ඇඟලුම් නිෂ්පාදනය සහ අපනයනය ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධානතම කර්මාන්තවලින් එකකි. එය රටේ ශ්‍රම බලකායෙන් 16%ක් පමණ වන තරුණ තරුණියන්ට රුකියා අවස්ථා ලබාදෙන අතර, එය රටේ සමස්ත අපනයනයෙන් අඩක් පමණ වේ. පසුගිය වසරේ ඩොලර් බිලියන 5.4ක විදේශ විනිමයක් උපයනු ලැබුවේ ඇඟලුම් කර්මාන්තයෙනි. නිදහස් වෙළෙඳ කලාපය තුළ කර්මාන්ත ශාලා 290ක් පමණ ඇති අතර ඉන් බැහැර. ආයෝජන මණ්ඩලය මගින් අනුමත කම්හල් 1500ක් පමණ පවතී. මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල් 200ක් පමණ ඉන්ධන හිඟය සහ විදුලිය කප්පාදුව වැනි ගැටලු හේතුවෙන් කඩා වැටීමේ බරපතළ අවදානමක් මතුව තිබේ.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් බොහොමයක් ඩොලර් ගෙවා සිපෙට්කෝ සහ අයි.ඕ.සී. ඉන්ධන පිරවුම් හල්වලින් ඩීසල් ලබාගත්තද සුළු හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කම්හල්වලට සාමාන්‍ය ඉන්ධන පිරවුම් හල්වලින් ඉන්ධන ලබාගැනීමේදී දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති බව ඒකාබද්ධ ඇඟලුම් ආයතන සංසදයේ උප සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. තමන්ට ප්‍රමාණවත් පරිදි ඩීසල් නොලැබෙන අතර තවදුරටත් කම්හල් පවත්වාගෙන යෑමේ දුෂ්කරතා පැන නැඟී ඇතැයි ඔහු සඳහන් කරයි.
මහා පරිමාණ ඇඟලුම් කම්හල් තමන්ට ලැබෙන ඇඟලුම් නිෂ්පාදන ඇණවුම්වලින් කොටසක් සුළු හා මධ්‍ය පරිමාණ උප කොන්ත්‍රාත් ඇඟලුම් කම්හල්වලටද ලබා දෙයි. ඉන්ධන හා විදුලිය අර්බුදයෙන් එම ඇඟලුම් ආයතනවල නිෂ්පාදනය අඩාල වීමෙන් මහා පරිමාණ ඇඟලුම් කම්හල්වලටද දැඩි අර්බුදයකට මුහුණ පෑමට සිදුවී තිබේ. ඉන්ධන හිඟය හේතුවෙන් තමන්ට විදේශයකින් ලැබෙන ඇණවුම අවලංගු කර ගන්නවාට වඩා සිපෙට්කෝ, අයිඕසී සහ වරායේ බංකරින් ඒජන්තවරුන්ගෙන් කෙලින්ම ඩොලර් ගෙවා වැඩි මිලටද ඉන්ධන ලබා ගැනීමට පසුගිය කාලයේ කම්හල් හිමිකරුවෝ කටයුතු කර තිබේ.
දැන් ඔවුන් මුහුණ දී ඇති ගැටලුව වන්නේ ඉන්ධන නොමැතිකමින් ඇඟලුම් කම්හල්වල නිලධාරීන්ට සහ සේවකයන්ට සේවයට පැමිණීමට නොහැකි වීමයි. එය එම ආයතන පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී තිබේ. එහෙයින් තම සේවකයන් ප්‍රවාහනය සඳහා ඉන්ධන කෝටාවක් ලබාදෙන්නැයි සිපෙට්කෝ ආයතනයෙන් විශේෂ ඉල්ලීමක්ද කම්හල් හිමියන් කර තිබේ.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා ආයෝජන මණ්ඩලයෙන් ප්‍රමුඛතා ලබා දෙන බවට සඳහන් කොට ලිපි ලබාදුන්නත් තමන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇතැයි පවසයි. මෙම තත්ත්වය විශාල වශයෙන් බලපාන්නේ සුළු සහ මධ්‍යම කර්මාන්ත ශාලා හිමියන්ටය.
''අයි.ඕ.සී. එකෙන් සහ සිපෙට්කෝ එකෙන් අපට අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලැබෙන්නේ නැහැ. අප වරායේ ඇති බන්කර් තෙල් සමාගම්වලින් වැඩි මිලට ඩොලර් ගෙවා ඩීසල් ලබා ගන්නවා. එහෙත් ඔවුන් සතුවත් ඇත්තේ සීමිත තොග පමණක් නිසා ඔවුන්ගෙනුත් අපේ අවශ්‍යතාවයට සරිලන ඉන්ධන ප්‍රමාණය ලබා ගැනීම අසීරුයි. අපි ඇණවුමක් ලබා දුන්විට ඇතැම් අවස්ථාවල එය ලැබෙන්නේ මාසයක් පමණ ගතවීමෙන් පසුවයි. මේ හේතුවෙන් අපේ විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට සහ නිලධාරීන්ට සහ සේවකයන්ට ප්‍රවාහනය සැපයීමේ ගැටලුවක් පැනනැඟී තිබෙනවා. මෙම තත්ත්වය මත ඇතැම් ආයතනවල ක්‍රියාකාරිත්වය අවම තත්ත්වයකට පත්වෙලා. අපේ ආයතනය දැන් සතියට දින හතරක් පමණයි ක්‍රියාත්මක වෙන්නේ.
තවමත් ඇඟලුම් සහ ඇඟලුම් නොවන නිෂ්පාදන සඳහා අපේ ආයතනවලට ඇණවුම් ලැබෙනවා. එහෙත් විදුලිය සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් නිසි පරිදි එම ඇණවුම් ලබා දීමට නොහැකි වූ විට ගැටලු නිර්මාණය වෙනවා. ගැනුම්කරුවන්ට අප පිළිබඳ ඇති විශ්වාසය බිඳවැටෙනවා. එදිනෙදා ලැබෙන ඇණවුම් සාමාන්‍ය පරිදි ලැබුණත් කිසියම් අඩුවීමක් දකින්න පුළුවන්.
පසුගිය කාලයේ විදුලිය නොමැතිකම හා ඉන්ධන අර්බුදය හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන් නිසා නැව් මගින් කරන අපනයන කටයුතු ගුවන් මගින් කිරීමට සිදු වුණා. ඒ සඳහා අපට විශාල පිරිවැයක් දරන්නට සිදුවුණා. එය සාමාන්‍යයෙන් නැව් මගින් යවනවාට වඩා දස ගුණයක පමණ වැඩි වීමක්. එම අලාබය පියවා ගැනීමට ක්‍රමයක් නැහැ. එය අපට ගැණුම්කරුවන් ගෙවන්නේ නැහැ. අපි නිසි වෙලාවට ඇණවුම ලබා නුදුනහොත් පාඩුව වගේ නෙවෙයි අපිට ඊළඟ ඇණවුම් නොලැබී යාමේ තර්ජනයක්ද ඇතිවෙනවා. ඒ නිසා අප පාඩු විඳගෙන හෝ නිසි වෙලාවට ඇණවුම ලබා දීමට පියවර ගන්නවා.'' යනුවෙන් ධම්මික ප්‍රනාන්දු මහතා දේශයට සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට වඩා අඩු මිලකට, කෙටි කාලයකින් ඇඟලුම් නිපදවා අපනයනය කළ හැකි රටවල් බොහෝ ඇත. ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය ඊට උදාහරණ කිහිපයකි. එමෙන්ම ශ්‍රී ලංකාවට තරගකාරී රටවල් කිහිපයක් ද මේ වන විට ඉදිරියට පැමිණ තිබේ. අප්‍රිකාව, ඉතියෝපියාව, කෙන්යාව, ඊජිප්තුව වැනි රටවල් අපට වඩා ඉතාමත් අඩු මිලකට ඇඟලුම් නිෂ්පාදනය කරයි. මෙවැනි තත්ත්වයක් මත ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් අහිමිවීමේ තර්ජනයක් ඇතිදැයි අප ධම්මික ප්‍රනාන්දු මහතාගෙන් විමසා සිටියෙමු. ඒ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවෙන් නිසි පරිදි ඇණවුම් ලබා දීමට නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් ගැණුම්කරුවන්ට වෙනත් රටකින් තම අවශ්‍යතාව ඉටුකර ගැනීමට සිදුවන බවයි. ''බංග්ලාදේශය වැනි රටවලට ලැබෙන ඇණවුම් හා ශ්‍රී ලංකාවට ලැබෙන ඇණවුම් වෙනස්. අපේ නිමි ඇඳුම්වල තත්ත්වය ඉතා උසස්. ඒ වගේම අපි ලෝකයේ උසස්ම සන්නාම සහිත ආයතනවලට අවශ්‍ය ඇඟලුම් නිෂ්පාදනය කරනවා. ක්‍රීඩා ඇඳුම්, ලෝන්ජරි, කම්හල් සේවක ඇඳුම් වැනි ඇඟලුම් නොවන නිෂ්පාදනත් අපට තිබෙනවා. බංග්ලාදේශය වැනි රටල වැඩි වශයෙන් නිපදවන්නේ ඇඟලුම් පමණයි.''
දැනට ඇඟලුම් ආයතන මුහුණ දී ඇති විදුලි, ඉන්ධන හා ගෑස් අර්බුදයට මුහුණ දීම සඳහා ආර්ථික හැකියාව ඇති මහ පරිමාණ ආයතන කම්හල්වලම ඉන්ධන ටැංකි ස්ථාපනය කොට බවුසර මගින් කෙළින්ම ලබා ගැනීමේ ක්‍රියාවලියකට අවතීර්ණ වී තිබේ. එහෙත් එවැන්නක් කුඩා හා මධ්‍යම පරිමාණ කම්හල්වලට කළ නොහැකිය. ඉන්ධන ලීටර් 6600ක් ගබඩා කළ හැකි ටැංකියක් ඉදිකිරීමට අවම වශයෙන් රුපියල් ලක්ෂ 20ක් පමණ වැය වේ. මේ වන විට රටේ පවතින උද්ධමන තත්ත්වය මත කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇඟලුම් ආයතනවලට එවැන්නක් කළ නොහැකිය.
නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය මේ සඳහා යෝජනා කර ඇත්තේ නිදහස් වෙළෙඳ කලාප 14 තුළ ඉන්ධන පිරවුම්හල් ඉදිකරන ලෙසටය. මේ වනවිට කටුනායක සහ බියගම නිදහස් වෙළෙඳ කලාපවල ඉන්ධන පිරවුම්හල් ඉදිවෙමින් පවතී. එය රජය විසින් නොව ආයෝජකයකු විසින් ඉදි කිරීම නිසා රජයට වියදමක් දැරීමට සිදු නොවේ. පවතින ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටියද මේ වන තෙක් ඔවුන්ට අවස්ථාවක් ලැබී නොමැත.
ඉන්ධන අර්බුදය හමුවේ වැඩමුර සීමාවීම්, නිසි පරිදි සේවයට වාර්තා කිරීමට නොහැකි වීම් හා ඇතැම් ආයතනවල වැඩ කරන දින ප්‍රමාණය අවම වීම වැනි කරුණු මත සේවකයන්ද අපහසුතාවට පත්ව තිබේ. කර්මාන්තකරුවන් මුහුණ දෙන තවත් ගැටලුවක් වී ඇත්තේ සේවකයන්ට ආහාර සැපයීමට අවශ්‍ය ගෑස් නොලැබීමය. අර්බුදය හමුවේ සේවකයන් මුහුණ දෙන ගැටලු හා සුළු හා මධ්‍යම පරිමාන කම්හල් හිමියන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් යෙන් අප විමසා සිටියේ නිදහස් වෙළෙද කලාපයේ හා පොදු සේවක සංගමයේ සභාපති ඇන්ටන් මාකස් මහතාගෙනි.
''මහා පරිමාණ කම්හල් හිමියන්ට ආණ්ඩුව ඉන්ධන ලබාදෙන්නේ මාස හතකට සරිලන ඉන්ධන සඳහා වන මුදල ඩොලර්වලින් එකවර ගෙවීමෙන් පසුවයි. එවැන්නක් මහ පරිමාණ ආයතනවලට දැරිය හැකි වුවත් සුළු හා මධ්‍යම පරිමාණ ආයතනවලට කළ නොහැකියි. ඒ නිසා ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ සහන ණයක් හෝ ලබාදෙන ලෙසටයි. එම ආයතන වැසී ගියොත් ඉන් අසරණ වන්නේ සේවකයන්. මේ මොහාත වන විට ඒකල සහ කෑගල්ලේ මහ පරිමාණ ඇඟලුම් කර්මාන්ත ශාලා දෙකක් ඇණවුම් නොමැතිකමින් වසා දමලා. එහි සේවකයන් 1500කගේ රුකියා අහිමි වෙලා. මෙම ආයතන දෙකෙන් මසකට ඩොලර් මිලියන 150ක් උපයන්න පුළුවන්. මේ සඳහා රජය වහා මැදිහත්ව කිසියම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. අප මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාට හා ආයෝජන මණ්ඩලයට ලිපි මගින් දැන්වූවත් අඩුම වශයෙන් පිළිතුරක්වත් ලැබී නැහැ.
බොහෝ ආයතනවල සිටින සේවකයන් මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දී සිටිනවා. ඔවුන්ට සහන සැලසීමේ ක්‍රියාමාර්ගයක් ආණ්ඩුව පාර්ශ්වයෙන් හෝ ආයතනකික පාර්ශ්වයෙන් හෝ තවමත් ගෙන නැහැ. ඒ නිසා සෑම ආයතනයකම සහන මිලට ඔවුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දීමට කිසියම් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසට හා ඔවුනට සේවට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන සලාක ක්‍රමයකට ලබා දෙන ලෙසටත් නේවාසිකාගාරවල සහ නිවෙස්වල සිටින සේවකයන්ට ගෑස් සිලින්ඩරයක් ලබා දීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසටත් අප ඉල්ලා තිබෙනවා. එමෙන්ම සෑම සේවකයකුටම මසකට රුපියල් දස දහසක සහන දීමනාවක් ලබා දෙන ලෙසටත් අප ඉල්ලා සිටිනවා. දැනට ආයතන විස්සක් විසිපහක් පමණ ප්‍රමාණයක මෙම දීමනාව ලබා දුන්නත් සියලුම ආයතන සේවකයන්ට එවැනි දීමනාවක් ලබා දෙන්නේ නැහැ. කොවිඩ් පැවති කාලයේ හාම්පුතුන්, වෘත්තීය සමිති හා ආණ්ඩුවේ සහභාගිත්වයෙන් කාර්ය සාධන බලකායක් පිහිටුවා ආයතන පවත්වාගෙන ගියා. මේ අවස්ථාවේ එවැනි වැඩ පිළිවෙළක්වත් නැහැ. අලුත් ඇමැතිවරයෙක් පත් කළා ආයෝජන ප්‍රවර්ධන සඳහා. එහෙත් ආයෝජන අලුතින් ආකර්ශණය කිරීමට පෙර තිබෙන ආයෝජන ටික ආරක්ෂා කර ගැනීමට වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි. ඒ සඳහා ගන්නා පියවර කුමක්දැයි අපට පැහැදිලි නැහැ.'' යනුවෙන් සඳහන් කළේය.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා