ජන අරගලය කූඨප්‍රාප්තියට ළඟාවීමත් සමඟම මෙරට දේශපාලන ඉතිහාසයේ බොහෝ න්‍යායන්, මතවාද, සංකල්ප බිඳවැටුණේය. එම ඓතිහාසික සිදුවීම් දාමය අතරේ අප අවධානය යොමු කරනුයේ "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ" හෙවත් පොහොට්ටුවට වූ ඇබැද්දිය පිළිබඳවයි. විකසිත වන මල් පොහොට්ටු අවසන මුකුලිත වී යන්නේ යම් සේද, මෙම දේශපාලන පොහොට්ටුවටද සිදුවූයේ එයයි.
මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් පක්ෂය සීසීකඩ කැඩී ගොස් අවසානය. අරගලය ආරම්භක අවස්ථාවේදී පක්ෂයෙන් ස්වාධීන වී පාර්ලිමේන්තුවේ වෙනම අසුන්ගත් මන්ත්‍රී කණ්ඩායම් තවදුරටත් බලවත් වී සිටිති. නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නොමැතිමුත් පොහොට්ටුවේ තවත් පිරිස් ඔවුන් සමඟ එක් වී සිටිති. අවසාන කාලයේ බැසිල් රාජපක්ෂ විසින් ඇරඹූ පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ ක්‍රියාවලිය ද අක්‍රිය වී තිබේ. රාජපක්ෂවරුන් රට හැර යාම හේතු කොටගෙන පක්ෂය නායකත්ව අර්බුදයකට පවා ගමන් කරමින් ඇති බව කියැවේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් ලාබාල දේශපාලන පක්ෂයට මෙවන් ඉරණමක් අත්වූයේ ඇයි? පළමුව ඒ පිළිබඳව අප සැකවින් සාකච්ඡා කළ යුතුය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යනු 2015 ජනවාරි 8 වැනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලැබූ පරාජය හමුවේ දේශපාලන සරණාගතභාවයට පත් වූ පිරිස් සඳහා නිර්මාණය වූ නිවහනකි. මහින්ද රාජපක්ෂ විසින් එකල ජනපති මෛත්‍රීපාල සිරිසේන හට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවරා දීමත් සමඟ නිර්මාණය වූ ජාතික ආණ්ඩුවේ පාර්ශ්වකරුවන් වීමට අකැමැති වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දැරුවෝ මෙම පක්ෂය නිවහන කොට ගත්හ. එය එසැණ සිදුවූවක් නොවේ. දීර්ඝකාලීන දේශපාලනික ක්‍රියාවලියක ප්‍රතිඵලයකි.
මහින්ද සුළඟ සමඟ රාජපක්ෂ පුනරාගමනය සිදුවන අවධියේ සූක්ෂම ලෙස සිතා බැසිල් රාජපක්ෂ විසින් මෙම පක්ෂය නිර්මාණය කෙරිණි. ආරම්භයේදී මෙම නිර්මාණය පිළිබඳ සෙසු රාජපක්ෂවරුන් තුළ පවා එතරම් පැහැදීමක් නොවූ බව පෙනී ගියේය. නමුත් නිර්මාණය වූ දේශපාලන වටපිටාව හමුවේ අවසානයේ සියලු රාජපක්ෂවරුන්ගේ මෙන්ම ශ්‍රීලනිප - එජාප ජාතික ආණ්ඩුවට සහයෝගය නොදක්වන සියලු පිරිස්වල එකම තෝරාගැනීම පොහොට්ටුව විය. නිර්මාණය වී වසර දෙකක් ඇතුළත මෙම පක්ෂය මුහුණ දුන් පළමු මැතිවරණය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට ඔවුහු සමත් වූහ
මෙය ඓතිහාසික දේශපාලන ජයග්‍රහණයකි. ඒ අනුව 2016 නොවැම්බර් 02දා ආරම්භ වූ පොහොට්ටු පක්ෂය 2018 පෙබරවාරි 10 වැනිදා දිවයිනේ පළාත් පාලන ආයතන 340 ක් අතරින් 239ක බලය ලබාගැනීමට සමත් විය. මෙතරම් බලයක් මෙම නව පක්ෂය වටා කේන්ද්‍රගත වූයේ හුදෙක් එම පක්ෂයේ දක්ෂ දේශපාලන භාවිතය හේතු කොටගෙන නොවේ. ඒ වනවිට පැවති යහපාලන රජයේ දුර්වල රාජ්‍යකරණය ඊට ප්‍රමුඛ හේතුවක් විය.
කෙසේ වෙතත් මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් නව පක්ෂය වටා දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතුළු මහින්ද රාජපක්ෂ පුනරාගමනය වෙනුවෙන් වෙහෙස වූ සෙසු පක්ෂ නායකයෝ එක්ව සිටියහ. ඔවුන්ගේ දේශපාලන භාවිතය සහ තර්ක යහපාලන රජයට දැඩි අභියෝගයක් එල්ල කළ අතර පොහොට්ටු කඳවුර තවදුරටත් ශක්තිමත් කළේය. මෙම තීරණාත්මක ජයග්‍රහණයෙන් පසුව ඒකාබද්ධ විපක්ෂය නමින් පෙනී සිටි කණ්ඩායම ද ඍජුව ශ්‍රී ලංකා පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්හ. ආරම්භයේදී ඔවුහු ශ්‍රීලනිපයෙන් වෙන්වී පොහොට්ටු සාමාජිකත්වය ලබාගැනීමට යම් බියකින් පසුවූහ. 2018 මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව ඔවුන්ගේ එම තැතිගැන්ම නැති වී ගියේය.
පොදුජන පෙරමුණ නම් පක්ෂයේ සංවිධානගත සැබෑ ආරම්භය සිදුවූයේ ඒකාබද්ධ විපක්ෂය පොහොට්ටුව බවට පරිවර්තනය වීමයි. අනතුරුව ඔවුන් හමුවේ තිබූ අභියෝගය වූයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වයයි. ජනාධිපතිවරණ අපේක්ෂකයා තෝරාගැනීම රාජපක්ෂ පවුලේ ප්‍රවේණිගත අයිතියක් බව මෙම පක්ෂයේ සියලු දෙනාම පාහේ විශ්වාස කළහ. එම නිසාම අපේක්ෂකත්වය පිළිබඳ තීරණය ගැනීම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත පැවරුණි. ගෝඨාභය රාජපක්ෂ වෙත අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයේ සේම විමල් - උදය - වාසු ඇතුළු හවුල්කාර පක්ෂවලද යම් බලපෑමක් විය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ සඳහා අනුමැතිය ලැබුණේ පවුලේ අභ්‍යන්තරික සාකච්ඡා රුසකට පසුවයි. මෙම පක්ෂය පවුලේ පක්ෂයක් බව පිළිබිඹු කළ ප්‍රබලතම අවස්ථාව එය විය.
අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධානගත වීමටයි. ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා එය අත්‍යවශ්‍ය සාධකයක් වූ බැවින් හෙට්ටු කිරීම්, වෙට්ටු දැමීම් රුසකට පසුව ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රීලනිප පොහොට්ටු සන්ධානය බිහි විය. අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය වූ ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් 16 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් 69 ලක්ෂයක ජනවරමක් ලබමින් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා බවට පත්විය. පදවිප්‍රාප්තියෙන් මුල්කාලීනව ඔහු කෙරේ දැවැන්ත ජන ප්‍රසාදයක් විය. නමුත් කොවිඩ් වසංගතය ආරම්භ වී ඉතා කෙටි කාලයක් යන විට ක්‍රමිකව විපක්ෂයේ විවේචන ප්‍රබල වන බව පෙනී ගියේය. මහ මැතිවරණය පැවැත්වීමට 2020 අප්‍රේල් මාසයේදී ලබාගත් තීන්දුව ද ආන්දෝලනාත්මක විය.
කෙසේ වෙතත් කොවිඩ් වාතාවරණය තුළම මහ මැතිවරණය පවත්වා ගෝඨාභය පාලනය ස්ථාවර කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කළේය. ශ්‍රීලනිපය ද සෙසු පක්ෂ ද ඒකාබද්ධ කර ගනිමින් ඔවුහු 2020 අගෝස්තු 5 වැනිදා පැවති මහ මැතිවරණයට පෙනී සිටියහ. කොවිඩ් වංසගතය සහ ජාතික ආරක්ෂාව ප්‍රධාන දේශපාලන තේමා වූ අතර රට ගොඩනැගීම උදෙසා තුනෙන් දෙකක ජනවරමක් ඔවුහු ඉල්ලා සිටියහ. ඒ අනුව අවසානයේ ඉතිහාසයේ දැවැන්තම ජනවරමක් හිමිකර ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ඉතා ආසන්න බහුතරයක් ද සහිතව පොහොට්ටු ආණ්ඩුවක් බිහිවිය.
ඕනෑම මොහොතක එක් තැනක විතැන් වන දැවැන්ත බලයක් එහි උපරිමයට පැමිණි පසුව ක්‍රමිකව අහෝසි වී යාම සාමාන්‍ය ස්වභාවයයි. එය බල දේශපාලනයට ද අදාළ න්‍යායකි. මෙතැන් පටන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අත්වූයේ ද එම ඉරණමයි. පළමුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණ ආණ්ඩුව දැඩිව විවේචනයට ලක්වූයේ කොවිඩ් සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙනි. අනතුරුව වර්තමාන පුපුරා යාම කෙරෙහි ප්‍රමුඛ හේතුවක් වූ 20 වැනි සංශෝධනය පොහොට්ටු සන්ධානයේ පළමුවරට අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය කළේය. රාජපක්ෂ පවුලේ පෞද්ගලික දේශපාලන වුවමනා එපාකම් පිරිමසා ගැනීම වෙනුවෙන් සංශෝධනය භාවිත කිරීමට සැරසීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාරීත්වය දැරෑ සෙසු පක්ෂ රාශියක් සිය විරෝධතා ගොනු කරන්නට විය. කෙසේ වෙතත් අවසානයේදී ජයගත්තේ බැසිල් රාජපක්ෂගේ වුවමනාවයි
මේ අතර කාලයේදී බැසිල් රාජපක්ෂ විසින් පක්ෂයේ අභ්‍යන්තර බලය තමා වෙත තහවුරු කර ගැනීමේ අරමුණ සහිතව නවකයන් සහ ආරම්භයේ පටන් තමා හිතවාදී වූ පිරිස් අභ්‍යන්තරිකව බලගැන්වීම සිදු කළේය. එක්තරා අවස්ථාවක දී පක්ෂය නායකත්වය ගෝඨාභය රාජපක්ෂ වෙත පවරා දෙන ලෙසද සෙසු පක්ෂ නායකත්වය විසින් ඉල්ලා සිටියේ ද එබැවිනි. ඒ වනවිටත් මහින්ද රාජපක්ෂ පවා දේශපාලන හුදෙකලා වීමකට ලක් වී සිටි බව තත්කාලීන දේශපාලන සිදුවීම් විමර්ශනයේදී පෙනී යයි.
20 වැනි සංශෝධනය, කොළඹ වරාය නැගෙනහිර ජැටිය අර්බුදය, කාබනික පොහොර තීන්දුව, කොළඹ වරාය නගරය පාලන ව්‍යුහය පිළිබඳ මතගැටුම සහ අවසානයේ යුගදනවි බලාගාර අර්බුදය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිහානිය සලකුණු කළේය. ඉහත සෑම අවස්ථාවකදීම පක්ෂ සන්ධානය අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය විය. මුල් අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ විසින් මෙම ගැටුම් සමථකරණයට උත්සාහ දැරෑ නමුත් බැසිල් රාජපක්ෂ සිය දේශපාලන සහචරයන් හරහා නිර්මාණය කළ පක්ෂ ඒකාධිකාරිය ප්‍රබල විය. අනෙක් පසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙරට සාමාන්‍ය දේශපාලන භාවිතයන් නොතකමින් ඇතැම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම ද, දැඩි මතවලට එළඹ සිටීම ද අර්බුදය තවත් උග්‍ර කළේය.
මෙම පක්ෂයේ ආණ්ඩුකරණය මෙලෙස ඉදිරියට ඇදෙන අතරේ ක්‍රමිකව බරපතළ වෙමින් පැවති ආර්ථික අර්බුදය ඔවුහු නොතැකූහ. අර්බුදයේ යම් සංධිස්ථානයකදී පොහොට්ටුවේ බැසිල් අනුගාමිකයන් විසින් යෝජනා කර සිටියේ බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කළ යුතු බවයි. එය ඉතා දැඩි දේශපාලන බලකිරීමක් වූ අතර පොදුජන පෙරමුණ බහුතර මහජන නියෝජිතයන්ගේ අදහස ද එයම විය. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා බවට පත්වූ නමුත් ආරම්භයේ දී ඔහු ආර්ථික අර්බුදය කළමනාකරණය ප්‍රමුඛ රාජකාරිය කර නොගත්තේය.
විපක්ෂයේ පැවති දුර්වලතා සහ සිය දේශපාලන කඳවුරේ වූ වුවමනා එපාකම් මනාව හඳුනාගත් ඔහු දේශපාලන සූදුවක නිරත විය. බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධූරය සිය දේශපාලන කඳවුරේ ප්‍රවර්ධනය වෙනුවෙන් භාවිත කළේය. සංවර්ධන ව්‍යාපෘති ඔහුගේ මූලික ඉලක්කය විය. තම කඳවුරේ මහජන නියෝජිතයන් සතුටු කිරීම වෙනුවෙන් ඔහු වැඩ ලක්ෂයක්, එක ගමකට එක වැඩක් ආදී නව සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේය. මේ අතර රාජ්‍ය මූල්‍යකරණය පිළිබඳ අල්පමාත්‍රික හෝ අවබෝධයකින් තොරව ඒ වනවිටත් අවසන් වෙමින් තිබූ ඩොලර් සංචිත ණය ගෙවීම් වෙනුවෙන් භාවිත කළේය.
මේ අතර කාලයේ පක්ෂ අභ්‍යන්තරයේ සහ පක්ෂ සන්ධානය තුළ නිwර්මාණය වෙමින් තිබූ දැවැන්ත විරෝධය කළමනාකරණය කිරීම වෙනුවට නෙරපා හැරීමේ න්‍යාය රාජපක්ෂවරු භාවිත කළහ. සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ, උදය ගම්මන්පිල එලෙස නෙරපා හැරීම්වලට ලක්වූවෝ වෙති. මෙම නෙරපා හැරීම ආරම්භ වීමත් සමඟ එතෙක් පක්ෂය සමඟ කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 11කට ආසන්න පිරිසක් වෙන් වී ගියහ. අනතුරුව පොදුජන පෙරමුණම නියෝජනය කරන පිරිසක් ද පාර්ලිමේන්තුවේදී ස්වාධීන විය. මහින්ද රාජපක්ෂ නම් සාධකය ද මෙහිදී සිය අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් සිය පවුල තුළම විතැන් වීමට තීරණය කළේය. සමගි සන්ධාන ක්‍රියාවලියෙන් ඔහුද බැහැර විය.
අවසානයේ දී ආර්ථික අර්බුදය උග්‍ර වනවිට මුදල් අමාත්‍ය ධූරය දැරෑ බැසිල් රාජපක්ෂටද නික්ම යෑමට සිදුවිය. අවසානයේ ඔහු පාර්ලිමේන්තුවට පවා සමු දුන්නේය. අප කවුරුත් දන්නා පරිදි අරගලයේ පළමු පුපුරා යාමත් සමඟ මහින්ද රාජපක්ෂ අග්‍රමාත්‍යවරයාට පවා සිය තනතුරට සමු දීමට සිදුවිය. ආත්මාර්ථකාමී දේශපාලන තීරණ සහ නම්‍යශීලී නොවූ දේශපාලන භාවිතය රාජපක්ෂ කඳවුරේ ඓතිහාසික බිඳවැටීම තහවුරු කළ බවට ඉඟි පළ කළේය. ඒ අනුව ඔවුන් සිය පෞද්ගලික දේපළක් ලෙස සලකමින් සිටි පොදුජන පෙරමුණ දේශපාලන පක්ෂයේ අවසානයද ළඟා විය.
ජූලි 9 වැනිදා මහජන අරගලයේ කූඨප්‍රාප්තිය සිදුවෙන විට ආසන්න වශයෙන් තිබූ දේශපාලන පසුබිම පිළිබඳව අප ඔබට අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. කෙසේ වෙතත් එම තත්ත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගමන් කළේ ඉහත පරිද්දෙනි. මෙය වූ කලී ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පක්ෂයක වේගවත්ම නැගීම සහ වේගවත්ම පසුබෑමයි. මේ වන විටත් පොහොට්ටුවෙන් බිඳී ගොස් සිටින පාර්ශ්ව කිහිපයක් සිය දේශපාලන ස්ථාවරත්වය රුකගැනීම වෙනුවෙන් උපක්‍රම භාවිත කරමින් සිටිති. ඩලස් - ඩිලාන් ඇතුළු පිරිසක් නව පක්ෂයක් නිර්මාණය කරන බව කියැවේ. විමල් - උදය - වාසු ඇතුළු කණ්ඩායම නව සන්ධානයක් නිර්මාණය කරමින් සිටිති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද නව ගමනක් ආරම්භ කර තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ තවදුරටත් ඉතිරිව සිටින්නේ දැඩි බැසිල්වාදී පිරිසකි. පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දැරෑ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනෙක් සිය දේශපාලන තීන්දු වෙනුවෙන් බලා සිටිති. ඉදිරි මහ මැතිවරණයකදී පොදුජන පෙරමුණ සැලකිය යුතු ලෙස දිය වී යන බව දන්නා නිසාවෙන් ඔවුන් නිසැක වශයෙන්ම වෙනත් කඳවුරු තුළ ස්ථානගත වනු ඇත. එය අප පසුගිය දශකය තුළ හොඳින්ම දුටු දේශපාලන භාවිතයකි.
කෙසේ වෙතත් තවදුරටත් බැසිල් රාජපක්ෂ නම් ගැලවුම්කාරයා විසින් පොදුජන පෙරමුණ යම් හෝ ස්ථාවරත්වයකට පමුණුවනු ඇතැයි බලාපොරොත්තුවෙන් පසුවන්නෝද වෙති. එතෙර සිටියද මෙතෙර සිටිය ද පොදුජන පෙරමුණ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ නම් දේශපාලන චරිතය මෙම පක්ෂය හුදෙකලා නොකරනු ඇතැයි මෙම පිරිස බලාපොරොත්තු වෙති. අරගලය කූඨප්‍රාප්තියට පෙර ඉතා ආසන්න කාලයේදී ඔහු නැවත පක්ෂ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියේ නිරතව සිටියේය. එසේ හෙයින් රට තුළ යම් දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනැගුණහොත් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ශේෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තවදුරටත් නියෝජනය කිරීමට ඉඩ තිබේ.
චමිඳු නිසල් ද සිල්වා