වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ සටනේ තේමාව විය. රට අකර්මන්‍ය වනවිට ජනතාව නැගී සිටියේය. පාරට බැස සටන් කළ ජනතාව ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන ලෙස බලකරන ලද අතර දරාගත නොහැකි අපවාද මැද රටින් බැහැර වීමට සිදු වී තිබේ. ශ‍්‍රී ලංකාව නායකයන් බිහිකරන රටකි. නායකත්වය විනාශ කරගන්නා අතර දුර්වලතා මැද ඇති දක්ෂතා හඳුනාගන්නා තැනට එනවිට ප‍්‍රමාද වී හමාරය. දක්ෂතා තිබුණ ගෝඨාභය ජනාධිපතිවරයා අදක්ෂතා සනිටුහන් කරමින් ඉතිහාසයේ ලියැවෙන අතර අභ්‍යන්තර හා බාහිර සාධක ගණනාවක් නිසි සේ කළමනාකරණය කරගන්නට අපොහොසත් වූ බව සඳහන් වනු ඇත.
ප‍්‍රාථමික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ජනතාවට වගකියන තැන දක්වා පාලන ක‍්‍රම දියුණු වී ඇත. අරගලකරුවෝ ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන්ට අමතරව ආණ්ඩුවට නෛතික බලපෑමක් කළ හැකි මහජන කවුන්සලයක් ව්‍යවස්ථාවට ඇතුළු කරන සේ යෝජනා කරයි. මහජනතාව ඡන්දයෙන් පත්කරන නියෝජිතයන්ට එපිටින් මහජන කවුන්සලයක් හදා බලතල ඉල්ලන තරමට ජනතාව සකී‍්‍රය වී ඇති අතර අරගල මතවාදය එතැනට පැමිණෙන තෙක් එක නීතියක් එක රටක් ගොඩනගන්නට අසමත්වීම අභාග්‍යයකි.
• ක‍්‍රමය වෙනස් කරන්නට මහජනතාවට තිබුණ උනන්දුව
ප‍්‍රජාතන්ත‍්‍රවාදීව පාලනය හොඳටම කරගෙන යන අතර විවෘත ආර්ථිකයෙන් ඉහළම ප‍්‍රථිලාභ අත්පත් කරදීම පහසු නැත. විවෘත ආර්ථිකය සාහසිකය. ධනවාදය හා සමාජ සාධාරණත්වය අතර පරතරයක් තිබේ. පාලනයන්ගේ වගකීම එහි නියාමනය හැර අනෙක් දෙයක් නොවේ. අසාර්ථක ආණ්ඩු ගණනාවකට පසු ජනතාව අලුත් නායකයෙකු ඉල්ලා සිටි අතර දේශපාලනය තුළ නොසිටි, පරිපාලනයෙහි දක්ෂ බව කල්පනා කළ අලුත් චරිතයක් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා තෝරාගැනීම එහි ප‍්‍රතිඵලයකි. ජරාජීර්ණව තිබුණ ක‍්‍රම වෙනස් කර අලුත් ව්‍යුහයක්, 'සිස්ටම් චේන්ජ්' එකක් ජනතාව බලා සිටියේය.
ඉතිහාසයේ තිබුණ සංස්කෘතිය දියුණුය. නායකයෝ ක‍්‍රියාකරන ආකාරය දෙස ජනතාව බලා සිටිති. ජනතාව වෙනුවෙන් මත හදන නූතන මාධ්‍ය භාවිතාවක්ද පවතී. ජනතාවගේ නොඉවසිල්ල හා සමාජ මාධ්‍ය හැසිරෙන වග විභාගයක් රහිත සාහසික ස්වරෑප බලයට පත්වන නායකයන්ට තියුණු අභියෝගයකි. අලුත් රාමුවක් හැදීම පහසු නැත. විශාල කැළඹිල්ලක් කළ යුතුය. වෙනසක් කරනවිට වෙනසට ඉඩ නොදෙන බලවේගයන්ද තිබේ. පවතින ක‍්‍රමයෙන් යැපෙන, එහිම ඇලී ගැලී නඩත්තු වෙන කණ්ඩායම පැවැත්මෙන් වෙනස්වීමට අකමැතිය. තද තීරණ ගන්නට අනුමැතිය දුන් ජනතාව වෙනුවෙන් තීරණ නොගැනීම ඉදිරියේ පුරුදු බලවේග නැවත වතාවක් සමාජය ආවරණය කරගන්නට සමත්විය.
රාජපක්ෂ හා පේ‍්‍රමදාස යන චරිත අතර සමානකමක් ඇත. මහජනතාව දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ගේ පැලැන්තියෙන් බලයට පත්කර ගන්නා ලද නායකයන් වනසා ඇත. සාමාන්‍ය පැලැන්තියට ඉඩදෙන ව්‍යුහය ඉතාම සියුම් ලෙස විනාශ කර නැවත වතාවක් වරප‍්‍රසාදලත් රදල පැලැන්තියට බලය පවරන උපක‍්‍රමයකට ගොදුරු වී තිබේ. මේවා පරෙස්සමෙන් අධ්‍යයනය කළයුතු පැති බව සඳහන් කළ යුතුය.
• ආර්ථික ප‍්‍රශ්න විසඳා ගැනීමට කල්පනා නොකිරීම
මැදි ආදායම් රටක ජනතාවගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම පහසු නැත. ජාත්‍යන්තර විශේෂඥයන් දක්වන පරිදි මැදි ආදායම් මට්ටම එක්තරා ආකාරයක උගුලකි. ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් හාරදහස ඉක්මවන විට ශ‍්‍රී ලංකාව මැදි ආදායම් මට්ටමට පත්විය. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි සහන ණය සපයන ආයතනවල සහාය නැත. ජාත්‍යන්තර සහනාධාර නොලැබේ. රටට අවශ්‍ය විනිමය සඳහා වානිජ ණය ගැනීමට සිදුවේ. උගුලක පැටලී මැදි ආදායම් රටක් සේ ඉහළින් සිතා සිටි ශ‍්‍රී ලංකාවේ පාලකයෝ රිසි පරිදි වානිජ ණය ගත්හ. වැටුප මෙන් හතර ගුණයක් වටිනා ක්‍රෙඩිට් කාඩ් පතක් ලබාගැනීමට එය සමාන කළ හැක. පෙසේසමෙන් තමන්ගේ ආදායමේ තරමට වැය කළහොත් අනාගතයක් තිබේ. ණය වුවහොත් නිසි පරිදි ගෙවිය යුතුය. අධික පොලිය, ප‍්‍රමාද ගාස්තු, ණය නොගෙවීමේ අවමානය වැනි තත්ත්වවලට මුහුණ දෙන්නට සිදුවේ.
ශ‍්‍රී ලංකාවේ ණයවලින් සියයට හතළිහක් වානිජ ණය බව සඳහන් කළ යුතුය. සංවර්ධන බැඳුම්කර වශයෙන් ලබාගෙන ඇති මෙම මුදල්වලට අධික පොලියක් ගෙවන්නට සිදුවේ. හුදෙක් ගෝඨාභය ජනාධිපතිවරයා ගත් තීන්දුවක් පමණක් නොවේ. ඔහුට මෙම ණය කළමනාකරණය කරන්නන්ට සිදුවූ අතර ණය නොගෙන අපනයන නංවන්නට අවශ්‍ය වී තිබුණි. ශ‍්‍රී ලංකාවේ විදේශ වෙළඳාම දක්වන පරිදි සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 21ක ආනයන කරන අතර අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන දහයකි. මෙම පරතරය වසර ගණනක් ගතවන අතර ක්ෂණික ආදායම් උත්පාදන නොවන සංවර්ධන ව්‍යාපෘතිවලට ගත් ණයද සමඟ ශ‍්‍රී ලංකාවේ ණය බර ඇමරිකානු ඩොලර් බිලියන 51 දක්වා නැග ඇත.
ණය බර වැඩිවන අතර ආර්ථිකය අර්බුදයක බව ගෝඨාභය බලයට පත් වනවිට අනතුරු අඟවමින් තිබුණි. පාස්කු ප‍්‍රහාරයෙන් අර්බුදයකට පත්ව සිටි අතර කොවිඩ් හෙයින් විශාල බෙලහීන තත්ත්වයකට පත්වූ ආර්ථිකය නගා සිටුවන්නට ගතයුතු ක‍්‍රියාමාර්ග විශේෂඥයෝ යෝජනා කළහ. පාත්ෆයින්ඩර් පදනම විශේෂ සැලැස්මක් සකස් කර බලධාරීන්ට භාරදුන් අතර, ශ‍්‍රී ලංකා මහ බැංකුව හා වෙරිටේ රිසර්ච් වැනි ආයතන පවා ආර්ථිකය හදන්නට ගතයුතු පියවර යෝජනා කළේය.
• මූල්‍ය අරමුදල රටට වින කරන අවතාරයක් නොවේ
විනිමය සංචිත හිඟවන විට මෝටර් රථ, සුඛෝපභෝගී භාණ්ඩ හා වියළි කහ පවා ආනයනය නොකර පරෙස්සම් වෙන්නට තීරණය කරන ලද නමුත් ආනයන රහිතව රටක් පවතින්නේ නැත. මූල්‍ය අරමුදලෙන් සංචිතයක් ලබාගෙන එය නිසි පරිදි කළමනාකරණය කර ආර්ථිකය හදාගත යුතුව තිබුණි. ආර්ථිකය අඩාල කර ජනතාවගේ මිල දී ගැනීම එනම් ඉල්ලුම පාලනය කර රට නැවත ගොඩනැගිය හැකි බව පණ්ඩිතයෝ කල්පනා කළහ. අවසානයේදී රසායනික පොහොර පවා නොගෙන්වීමට තීරණය කළ අතර ජන ජීවිතයට හයින් සිදුවන බලපෑම ගැන නිසි තක්සේරුවක් නොතිබුණි.
අවසානයේ දී විදුලිය කපන, කිරිපිටි නැති, ගෑස් රහිත දවස් ගණන් ඉන්ධන පෝලිම්වල ඉන්නට සිදුවන රටක් නිර්මාණය විය. ජගත් ප‍්‍රජාව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පුදුමයෙන් බලා සිටි අතර ජාත්‍යන්තර මාධ්‍ය ජනතාව ආහාර අර්බුදයක බව වාර්තා කළහ. ප‍්‍රකට මාධ්‍ය නිරතුරුව ප‍්‍රකාශ කළේ සාගතයක් බවය. එහෙත් ජනතාව මැරි වැටුණේ හාල් පෝලිමේ නොවේ. අත්‍යවශ්‍ය වෙළඳසැල් ඉදිරිපිට දිග පෝලිම් නොතිබුණි. දවස් ගණන් ගත කළේ තෙල් සැපයුම් හල් ඉදිරිපිටය. ගෑස් පෝලිම් සැතපුම් ගණන් දිගු විය. ආණ්ඩුව නොදැන සිටි අභ්‍යන්තරය එය බව මෙහි දී අවධාරණය කළ යුතුව තිබේ. එම අවස්ථාවේ දී ඉන්ධන ගෙන එන්නට, ගෑස් ආනයනය කරනන්ට අවශ්‍ය හදිසි පියවර ගෙන තිබුණි නම් ජනතාව පාරට බැස අරගලයකට එකතු වෙන්නේ නැත.
ඉන්දියාව මෙම තීරණාත්මක අවස්ථාවේදී ආර්ථිකය මුවා කිරීම සඳහා දැවැන්ත සහායක් ලබාදුන් බව සඳහන් කළ යුතුය. එහෙත් ඩොලර් හිඟ සමාජයේ විනිමය කළු කඩයක් හැදුණු ආකාරයට ඛනිජ තෙල් වෙළෙඳාමද කළු කඩයකට හැරිණි. පෝලිමේ සිට ඉන්ධන මිල දී ගත් ඇතැම් පුද්ගලයෝ ඒවා අධික මිල ගණන් වලට අලෙවි කරන ලද අතර එහි අපවාදයද රජයට බැර කෙරිණ. ආර්ථිකය හදන්නට, නිසි අවස්ථාවේ දී තීරණ ගන්නට අසමත් වූ ගෝඨාභය ආණ්ඩුව අසමත්ය යන වචනය ජනගත කිරීමට විපක්ෂයට කිසිසේත් අපහසු කාර්යයක් වූයේ නැත.
• අර්බුද මැදින් ඉදිරියට එන රටකට නායකත්වය
ශ‍්‍රී ලංකාව අලුත් යුගයකට ඇතුළු වෙමින් සිටී. සංකීර්ණ අභියෝග මතු වී තිබේ. පරිණත සහ හසල අත්දැකීම් අභිබවා මානවවාදී භාවිතාව ඉදිරියට පැමිණ ඇත. සමාජ මාධ්‍ය ඉතාම සංකීර්ණ බලයක් අතට ගෙන ඇත. සත්‍ය හා යුක්තිය එහි නැත. ඉදිරි ප‍්‍රවේශය තවත් බැරෑරුම් අවධියකි. නීතිය ආරක්ෂා කරගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉදිරියට ගෙන යා යුතුව තිබේ. ව්‍යවස්ථානුකූලව තීරණ ගත යුතුය. තාවකාලික ජනාධිපතිවරයෙකු වැඩ බලන තනතුරට පත්ව ඇති අතර ස්ථිර නායකයෙකු රටට අවශ්‍යය. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට විශාල බලයක් ඇත. එයින් බලයට පත්වන ආණ්ඩුව හා කැබිනට් මණ්ඩලය සමග එකට වැඩ කළ යුතුය. ගෙවුණු කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය පාර්ලිමේන්තු ක‍්‍රමයට ප‍්‍රවේශවන ආකාරය ඉතා වැදගත්ය. ගෝඨාභය ජනාධිපතිවරයා ජනතාව හමුවට ගියේ &මාව විශ්වාස කරන්න* යන වචන කිහිපය සමඟය. රටට වැඩකරන ප‍්‍රයත්නය අරඹන්නේ අනුරාධපුර පූජා භූමියේදී මහා සංඝරත්නය අභිමුවෙහි පවත්වන ප‍්‍රතිඥාවකින්ය. ජනතාව අපේක්ෂා කළේ අපේකම ඇති, රටට බර නැති සාමාන්‍ය නායකත්වයකි. හැසිරෙන සහ ක‍්‍රියාත්මක වන ආකාරය ප‍්‍රසාදය නංවා තිබුණි. ඒවා අතීතයට එකතු වී තිබේ. ජනතාවට අවශ්‍යවූයේ තමන්ගේ පැවැත්ම අවහිර නොකරන ක‍්‍රමයකි. එම ක‍්‍රමය අලුතින් හදන්නට ඉදිරි කාලයේදී සිදුවනු ඇත.
විධායක ජනාධිපති ධුරය අහෝසි කළයුතු බව පසුගිය දශක දෙක තුනක කාලයේ පැවැති බලවත් මතයකි. 2020 ආසියාවේ යුගය වශයෙන් සැලකේ. අලුත් අවස්ථා හෙයින් නැගී සිටිනු ඇත. ගෝලීයකරණය හමුවේ ශ‍්‍රී ලංකාවට ඇති අවස්ථා වලට ගැලපෙන පරිදි රටක් නිර්මාණය විය යුතුය. ජනාධිපතික‍්‍රමය අනන්‍යතාවයක් සොයාගනිමින් සිටින බව පැහැදිලිය. වැඩක් කළ හැකි අලුතින් සිතන සෑම සියලු දෙනෙකුම මෙම අභියෝගාත්මක අවස්ථාවේදී එකමුතු වියයුතු බව අපගේ විශ්වාසයයි. ලෝකයේ නායකයන් ඉතිරි කරන්නේ ගත් තීරණ හැර පැවැත්ම කරගෙන ගිය ආකාරය නොවේ. ලී ක්වාන් යූ, මහතීර් මොහමඩ්, මාග‍්‍රට් තැචර්, ඩෙන් ෂියාවෝ පෙන්ග් පමණක් නොව මෑතකදී ඝාතනයට ලක් වූ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ ඉතිහාස ගත වන්නේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ සමඟ සමාජ ඔසවා තැබීම ඉදිරියේ බව මතක් කළ යුතුය. ශ‍්‍රී ලංකාවේ සමාජය ඇවිලෙන හේතුව ආර්ථිකය වන අතර ගිනි නිවන්නටද ජන සමාජය වත් පොහොසත්කම් ඇති තැනක් බවට හැරවිය යුතුය.
සාරා කන්දෙගොඩ