙත අලියකු පිටේ ගමන් කොට මස්තාංග් හි ගම් ප්‍රධානියකුගේ නිවසේ නවාතැන් ගෙන අපූරු අත්දැකීම් රුසක් ලැබූ බව ඔහු මා සමඟ පැවසුවේ රස කතා ගොන්නක්ද සමඟය. ඔහුගේ මේ සෞන්දර්ය චාරිකාවන්ටත් වඩා නීති විශාරදයකු ලෙසත්, ජාති හිතෛෂියකු ලෙසත් වරප්‍රසාද වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදුන් වැදගත් පුරවැසියෙක් ලෙසත් සම්භාවනාවට පාත්‍ර වූ පුද්ගලයකු ලෙස හඳුන්වා දීම සාධාරණය.
වර්ෂ 2006 දී එවකට පැවති මහින්ද රාජපක්ෂ රජය සහ කොටි සංවිධානය අතර සාම සාකච්ඡාවක් සංවිධානය කෙරිණි. එය පැවැත්වුණේ 2006 පෙබරවාරි මස 22 හා 23 දෙදින ස්විට්සර්ලන්තයේදීය. රජයේ නියෝජිත පිරිසේ නායකත්වය අමාත්‍ය නිමල් සිරිපාල විසින් දරන ලද අතර සාකච්ඡා කමිටුවේ සාමාජිකයකු ලෙස රජයේ නිල නියෝජිත පිරිසට අධිනීතිඥ ගෝමින් දයාසිරිද පත් කෙරිණි. මෙම සාකච්ඡා කණ්ඩායම සමඟ ස්විට්සර්ලන්තයට ගිය අධිනීතිඥ ගෝමින් අපූරු වැඩක් කළේය. ඒ සාම සාකච්ඡාව සඳහා තමන් වෙනුවෙන් රජය විසින් දරන්නට සූදානම් වූ ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවත් සුපිරි ස්වීස් හෝටලයේ බිල්පතත් තමන්ගේ පෞද්ගලික මුදලින් ගෙවා දැමීමයි. සාම සාකච්ඡාව සංවිධානය කළ විදේශ අමාත්‍යංශ නියෝජිතයන් එතුමාගේ බිල්පත් පියවීම සඳහා කොතරම් පෙරුත්ත කළත් ඒ සියලු ඉල්ලීම් කාරුණිකව ප්‍රතික්ෂේප කළ හෙතෙම &මම ආවෙ රට වෙනුවෙන් යමක් කරන්න. ඒ නිසා රට වෙනුවෙන් මට කරන්න පුළුවන් දේ මම කරනවා කියා රුපියල් ලක්ෂ ගණනක බිල්පත් තම පෞද්ගලික මුදලින් ගෙවා දැමීය. එවන් චරිත අද බෙහෙවින් දුර්ලභය.
පානදුරේ සුප්‍රකට දියෙස් පවුලේ සාමාජිකයකු වන ගෝමින් දයාසිරි මහතාගේ පියා මෙරට කීර්තිමත් සිවිල් සේවකයකු වූ එන්.කියු. ඩයස් මහතාය. 1956 බණ්ඩාරනායක මහතාගේ රජය බලයට පත්කිරීමේ තිරය පිටුපස කතාවේ යෝධ චරිතයක් එන්.කියු ඩයස් මහතා නිරෑපණය කළේය. මෙරට සිවිල් සේවකයන් එංගලන්ත කුල්ටූර් සංස්කෘතිය වන්දනා කරද්දී එන්.කියු. ඩයස් රෙදි බැනියම් හැඳි දිසාපතිවරයෙක් විය. ඔහුගේ පුත්‍රයා වූ ගෝමින් කොළඹ ශාන්ත තෝමස් හෝ රාජකීය විද්‍යාලවලට ඇතුළත් කළ යුතු බව ගෝමින්ගේ මව තරයේම කියද්දී එන්.කියු. ඩයස් මහතා ගෝමින් දයාසිරි කොළඹ ප්‍රකට බෞද්ධ පාසල වූ ආනන්ද මහා විද්‍යාලයට ඇතුළත් කළේය. ගෝමින් ඩයස්, ගෝමින් දයාසිරි වූයේ ආනන්දයේ බලපෑම නිසා විය හැක.
කොළඹ විශාඛා විද්‍යාලය නිර්මාණය කරන්නට තම පෞද්ගලික දේපළක් වූ අක්කර 5කට වැඩි ඉඩමක් සහ මුදල් පරිත්‍යාග කළ පෙරමියස් දියෙස් මැතිනිය ගෝමින්ගේ මිත්තනියකි. විශාඛාවේ නිර්මාතෘවරිය ලෙස සලකන දියෙස් මැතිනියගේ පවුලට සම්බන්ධ දැරියන් පාසලේ අධ්‍යාපනය සඳහා ඇතුළත් කර ගැනීම විශාඛාවේ සම්ප්‍රදායකි. එහෙත් ගෝමින් දයාසිරි මහතා තමන්ගේ දියණිය එම විශේෂ වරප්‍රසාදය භාවිත කොට විශාඛාවට ඇතුළත් කළේ නැත. ඊට හේතුව වරක් මම විමසීමි. මගේ ළමයා වෙනත් හොඳ පාසලකට යවන්න මට ආර්ථික ශක්තිය තිබෙනවා. ඒ ළමයට තිබෙන අවස්ථාව ශිෂ්‍යත්ව ලබන වෙනත් දරුවකුට ලබා දෙන්න ඕන නිසයි මගේ ළමයා විශාඛාවට ඇතුළත් නොකළේ..* ඒ ඔහු මට දුන් පිළිතුරයි. එලෙස කල්පනා කරන උදවිය නැති සමාජයක ගෝමින් දයාසිරි සමාජයට දයාබර මිනිසකු වූයේ එසේය.
රටට දැයට බලපාන ඕනෑම නීතිමය කටයුත්තකදී හෙතෙම කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව තම සේවය ලබා දුන්නේය. උතුරු නැගෙනහිර දෙපළාත ඉන්දු - ලංකා ගිවිසුම අනුව තාවකාලිකව ඒකාබද්ධ කර තිබිණි. එය යුක්ති සහගත නොවන බව කියමින් මෙයට වසර 15කට පමණ පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ නඩුවක් පැවැතුණි. එම නඩුව සඳහා මෙරට සිටි ප්‍රකට නීතිවේදීන් තිදෙනෙක් ස්වේච්ඡාවෙන් පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ එච්.එල්. ද සිල්වා, අධිනීතිඥ එස්.එල්. ගුණසේකර සහ අධිනීතිඥ ගෝමින් දයාසිරි එම නීතිඥ පිරිසයි. ඔවුන්ගේ උත්සාහය ඵල දැරීය. 1987 සිට වසර 20ක් පමණ ඒකාබද්ධ කර තිබූ උතුරු නැගෙනහිර දෙපළාත පළාත් සභා දෙකක් යටතට පත්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මේ හැර සුනාමි සහන මණ්ඩල නඩුව සහ නොයෙකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ආදිය සම්බන්ධයෙන් පැවති නඩු හබවලදී ගෝමින් දයාසිරි අධිනීතිඥතුමා අධිකරණයේ පෙනී සිටියේ රටේ ජාතියේ අවශ්‍යතා වෙනුවෙනි. එසේම ජනමාධ්‍යවේදීන්ට සිදුවූ අසාධාරණකම්වලදීත් හෙතෙම නොබියව අධිකරණයට ගියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැදි දේශපාලන පවුල් පසුබිමක් පැමිණි ගෝමින් දයාසිරි මහතා හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ පෞද්ගලික නීතිවේදියා ලෙස බොහෝ කලක් කටයුතු කළේය. 1977 සහ 1988 මහ මැතිවරණවලදී ඔහු මැතිනියගේ ප්‍රධාන නීති උපදේශකයා හා ඡන්ද නියෝජිතයා විය. එතරම් සමීප සබඳතා තිබුණත් ඔහු ශ්‍රීලනිප ගැත්තෙක් නොවීය. වරදක් දුටු තැන කිවයුත්ත මුහුණටම කියන්නට ඉදිරිපත් විය. එසේම යමකුට උදව්වක් පදව්වක් කළ යුතු නම් එය නිහඬවම කළේය. ඊට එක් උදාහරණයක් දැක්විය හැකිය. කලක් මෙරට අගමැති පදවිය දැරෑ එක්තරා අවංක දේශපාලනඥයකුට මිල මුදල් ප්‍රශ්නයක් නිසා තමන්ගේ වාර්ෂික ආදායම් බදු මුදල් ගෙවාගත නොහැකි විය. වසර කිහිපයක් එකතු වූ බදු නොගෙවීම නිසා මේ දේශපාලනඥයාට ආදායම් බදු දෙපාර්තමේන්තුව නඩු පවරන තැනට කටයුතු යෙදිණි. මේ බව දැනගත් ගෝමින් දයාසිරි මහතා වංචා දූෂණවලට සම්බන්ධ නොවූ මෙම දේශපාලනඥයාගේ රුපියල් ලක්ෂ ගණනක ආදායම් බදු මුදල් තම මිතුරකුගේද උදව් ගෙන රහසේම පියවා දැමීය. එසේම ඔහු ද සිය ආදායම් බදු කලට වේලාවට නූලටම ගෙව්වේය. වරක් සිය ආදායම් බදු ගෙවීමට බදු දෙපාර්තමේන්තුවට ගිය ගෝමින්ද දයාසිරි මහතාට ජ්‍යෙෂ්ඨ බදු කොමසාරිස්වරයකු කීවේ &ඔබතුමා හරියට බදු ගෙවන නීතිඥ මහත්මයෙක්. ඔය වගේ හරියට බදු ගෙවන නීතිඥ මහත්තුරු සීයක්වත් මේ රටේ නැහැ.. කියාය.
එලෙස වචනයේ පරිසමාප්ත අරුතින්ම අවංක වූද, ජාති හිතෛෂී වූද, කෘතහස්ත වූද, සුන්දර මිත්‍රයකු වූ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා බොහෝ යහපත් වැඩ කළේ අප්‍රකටවය. තනතුරු තාත්ත මාන්න ඔහුට වලංගු නොවීය. මේ රටේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් ජනාධිපති නීතිඥවරුන් වීමට මී පොරයක නියුතුව සිටියදී ඔහුට වාර හතරක් ලැබුණු ජනාධිපති නීතිඥ ධූරය කාරුණිකව ප්‍රතික්ෂේප කළේ වෙනත් ඊට ආසා කරන කෙනකුට එම තනතුර ලබා දෙන ලෙස රජයට දන්වමිනි.
හොඳ මිනිසුන් විරල සමාජයක හොඳ මිනිසකු වූ ඔහු බොහෝ හොඳ වැඩ කළේ කිසිදු ප්‍රතිලාභයකින් තොරවය. අධිනීතිඥ ගෝමින් දයාසිරි මහතා සමීපව ඇසුරු කළ මම ඔහු කළ බොහෝ යහපත් දේ ගැන දනිමි. ඒ බොහෝ සිදුවීම් ගැන ඔහු මා සමඟ කරුණු කීවේ මට මාධ්‍ය වාරණයක්ද පනවමිනි. &මා ජීවත්ව සිටියදී මේවා කිසිවක් ලියන්නට එපා* ඔහු මට කීවේ වරක් දෙවරක් නොවේ. එහෙත් දැන් ඔහු නික්ම ගොසිනි. ඒ සමඟ මට පැනවූ මාධ්‍ය වාරණයද හමාරය. එනිසා මට ඔහු ගැන මෙම සටහන තැබීමට හැකි විය.
රන්ජිත් ආනන්ද ජයසිංහ
සේයාරුව - සුමුදු හේවාපතිරණ