2022 ජුලි 10 වන ඉරිදා

මෙහෙම ගිහින් කටුනායක වහන්න වෙයිද?

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 56

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වේදිකාව වෙතට කැඳවාගෙන යනු ලබන ස්වර්ණමය ද්වාරය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි. 

මෙම ද්වාරය මෑතකදී ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති දේශපාලනික, සමාජයීය, ආර්ථික ගැටලු රාශියක් නිසා මේ වනවිට වැසී යන තත්ත්වයකට පත්වෙමින් තිබේ. මෙහිදී ශ්‍රී ලංකාව තුළ උත්සන්න වී ඇති ඉන්ධන අර්බුදය හමුවේ කටුනායක ගුවන් තොටුපොළ වනසා දමන අන්දමේ දරුණු බලපෑමක් විවිධ පැති ඔස්සේ එල්ල කරමින් තිබේ.

පළමුවෙන්ම ගුවන් යානා සඳහා භාවිත කරන ටර්බයින් ඉන්ධන මේ වනවිට දැඩි ලෙස හිඟවෙමින් පවතින අතර, ඒවා ගුවන් යානා සඳහා නිකුත් කරන්නේ කසාය බෙහෙත් ලබා දෙන ආකාරයට ඉතා සීමිතව බව ගුවන් තොටුපොළ උසස් නිලධාරිවරයෙක් පැවසීය. 

මේ තත්ත්වය නිසා ඉන්දියානු උප මහාද්වීපය වෙත ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් යානා ඉන්දියාවේ චෙන්නායි, හයිද්‍රාබාද්, නවදිල්ලි වැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතින් තම ගුවන් ගමන සම්පූර්ණ කිරීම සඳහා ඉන්ධන ලබාගැනීමට පියවර ගෙන තිබේ. මීට අමතරව මැදපෙරදිග සහ යුරෝපා රටවල් වෙත ගමන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් යානා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ඉන්ධන ලබාගැනීම සඳහා ගමන් කිරීම සිදු කරමින් සිටියි.

මෑතකදී ලන්ඩන් නුවර සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානය අනතුරකට පත්වීමට ආසන්න වූයේද කෙටි ගුවන් ගමන් මාර්ග අනුගමනය කිරීමට සහ අඩි 35,000ක් තරම් උසකින් ගමන් කිරීමට පියවර නොගන්නා ලෙස මෙම ගුවන් සේවා බලධාරීන් විසින් ගුවන් නියමුවන් වෙත උපදෙස් ලබා දී තිබීම හේතුවෙන් බව ගුවන් තොටුපොළ තුළ හුවමාරු වන තොරතුරු මූලාශ්‍ර අනාවරණය කරයි. 

එමෙන්ම අග්නිදිග ආසියානු ප්‍රදේශය වෙත ගුවන් ගන්නා ශ්‍රී ලංකන් ගුවන් යානා සිංගප්පූරුවේ චැංගි, මැලේසියාවේ ක්වාලාලම්පූර්, දකුණු කොරියාවේ සියෝල්, චීනයේ ෂැංහයි, බීජිං වැනි ගුවන් තොටුපොළ, සිය ඉන්ධන අවශ්‍යතා සඳහා භාවිත කරමින් සිටියි. එසේම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන සියලුම විදේශීය ගුවන් සේවා තම ගුවන් යානා සඳහා ඉන්ධන අවශ්‍යතාව තවදුරටත් කටුනායක ගුවන් තොටුපොළ වෙතින් බලාපොරොත්තු නොවන ලෙසට දැනුම් දීමක් කර තිබේ.
මෙම දැනුම්දීමත් සමඟම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළත්, ඒ හා සම්බන්ධතා පවත්වන සියලුම දේශීය සහ විදේශීය ගුවන් සේවා ආයතනත් දැඩි අසීරුතාවට පත් විය.

ගුවන් යානා සඳහා ඉන්ධන ලබා දෙන්නේ බර අනුව කිලෝග්‍රෑම්වලිනි. ඒ අනුව ගුවන් යානයකට ඉන්ධන සඳහා වූ බර, ගුවන් මගීන්ගේ බර, ඔවුන් රුගෙන යන බඩු බාහිරාදියෙහි බර මෙන්ම ගුවන් භාණ්ඩ වශයෙන් රුගෙන යනු ලබන භාණ්ඩ තොගවල බර ද ගණනය කර, එය ගුවන් යානයට රුගෙන පියාසර කළ හැකි බවට ගුවන් යානා ඉංජිනේරුවරුන් සනාථ කළ යුතුය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ තවදුරටත් ඉන්ධන නොමැතිවීම නිසා මෙම ගණිත සූත්‍රය බිඳවැටීමකට ලක් වූ අතර, විදේශීය ගුවන් සේවා සමාගම් ශ්‍රී ලංකාව වෙත පැමිණීමේදී තම ගුවන් යානාවල ටැංකි පිරී යන අන්දමින් ඉන්ධන රුගෙන පැමිණීමට පියවර ගත්තේය. මේ නිසා ගුවන් ගුවන් මගීන්ගේ සංඛ්‍යාව කැපීපෙනෙන ලෙස අඩුවන්නට විය.

සාමාන්‍යයෙන් නවීනතම එයා බස් ඒ-320-300 වර්ගයේ හෝ බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් පැයක ධාවන කාලයක් සඳහා ගුවන් යානා ටර්බයින් ඉන්ධන කිලෝග්‍රෑම් 1,000ක් පමණ භාවිත කරයි. එනිසා බොහෝ ගුවන් යානා තම සාමාන්‍ය අවශ්‍යතා සඳහා ඉන්ධන කිලෝග්‍රෑම් 20,000ත් 30,000ත් අතර ප්‍රමාණයක් ගුවන් තොටුපොළවලින් ලබාගැනීමට කටයුතු කරයි.

එසේම මෙම ඉන්ධන ගැටලුව හමුවෙහි විදේශීය ගුවන් සේවා සමාගම් සිය ගුවන් යානයට අවශ්‍ය ඉන්ධන ටැංකිවල පුරවාගෙන, ගුවන් යානයේ බර සමතුලිත කිරීම සඳහා රුගෙන එන ගුවන් මගීන් ප්‍රමාණය අඩු කිරීම වෙනුවට ගුවන් යානය තුළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු සහ බඩු බාහිරාදිය එම ගුවන් යානය තුළට  රුගෙන ඒම සිදු නොකරයි. එවැනි අවස්ථාවලදී ගුවන් තොටුපොළ තුළ රාජකාරියේ නිරතව සිටින නිලධාරීන් මහත් අපහසුතාවට පත්වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී තිබේ.

එහෙත් මේ ආකාරයට ගුවන් යානය තුළ වූ ටැංකි සියල්ලෙහිම  ඉන්ධන පුරවාගෙන පැමිණීමේදී හදිසියේම ගුවන් යානය කාර්මික දෝෂයකට හෝ යම් ආපදාවකට ලක්වුවහොත් හදිසි ගොඩබෑම් සඳහා ගුවන් යානය තුළ ඇති අතිරික්ත ඉන්ධන තොග මුහුදට හෝ ගොඩබිමට මුදා හැර, අදාළ ගුවන් යානය ගොඩබෑමට පමණක් අවශ්‍ය ඉන්ධන පමණක් ගුවන් යානය තුළ ඉතිරි කර ගැනීමට සිදුවේ. එවැනි පියවරකට යනු ලබන්නේ ගුවන් යානය හදිසි ගොඩබෑමකදී අනතුරට පත්වුවහොත් ගුවන් යානය, එහි ගමන් ගත් මගීන් සහ රුගෙන යමින් තිබූ භාණ්ඩ තොගය ගිනි ගැනීමකින් බේරාගැනීම සඳහාය.

මෙවැනි පසුබිමක් යටතේ ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම් මෙසේ සිය ඉන්ධන ටැංකි සියල්ල පුරවාගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට යම් අකැමැත්තක් පළ කළ අතර මේ නිසා බොහෝ ගුවන් සමාගම් කටුනායක ගුවන් තොටුපොළ සමඟ පවත්වන ගුවන් ගමන් මෙහෙයුම් නවතා දමන්නට පියවර ගෙන තිබුණි. 

මේ අතර එයාර් චයිනා, චයිනා සදර්න්, ඉන්ඩිගෝ, මැලේසියානු ගුවන් සේවය, කුවේට් ගුවන් සේවය ආදිය මෙසේ තම ගුවන් ගමන් මෙහෙයුම් තාවකාලිකව නවතා දමන්නට පියවර ගෙන ඇත. එමෙන්ම තවත් සමහර ගුවන් සේවා සමාගම් කටුනායක ගුවන් තොටුපොළ වෙත සිදුකෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව එමිරේට්ස් ගුවන් සේවය දිනකට ක්‍රියාත්මක කළ ගුවන් ගමන් වාර හතර, දෙක දක්වා අඩු කර ඇත. එසේම තුර්කි ගුවන් සේවය සතියේ දින හත තුළම කටුනායක ගුවන් තොටුපොළ වෙත සිය ගුවන් ගමන් මෙහෙයුම් සිදු කළ අතර, එය මේ වනවිට සතියකට එක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව චයිනා ඊස්ටන් ගුවන් සේවය සතියකට ගුවන් ගමන් වාර 14ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා ක්‍රියාත්මක කළ අතර, එම ගුවන් සේවය මේ වනවිට මාසයකට එක් ගුවන් ගමන් වාරයක් දක්වා අඩු කර ඇත. එසේම මීට සමගාමීව ඕමාන් සහ කටාර් ගුවන් සේවා ද තම ගුවන් ගමන් වාර සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් අඩු කර තිබේ.

මේ තත්ත්වය යටතේ  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව 50%කින් පමණ අඩු මට්ටමකට ඇද වැටී තිබේ. සාමාන්‍යයෙන් දිනකට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් ගමන් වාර 60 ක් පමණ ක්‍රියාත්මක කළ අතර, ඒ සියල්ල හරි අඩකින් මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ අඩු වී ඇත. එමෙන්ම මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ දිනකට ගුවන් මගීන් 7,000ක් පමණ පිටත්ව යන අතර පැමිණෙන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව 4,000ක පමණ සීමාවක පවතින බවට තොරතුරු වාර්තා වේ.

එසේම ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින මූල්‍ය සහ ආර්ථික අර්බුදය හමුවේ විවිධ විදේශීය ගුවන් සමාගම් ගුවන් ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් සහ භාණ්ඩ ප්‍රවාහනයෙන් ශ්‍රී ලංකාව තුළදී උපයාගෙන ඇති මුදල් මාස 06ක පමණ කාලයක සිට තම මව්රටවල් වෙත යැවීමට නොහැකිව මහත් දුෂ්කරතාවකට පත් වී සිටියි. ඒ ශ්‍රී ලංකාවේ බැංකු පද්ධතිය මෙම විදේශ මුදල් එම රටවලට යැවීමට අනුග්‍රහය නොදැක්වීම හේතුවෙනි.

එමෙන්ම එම මුදල්වල වටිනාකම ඒ වනවිට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් 203ක් වූ නමුත් මේ වනවිට ඩොලරයක ශ්‍රී ලංකා රුපියල් වටිනාකම 370 දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා එක් ඇමෙරිකානු ඩොලරයක් මගින් ඔවුන්ට සිදුවන අලාභය රුපියල් 167 කි.

මේ අනුව මෙම විදේශීය ගුවන් සේවා සමාගම් දෙයාකාරයකින් දැඩි දුෂ්කරතාවකට පත් වී සිටියි. එමෙන්ම මෙම දැඩි ඉන්ධන අර්බුදය හමුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මගින් සිය දෛනික රාජකාරී ඉටුකිරීම සඳහා පැමිණෙන සේවකයෝද මහත් අසීරුතාවට පත් වී සිටිති. එනිසා ගුවන් තොටුපොළ තුළ අත්‍යාවශ්‍ය දෛනික රාජකාරී පවා අඩපණ වී ඇණහිටින තත්ත්වයකට පත් වී තිබේ. 

මෙම අර්බුදකාරී හේතු සමුදාය හමුවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රන් දොරටුව ක්‍රම ක්‍රමයෙන් වැසී යාමේ අදියරකට පත්වෙමින් තිබේ.

 කටුනායක ටී.කේ.ජී. කපිල

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05