මේ දවස්වල ලොකුම කතාබහ අලුත් ආණ්ඩුවක් හදන්නටය. ඉහළ යමින් පවතින ආර්ථික උද්ධමනය හමුවේ ජනයා පීඩාවට පත්වෙමින් සිටින මොහොතක බොහෝ දෙනාගේ ඉල්ලීම වී ඇත්තේ වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතු බවය. එය දේශපාලනික ඉල්ලීමක් පමණක් නොව මහා නායක හිමිවරුන්ගේද ඉල්ලීම එය වී තිබේ. එහෙත් තවම ඒ ගැන කතා පිට කතාය.
මේ මොහොතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීමේ ප්‍රධාන භූමිකාව සිදු කරමින් සිටින්නේ සර්ව පාක්ෂික අරගලකරුවන් විසිනි. වචනයට සීමා නොවී එකඟත්වයට පත්වූ සාකච්ඡාවලින් පසුව, පසුගියදා ගෝල්ෆේස් අරගලකරුවන් සහ පක්ෂ නායකයන්ගේ එකතුවෙන් මහ සමුළුවක් පැවැත්විණි. ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, චම්පික රණවක, මනෝ ගනේෂන්, අනුර ප්‍රියදර්ශන යාපා, ඒ.එම්.ඒ. අතාවුල්ලා, තිස්ස අත්තනායක, රාජිත සේනාරත්න ඇතුළු මැති ඇමැතිවරු රුසක් මෙන්ම වෘත්තීය සමිති සහ සිවිල් ක්‍රියාකාරීහුද එක්ව සිටියහ. මෙහි විශේෂත්වය වන්නේ ගෝල්ෆේස් අරගල භූමිය නියෝජනය කරමින් විශාල කණ්ඩායමක් ඊට සහභාගි වීමය. මෙහිදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා වූ තීන්දුවට පෙර ගත යුතු ක්‍රියාමාර්ග රුසක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණියහ. ගෝඨාභය රාජපක්ෂ ඉවත්වීම සහ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ඉවත්වීම ඊට අදාළ මූලික කාරණා බවට පත් විය. අවසන් වශයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමත්, පසුව 19+ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමත් සඳහා වූ එකඟතාවකට දෙපාර්ශ්වය පැමිණියහ..
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවුණද සමුළුව පැවැත්වීමට පෙර සර්ව පාක්ෂික අරගලකරුවෝ අනුර දිසානායක මහතා හමුවූහ. එහිදී ඔහු සඳහන් කර සිටියේ තම කණ්ඩායම සමඟ සාකච්ඡා කොට ඉදිරි වැඩපිළිවෙළ සඳහා සහාය දක්වන බවය.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා තවත් යෝජනාවක් ගෙනැවිත් තිබුණේ විමල් වීරවංශ ප්‍රමුඛ පක්ෂ 11 කණ්ඩායම විසිනි. ඔවුන් සඳහන් කර සිටියේ රට වැටී ඇති අගාධයෙන් බේරාගැනීම සඳහා හොඳම සහ සාර්ථකම ක්‍රමය නම් ඉක්මනින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙත යාම බවය. ඒ සඳහා අවශ්‍ය මූලිකත්වය ගනු ලබන බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
එම යෝජනාව පක්ෂ 11 තීන්දුව වුවද ශ්‍රිලනිපය ද තමන්ගේ පෞද්ගලික මතය ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා යෝජනා ඉදිරිපත් කළේය. ඔවුන් වෙනස් වූ ආරම්භයක් ගෙන තිබීම විශේෂයෙන් කැපී පෙනුණු අතර වෙනම අරගල භූමියේ සාමාජිකයන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී වී තිබුණි. සැබවින්ම එයට හේතුව ලෙස පෙනී යන්නේ පක්ෂ 11 සාමාජිකයකු වන විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අරගල භූමියේ සාමාජිකයන් ගංජාකරුවන් ලෙස හැඳින්වීමය. එම ප්‍රකාශය මගින් සමස්තයක් ලෙස පොදුවේ අරගල භූමියේ විරෝධය විපක්ෂයේ සියලු දෙනාටම එල්ල වන බැවින් ශ්‍රීලනිපය වෙනම අරගලකරුවන් සමඟ සාකච්ඡා කිරීම සිදුවිය. එහෙත් මෙහිදී ශ්‍රීලනිපය සිය ස්ථාවරය දැනුම් දෙමින් කියා ඇත්තේ ඔවුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟ බවය. කෙසේ වෙතත් ශ්‍රීලනිපයද සිටින්නේ එකී පොදු ස්ථාවරය තුළය.
මේ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කළ යුතු බවත් එහිදී තමන් එහි ප්‍රධානීන් විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනා කර තිබුණි. ඒ සඳහා ඔවුන් අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කිරීම තරමකට අතහැර දමා තිබුණු අතර තමන් අතට බලය ලබාදීමෙන් පසුව තීරණවලට එළඹීම ඔවුන්ගේ අදහස විය. එහෙත් ඔවුහු අරගල කණ්ඩායම් සමඟ පසුගිය සතිය පුරා සාකච්ඡා සිදු කළහ.
මේ අතර 43 වැනි සේනාංකය ලෙස හඳුන්වන චම්පික රණවක ඇතුළු කණ්ඩායම වෙනත් ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිටිති. ඒ විවිධ පක්ෂ සමඟ තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමය. විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ ද සාකච්ඡා කිරීම ඔවුන්ගේ අදහස වී තිබේ.
9 වැනිදා පැවැත්වෙන උද්ඝෝෂණයට අදාළව විශේෂ තීරණ රුසක් අරගලකරුවන් සහ දේශපාලන පක්ෂ නායකයන් අතර සිදුවූ හමුවේදී ගෙන තිබීම මෙහිදී විශේෂ විය. මෙතෙක් කල් නිර්පාක්ෂික අරගල භූමියක්ව පැවති අරගලය සඳහා පක්ෂවල සහාය ලබාගැනීමට අරගලකරුවෝ මෙහිදී එකඟත්වයට පැමිණියහ. එහෙත් අරගල භූමිය තුළ පාට පක්ෂ කොඩි කිසිවක් ප්‍රදර්ශනය නොකිරීමට පියවර ගන්නා ලෙස ඔවුහු මෙහිදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
ප්‍රශ්න සියල්ල මැද ආණ්ඩුවට ජනතාව වෙනුවෙන් යම් සහනයක් ලබාදීමට තිබුණු එකම අවස්ථාව වූයේ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එහෙත් එය සාර්ථක ලෙස ඉටුකිරීමට ආණ්ඩුව සමත් නොවීය. විජයදාස රාජපක්ෂ මහතා විසින් සකසන ලද ව්‍යවස්ථා කෙටුම්පතට බොහෝ පක්ෂ එකඟ නොවීය. එහි අඩංගු ඇතැම් කාරණා හේතුවෙන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පවා සෝදා පාළුවට ලක්වන බව ඔවුන්ගේ මතය විය. ඒ ආකාරයෙන් ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රශ්නය ක්‍රමයෙන් ඇදී ගියේය. පසුගිය දින කිහිපය තුළ රටපුරා ඇතිවුණු තෙල් අර්බුදයත්, ආණ්ඩුවේ මුදල් හිඟයත් සමඟ එකී සියලු සාකච්ඡා අඩපණ විය. විශේෂයෙන් සජබයේ සහ පොහොට්ටුවේ පිරිසක් මීට එකඟත්වයක් නොමැතිවීම හේතුවෙන් එකී කතා සියල්ල යට ගියේය. එලෙස 21 වැනි ව්‍යාස්ථාව කතාබහෙන් මැකී ගොස් අවසන්ය. එයට විශාල ලෙස බලපෑම් කළේ ඇතැම් කාරණා සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙසට කරන ලද නියෝගයයි.
මේ දිනවල අලුත්ම මාතෘකාව වී ඇත්තේ 22 ව්‍යවස්ථා සංශෝධනයයි. එය එක්තරා ආකාරයක විහිළුවකි. එනම් 21 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට නොහැකි කල තවත් කුමට 22ක්ද යන්නය. ඒ නිසා 21 හරහා සැබවින්ම යම්තාක් දුරට ඉටුවෙතැයි අපේක්ෂා කළ හැක්කේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් පමණි.
ගයාන් ගාල්ලගේ