2022 ජුලි 17 වන ඉරිදා

අඩුවෙන දුවන බස් රථ

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 81

රට තුළ මාස ගණනාවක්ම පැවති ඉන්ධන ගැටලු සම්බන්ධයෙන් තවමත් ස්ථීර විසඳුමක් ලබාගැනිමට රජයට නොහැකි වී ඇත. මේ නිසාම රටේ ජනතාවගේ සියලු කාර්යයන් අඩපණ වෙමින් පවතී. සති ගණනාවක් තිස්සේ රටේ බොහෝ පාසල්වල අධ්‍යාපන කටයුතු කර ගැනීමට දරුවන්ට පාසල් ඒමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. පොදු ප්‍රවාහන සේවය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සියලුම ආයතනවල සේවකයින්ගේ පැමිණීමද අඩාල වී ඇත.

මේ අතර පෞද්ගලික බස් රථවලට අවශ්‍ය ඉන්ධන ඩිපෝ මගින් ලබාදීමට කටයුතු කළද එම ක්‍රියාවද එතරම් සාර්ථක නොවන බව පෞද්ගලික බස් සේවකයෝ චෝදනා කරති. සෑම ඩිපෝවක් ඉදිරිපිටම ඉතා විශාල බස් රථ පෝලිම් දැකගත හැකි අතර එයින් මාර්ගයද අවහිර වන බව පෙනී ගොස් ඇත. මේ අතර දින ගණනාවක් තිස්සේ මෙම ඩිපෝ ඉදිරිපිට හිඳිනා පෞද්ගලික බස් සේවකයින්ට ඉන්ධන ලැබෙන්නේ ඉතා අඩු ප්‍රමාණයකි. දින දෙකක් හෝ තුනක් ඉන්ධන පෝලිම්වල හිඳ එක දිනකට පමණක් ප්‍රමාණවත් ඉන්ධන ලබාදීමෙන් මොවුන් ඉතා විශාල අර්බුදයකට මුහුණ පා ඇත.

''ඩිපෝවල ලබලා දෙන්නේ ඉතා සීමිත ඉන්ධන ප්‍රමාණයකි. ඒ නිසා ඩිපෝවලින් පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබලා දෙන එක සාර්ථක වෙන්නේ නැහැ. ඩිපෝවලින් ලංගම බස් රථවලටත් ඉන්ධන ලබා දෙන ගමන් තමයි පෞද්ගලික බස් රථවලටත් ඉන්ධන ලබලා දෙන්නේ. ඒ නිසා ඩිපෝවලින් පෞද්ගලික බස්රථවලට ඉන්ධන ලබාදීම සාර්ථක ක්‍රමවේදයක් වෙන්නේ නැහැ. ඩිපෝ ළඟ දවස් හතක් තෙල් ලැබෙනතුරු බලාගෙන හිටපු පෞද්ගලික බස් සේවකයින් ඉන්නවා. ඒකත් හරි ප්‍රමාණයට ලැබෙන්නේ නැහැ. එක වෙලාවකට ලීටර් හතළිහක් දෙනවා. සමහර මිනිස්සුන්ට ලීටර් සීයක් ලබාදෙන වෙලාවල් තිබුණා. ඒකත් ලබලා දෙන්නේ විවිධ පිළිවෙළටයි. කිසිම ක්‍රමවේදයක් නැහැ.'' යැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

මේ වනවිටත් ඉන්ධන ගැටලුව හේතුවෙන් දිනකට බස් රථ ධාවනය වන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයකි. ඇතැම් පළාත්වල බස්රථ ධාවනය වන්නේද නැති තරම්ය. පසුගිය දිනවලදී දිවයින පුරාම පෞද්ගලික බස් රථ පන්සීයක් පමණ සීමිත ප්‍රමාණයක් ධාවනය වුණ අවස්ථාද තිබුණි. ඇතැම් ප්‍රදේශවල බස් රථ ධාවන නොවුණ බවද වාර්තා වුණි. මේ හේතුවෙන් ජනතාව පත්වූයේ දැඩි අසීරුතාවයන්ටය. මාර්ගවල ධාවනය නොවුණ බස් රථවලින් වැඩි ප්‍රමාණයක් පවතින්නේ තැන තැන ඇති තෙල් පෝලිම්වලය.

''බස් රථවලින් වැඩි කොටසක් ධාවනය නොවුවද ධාවනය වන බස් රථවල ආදායම තුන් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. නමුත් ඒ ආදායම බස් හිමියන්ට ලැබෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ ආදායම ගන්නේ බස් රථයේ බස් රියදුරා සහ කොන්දොස්තරවරයායි. පසුගියදා දවසක බස් රියැදුරා සහ කොන්දොස්තරවරයා දවසකට රුපියල් විසි පන්දහස බැගින් පනස් දහසක් දවසකට බෙදාගෙන තිබුණා. අඩුම තරමේ බස් හිමියන්ට යම් මුදලක් ලබාදෙන්නේ නැහැ.'' යැයි ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

බස් රථ හතළිහක් ධාවනය වන ඇතැම් මාර්ගවල බස් රථ ධාවනය වූයේ හතරක් හෝ පහකි. ඒ බස් රථ ධාවනය වන්නේ මගීන්ගේ පීරී ඉතිරී යමිනි. ඇතැම් මගීන් බස් රථවල ගමන් කරන්නේ තව කෙනෙකුගේ කර මතිනි. මේ නිසාම ඇතැම් බස් රථ දිනක ආදායම රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වූ බව බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් පැවසීය. එක බස් රථයක බස් රථ හතරක පමණ මගීන් පිරිසක් යාමෙන් මේ තත්ත්වය උදා වී ඇත.

''බස් රථවලින් ලැබෙන මුදලින් බස් හිමියන්ට ලබාදෙන මුදල තීරණය කරන්නේ එම බස් රථයේ රියැදුරා සහ කොන්දොස්තරවරයා විසින්. ඒ නිසා මුදල් පාලනය කරනු ලබන්නේ ඔවුන් දෙන්නයි. ඇත්තටම එයින් බස් හිමියන්ට විශාල අසාධාරණයක් සිදුවනවා. මෙවැනි අසීමිත මඟීන් පිරිසක් එකවර බස් රථයට පටවා ගැනීමෙන් බස් රථයට විශාල හානියක් සිදුවනවා. බස් රථයේ ඇති දුනු කොළයක් කැඩී යාමෙන් විශාල හානියක් සිදුවනවා. අද වනවිට දුනු කොළයක මිල රුපියල් තිස් පන්දහසයි. කොච්චර සල්ලි හම්බ කළත් ඒකෙන් බස් හිමියන්ට වැඩක් නැහැ. අසීමාන්විත මගීන් සමඟ බස් රථය ධාවනය වීම හේතුවෙන් බස් රථය ප්‍රබල ලෙසින් අබලන් වෙනවා. දුනු පද්ධතියට සම්පූර්ණයෙන්ම හානි සිදුවෙනවා. මේ හේතුව නිසා අද වෙද්දී බස් රථ බරපතළ අර්බුදයක පවතිනවා. හැබැයි සේවකයින්ට නම් හොඳයි. මේ අතරේ දවස් දෙක තුන තෙල් පෝලිමේ ඉඳලා ඉන්ධන ටික ලබාගෙන ධාවනය කරලා ලබාගන්නා ආදායමෙන් සාධාරණ විදිහට බස් හිමියන්ට මුදලක් ලබාදෙන සේවක පිරිසක්ද සිටිනවා. නමුත් බහුතරයක් තමන් හරි හම්බ කරගෙන ජීවත්වන බස් රථයට නිසි සැලකිල්ලක් දක්වන්නේ නැහැ.'' යැයි සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ගමනාගමන මණඩලයේ බස් රථවලට අමතරව මේ වනවිට පෞද්ගලික බස් රථවලටත්, ඉන්ධන නිකුත් කිරීමක් සිදුවෙනවා. මෙම බස්රථවලට ඉන්ධන ලබාදීම සෑම ඩිපෝවකින්ම ලබලා දෙනවා. මෙහිදී යම් යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවෙලා තිබෙනවා. අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ලබා දෙන්නේ නැහැ කියලා චෝදනා කරනවා. මේ ඉන්ධන ලබාදීමේ සීමාවන් තීන්දු කළේ අපි නෙමෙයි. ඒ බස් සංගම් කෙටි ධාවන මීළඟ දිනකට ලීටර් හතළිහකුත් අනෙකුත් බස් රථ සඳහා ලීටර් හැත්තෑවකුත් ලබාදෙන ලෙස ඉල්ලීම් කළා. ඒ අනුව තමයි මේ තීන්දුව ලබාදුන්නේ. පසුගිය දින කීපය තුළදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඉන්ධන ලබා දුන්නත් ඒ සියලු බස් රථ මාර්ගවල ගමන් කරන්නේ නැති බව සොයාගෙන තියෙනවා. මේ බස් රථවලට ලබාදෙන ඉන්ධන අයථා ලෙසින් විකුණනවාදැයි අපිට සැකයක් පවතිනවා.'' යැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න