2022 ජුලි 10 වන ඉරිදා

අපි ඔක්කොම මහපාරේ!

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 61

අම්මා රටින් යන්න පාරක් හොයාගන්න ගමන් බලපත්‍ර පෝලිමේ ඉද්දි කුස දරාගෙන හිටපු දරුපැටියා ඒ පෝලිමේදීම ඉපදුණා.. ඒ සංසිද්ධිය සිද්ධ වුණේ ඊයේ පෙරේදා දවසක. නුදුරේදීම ඉන්ධන, ගෑස් කිරිපිටි පෝලිම්වලත් දරුපැටවු උපදීවි! උපන් පළමු තත්ත්පරයේ කිරිකැටි උඹ අඬන්නේ මේ වගේ රටක අනාගත පුරවැසියෙකු වී ඉපදීමේ ඛේදවාචකය නිසා නොවුණත් උපදින පැටවු වෙනුවෙනුත් අද අපි අඬන්නේ ඇත්තටම ඒ හින්දා.. අපි අපේ ජීවිතවලින් දශක ගණනක් ගෙවලා ඉවරයි. ඒත් උඹ පුංචි පැලයක් වෙලා මේ දඩබිමේ පැලවෙන්න එපැයි හෙට ඉඳන්...

මහ පාරට එන්න දෙයක් නෑ. රටේ පිරිමි වගේම ගැහැනුත් මහ පාරේ. අද වෙද්දී මහපාරට මේ රටේ මිනිස්සු තල්ලු කරලා ඉවරයි. වැටුණේ නෑ වැට්ටුවා. තල්ලු වුණේ නෑ තල්ලු කළා. පාලනයක් නැති පාලකයන් අතට රටේ යතුර පත්වීමේ අහේතුවට අඩු වැඩි වශයෙන් නූපන් බිළිඳාගේ සිට අද තිඹිරිගෙයි හඬන පොඩි එකා දක්වාත්, මරණයේ එළිපත්ත මත සිටින වියපත් මානවයා දක්වාත්, ඔක්කොම එක රොත්තට මහ පාරට, හිඟමනට, පෝලිමට, මරණයට, බලාපොරොත්තු සිහින කිසිවක් නැති හිස් කාන්තාරයකට තල්ලු කරලා ඉවරයි. 

එහෙම කළේ ඇයි?

එහෙම කළේ කවුද?

එහෙම කළේ කොහොමද?

ඒ ප්‍රශ්නවලට උත්තර අමුතුවෙන් ලියන්න, පහදන්න, පසිඳින්න අවැසි නැතත් තල්ලු කරලා, වළ කපලා, දඬුකඳේ ගහනකම් ඇස් කන් පියාගෙන හිටපු කරුමය ගැන නම් තමන්ගේම හෘද සාක්ෂියෙන් නැවත නැවතත් ප්‍රශ්න කළ යුතු වග මම විශ්වාස කරනවා. 

සොරුන් සොරකම් කරද්දි

ඒ සොරකම් කළ දෙයින් උන් රජ සිටු මන්දිර හදද්දි

සොරකම් නොකළ, හරිහම්බ කළ දේ වැය කර සියල්ල මිලට ගත්, එහෙත් සොරුන් සොරුන් සේ දකින්නට කොන්දක් නැති, නිවටකමට පක්ෂ, පාට, සලකුණු ඉස්සරහ හැත්තෑ හතර වසරක් කතිර ගහපු ශාපයට අද රටත් ජනතාවත් මහ පාරේ වග වෙනවා... 

දවස් ගණන් ගෑස් පෝලිමේ, තෙල් පෝලිමේ ඉඳන් ගෑස් ටැංකියත් අරගෙන, තෙල් ටිකක් ගහගෙන, කිරිපිටි පෝලිමේ ඉඳන් කිරිපිටි පැකට් එකක් අරගෙන හරි මම දිනුම් කියන තැනට ඇවිත් අත්පුඩි ගහලා, තෙල් බවුසරේට වැඳගෙන පිළිගෙන අලි බබා සහ හොරු 225 තීරණය කළ පෝලිම් සංස්කෘතියට එහෙයි න්‍යායෙන් ආවඩන එක දැන්වත් නවත්තපල්ලා...

ගෝලීය වශයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇති බව ඇත්ත. ආහාර, ඉන්ධන සියල්ල විෂයෙහි ගෝලීය අර්බුදයක් නිර්මාණය වෙමින් උද්ධමනය ඉහළ යාමේ අභියෝගයන්ට ලෝකය අඩු වැඩි වශයෙන් මුහුණදීමේ වාතාවරණයක් නිර්මාණය වෙමින් පවතින බව ඇත්ත. එහෙත් රාජ්‍යයකට පාලන ඒකකයක්, ආණ්ඩුවක් තියෙන්නෙ රටේ නිර්මාණය විය හැකි සහ නිර්මාණය වූ අර්බුදවලට හොඳම විසඳුම් හෝ විකල්ප ඉදිරිපත් කරන්න. ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල්වලට ධනවාදී රටවල්වලින් විවිධාකාර බලපෑම් මේ ගරාවැටුණු බංකොලොත් වාතාවරණය අබිමුව එල්ලවීමේ අවදානම් සහගත බව තවත් තීව්ර වෙමින්, විවිධ වේෂයන්ගෙන් එය සපැමිණෙමින් පවතිනවා. එය අද ඊයෙක සිදුවූ දෙයක් නෙවෙයි. දරිද්‍රතාවයෙන් ගිලී ඇති රටවල් ධනවාදී රටවල්වල බිලීපිත්තට විවිධ මාදිලින්ගෙන් නතුවීමේ දේශපාලන ආර්ථික ධනවාදී කුමන්ත්‍රණ ලෝක යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වුණේ අනාදිමත් කාලයක සිටයි. අතීතයේ භූගෝලීය ආක්‍රමණ වශයෙන්ද, පසුකාලීනව සංස්කෘතික ආක්‍රමණ වශයෙන්ද, අද්‍යතනය වනවිට නව්‍ය දේශපාලන ආක්‍රමණ වශයෙන්ද මෙම කුමන්ත්‍රණ පැමිණෙමින් පවතිනවා. 

එහෙත් රටක ජනතාව යනු මේ කිසිවකගේ ඉත්තන් හෝ තුරුම්පුව බවට පත්වීමට නම් ඇයි එරටට පාලනයක්, පාලකයෙක්, නීතියක් හෝ අධිකරණයක්. කොරෝනා ව්‍යවසනයත් සමඟ ආර්ථිකය පහළ වැටෙන විට, සංචාරක කර්මාන්ත‍යෙන් එන ඩොලර් උල්පත් සිඳී යන විට, පොහොර කෙරුවාවෙන් හොට බිම ඇනගන්නා විට, මෙවැනි අනාගත ව්‍යවසන සිදුවන්නට පසුබිම සැකසෙන බව අවබෝධ කර නොගැනීමේ ප්‍රතිවිපාක අද ඍජුවම විඳින්නේ රට කරවන පාලකයන් නෙවෙයි, ජනතාව. කාබනික පොහොරවලින් රට අස්වැද්දීමේ සංකල්පය එක්වර රසායනික පොහොර තහනමක් මගින් නොව, යායෙන් යාය අත්හදා බැලීම් ඔස්සේ කරගෙන යමින් වැට නියර පස මහ පොළොව හඳුනන විද්වතුන් සමඟ කරන්න තිබුණා. එහෙත් ඒ කාලේ කෘෂිකර්මාන්තය කරේ තියාගෙන දැඟලුවේ පසේ ස්ථරයන් නිර්මාණය වීමේ ක්‍රමවේදයවත් නොදන්නා වෛද්‍යවරුන් සහ සීත කාමර විද්වතුන්.

සොරෙක් නොවූ, කොමිස්කාරයෙක් නොවූ දේශපාලනඥයෙක් සෙවීම කළුනික සෙවීම තරම් අසීරු වූ වාතාවරණයක හැත්තෑ හතර වසරක් තිස්සේ දේශපාලනඥයන් ගත් හැම තකතීරු තීරණයකම, හැම හොරකමකම, වන්දිය ගෙවන්නේ රටක ජනතාවයි. ඔබ අද කුස දරා සිටින කළලයක් ඇත්නම්, ඒ කළලයේ සිට නූපන් තවත් පරම්පරා ගණනාවක් උන් නොකළ වැරදි සමුදායකට වරදකරුවන් වී හමාරයි. උන් නොකළ වැරදි ගණනාවක් වෙනුවෙන් දඬුවම් දෙවුර දරා හමාරයි.

අදටත් මේ මඩගොහොරුවේ මාළු බාන තවත් විවිධ සොර දෙටුවන් නිර්මාණය වීද හමාරයි. ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්, කලාකරුවන්, මේ ආදී විවිධ චරිත නිරෑපණය කරන්නන්, දෙකෝටි ගණනක ජනතාවකගේ ප්‍රශ්නවලින් සල්ලි ගරන සොර මුලක් අරගලය තුළින් විමුක්තිය ඉල්ලා හිඳින පීඩිතයන් අතර සැරිසරන්නන් වී හමාරයි. සියල්ලන් එසේ නොවුණත් මේ ඇඟිල්ල දිගු කරන්නේ එසේ වූ බඩගෝස්තරවාදීන්ටයි.

ඒ කිසිවකගෙන් තොර සැබෑ අරගලයක්, සැබෑ විප්ලවයක්, සැබෑ විමුක්තියක් අද කෑවොත් හෙට කන්නෙ කොහොමද හිතන මේ ජනතාව අත්විඳින්නෙ කවද්ද..

දිනක් නොදැන අපි බලා සිටිමු. 

 සංජු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05