2022 ජුලි 10 වන ඉරිදා

අලියකුට යටවූ ජැක්සන්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 608

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා දින ගණනාවක් අනුරාධපුර ප්‍රදේශයේ රැඳී සිට තිබුණේ අලුතින් රෑගත කෙරෙන චිත්‍රපටයක රංගනය සඳහා දායකවීමටය. සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන සිංහබාහු චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ සිංහයාගේ චරිතය නිරෑපණය කරමින් සිටියේ ජැක්සන් ඇන්තනී මහතාය. අනුරාධපුරය, තඹුත්තේගම, ගල්ගමුව, හත්තිකුච්චිය වැනි ප්‍රදේශ ආශ්‍රිතව සිදුකෙරුණු රෑගත කිරීම් අවසානයේ පිරිස රාත්‍රිය ගතකර තිබුණේ අනුරපුර නගරය ආසන්නයේ පිහිටි නවාතැන් පොළකය. එම ස්ථානය බලා ධාවනය කෙරුණු කැබ් රථය වන අලියකුගේ ගැටී අනතුරට ලක්ව තිබුණේ නොසිතුව ලෙසය.

සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වලින් තුනෙන් දෙකක් පමණ අවසන් කොට තිබියදී තවත් රෑගත කිරීම් කිහිපයක් සිදුකර තිබුණේ තඹුත්තේගම හා ගල්ගමුව අතර ප්‍රදේශවලය. පසුගිය 3 වැනිදා කෙරුණු රෑගත කිරීම තරමක් රෑ බෝවන තෙක්ම සිදුකර ඇතැයි කියැවිණි. අවසානයේ එම ස්ථානයෙන් පිටත්වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා සමඟ ඔහුගේ සොහොයුරු සමන් ඇන්තනී හා ජැක්සන් ඇන්තනී මහතාගේ කළමනාකරණ සහායකවරයා වූ ඉරේෂ් යන අයද වූහ. පිරිස රුගත් කැබ් රථය පදවා ඇත්තේ ජැක්සන් මහතා විසින් බව කියැවේ. කෙසේ හෝ පිරිස රැගත් රථය ධාවනය කර තිබුණේ පාදෙණිය - අනුරාධපුර පාර ඔස්සේය. රාත්‍රී අඳුර මැදින් ධාවනය වූ කැබ් රථය ඉදිරියෙන් හදිසියේම පාර මාරුවීමට උත්සාහ දරා තිබුණේ වන අලියෙකි. තරමක වේගයෙන් ධාවනය වූ කැබ් රථයට තිරිංග තද කිරීමට හෝ වෙලාවක් තිබී නැත. 

සැනෙකින් වූ අකරතැබ්බයත් සමඟ වන අලියාගේ ගැටුණු කැබ්රිය නතරවනවාත් සමග සද්ධන්තයා කැබ් රථය මතටම ඇද වැටී තිබුණි. ඒ සමඟ රථයේ සිටි තිදෙනා එතුළ සිරවී තිබුණේ වහලය සහ දොරවල් තැලී පොඩි වී ගිය නිසාය. අනතුරත් සමඟ කලබලයට පත්වූ වන අලියා මාර්ගය පසෙක තිබූ අලි වැටක කණුවක් කඩාගෙන වනයට වැදී ඇත. මේ හදිසි අනතුර සිදුව ඇත්තේ ඉකුත් 3 වැනිදා රාත්‍රී 9.30ට පමණය.

අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි තිදෙනා පොඩි පට්ටම් වී තිබූ කැබ් රියෙන් එළියට ගැනීමට දැඩි වෙහෙසක් දැරීමට සිදුව ඇත. කෙසේ හෝ අනුරාධපුර - පාදෙණිය පාරේ මොරගොඩ ප්‍රදේශවාසීන් සමඟ එකතු වූ තලාව පොලිසියේ රථවාහන අංශ නිලධාරීහු එක්ව තුවාලකරුවන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

මේ අනුව තුවාලකරුවන් ඇතුළු කර තිබුණේ එම රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙතය. එහිදී අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව ජැක්සන් ඇන්තනී මහතාගේ ගෙල ආශ්‍රිත සුසුම්නාව ප්‍රදේශයට හානි සිදුව තිබෙන බව තහවුරු කරගෙන ඔහුට අවශ්‍ය වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරිමට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවීමට පියවර ගෙන තිබුණි. ජැක්සන් ඇන්තනී මහතාගේ සොහොයුරාගේ තත්ත්වයත් තරමක් බරපතළ වූයෙන් ඔහු එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තබා වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇත. අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිසිය දන්වා ඇත්තේ අනතුර සිදුවූ මොහොතේ රථයේ ගැටුණු වන අලියා කැබ්රථය මතට ඇද වැටීම හේතුවෙන් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල වී ඇති බවය.

අනතුරින් බරපතළ තුවාල ලබා සිටි ජැක්සන් ඇන්තනී මහතා අනුරාධපුර සිට කොළඹ ජාතික රෝහලට යැවීම සඳහා ගිලන් රථයට අවශ්‍ය ඉන්ධන සපයා ගැනිමද දැඩි අසීරු කටයුත්තක් වූ බව කියැවේ. එම අසීරු මොහොතේ අනුරාධපුර ඩිපෝ අධිකාරිවරයා සිය නීතිමය වපසරිය තුළ සිට වුවද අවදානම් ජීවිත බේරා ගැනීමට ඒ මොහොතේ ඩීසල් ලබාදීමට පියවර ගැනීම වටිනා මෙහෙවරකි.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජැක්සන් ඇන්තනී මහතා පසුදිනම සැත්කමකට භාජනය කර ඇත. එම සැත්කම පැය 7ක පමණ කාලයක් සිදුකළ බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය. අනතුරුව යළිත් වරක් ඒ මහතා දැඩි සත්කාර ඒකකය වෙත යොමුකර තිබුණි. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරු පවසා ඇත්තේ ජැක්සන් ඇන්තනි මහතා සුවය ලබමින් සිටියද ඒ සඳහා යම් කාලයක් ගතවන බවය. මේ අතර අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර සිටි ජැක්සන් ඇන්තනි මහතාගේ කළමනාකරණ සහායක ඉරේෂ් ලක්මාල් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පිටවගොස් තිබුණේ පසුගිය 4 වැනිදාය.

අනතුරට පසුව ජැක්සන් ඇන්තනී මහතා මුහුණ පෑ අනතුර බවට පැවසෙන වීඩියෝ දර්ශනයක් හා කැබ් රියේ ගැටුණු වන අලියා බව දක්වන අලියකුගේ ව්‍යාජ ඡායාරෑපයක් ඇතැම් සමාජ මාධ්‍යවල පළකරනු දකින්නට ලැබිණ. ඒ සියල්ල අසත්‍ය බව පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසීය. එම අලියා සොයා ගැනීමට තවමත් නොහැකි වූ බව වයඹ සහ අනුරාධපුර කලාප භාර පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා වැඩිදුරටත් පැවසීය. එම අලියා සොයා අවශ්‍ය ප්‍රතිකාර සිදුකිරීමට වුවමනා වුවද ඉන්ධන අර්බුදය ඊට එරෙහිව ඇත.

තුවාල ලැබූ අලියකුගේ සංසරණය වන ඡායාරෑපය වසර කිහිපයක් පැරණි ඉන්දියාවේ අලියකුගේ ඡායාරෑපයක් බව කියැවේ. අනතුරත් සමඟ රියදුරු අසුනෙන් ඉදිරියට විසිවීමට ගොස් තිබෙන ජැක්සන් ඇන්තනී මහතාගේ පපුව සුක්කානම මත වැදී තිබෙන බවට සැක කෙරේ. මේ හේතුවෙන් ඔහුගේ පෙනහළුවලට හානි සිදුව තිබෙන බවත් ගෙල ප්‍රදේශයේ අස්ථි දෙකක් බිඳී සුසුම්නාවට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග වාර්තා කළේය.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා එක්තරා දේශපාලනඥයකු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිට කටයුතු කළ බව ප්‍රසිද්ධය. මේ නිසා ඔහුට සිදුවූ අනතුර පිළිබඳ විවිධ දේශපාලන අරමුණු පෙරදැරිව විවිධ අදහස් හා ප්‍රකාශ සමාජ මාධ්‍ය හරහා පළකරනු දකින්නට හැකිය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර