2022 ජුලි 10 වන ඉරිදා

මම නෝනාට පොරවෙන් ගැහුවා - ලංකාපුර පරිපාලන නිලධාරිනියගේ සැමියා වමාරයි

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 213

මට නින්ද ගිහින් එකපාරටම ඇහැරුණා. එතකොටම දොරෙන් උස මනුස්සයෙක් කාමරයට එනවා වගේ දැක්කා. පස්සෙ මම කුණුහරපයකුත් කියාගෙන බිමට බැස්සා එයාට ගහන්න. ඒ එක්කම මොකක් හරි ආයුධයකින් මට කෙටුවා. නමුත් ඒක වැදුණෙ නිදාගෙන හිටපු මගේ නෝනාට. මම ඒ මිනිහා අල්ලා ගන්න හදද්දී මටත් වඩා හොඳට මගේ ගේ ඇතුළෙ දුවගෙන ගියා...

පොලොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනියගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇයගේ ස්වාමිපුරුෂයා වූ කපිල බණ්ඩාර සිද්ධිය විස්තර කර තිබුණේ එසේය. සිය බිරියගේ ඝාතනය සිදුවූ අවස්ථාවේ තමා මුහුණ දුන් සිදුවීම සම්බන්ධයෙන් විවිධ හා දීර්ඝ අදහස් ප්‍රකාශ කළද මේ වනවිට බිරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට පත්ව සිටින්නේද මියගිය තැනැත්තියගේ ස්වාමි පුරුෂයාය.

ඝාතනයට ලක්වූ පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය මියගොස් තිබුණේ ඉකුත් 4 වැනිදා අලුයම 2.30ට පමණ සිදුවූ තියුණු ආයුධයක පහරදීමකින් බව කියැවේ. සිය නිදි යහනේදීම සිදුකර තිබෙන පහරදීම පිළිබඳව ඇයගේ සැමියා දීර්ඝ විස්තර සිදුකර තිබේ. ඔහු පැවසූ ආකාරයට නාඳුනන පුද්ගලයකු නිවසේ උඩුමහලේ නිදන කාමරයට පැමිණ යම් ආයුධයකින් පහරදී පලාගිය පසුව සිද්ධිය පිළිබඳව එම නිවෙසට ඉදිරිපස නිවෙසේ අයට කතාකොට දන්වා ඇත. ඒ සමඟ අසල්වැසි ඥාතීන්ට පවසා පුලස්තිපුර පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා දැනුම්වත් කිරීමටත් ඝාතනය වූ තැනැත්තියගේ ස්වාමිපුරුෂයා පියවර ගෙන තිබුණි. ඒ සමග 1990 අංකය අමතා සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා තුවාල ලබා සිටි බිරිය රෝහල් ගතකිරීමටද කටයුතු කර තිබිණ.

මේ අතර සිදුවීමෙන් මොහොතකට පසුව පුලස්තිපුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පද්මකුමාර පතිරණ මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණේ විමර්ශන ආරම්භ කිරීම සඳහාය. ඒ අවස්ථාව වනවිටත් ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු කිහිපදෙනකු මෙන්ම අසල්වැසි ඥාති පිරිස් එම ස්ථානයේ රැඳී සිට ඇත. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් බිරියගේ සිරුර රැගෙන රෝහලට ගිය ස්වාමිපුරුෂයා නිවස වෙත පැමිණ තිබුණි.

එතැන් සිට පැමිණෙන පිරිසටත් පොලිස් නිලධාරීන්ටත් කරුණු කියන්නට වූ ඔහු ''මට පාන්දර ඇහැරුණා. ඊටපස්සේ නාන කාමරයට ගිහින් ඇවිත් නෝනාගේ ඇඳේ නෙට් එක ඇතුළේ හිටපු මදුරුවෝ එළවලා මගේ නෙට් එකේ හිටපු මදුරුවොත් එළවලා ආපසු නිදාගත්තා. ඒ වෙලාවේ පාන්දර 2.20ට විතර ඇති. ටික වෙලාවකින් මට නින්ද ගියා. එතකොට ලයිට් ඕෆ් කරලා තිබුණෙ. හදිසියේම ඇහැරුණේ කවුරු හරි එන ශබ්දයට. ආපු කෙනා මට ගැහුවට වැදුණෙ නිදාගෙන හිටපු මගේ නෝනාට. මට වැදෙනවා නම් වදින්න තිබුණෙ කොන්ද හරියට. මම ඔහුව අල්ලාගන්න පන්නාගෙන යද්දි ලොකු දුව අප්පච්චි කියනවා ඇහුණා. මම හිතුවා තවත් කවුරු හරි ගේ ඇතුළේ ඉන්නවා කියලා. ඒ නිසා මම දුව හිටපු තැනට දිව්වා. ඒ නිසා ගලකින් ගහන්නවත් බැරිවුණා.''

ඝාතනයට ලක්වූ තැනැත්තියගේ ස්වාමියා කියන මේ කතාව ඇසූ පොලිසිය විමර්ශන කඩිනම් කර තිබුණි. ඔහු පවසන පරිදි පිටස්තර අයකු නිවසට පැමිණ ඇත. එහෙත් නිවසේ දොරට ඉබ්බන් හා දම්වැල් දමා තිබී ඇත. කිසිවකුටත් ඇතුළට පැමිණිය නොහැකි වන සේ ජනෙල් වසා තිබීමත් වහලය හෝ වෙනත් සැකසහිත තැනක් නොතිබීමත් හේතුවෙන් සිදුවීම පිළිබඳ සැකය පැවතියේ නිවෙස තුළමය. පිටස්තර අයකු පැමිණි සාධක දකින්නට නොතිබීම ඊට හේතුව විය.

මේ හේතු පදනම් කරගෙන පොලීසිය තීරණය කොට තිබුණේ පොලිස් නිල සුනඛයන් යොදවා විමර්ශන සිදුකිරීමටය. එම සුනඛයන් යෙදවුවද නිවෙසින් එළියට යන බවක් දකින්නට නොවුණි. මේ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) කැඳවා විමර්ශන සිදුකෙරිණ. ඔවුන් සිදුකළ සියුම් විමර්ශනවලදීද පිටස්තර කෙනකු නිවෙසට ආ ගිය බවක් දකින්නට ලැබී නැත. ප්‍රධාන වශයෙන් හඳුනා ගැනීමට තිබී ඇත්තේ දෙදෙනකුට අයත් පා සලකුණු පමණි. ගෙහිමියා පවසන ආකාරයට නිදන කාමරයේ සිට පහළ තට්ටුව දෙසට කෙනකු පසුපස පන්නා ගොස් ඇත. එවැනි අවස්ථාවක කෙනකුගේ පා සලකුණු බර ගතියෙන් බිම වැදිය යුතුය. එහෙත් විමර්ශනවලට එවැනි කිසිම සාක්ෂියක් දකින්නට ලැබී නැත. ගෙබිම තිබී ඇති සියලුම පා සලකුණු නිවැසියන් එහා මෙහා ගිය සාමාන්‍ය පා සලකුණු පමණි. පිටස්තර අයකු නිදන කාමරයට පැමිණියේ නම් මියගිය තැනැත්තියටද නින්දෙන් අවදි වීමට අවස්ථාව තිබිණ. මේ හේතු පදනම් කොටගෙන ඝාතනය වූ කාන්තාවගේ සැමියාගේ ප්‍රකාශ පරස්පර වන බව පොලිසිය තහවුරු කරගෙන ඇත.

මේ අනුව පොලීසිය සැක කරන්නේ මියගිය කාන්තාව ඇඳේ වාඩි වී සිටි මොහොතක යම් බර ආයුධයකින් ඇගේ හිසට පහරදී ඇති බවය. එම සිදුවීම පිටස්තරයකු නොව නිවස තුළම සිටි අයකු විසින් සිදුකරන්නට ඇති බව පොලීසිය සැකකර තිබුණි. හඳුනාගත් සාක්ෂි සාධක අනුව මියගිය අයගේ ස්වාමිපුරුෂයා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ''මම නෝනාට පොරවෙන් ගැහුවා. පොරව අල්ලපු වත්තට විසි කළා'' යැයි කියා ඇත. ඒ අනුව අල්ලපු වත්තේ මාන පඳුරක තිබියදී සොයාගැනුණ පොරව නඩු භාණ්ඩයක් වශයෙන් පොළොන්නරුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඝාතනය සිදු කිරීම සඳහා ආසන්නතම හේතු සාධක අතර කියැවෙන්නේ සැකකරු බොහෝ පාර්ශ්වවලට අධික ලෙස ණය වී සිටින බවකි. ඇතැම් ණය ගෙවීම සඳහා පොලියට මුදල් ගෙන තිබෙන බවද කියැවේ. බිරියගේ ළඟම ඥාතීන්ගෙන්ද මොහු මුදල් ලබාගෙන ඇතැයි වාර්තා වේ. මේ හේතු නිසා බිරිය හා ස්වාමියා අතර ගැටුම් හටගෙන ඇතැයිද වාර්තා වේ. ඝාතනය සිදුවූ දින රාත්‍රියේ අලුයම 1 දක්වා බිරිය තමාට බැණවැදී දෝෂාරෝපණය කළ බව සැකකරු කියා ඇත. මේ අතර සැමියාගේ මත්පැන් පානය සම්බන්ධයෙන්ද බිරිය දොස් නගා ඇත. මේ සියලු කරුණු මුල් කරගෙන බිරිය ඝාතනය කිරීමට සැකකාර සැමියා උත්සාහ කර තිබෙන බව අනාවරණය වේ.

සැකකරු පාසලක මුරකරුවෙකි. බිරිය උපාධිධාරිණියක වූ රජයේ වගකිවයුතු රුකියාවක නිරතව සිටි කාන්තාවකි. සැමියා සල්ලාල ජීවිතයකට හුරුවූවකු වන අතර බිරියට වඩා වයසින් අඩු කෙනෙකි. කොතරම් පවුල් ප්‍රශ්න ආරවුල් තිබුණත් බිරිය කිසිවකුටත් ඒ බවක් පෙන්වා නැත. යම් හෙයකින් එකී ප්‍රශ්න ඥාතීන්ට හිතවතුන්ට පවසා තිබුණේ නම් ඇයට තවමත් ජීවතුන් අතර සිටින්නට අවස්ථාව තිබුණි.

මෙම ඝාතන සිදුවීම සම්බන්ධයෙන් පුලස්තිපුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. පද්මකුමාර පතිරණ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක දමිත් ගුණසිංහ, සැරයන්වරුන් වන 33946 හේරත්, 50465 පතිරණ, කාන්තා පොලිස් සැරයන් 5176 ගයනි හා පොලිස් කොස්තාපල්වරුන් වන 68623 හතුරුසිංහ 74351 මධුශංක යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

 සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05