2022 ජුලි 17 වන ඉරිදා

මූල්‍ය අරමුදලේ සාකච්ඡා කොයිබටද?

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 65

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම පිළිබඳ මුලදී ස්ථීර තීරණයක් ගෙන තිබුණේ නැත. මුදල් ඇමැති ලෙස කටයුතු කළ අගමැති මහින්ද රාජපක්ෂ සහ එවකට මහ බැංකුවේ අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් යන ප්‍රබලයන් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගොස් රටේ ආර්ථික ගැටලු විසඳා ගත හැකි බවය. විදේශ ණය සහ පොලිය ගෙවිය හැකි බවටද, ඩොලර් උපයා ගත හැකි බවටද, රුපියලේ විදේශ අගය ස්ථාවරව පවත්වාගෙන යා හැකි බවටද ඔවුහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළහ. රටේ විපක්ෂය සහ මැදහත් ආර්ථික විශ්ලේෂකයන් දැඩිව පැවසුවේ රට ගොඩගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය තැනට පත්ව ඇති බවය. මේ අතර අන්තවාදී ඇතැම් දේශපාලනඥයන් පැවසුවේ රජය මූල්‍ය අරමුදලේ සහාය පැතුවහොත් තමන් ඇමැති ධුරවලින් ඉවත්වන බවටය. මේ වනවිට රජය මූල්‍ය අරමුදලට ගොස් තිබුණද එවැන්නක් සිදුවන බවට සලකුණක් හෝ නැත.

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ගියේ ප්‍රමාද වී නිසා මේ අවස්ථාවේදී අපට බලාපොරොත්තු වන තරම් සහනයක් ලබාගැනීම උගහට යැයි බොහෝ දෙනක් පැවසූහ. මූල්‍ය අරමුදලේ සහය ලබාගත යුතුව තිබුණේ දැනට වසර දෙක තුනකට පෙර නමුත් එසේ නොකිරීම නිසා තුවාලය ඔඩු දුවා වනයක් බවට පත්ව ඇති බවට මේ වනවිට චෝදනා එල්ල වෙයි. කෙසේ වුවද මූල්‍ය අරමුදල වෙත ගොස් වැඩිකල් නොයවා ප්‍රතිලාභයක් ලබාගත හැකි යැයි ආණ්ඩුව විශ්වාස කළේය. එයට එක් හේතුවක් වූයේ ප්‍රමාද කිරීමට නොහැකි තරමට තත්ත්වය බැරූරුම් වී තිබීමය. මේ වනවිට රජය මූල්‍ය අරමුදලට ගොස් මාස හයක් පමණ ගතවුවද එයින් අප බලාපොරොත්තු වූ කිසිවක් සිදුව නැත. අපට හදිසි වුවද මූල්‍ය අරමුදලට හදිසි නැතිවා සේය.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මුල්වටයේ සාකච්ඡා සාර්ථකව අවසන් වූ අතර දෙවැනි වාරයේදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ කරන බවය. කෙසේ වුවද ඇතැමුන් පවසන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කියන තරම් පහසු නොමැති අතර ඒ සඳහා ණය දුන් ආයතනවල කැමැත්ත අවශ්‍ය බවය. ඒ නිසා එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළින් ඍජුව කළ හැක්කක් නොවන බව ඔවුන්ගේ අදහස වේ. කෙසේ වුවද අගමැති රනිල්ට ජාත්‍යන්තර සම්බන්ධතා ඇති නිසා ඔහු අගමැති වීමෙන් පසු ජාත්‍යන්තර සහය ලබා ගැනීම පහසු වනු ඇති බවට ඇතැමෙක් විශ්වාස කළද දැනට පෙනෙන්නට ඇති පසුබිම අනුව එවැනි හාස්කමක් කිරීමට රනිල්ට හැකිද යන්න පිළිබඳ විචිකිච්ඡාවක් පවතී.

මේ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම යනු දැනට අප ගිලී ඇති ආර්ථික අවපාතයෙන් ගොඩඒමේ එක් ක්‍රියාමාර්ගයක් පමණක් මිස එය එකම විසඳුම නොවනු ඇති බවට මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. මූල්‍ය අරමුදලෙන් අප ඉල්ලන මූල්‍ය ප්‍රතිලාභ සිතේ හැටියට ලැබෙන්නේ නැත. එමගින් අපට යම් ආධාරයක් ලැබුණද ඉන්ද්‍රජාලයක් මෙන් එය එකවර ලැබෙන්නේ නොවේ. දැනට අනාවරණයව ඇති කරුණු අනුව එය ලැබෙන්නේ වසර තුනක කාලයක් සඳහා වාරික වශයෙනි. එම වාරිකයක් අමෙරිකානු ඩොලර් මිලියන 400 පමණ වනවා ඇත. ප්‍රගතිය විමර්ශනය කිරීමෙන් පසු ණය කොටස් ලැබෙනවා ඇත.

අපේ ආර්ථික අර්බුදය විසඳීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට භාරදී අපට අත පිසදා ගත නොහැකිය. විදේශ විනිමය අර්බුදය විසඳා ගැනීමට යම් සහයක් අරමුදලෙන් ලැබුණද අපේ සෙසු ප්‍රශ්න අපම විසඳා ගත යුතු වෙයි. ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුවේ. දැනට සාකච්ඡාවල මතුව ඇති කරුණු අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට අපට දුෂ්කරව ඇත්තේ අපේ විදේශ ණය තිරසාර නොවන තත්ත්වයට පත්ව ඇති නිසාය. මේ සඳහා මූල්‍ය උපදේශකයන් පත්කර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ සියල්ල අවසන් වනතුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් නොලැබේ. වොෂින්ටන් නුවරට ගොස් පැවැති සාකච්ඡාවලට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් පසුගිය 20 වන සඳුදා මෙරටට පැමිණ සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙයින් පසු අප ඉල්ලා ඇති ණය පහසුකම් ලබා ගැනීමට යම් එකඟතාවක් ලැබේ යැයි අපේක්ෂා කරන නමුත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇත. එහෙත් ඒ සඳහා අරමුදල යම් යම් කොන්දේසි පැනවීමට යන බවට ආරංචි පළ වේ. එම කොන්දේසි එලෙසම ක්‍රියාත්මක කිරීම රටේ දේශපාලන ඉදිරි ගමනට යහපත් වේද යන්න පිළිබඳ දේශපාලනඥයන් අතර සැක සංකා මතුව තිබේ. එම නිසා ප්‍රශ්නය දෙපැත්තකට ඇදෙන තත්ත්වයක් බව පත්ව ඇත.

රටේ ජනතාව බලා සිටිනුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන අපේ රටේ පවතින ඉන්ධන, ගෑස්, විදුලි, ආහාර ආදී අර්බුද සමනයකට පත්කළ හැකි බවකි. එහෙත් එය අඳුරේ අතපත ගෑමකට සමානය. එයට හේතුව අද පවතින ප්‍රශ්නවලට විසඳුම් දීමට අරමුදලට විශ්මකර්ම හැකියාවක් නොමැති වීමය. කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දක්වන අනුග්‍රහය කොතෙක් දුරට කුමන අංශවලින් ප්‍රයෝජනයට ගත යුතුද යන්න සොයාබැලිය යුතුය. එම අනුග්‍රහය ලබාගෙන එයින් අපේ දැවෙන ප්‍රශ්නවලට තාවකාලික පිළියමක් යොදන්නට යන්නේ නම් අපට සිදුවන්නේ තවත් අමාරුවේ වැටීමටය. එම මුදලින් විදේශ ණය තාවකාලිකව කළමනාකරණය කරගෙන කුඩා මූල්‍ය සහනයක් ලබා ගන්නේ නම් අපට අවශ්‍ය ඉලක්කවලට ළඟා විය නොහැකිය. යළිත් කෙටි කලකින් මේ අර්බුදය කුණාටුවක් බවට පත්ව අප සහමුලින් බිලිගන්නවා ඇත. ඒ නිසා මේ අවස්ථාවේදී වගකිවයුතු අංශ වඩාත් කල්පනාකාරීව තීරණවලට එළඹීම අවශ්‍ය වේ.

කෙසේ වුවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන කුමක් කරනවාද යන්න පිළිබඳ රටේ දේශපාලන අධිකාරිය තීරණය කළ යුතු වෙයි. ඒ සඳහා පාරදෘශ්‍ය භාවයෙන් යුතු විධිමත් සැලසුමක් ඉදිරිපත් කළ යුතු වෙයි. එසේම අරමුදල යම් රටකට උපකාර කරන්නේ නම් එයට අදාළ නිර්ණායකවලට එකඟ විය යුතුය. එසේ නැතිව හිතුවක්කාර ලෙස කටයුතු කළ හැකි නොවේ. මෙහිදී ප්‍රමුඛත්වය දෙන්නේ රටේ මූල්‍ය තත්ත්වය ශක්තිමත් කිරීමටය. එම කොන්දේසි දේශපාලනඥයන් අතර මතභේදයට තුඩු දෙන ඒවා වන්නට පුළුවන. මැතිවරණයක් ඉලක්ක කර පාලන බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් කටයුතු කරන්නේ නම් ගෙඩි පිටින් මෙම යෝජනාවලට එකඟ විය නොහැකිය. සහනාධාර කැපීම, බදු වැඩි කිරිම. වැටුප් සහ දීමනා අවම කිරීම, වැඩකරන පැය ගණන ඉහළ නැංවීම ආදී බැලූ බැල්මට ක්‍රියාත්මක කිරීමට නොහැකි යැයි හැඟවෙන නිර්දේශවලට එකඟ විය යුතුව ඇත.

පසුගියදා ලෝක බැංකුවේ ශ්‍රී ලංකාවට මූල්‍යාධාර දීමට ඉදිරිපත් වී ඇතැයි ඇතැම් ජනමාධ්‍ය වාර්තා කළේය. එම වාර්තා අසත්‍ය බවට ලෝක බැංකුව පසුගිය මැයි 22දා නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන් වූයේ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කර ගන්නා තෙක් ලෝක බැංකුව ශ්‍රී ලංකාවට කිසිදු ආධාරයක් නොදෙන බවකි.

ශ්‍රී ලංකාවේ ජනතාව සම්බන්ධයෙන් අපගේ කනස්සල්ල පළකරන අතර, ආර්ථික ස්ථාවරත්වය සහ පුළුල් පදනමින් යුතු සංවර්ධනයක් යළි ඇතිකර ගැනීම සඳහා වූ යෝග්‍ය ප්‍රතිපත්ති සම්බන්ධයෙන් උපදෙස් දීම සඳහා අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සෙසු සංවර්ධන සහායකයන් සමග එක්ව කටයුතු කරන්නෙමු.* යනුවෙන් ලෝක බැංකු නිවේදනයේ සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය බ්‍රහස්පතින්දා නිවේදනය කළේ පහළ මට්ටමේ ආදායම් තත්ත්වය හා ගැඹුරු බදු ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව අනුව සාර්ව ආර්ථික හා ව්‍යුහාත්මක ප්‍රතිපත්ති මාලාවක් සකස් කර ගැනීම සඳහා වූ ශ්‍රී ලංකාව සහ කළ සාකච්ඡාව සැලකිව යුතු ප්‍රගතියක් අත්කර ගත් බවකි. මෙයින් පෙනී යන්නේ අරමුදල අපේ රට පිළිබඳ නිශ්චිත ආර්ථික වැඩපිළිවෙළක් සකස් කිරීමෙන් වැළකී ඒ වෙනුවට එවැනි වැඩපිළිවෙළක් සඳහා වූ ප්‍රතිපත්තිමය පදනමක් සකස් කිරීමට උපදෙස් දෙන බවකි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපගේ වගකීමකි. එසේ නොවුණහොත් අවුරුදු ගණන් සාකච්ඡා පවත්වා අන්තිමට පුස්ස බින්දා මෙන් ලැබෙන ප්‍රතිඵලයක් විය හැකිය.

රාජ්‍ය මුදල් අපතේ යාම, නාස්තිය හා දූෂණය පිළිබඳ නිරතුරුව කතා කෙරේ. බලවත් අපහසුතාවයෙන් අප ඉහළ පොලියට ලබාගන්නා ණයවලින් සහ සානුකම්පිතව ලැබෙන ආධාරවලින්ද විශාල කොටසක් මේ වනවිට දූෂිතයන්ගේ සාක්කුවලට යන බවට මැසිවිලි ඇසේ. ජනතාව කුසගින්නේ සිටියදී ලැබෙන ආධාරවලින්ද ගසා කෑම සමාව දිය නොහැකි අපරාධයකි. මේ පිළිබඳ ජාත්‍යන්තරයේ පළවෙනි ආරංචි අපට එතරම් සුබවාදී නැත. මූල්‍ය අරමුදල අපට ලබාදෙන කොන්දේසි දැඩි කිරීමට මෙම තත්ත්වය බලපාන බව නම් රහසක් නොවේ. මේ නිසා ජාත්‍යන්තරව අපගේ විශ්වාසය පළුදු නොවන ආකාරයට කටයුතු කිරීම අවශ්‍ය වන්නේ මූල්‍ය අරමුදලෙන් අපට යම් හෝ සහනයක් ලබාගත හැකි යැයි යන බලාපොරොත්තුව මල්ඵල ගැන්වීම උදෙසාය.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සිරිමල් අබේරත්න මේ පිළිබඳ ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ උනන්දුව ප්‍රමාණවත් නොවන බවකි. මන්දගාමී බවකට සාකච්ඡා ඇදී යන බව ඔහු කියයි.

ශ්‍රී ලංකාවට ඒ පිළිබඳ කිසිදු සැලසුමක් නැහැ. තවම වැඩසටහනකට අවතීර්ණ වී නැහැ. ක්ෂේත්‍ර ගණනාවක් යටතේ වැඩසටහනක් සකස් කර ඉදිරිපත් කළ යුතුයි. එහෙත් තවම ඒ පිළිබඳ ආරම්භයක්වත් ඇතිද කියලා කිව නොහැකියි. එවැනි සාර්ථක වැඩසටහනක් තනලා තමා සාකච්ඡාවලට අවතීර්ණ විය යුත්තේ. ඒ පිළිබඳ වැඩකටයුතු දැන්ම ආරම්භ කළයුතු වෙනවා.

එහෙම වැඩසටහනක් ඉදිරිපත් කළ විට එය පාදක කරගෙන සාකච්ඡාවලට අවතීර්ණ වේවි. මාසයකින් පමණ එය ඉහළ මණ්ඩලයට දමා අනුමත කරගෙන ක්‍රියාත්මක කිරීමට පටන්ගත යුතුයි. මෙය මූල්‍ය අරමුදලේ වැඩසටහනක් නොව අපේ වැඩසටහනක්. මෙහි ඇත්තේ අපේ ප්‍රශ්නයි. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් අපට අරමුදලේ අනුග්‍රහය ලබාගත හැකියි. එයට අවශ්‍ය උපදෙස් අරමුදලෙන් ලබා දී තිබෙනවා. අප ඒ අනුව ක්‍රියාත්මක විය යුතු වෙනවා.

මෙවර විශේෂයක් වන්නේ වංචාදූෂණ අවම කළ යුතුය යන අලුත් කොන්දේසියක් එයට අඩංගුකර තිබීමයි. මෙයට පෙර වංචා දූෂණ ගැන කොන්දේසි දැම්මේ නැහැ. මෙවර ඒවා දමා ඇත්තේ වංචා දූෂණ පිළිබඳ රට වෙනදාට වඩා ප්‍රසිද්ධව ඇති නිසයි. රටේ පවතිනවා යැයි කියන වංචා දූෂණ ප්‍රගතියට බාධාවක් බවයි පිළිගැනීම. මෙම නිර්ණායකවලට අවතීර්ණ වෙමින් සැලසුමක් සකස් කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. එයට කැපවීමෙන් කටයුතු කළ යුතුයි. අපට සීනි බෝල ලැබෙන්නේ නැහැ. එය සිතනවාට වඩා අමාරුයි. ඒ නිසාදෝ අපි තාම එවැනි වැඩසටහනක් හෝ තනා නැහැ. එය හදාගෙන සාකච්ඡා මට්ටමට ගෙන ඒමට විශාල කැපවීමක් තිබිය යුතුයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමද මෙම සැලසුමේ එක අංගයක්. ඒ පිළිබඳ වැඩසටහනක් සකස් කර ඉදිරිපත් කළ යුතුයි. මූල්‍ය අරමුදල මාර්ගයෙන් ඒ ඒ ණය හිමියන් සමග සාකච්ඡා කර තීරණයක් ගත යුතු වෙනවා. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙම සැලසුමේ එක්තරා කොටසක් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කළා යැයි අපේ ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. ඒ නිසා සමස්ත වැඩසටහනට යා යුතු වෙනවා. ප්‍රායෝගික වැටසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි. එයට අප විශේෂයෙන් මැදිහත්ව කටයුතු කළ යුතුයි. එසේ නොවුණහොත් මෙතෙක් කල් ගත් උත්සාහයන්ගෙන් ප්‍රතිඵලයක් ලැබීම උගහටයි.

මෙයට පෙර අප කිහිපවරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියද ඒ ප්‍රතිලාභ මුළුමනින්ම ලබාගත නොහැකි වුණා. එම තත්ත්වය පාඩමකට ගෙන මෙවර හෝ යම් යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට උනන්දු විය යුතුයි.*
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡාවල ප්‍රගතියක් අත්කර ගැනීමට නම් ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවර භාවයක් ඇතිවිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයට විසඳුමක් ලබා ගැනීමටද මෙමගින් අපේක්ෂා කෙරේ. ඉන්දියානු මහ බැංකුවෙන් ඩොලර් බිලියනයක විදේශ මුදල් අතමාරුවක් ලෙස ලබා ගැනීමට ඉන්දියාව සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ පවතින දිගුකාලීන දේශපාලන අස්ථාවරභාවය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර වැඩසටහනක් ලබා ගැනීම සඳහා පවත්වන සාකච්ඡාවල ප්‍රගතිය ප්‍රමාදවීමට හේතුවිය හැකි බවද සඳහන් කරයි. ඉන්දියානු මහ බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක විදේශ මුදල් හුවමාරු පහසුකමක් ලබා ගැනීමට මෙන්ම ඉන්ධන මිලදී ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක ණය පහසුකමක් ලබා ගැනීමටද ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිින බව හෙතෙම පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති තාක්ෂණික මට්ටමේ සාකච්ඡාවලදී හා ප්‍රතිපත්තිමය සාකච්ඡාවලදී ස්ථාවර පරිපාලනයක් සහ ඉහළ මට්ටමේ කැපවීමක් අවශ්‍ය බව අවධාරණය කර ඇතැයි නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කරයි. තම ඉදිරි වසර 6ක් වූ සේවා කාලය තුළදී ශ්‍රී ලංකාවට බලපාන ප්‍රධාන ගැටලු නිරාකරණය කිරීමට සැලසුම් කර ඇති බවද ඔහු අවධාරණය කරයි.

 යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05