මම එදින දෙල්ගොඩ පිහිටි රංජිත් නම් කලණ මිතුරා හමුවීමට ගියේ කලකින් ඔහු හමුවීමට නොලැබුණු හෙයිනි. නිතර දුරබැහැර පැතිවල රැකියාව කරන ඔහු නිවසට පැමිණ සිටින බව මට ආරංචි විය. මම පාපැදියෙන් ගමන් ගත්තේ වාහනයේ පෙට්‍රල් නැති නිසයි. මාර්ගය පාළුවට ගොසිනි. ත්‍රිවිල් නැවතුම්වල එකදු ත්‍රීවිරලයක් වත් නොවීය. ඉඳහිට ගමන් ගන්නා මෝටර් සයිකලයක් අස්ප වේගයෙන් යන අන්දම පෙනුණි. දෙල්ගොඩ කාගෙදෝ නිවසක තිබී ඩීසල් ලීටර් 900ක් සොයාගත් බව සඳහන් පුවතක් පෙරදින රූපවාහිනී පුවත්වලට කියූ බවක්ද මතක් විය.
මිතුරාගේ නිවසේ වෙනදා තිබෙන ප්‍රීතිමත් ස්වභාවය තුරන්වී ගොසිනි. මට ඇසුණේ පැමිණ සිටි භික්ෂූන් වහන්සේ දෙදෙනෙක් අතරින් එක් නමක් පිං අනුමෝදනා කරන ආකාරයයි. ''ගෙදර දනයක්වත්ද? වෙනදා නම් දානයක් වගේ දෙයක් මට අනිවාර්යයෙන් කියනවානේ. මිනිහට අපිව අමතක වෙලාවත්ද?'' යයි සිතමින් මම ගෙට ගොඩවීමි. මිතුරාගේ තරුණ බාල දියණිය කඳුළු පිරි දෙනෙතින් භික්ෂුන් වහන්සේ ඉදිරිපිට වැඳගෙන සිටියාය. විවාහ වී නුදුරු ගමකට ගිය වැඩිමල් දියණියත් දරුවන්ද සමඟ පැමිණ සිටියාය.
''පිංවතුනි, ඒ ළදරුවාගේ ආයුෂ තිබී ඇත්තේ මාස හතක් පමණයි. මවගේ කුසේදීම ඔහුට ජීවිතය හැරයන්න වෙලා. පවුලේ සියලුදෙනාම එකතුවෙලා ඒ නූපන් දරුවා වෙනුවෙන් දුන් සපිරිකර සංඝගත දක්ෂිණාවෙන් ලැබෙන පිංපෙත් එකතු වී ඉදිරි ආත්ම භවයන්වලදී මෙවන් අකල් මරණයක් අත් නොවේවා යන්නයි.''
නිරෝගීව සිටි මිතුරාගේ බාල දියණියට දරුවෙක් ලැබෙන්න සිටි බව මට මතක් විය. ඒ දරුවා මියගොස් විය යුතුය. ඒත් එයට හේතුව කුමක්ද? මිදුලේ සිටි මම භික්ෂුන් දෙනම පිං අනුමෝදන් කර ආගමික වතාවත් නිමකර පිටව ගිය පසු නිවස තුළට ගියෙමි.
''අනේ කුසුම්... මේ කලබලේ නිසා ඇවිත් ඉන්නවා දැක්කේ නෑනේ. අපි පොඩි දානයක් දුන්නා. කාටවත් කිව්වේ නෑ.''
''හදිසියෙම දානයක් දුන්නේ?'' මම ඇසුවෙමි.
''අපේ දුවට ලැබෙන්න හිටිය බබා නැතිවුණානේ.''
''ඇත්තද... හරිම කණගාටුයි. අපිත් එයාට කැමති කෑම වගයක් හදලා දුන්න මතකයි.''
‘‘දැන් මොනව කරන්නද? මමත් ගෙදර හිටියෙ නෑ. දුවට එදා උදේ ප්‍රෙෂර් වැඩිවෙලා. ඩොක්ටර්ට කියලා වහාම හොස්පිට්ල් ගේන්න කියලා. මෙයාලා ක්ලිනික් ගියේ කාසල් හොස්පිට්ල් එකේනේ. ඉතින් දුව බැඳපු පුතා ඒ වෙලාවෙම කාර් එකක් හොයලා මෙයා අරන් යන්න. ගෙදර කාර් එකේත් පෙට්‍රල් පොඩ්ඩක්වත් නෑ. කාර් හම්බවෙලා නෑ. පස්සේ වටේම ත්‍රීවීලර් හොයලා. නෑ. ඔක්කොම තෙල් පෝලිම්වලට ගිහින්....'' මිතුරා කියන්නට විය.
අපේ ප්‍රදේශයට ආසන්නව පිහිටි සිපෙට්කෝ පිරවුම්හල් වසා දින ගණනකි. ආසන්නවම පිහිටි අයි.ඕ.සී. පිරවුම්හල තිබෙන්නේ වැලිවේරියට නුදුරුවයි. බොහෝදෙනා එතැනට ගොස් නිදිවරමින් සිට ටෝකන් ලබාගෙන වාහනය පෝලිමට ඇතුළු කර බලා සිටිති. වාහන පෝලිම කිලෝමීටර් තුන හතරක් දිගය.
''හවස් වෙනකොට යාලුවෙක්ගෙ වාහනයක් හම්බවෙලා දුව හොස්පිට්ල් එකට එක්ක ගිහින්. දුව පරීක්ෂා කරපු ඩොක්ටර් කියලා තියෙන්නේ බබා නැතිවෙලා කියලා. ඊට පස්සේදුව වහාම ඔපරේෂන් කරලා නැතිවුණු බබාව අරගෙන. මට එයාලා කෝල් කරලා කියනකොට හිටියෙ අනුරාධපුරේ. මම රූ බස් එකේ නැගලා කෙළින්ම කොළඹට ආවා. පාන්දර වෙනකොට බස් එක කොළඹට ආවා. එහෙමම කාසල් එකට ගියා.''
මිතුරාටත් දුවගේ තරුණ සැමියාටත් සිදුව ඇත්තේ කුඩා බිළිඳාගේ අවසන් කටයුතු කිරීමටයි. ඔවුන් බොරුල්ලේ මල් ශාලාවකට ඒ ගැන දැනුම් දුන් විට ඔවුන් පැමිණ මළ සිරුර රුගෙන ගොස් එය පෙට්ටියක බහා තිබුණි. ඉන්පසු මිතුරා බොරුල්ල කනත්තට ගොස් එහි අවසන් කටයුතු කිරීමට අවශ්‍ය අවසර ලබාගත්තේය. ඉන්පසු මල් ශාලාවට පැමිණි ඔහුට දැන ගැනීමට ලැබුණේ බිළිඳු දෙන කනත්තට රුගෙන යාමට අවමංගල්‍ය රථවල ඉන්ධන තැනි බවත් සියලුම රථ ඉන්ධන පෝලිම්වල ගාල්කර ඇති බවත්ය.
''ඒ සිදුවීම නම් අමතක කරන්න බැහැ කුසුම්. දරුවා පුතෙක්. ලස්සනට හිටියා. පුතාගෙ මෝටර් බයිසිකලේ හොඳ වෙලාවට පෙට්‍රල් ටිකක් තිබුණා. මම පොඩ්ඩගෙ පෙට්ටිය අතේ අරන් මෝටර් සයිකලේ පිටුපස නැගලා කනත්තට ගිහින් වළ දැම්මා. ඊට පහුවදා දුවගේ ටිකට් කැපුවා. දුව ගෙදර එක්කන් එන්නත් වාහනයක් නැතුව විශාල යුද්ධයක් කරන්න වුණා. හොයලා හොයලා අන්තිමට වාහනයක් හමුවුණා.''
ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹට කි.මී. 27ක් දුරින් සිටින අයට මෙසේ නම් දුරබැහැර ගැන කවර කතාද? මට මතක් වුණේ අස්වැසුම චිත්‍රපටයේ සිදුවීමකි. මියගිය කුඩා දරුවාගේ අවසන් කටයුතු තනිවම කිරීමට කැලෑබද ගමක පියාට සිදුවේ. ඔහු කැලෑවේ වළක් කපා දරුවා වළ දමයි. එයට හේතුව අසනීප වුණු දරුවා දොස්තර කෙනෙක් ළඟට රුගෙන යාමට ගමේ ධනවතාගේ කාර් එක නොලැබීම නිසයි. දැන් මෝටර් රථ හිමියන්ට පවා හදිසියකටවත් වාහන භාවිත කිරීමට නොහැකිව ලතවීමට සිදුව ඇත. සාමාන්‍ය ජනතාවට ඉන්ධන තහනම් කිරීමට දින කිහිපයකට පෙර මමත් දෙල්ගොඩ පිරවුම් හලේ තෙල් පෝලිමට එක්වූයේ රෑ 8.00ට පමණය. පාන්දර 2.00 වනතෙක් සිටි අතර ඉන්ධන අවසන් වීම නිසා ලබාගත නොහැකි විය. පෝලිමේ සිටින අතර ආරංචි වුණේ අපි කි.මී. 1ක් දුරින් සිටින අතර ඉන්ධන හලට පැමිණෙන වෙනත් හිතවත් වාහන පෝලිමෙන් පිට පෙට්‍රල් ගහන බවයි. ඒ අතර දේශපාලනඥයන් වහසි බස් දොඩන්නේ ඔවුන් ඉන්ධන නිකුත් නොකළත් මහ පාරේ වාහන ගමන් කරන බවයි.
ඉන්දියන් සාගරේ මුතුඇටය ගමන් කරමින් සිටින්නේ කොතැනටදැයි අපිට නම් අවිනිශ්චිතය. බොහෝදෙනාගේ සිහින බිඳ වැටී රුකියා අහිමිවී ගොසිනි. ජනතාව ඉල්ලා අස්වන ලෙස දිවා රූ බලකළත් දේශපාලනඥයන්ට ඒවා ඇසෙන බවක් නොපෙනේ. ඉදිරියේදී මෙවන් සිද්ධි හැමදාම ඇසෙනු ඇත. එවිට ඒවා පත්තරවල පළකිරීමට තරම් වැදගත් කතා නොවනු ඇත.
( ලියුම්කරුගේ අත්දැකීමකි )
කුසුම්සිරි විජයවර්ධන