පොදු ප්‍රවාහන සේවයට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් යොමුවීමට අද සැමට සිදුව තිබේ. රටේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් පෞද්ගලික වාහනයකින් ගමන් කිරීමට වඩා සේවා ස්ථානයට හෝ ගමන් බිමන් යාමට පොදු ප්‍රවාහනය භාවිත කිරීම කාලය ඉතිරි කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත් පොදු ප්‍රවාහනය සිතන තරම් පහසු වැඩක් නොවන බව ඉකුත් සති දෙක තුළ බස් රථ තුළ තැලී, පොඩි වී, දහඩිය පෙරාගෙන, ඝෝෂාව මධ්‍යයේ ගමන් කළ කවුරුත් පසක් කර ගන්නට ඇතැයි සිතමු. එහෙත් වෙනත් විකල්පයක් එක්වරම තෝරාගත නොහැකි බැවින් බස් රථවලම අපහසුතා දරාගෙන ගමන් කිරීමට සිදුවන අභාග්‍යසම්පන්න තත්ත්වයක් මගීන්ට උදා වී තිබේ.
මේ දිනවල බස් රථයේ ගමන් කරන පිරිස කොතරම්ද කිවහොත්, නගරයේ බස් රථවල ටිකට් කැඩීමට කොන්දොස්තරවරු දෙදෙනෙකි. නැතිනම් රියැදුරු මහතා ඉදිරිපස දොරෙන් ඇතුළු වන මගීන්ගෙන්ද, රියැදුරු සහායක පසුපස දොරින් ඇතුළු වන මගීන්ගෙන්ද මුදල් අයකර ගනිති. ඒ තරම් මගීන් පිරිසක් ඉකුත් සති දෙක තුළ ධාවනය වූ සීමිත ප්‍රමාණයක් වන බස් රථවලින් ගමන් කළහ. මගීන්ගෙන් අවම ටිකට් පත වශයෙන් රුපියල් 40ක් පමණ අයකර ගැනෙයි. පෞද්ගලික බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයේ කඩා වැටීමේ අවදානමක ඇතැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ එවැනි පසුබිමකය.
ගැමුණු විජේරත්න පෙන්වා දෙන්නේ පෞද්ගලික බස් රථ පොදු ප්‍රවාහන සේවයෙන් ඉවත් වී කාර්යාල සේවයට යොමුවීමේ ප්‍රවණතාවක් තිබෙන බවයි. කොරෝනා සමයේ ආරම්භ වූ මේ ප්‍රවණතාව හමුවේ කොරෝනා අවසන් වනවිට 18000ක් වූ මෙරට පෞද්ගලික බස් රථ බල ඇණිය 13000ක් දක්වා අඩු වී ඇත. එමෙන්ම ඉදිරි වර්ෂය තුළ තවත් බස් රථ 5000ක් පොදු ප්‍රවාහනයෙන් ඉවත්ව කාර්යාල සේවයට යොමුවීමට නියමිත යැයි ගැමුණු මහතා කියා සිටියි. එමෙන්ම පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය අධි සුඛෝපභෝගී බස් රථ 50ක් චීනයෙන් ආනයනය කර නියමු ව්‍යාපෘතියක් ලෙස කාර්යාල සේවයට යෙදවීමේ කටයුතු සූදානම් කරමින් සිටින බවද හෙතෙම පෙන්වා දෙයි.
ගැමුණු විජේරත්න මහතා යෝජනා කරන කාර්යාල සේවා වැඩසටහන සම්බන්ධයෙන් අප කළ විමසීමේදී ඔහු පළ කළේ මෙවන් අදහසකි.
“කාර්යාල සේවාව පටන්ගන්න සැලසුම් කළේ රටේ මේ වෙලාවේ තිබෙන ඉන්ධන අර්බුදයත් එක්ක අපිට පරිවර්තනයක් කරන්න සිදුවන නිසා. කොවිඩ් කාලේ පොදු ජනතාව පෙළඹුණා ආරක්ෂිතව කාර්යාලවලට යන්න බස් රථයක් වෙන්කර ගන්න. ඒ විදිහට කොවිඩ් කාලේ බස් රථ 2500ක් 3000ක් පමණ කාර්යාල සේවයට පරිවර්තනය වුණා. වර්තමානයේ මගීන්ගෙන් අයකරන ටිකට් පත් මිල වැඩියි. තාමත් තියෙන්නේ කොවිඩ් කාලේ ආසනගතව විතරක් මගීන් ගෙනියන්න අවසර දුන්න කාලේ හදපු ටිකට් මිල. මේ මිල පසුගිය දවස්වල අවස්ථා පහක දී වැඩිවෙලා තියෙනවා. මිනිස්සුන්ට මේ මිල දරාගන්න බෑ. ඉතින් මිනිස්සු රෑට් බස් එක වෙනුවට කාර්යාල බස් රථ සේවය තෝරගෙන තියෙනවා. මොකද ඒවායේ මිලත් අඩුයි. දැන් කාර්යාල සේවාත් ගොඩක් තියෙනවා. මේ විදිහට දැන් අපේ වෙළෙඳපොළ කාර්යාල සේවා පැත්තට පරිවර්තනය වෙමින් තිබෙනවා.”
වෙළෙඳපොළ පරිවර්තනයට තිබූ හොඳම අවස්ථාව ගිලිහීම පිළිබඳව ගැමුණු විජේරත්න මහතා මෙලෙස චෝදනා කරයි. “මේ ඉන්ධන අර්බුදය හොඳ පරිවර්තනයක් බවට පත්කර ගන්න තිබුණා ඇමැතිවරයාට. කාර් එකේ, ත්‍රීවිලරයේ වැඩට යන මිනිස්සුන්ව බස් එකට හරවාගන්න තිබුණා. අවාසනාවකට ඇමැතිවරයා ඊට කලින් බස් ගාස්තුව වැඩි කළා. කොරෝනා ආසනගත මගී ගාස්තුව වැඩි කරල මිනිස්සුන්ව වහල උඩත් දාගෙන යනවා. මේකට ඇතැම් ඊනියා බස් සංගමුත් හවුල් වුණා. මම මේකට කියන්නේ තාවකාලික වින්දනය සදාකල් මරණයක්. දැන් තියෙන ඉහළ බස් ෆෙයාර් එක කර්මාන්තයේ සදාකල් මරණයක්. මේ කර්මාන්තයේ ඉන්න අයට ඉස්සරහට රඳා පවතින්න ලැබෙන්නේ නෑ.”
පෞද්ගලික බස් රථ කාර්යාල සේවයට යෙදවීමට පෙළඹීමට හේතු පිළිබඳව සභාපතිවරයා ප්‍රකාශ කළේ මෙවැන්නකි.
“පොදු ප්‍රවාහනය දැන් මිනිස්සුන්ට දරන්න බෑ. ඒ නිසා මගියා විකල්ප ක්‍රම තෝරාගන්නවා. එතකොට අපිත් විකල්ප ක්‍රම තෝරාගන්නවා. බස් හිමියන්ටත් පුළුවන් පොදු ප්‍රවාහනයට වඩා අඩු වියදමකින් කාර්යාල සේවය කරන්න. කාර්යාල සේවය මගියාටත් ලාභයි. බස් හිමියාටත් ලාභයි. අපිට නඩත්තු වියදමත් ගොඩාක් අඩුයි පාරේ යනකොට වගේ බ්‍රේක් ගහන්නෙ නැති නිසා. දෙවැනි කාරණය කොච්චර බස් ගාස්තු වැඩි කළත් ඒකෙ ලාභය බස් හිමියාට ලැබෙන්නෙ නෑ. භාගයක්ම හොරකම් කරනවා. කාර්යාල සේවයේ දී සම්පූර්ණ මුදලම බස් හිමියාට ලැබෙනවා. මගියාටත් කාර්යාලය ළඟටම ගිහින් බහින්න පුළුවන්. ගේ ළඟින්ම නගින්න පුළුවන්. පාරේ රස්තියාදු වීමක්වත්, කාලේ අපතේ යාමක්වත් නෑ. වෙලාවට කාර්යාලයටත් ගෙදරටත් යන්න එන්න පුළුවන්. ඒ නිසා ඉස්සර තිබුණු සිල්ලර කඩ වෙනුවට දැන් සුපර් මාකට් හැදිලා තියෙනවා වගේ පොදු බස් ප්‍රවාහන සේවය කාර්යාල බස් සේවය බවට පරිවර්තනය වෙන්නයි යන්නේ. ඒ තමයි අලුත් වෙළෙඳපොළ. දැන් පෙට්‍රල් ගණන් නිසා මටත් ඉල්ලීම් ගොඩාක් ආවා කාර්යාල සේවය පටන් ගන්න කියලා. අපි අද හෙට රෝහල් සේවා පටන් ගන්නවා.”
මගී ප්‍රවාහන පෞද්ගලික බස් කර්මාන්තය මුහුණ පා ඇති අභියෝග හා ඒ හමුවේ ලංකා බස් රථ හිමියන්ගේ ඉදිරි සැලසුම පිළිබඳවද ගැමුණු විජේරත්න අවසාන වශයෙන් මෙලෙස පැහැදිලි කළේය.
“මම කරපු සමීක්ෂණයකට අනුව දිනපතා පොදු ප්‍රවාහනයෙන් මගීන් 1500ක් ඉවත් වෙනවා. ඒ නිසා ජනගහණය වැඩිවුණාට බස් රථ ප්‍රමාණය අඩු වෙමින් තියෙනවා. මෙච්චර කල් අපිට ගුණාත්මක සේවයක් මගීන්ට දෙන්න බැරි වුණා. අපිට අලුත් තාක්ෂණයට යන්න බැරි වුණා. ඒ නිසා මේ කර්මාන්තය තෙවැනි පන්තියට වැටිලා. මිනිස්සු කැමැති තමන්ගේ ආත්මගරුත්වය තියාගෙන බැණුම් අහන්නෙ නැතුව කාර්යාල බස්වල යනවට. කීයක් හරි වැඩියෙන් දීලා හරි යන්න කැමැතියි. අපි බලන්නෙ කාර් එකේ යන මගියාවත් බස් රථයට ගන්න ක්‍රමයක්. මීට අවුරුදු තුනකට කලින් අපේ සංගමයේ නිලධාරීන් චීනයට ගියා විදුලි බස් බලන්න. ඉලෙක්ට්‍රික් බස් ගේන්න තමයි සැලසුම් කළේ. Law fuel bus ව්‍යාපෘතිය අවුරුදු තුනකට කලින් ක්‍රියාත්මක කර ගන්න අපි පාර්ලිමේන්තුවෙත් සම්මත කර ගන්න කටයුතු කළා. ඒත් ඒ වෙලාවේ අර්ජුන රණතුංග ඇමැතිවරයා හරස් වෙච්ච නිසා ඒ ව්‍යාපෘතිය පල්ලෙහාට ගියා. දැනට අපි සැලසුම් කරල තියෙනවා චීනයෙන් පහත් තට්ටු සහිත සුඛෝපභෝගී බස් 50ක් ගෙන්වන්න. ඒ බස් රථ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ධාවනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහනට යන්න අපිට තියෙන අභියෝගය රටේ තියෙන ආර්ථික අර්බුදය. ඒ බස් එකක් ලක්ෂ 250ක් 300ක් විතර වෙනවා. ඒකට අපිට චීනෙන් ණය ආධාර ගන්න ක්‍රමයක් තිබුණා. නමුත් අපිට හිතන්න බෑ මේ වෙලාවේ මොකක් කර ගන්න පුළුවන් වෙයිද කියලා.”
සකීෆ් සාම්