පසුගිය ජූලි 9 වැනිදා පැවැති ජනතා අරගලය තුළින් ජනාධිපති මන්දිරය, අගමැති නිල නිවෙස වන අරලියගහ මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමට අරගලකරුවෝ සමත් වූහ. ඔවුන්ගේ ඊළඟ ඉල්ලීම වූයේ ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බවටය. ජනපති නිල නිවෙස අත්පත් කරගත් අරගලකරුවන් සිතුවේ ජනපතිවරයා එහි රුඳී සිටින බවටය. එහෙත් ඒ වන විට ඔහු ජනපති මැඳුරෙන් නික්ම ගොස් කිසියම් ආරක්ෂික ස්ථානයක රුඳී සිටියේය. ජනතා විරෝධය නොනවත්වාම එල්ල වන විට ඔහු ප්‍රකාශ කළේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඔවුන් ගන්නා තීන්දුවකට තමන් හිස නමන බවයි. පක්ෂ නායකයන්ගේ තීරණය වූයේ ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටය. ඒ අනුව ජනපතිවරයා ජූලි 13 වැනිදා ඉල්ලා අස්වන බවට කථානායකවරයාට දැනුම් දුන් අතර එම තීරණය අගමැතිවරයාටද දැනුම් දුන්නේය. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ 13 වැනිදා වන තෙක් නොසිට වහාම ජනපතිවරයා ඉල්ලා අස්විය යුතු බවටය. එමෙන්ම අගමැතිවරයාද ඉල්ලා අස්විය යුතු බවත්, සර්පාක්ෂික ආණ්ඩුවක් නොව අන්තර්කාලීන පාලනයක් බිහිවිය යුතු බවත්, ජනතා අරගලයේ නියුතු නියෝජිතයන් මෙන්ම අන්තර්කාලීන පාලනයේ නෛතික බැඳීමක් හරහා බලපෑමක් කළ හැකි මහජන කවුන්සිලයක් ස්ථාපනය කළ යුතු බවත් ඔවුන්ගේ ඉල්ලීම් විය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ නව ආණ්ඩුවක් පත්වී අගමැතිවරයකු පත්කර ගත් පසු තමන් අගමැතිධුරයෙන් ඉල්ලා අස්වන බවටය.
13 වැනිදා ඉල්ලා අස්වන බව පැවසුවද ජනාධිපතිවරයා තම අත්සනින් යුතු අස්වීමේ ලිපිය කථානායකවරයාට ලබා දී නොතිබි අතර 13 දින හිමිදිරියේ ඔහු ගුවන් හමුදාවට අයත් යානයකින් රහසිගව මාලදිවයිනට පලාගොස් තිබිණි. ජනාධිපතිවරයා දිවයිනේ නොමැති හෙයින් රටේ කටයුතු පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37-1 වගන්තිය යටතේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ පත් කළ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කථානායකවරයා වෙත දන්වා ඇතැයි කථානායකවරයා නිල වශයෙන් ප්‍රකාශ කළේය. ඔහුගේ පත්වීම ප්‍රතික්ෂේප කරමින් අරගලකරැවන් විරෝධතාවක නිරත වූ අතර අවසානයේ ඔවුහු අගමැති කාර්යාලයද අත්පත් කර ගත්හ. එහි ප්‍රතිළුලයක් ලෙස රටපුරා හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමටත් බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත් වැඩබලන ජනතාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගත්තේ තම පළමු රාජකාරිය ලෙසිනි. 13 දා අස්වන බව ප්‍රකාශකල ජනාධිපතිවරයා 14 වනදා සවස සිංගප්පූරැවේ සිට තම ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයා වෙත ඉදිරිපත්කර තිබිණි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වන්නේ නම් ඔහු සිය අත්සනින් යුතු ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට බාර දිය යුතුය. ඒ මොහොතේ සිට එම ජනාධිපතිවරයාගේ සියලු බලතල අහෝසි වන අතර ජනාධිපතිධුරය පුරප්පාඩු වෙයි. එවිට වහා පාර්ලිමේන්තුව කැඳවිය යුතුය. එදිනම අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම සඳහා නාම යෝජනා බාරගන්නා දිනය පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කළ යුතුය. ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විට අනුප්‍රාප්තික ජනාධිපතිවයෙකු පත්කරගන්නා තෙක් උපරිම මාසයක කාලයක් සඳහා වැඩබලන ජනපතිවරයා ලෙස පත්වන්නේ අගමැතිවරයාය. අගමැතිවරයාට ජනාධිපතිධුරය බාරගත නොහැකි නම් වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත්වන්නේ කථානායකවරයාය. ඉන්පසු සති හතරක් ඇතුළත පාර්ලිමේන්තුව ජනාධිපති ධුරයට සුදුසුකම් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරාගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව් 81 අංක 2 දරන ජනාධිපති මැතිවරණ විශේෂ විධිවිධාන පනත අනුව ඒ සඳහා මන්ත්‍රිවරුන් කිහිප දනෙකුටම නාමයෝජනා ඉදිරිපත් කළ හැකි වන අතර ජනාධිපති ධුරය සඳහා ඔවුන් අතුරින් අයෙක් පත්කර ගන්නේ රහස් ඡන්දයකිනි. වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225න් නාමයෝජනා ලබාදිය හැක්කේ 224 දෙනකුට පමණි. එහිදී මහින්ද රාජපක්ෂ මහතාට ඒ සඳහා අයැදුම් කිරීමට නොහැකිය. ඒ ඔහු දෙවරක් ජනාධිපතිධුරය දරා ඇති බැවිනි.
එම රහසිගත ඡන්දයෙන් 50% ඉක්මවන ඡන්ද සංඛ්‍යාවක් ලබාගන්නා මන්ත්‍රීවරයා නව ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනේ. එම ඡන්දයද පැවැත්වෙන්නේ ජනාධිපති ඡන්දය පැවැත්වෙන ආකාරයටය. සාමාන්‍යයෙන් එහි ඇත්තේ මනාප තුනක් වුවද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනාධිපති ඡන්දයකදී මනාප තුනක් හෝ අපේක්ෂකයන් වැඩි සංඛ්‍යාවක් සිටින්නේ නම් ඊට වැඩි මනාප සංඛ්‍යාවක් සලකුණු කළ හැකිය. එහිදී 50%ක් සහ තව එක ඡන්දයක් කිසිවකු විසින් ලබාගෙන නොමැති නම් අඩුම මනාප ගන්නා ලද අපේක්ෂකයා ඉවත් කොට ඔහුගේ දෙවැනි මනාපය ඒවා ලබා ඇති අපේක්ෂකයන්ට එකතු කරනු ලැබේ. එම ඡන්ද එකතු වූ විට 50%ට වැඩි ඡන්ද ලබාගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරයා ලෙස තෝරාගැනෙයි. ඔහුගේ ධුර කාලය වලංගු වන්නේ හිටපු ජනාධිපතිවරයාට තම ධුර කාලය දැරීමට ඉතිරිව ඇති කාලය සඳහා පමණි. නව මැතිවරණයක් පැවැත්වෙන තෙක් ඔහු අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ඇත.
එක් මන්ත්‍රීවරයකු පමණක් නාමයෝජනා ඉදිරිපත් කර තිබේ නම් ඔහු නිතරගයෙන්ම ජනාධිපතිධුරයට පත්වෙයි. පාර්ලිමේන්තුවට පිටතින් පුද්ගලයකු ජනාධිපතිවරයකු ලෙස පත්කරගත නොහැකිය. කිසියම් දේශපාලන පක්ෂයක පුද්ගලයකු ඒ සඳහා පත්කර ගැනීමට කටයුතු කරන්නේ නම් එම පක්ෂයේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයකු ඉල්ලා අස්වී බාහිර පුද්ගලයා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරගත යුතුය. ඔහු පාර්ලිමේන්තුවේ රහස් ඡන්දයෙන් 50% ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගත යුතුය. 1978 දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අනුප්‍රාප්තික ජනාධිපතිවරයාටද ජනාධිපතිවරයකු සතු සියලු විධායක බලතල හිමි වේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ නොහැකි වුවද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්වෙන මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධුරය අහෝසි නොවේ.
ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූයේ සාමන්‍ය ව්‍යවස්ථාමය තතත්වයක් තුළ නොව ජනතා නැගිටීමක් හේතුවෙනි. ජනාධිපතිවරයා 13දා ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශයත් සමඟ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු පත්කර ගැනීම සහ නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පසුගිය සඳුදා පක්ෂ නායකයෝ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රුස්වූහ. එහෙත් අග්‍රමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් කිසිදු අදහසක් එහිදී ප්‍රකාශ වූයේ නැත. කෙසේ නමුදු අදාළ පනතේ විධිවිධාන අනුව වැඩබලන ජනාධිපතිවරයෙක් තෝරා පත්කර ගැනීම සඳහා ජූලි 05 වැනි සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය විය. ජනාධිපතිධුරය පුරප්පාඩු වී ඇති බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසු 19 වැනි අඟහරුවාදා නාමයෝජනා කැඳවීමටත් පවතින නීති ප්‍රතිපාදනවලට අනුව 20 වැනි බදාදා ඡන්දයක් පවත්වා වැඩබලන ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමටත් තීරණය වී තිබේ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව එම ජනාධිපතිවරයා තමන්ට අභිමත කැබිනට් මණ්ඩලයක් පත්කරගනු ඇත.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පත්කිරීමට ඒකමතිකව තීරණය කළ බව සමගි ජනබලවේගය මේ වන විට ප්‍රකාශ කර තිබේ. පොදුජන පෙරමුණ ඩලස් අලහප්පෙරුම මහතාගේ නමද, ජාතික ජනබලවේගය අනුර කුමාර දිසානායක මහතාගේ නමද යෝජනා කිරීමට තීරණය කර ඇතැයි පැවසේ.
ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බවට කළ ප්‍රකාශයත් සමඟ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතය වූයේ පක්ෂ නායකයන්ගේ තීන්දුව අනුව ජනපතිවරයා සහ අගමැතිවරයාද ධුරවලින් ඉල්ලා අස්වී කථානායකවරයා වැඩබලන ජනපති ලෙස පත් කළ යුතු බවටය. එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරීස් මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේ රටේ අභිලාෂයන් වටහාගෙන කටයුතු කරන ලෙසටය. &රටේ සමාජ ස්ථාවරභාවය සඳහා අනුප්‍රාප්තික ජනපතිවරයා තෝරාගැනීම ප්‍රමාද කළ නොහැකියි. මේ වන විට දැඩි අවිනිශ්චිත තත්ත්වයක පවතින රටේ ආර්ථිකය ගොඩගැනීමට හා ජනතාවගේ අත්‍යවශ්‍ය දේවල් ලබාගැනීම සඳහා රජය ස්ථාවර විය යුතුයි. ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ජූලි 9 වැනිදා කොළඹට පැමිණ ඉල්ලා සිටියේ මෙම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බවටයි. එහෙයින් ඔවුන්ගේ අභිලාෂයන් තේරුම් ගන්නා ලෙස සියලු පාර්ශ්වවලින් අප ඉල්ලා සිටිනවා. රටේ නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා විය යුතුයි. විවිධ මතවාද දරන පිරිස් මේ රටේ සිටිනවා. එහෙත් මේ අවස්ථාවේ සියලු දෙනා එකතු විය යුතුයි. අප කලින් කළ යෝජනාව අනුව පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. දැනට රටේ ඇති ප්‍රධාන ප්‍රශ්න විසඳා ඉන්පසු මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි. ජාතික ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස පත්විය යුත්තේ සියලු දේශපාලන පක්ෂවලට පිළිගත හැකි පුද්ගලයෙක්.* යනුවෙන් සඳහන් කළේය.
මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ කඩිනමින් රටේ ස්ථාවරභාවයක් නිර්මාණය කොට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමය. ඒ සඳහා ජනතා අභිලාෂයන් ඉටුවන ආකාරයේ ආණ්ඩුවක් නිර්මාණය වීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි. රට තවදුරටත් අර්බුදයේ ගිලෙමින් පවතී.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා