පසුගිය ජූලි 9දා අරගලකරුවෝ දැඩි පරිශ්‍රමයක් දරා වෙඩි උණ්ඩ අතරින් ගමන්කර ජනාධිපතිවරයා පදිංචිව සිටි කොටුවේ ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර අත්පත් කර ගත්හ. ඒ සමඟම දස දහස් ගණනින් ජනතාව මෙම පැරණි ගොඩනැගිල්ලට ඇතුළු වූයේ එය සිත්සේ බලාගෙන සතුටු වීමටය. මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අසල සිට ඇතුළු වන මහජනතාව එය විනාශ කිරීම වැළැක්වීමට කටයුතු කළ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයකු අප සමඟ පැවසුවේ අවබෝධයකින් තොර ජනතාවට මන්දිරයේ වටිනාකම ගැන කරුණු පැහැදිලි කිරීම ඉතා අසීරු වූ බවයි. නමුත් ඔහු පැය කිහිපයක් එය ආරක්ෂා කිරීමේ වැදගත්කම පැමිණෙන අයට අවබෝධ කරමින් සිටි බවත් පැවසුවේය. මන්දිරයට ඔරොත්තු නොදෙන තරම් දස දහස් ගණනින් ජනතාව එතුළට රොක්වීමත් සමඟම එහි ඉතා වටිනා පුරාවස්තු, සිතුවම් සහ ගොඩනැගිලිවලට යම් තර්ජනයක් ඇති වෙලා තිබුණි. මේවා ආරක්ෂා කිරීමට පසුව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන්ද උනන්දු වූ අතර ඒ වනවිටත් පෞරාණික ගොඩනැගිල්ලේ පැරණි චිත්‍ර මෙන්ම නූතන උපකරණ බොහොමයක්ද විනාශ වී තිබුණි.
ජනාධිපති මන්දිරයේ ඇති දේපළ රාශියක් මේ වනවිටත් විනාශ වී අවසන්ය. බොහෝ ගෘහ භාණ්ඩ හොරකම් කරගෙන ගොස් තිබේ. මෙම ස්ථාන නරඹන අතරතුර එහි ඇති දේවලට හානි නොකරන ලෙස අරගලකරුවන් තැන් තැන්වල පුවරු පවා ප්‍රදර්ශනය කර තිබුණත් ඇතැම් පිරිස් ඒවා නොතකා කටයුතු කරමින් සිටිති.
අධික ජනතාවක් ඉහළ මාලයට පිවිසෙන තරප්පු පෙළෙහි තෙරපීම හේතුවෙන් අත්වැට විනාශ වී තිබූ අතර සොරකම් කිරීම් හේතුවෙන්ද මන්දිරය තුළ තිබූ දේපළ බොහෝමයක් නැති වී තිබුණි. මේ අතර පසුගියදා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග ඇතුළු නිලධාරි පිරිසක් එහි ගොස් එම විනාශය ගැන නිරීක්ෂණය කර එය ආරක්ෂා කර ගැනීමට උපදෙස් ලබාදී තිබේ. පුරාවිද්‍යා ස්මාරකයක් වන රජගෙදර ලන්දේසි, ඉංග්‍රීසි සහ අපේ නිදහසින් පසුකාලයේ මතක සටහන්වලින්ද යුක්තය.
රජ ගෙදර
කොටුව ජනාධිපති මන්දිරය හෙවත් රජ ගෙදර (කිංග්ස්/ක්වීන්ස් හවුස්) සුද්දන්ගේ කාලයේ පටන්ම අප රටේ රාජ්‍ය නායකයන්ගේ නිල නිවෙස ලෙස යොදාගත් මන්දිරයයි. ඉංග්‍රිසි පාලන සමයේදී ඔවුන්ගේ ආණ්ඩුකාරවරු මෙහි වාසය කළ අතර නිදහසින් පසු රටේ ජනාධිපතිවරු එය නිල නිවෙස ලෙස පාවිච්චි කිරීම සිදුවිය.
ලන්දේසි ආණ්ඩුකාරවරයකුට, ඉංග්‍රීසි ආණ්ඩුකාරවරු 30 දෙනකුට, නිදහසින් පසු ජනාධිපතිවරු හත් දෙනකුට මෙම ගොඩනැගිල්ල සෙවණ ලබා දී තිබේ. නමුත් පසුගිය යහපාලන රජයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන එම මන්දිරයේ පදිංචියට ගියේ නැත. කෙසේ වෙතත් එකල රජ ගෙදර රාජ්‍ය මට්ටමේ සාද, රාජ්‍ය නායක හමුවීම් ආදී රාජකාරී ආදිය සඳහා භාවිතයට ගැනුණි.
කොළඹ වරායට යාබදව මුහුදු සුළඟින් ගත නළවන මෙම ස්ථානයේ මුලින්ම දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකරන ලද්දේ අවසාන ලන්දේසි ආණ්ඩුකාරයා වූ එංගල් බීක් විසිනි. එයට පෙර මෙතැන පෘතුගීසි යුගයේ ආරම්භ කළ ශාන්ත ප්රුන්සිස්කන් පල්ලිය පිහිටා තිබුණේය. පල්ලියට යාබදව පිහිටි ළඳු කැලෑවේ තිබුණේ කනත්තකි. පෘතුගීසි කාලේ දොන් ජුවන් ධර්මපාල රජු ආදාහනය කළෙත් මෙම ස්ථානයේ බවයි පැවසෙන්නේ. ඒ අනුව මෙය කනත්තක් පිහිටි බිමක ඉදිකළ රාජකීය මන්දිරයකි.
ඉංග්‍රීසීන් කොළඹ කොටුව යටත් කරගන්නා විට පවා එංගල් බීක් ලන්දේසි ආණ්ඩුකාරයා මෙම නිවස අතනොහැරි බව කියවේ. පසුව මේ මන්දිරය ඔහුගේ මිණිපිරිය වූ ජැකොමිනාට අයත් වුණු අතර ඇය විවාහ වී සිටියේ ඉංග්‍රීසී ආණ්ඩුවේ සිවිල් නිලධාරියකු වූ ජෝර්ජ් මෙල්වින් ලෙස්ලි සමඟිනි.
ඔහු රජයේ ප්‍රධාන ආදායම් නිලධාරි ධුරය දැරූ අවදියේදී ගිණුම් පියවීමේදී සිදු වූ මුදල් අක්‍රමිකතාවයක් නිසා පවුම් දස දහසක මුදලක් ආණ්ඩුවට ලබාදිය යුතු විය. එම මුදලට වන්දිය වශයෙන් ලන්දේසි මාමණ්ඩියගෙන් (එංගල් බීක්ගෙන්) ලැබුණු මුහුදුබඩ මන්දිරය ආණ්ඩුවට ලබාදීමට ඔහුට සිදුවූ බව පැවසේ. ඉංග්‍රීසි රජය එය තක්සේරු කරනු ලැබුවේ පවුම් 35,000කට බව පැවසෙන අතර එම මන්දිරය බ්‍රිතාන්‍ය ආණ්ඩුවට 1804 ජනවාරි 17 දින පවරාදීම සිදුවිය. ආණ්ඩුව අත්පත්කර ගත් පසු ආණ්ඩුකාර ප්‍රෙඩ්රික් නෝත් මෙම මන්දිරයේ පදිංචියට පැමිණියේය. නෝත්ගෙන් පසු තෝමස් මෙට්ලන්ඩ් ආණ්ඩුකාරයා එය වාසයට තෝරාගෙන තිබේ. ඒ කාලයේ එය හඳුන්වා ඇත්තේ කිංග්ස් හවුස් කියන නමිනි.
ඉංග්‍රීසි පාලන සමයේ දී එයට විවිධ එක්කිරීම් කෙරුණු අතර ගොඩනැගිල්ලද විශාල කර ඉදිකෙරුණි. මුල්කාලීන පරණ ඕලන්ද ගොඩනැගිල්ල අද දක්නට නොලැබෙන අතර අද දක්නට ලැබෙන්නේ බ්‍රිතාන්‍ය සමයේ තැනූ මන්දිරයකි. එංගලන්තයේ වික්ටෝරියා රුජිනගේ (1837-1901) පාලනය ඇරඹුණු පසු එම රුජනගේ නියෝජිත ආණ්ඩුකාරයා වාසය කළ මෙම මන්දිරය ක්වීන්ස් හවුස් ලෙස හැඳින්වීම ආරම්භ විය. ජෝර්ජ් රජ යළිත් රජගෙදර වී එළිසබෙත් රුජිනගේ පාලනය පටන් ගත්විට නැවතත් එය ක්වීන්ස් හවුස් ලෙස හැඳින්වීම ආරම්භ කෙරුණි. 1972 මැයි 22 දා ශ්‍රී ලංකාව ජනරජයක් වූ දා පටන් මෙය ජනාධිපතිවරයාගේ නිල නිවෙස බවට පත්වූ අතර හඳුන්වන්නේ ජනාධිපති මන්දිරය ලෙසයි.
ජනාධිපති මන්දිරයට පැමිණි මුල්ම ලාංකික ජනපති වූයේ විලියම් ගොපල්ලවයි. නාමමාත්රික ජනපතිවරයකු වූ ඔහු 1972 සිට 1978 දක්වා එහි පදිංචිව සිටියේය. 1977 මැතිවරණයෙන් එජාපයේ අගමැති ලෙස පත්වූ ජේ.ආර්. ජයවර්ධන 1978 දී විධායක ජනාධිපති දිවුරුම් දුන් අතර ඔහු කොළඹ 7 වෝඩ් පෙදෙසේ තම නිවසේම පදිංචිව සිටියේය. නමුත් ඔහු විදේශ රාජ්‍ය නායකයන් හමුවීම, තානාපතිවරු පත්කිරීම වැනි නිල කටයුතුවලට භාවිත කළේ ජනාධිපති මන්දිරයයි.
ඊට පසු 1989 දී ජනාධිපති වූ රණසිංහ ප්‍රේමදාසත් මෙය භාවිත කළේ නිල කටයුතුවලට පමණි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග ජනාධිපතිනිය සහ ජනපති මහින්ද රාජපක්ෂ මෙම මන්දිරය සහ අරලියගහ මන්දිරයත් සිය වාසයට පාවිව්වි කළ දෙදෙනෙකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් මෙම මන්දිරයේ මිදුලේ රහසිගත භූගත මන්දිරයක්ද ඉදිකරනු ලැබු අතර කිසිදු වැඩක් නොගන්නා ලද එය අදත් හිස්ව පිහිටා තිබෙනු පෙනේ. එහි නඩත්තුවට විශාල මුදලක් වැයවන බවත් පැවසේ.
බ්‍රිතාන්‍ය යුගයට අයත් චිත්‍ර සහ ගෘහ භාණ්ඩ, රාජ්‍ය නායකයන් තෑගි කළ සමරු භාණ්ඩ රාශියක්ද ජනපති මැඳුරේදී දැකගත හැකිය. පහත මාලය ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පය අනුව සැකසුණු එකක් වුවත් ඉහළ මාලය බ්‍රිතාන්‍ය අංගලක්ෂණ පෙන්නුම් කරයි. ආරුක්කු සහිත පිටත බිත්ති හා අභ්‍යන්තරයේ ශක්තිමත් දැවමය නිර්මාණ බොහෝමයක් දැකගත හැකිය. ඉහළ මාලයේ ඇත්තේ දැව සොල්දරයකි. එය විශාල ජනතාවක් එකවර පැමිණීමේදී හානියට පත්වීමට ඉඩ තිබේ. මෙහි බ්‍රිතාන්‍යයෙන් ආනයනය කරන ලද ඉස්තරම් වර්ගයේ විදුලි උපකරණද, ගෘහ භාණ්ඩද දක්නට ලැබේ. ගෘහෝද්‍යානය අලංකාර කර ඇත්තේ විසිතුරු මල් වර්ග රුසකිනි. මෙහි මල් ගස් පවා පැමිණන පිරිස් විසින් ගලවාගෙන යනු දක්නට ලැබුණි. මන්දිරයේ වැටෙහි යකඩ කණු පවා මිනිසුන් ගලවාගෙන යන අන්දම සමාජ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණි.
ජනාධිපති මන්දිරය ඉදිරිපස මහා මාර්ගයේ (ජනාධිපති මාවත) කොළඹ නුවර මාර්ගය ඉදිකිරීමට මුල් වූ ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස්ගේ ලෝකඩ ප්රතිමාවක්ද ස්ථාපිත කර තිබේ. පොදු ජනතාවගෙන් වසන් වී පැවති ජනාධිපති මන්දිරය පසුගිය 2016 වර්ෂයේ ජූනි මාසයේ සතියක් පුරා ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කෙරුණි. එම අවස්ථාවේදී පාසල් සිසුන්ද ඇතුළු දහස් ගණනක් ජනාධිපති මැදුර නැරඹීමට පැමිණි අතර මන්දිරයට හානියක් නොවන සේ එම ප්‍රදර්ශනය මෙහෙයවීමට ආරක්ෂක අංශ ක්‍රියා කළහ.
මෙය මහජන දේපළක් මිස එක් ජනාධිපතිවරයකුට අයත් දෙයක් නොවේ. පත්වන ඊළඟ ජනපතිගේ නිල නිවෙස වන්නේද මෙම මන්දිරයයි. එය ආරක්ෂා කර ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම අරගලකරුවන්ගේ යුතුකමකි.
කුසුම්සිරි විජයවර්ධන