පාස්කු ප්‍රහාරයෙන් ඇරඹී කොවිඩ් වසංගතයේ සිට වර්තමාන ආර්ථික අර්බුදය දක්වා කාලය පුරාවට හිස ඔසවාගත නොහැකිව දෛවයේ සරදමට ලක්වූවෝ සංචාරක කර්මාන්තයේ නිරතවූවෝ වෙති. පසුගිය වසර තුනක පමණ කාලය තුළ සිය අඹු දරුවන් රුකි ජීවන උපාය ඔවුනට මුළුමනින්ම පාහේ අහිමිව ගොසිනි. යම් විටෙක දලුලන බලාපොරොත්තු ඊළඟ ඇසිල්ලෙහි සුණු විසුණු වී යාම ඔවුනට දැන් හුරු පුරුදුය. මේ විමසීම සංචාරක කර්මාන්තයේ වර්තමාන ඛේදවාචකය පිළිබඳවයි.
“සංචාරක මාර්ග උපදේශකයන් විදියට මේ මොහොතේ අපිට තියෙන පළමු ප්‍රශ්නය තමා ඩීසල් පෙට්‍රල් නොමැතිවීම. යුද හමුදා කඳවුරු සහ ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දෙනවා කියලා රජය ප්‍රකාශ කළාට, ඒක සමහර තැන්වල හරියට කෙරෙන්නේ නෑ. සමහර තැන්වල ටිකක් කෙරෙනවා. තවමත් මේ ක්‍රමවේදය ගැටලු සහගතයි. ටුවරිස්ට් බෝඩ් එකෙන් ලියුම ගන්නත් හරි අපහසුයි. අපි මේ ගැන ඇමැතිතුමා හම්බවෙලා කිව්වා. ඔහු ඒකට කඩිනමින් විසඳුමක් ලබා දෙන්නම් කියලා ප්‍රකාශ කළා. නමුත් නිලධාරීන් එක්ක හරි අමාරුයි. ඔවුන් තමයි මේක කඩාකප්පල් කරන්නේ මොන යම් හෝ හේතුවක් නිසා."
සංචාරක රියැදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා දේශයේ අප කළ විමසීමකදී එලෙස පැවසීය. ඔහු අප සමඟ පළමුව කියා සිටියේ ආසන්න වශයෙන් ඔවුනට ඇති ගැටලුවයි.
සංචාරය යනු ගමනාගමනයේ කොටසකි. ගමනාගමනය මුළුමනින්ම පාහේ බිඳවැටී ඇති රටක සංචාරය කිරීම පැහැදිලි අභියෝගයකි. සැබවින්ම මේ වනවිට මෙරට සංචාරකයන්ගේ පැමිණීම දිනකට ඉලක්කම් තුනේ සංඛ්‍යාවක් දක්වා පහත බැස ඇත. එවන් තත්ත්වයක් තුළ මෙරට රුඳී සිටින සංචාරකයන් අතළොස්ස සඳහා ද පහසුකම් සැපයීමට රට අපොහොසත් වීම ඛේදවාචකයකි.
“ඩීසල් පෙට්‍රල් නැති එක වගේම තව ප්‍රශ්නයක් තියෙනවා. කර්මාන්තයේ අවශ්‍යතාවය මත අපේ අය ළඟ තියෙන්නෙත් ලක්ෂරි වාහන. ඒවා වටිනාකමින් ගොඩක් ඉහළයි. නමුත් ඒ වගේ වාහනයක් මිලදී ගන්න එක පාර මුදල් වියදම් කරන්න අපේ අයට හැකියාවක් නෑ. ඒ නිසාම තමා අපේ සියලු දෙනා පාහේ ලීසිං පහසුකම් යටතේ වාහන ලබාගෙන තියෙන්නෙ. පසුගිය කොවිඩ් කාලෙ රජය සහන කාලයක් ලබා දෙන්නම් කිව්වා. අපි ඒකට හා කිව්වා. නමුත් ඒ නිසා ලක්ෂ 50කට ගත්ත ලීස් එක දැන් ලක්ෂ 100 ක් විතර වෙලා. බැංකු සහ ලීසිං සමාගම් එක්ක කතා කළාම ඔවුන් කියනවා, ''අපිට මහ බැංකුවෙන් කිව්වේ සහන කාලයක් දෙන්න, ඒ මුදල් මහ බැංකුව හරහා නැවත ලබා දෙන්නම් කියලා. නමුත් එහෙම එකක් වෙලා නෑ.'' ඒ සමාගම් කියන විදිහට ඔවුන්ට දැන් මුකුත් කරන්න බෑ."
චන්දිම ජයවීර මහතා පෙන්වා දෙන පරිදි නැවතත් ණය සහන කාලයක් ලබා දීමට ලීසිං සමාගම් උත්සාහ කරන නමුත් එයින් සැලසෙන සහනයක් නොමැත. සංචාරක කර්මාන්තයේ රථවාහන හිමියන් විසඳාගත නොහැකි අර්බුදයක් කරා මේ වන විට ගමන් කොට තිබේ. "ණය සහන කාලය" නමින් සිදුවූ රුවටීම ඊට හේතුවයි. ඔවුන් බලධාරීන්ව මේ සම්බන්ධව දැනුවත් කර ඇතත් කිසිදු සහනයක් ලැබී නොමැත. යථාර්ථය නම් සහන ලබා දීමට හැකි වටපිටාවක ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් නොරුඳීමයි. එහෙත් සංචාරක කර්මාන්තය ද තවදුරටත් බිඳවැටී ඇති පසුබිමක මෙම කර්මාන්තයේ නියුතු මෙම පිරිස අසරණව සිටිති.
“අපේ රට ගැන ඒ ඒ රටවල පළවෙන පුවත් දැකලා ඔවුන් අපෙන් අහන්නේ ''උඹලගෙ රටට එන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද'' කියලා. අපි කොහොමද කියන්නේ ''උඹලා වරෙන් දැන් හරි'' කියලා. මේ අය එන්නේ සංචාරය කරන්න. කෝ අපිට මේ අයව සංචාරයට රුගෙන යන්න ඩීසල් පෙට්‍රල්. දැන් ඒ හැමෝම දන්නවා රටේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔවුන්ට ලංකාවට එන්න ඕනෑ. එහෙත් ඒ සඳහා අවශ්‍ය මූලික යටිතල පහසුකම් අපේ රජය විසින් දීලා නෑ. අපේ අගමැතිතුමාම කියනවා සංචාරකයන්ට එන්න එපා.. ලංකාවේ ප්‍රශ්න, තෙල් නෑ කියලා. ඉතින් සංචාරකයෝ එයිද? අගමැතිතුමා එහෙම කියන්නේ එහෙම නොකියා හිඟා කන්න බැරි නිසා."
සංචාරක රියැදුරු මාර්ගෝපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමයේ සභාපති චන්දිම ජයවීර මහතා සමඟ මෙලෙස සංවාදයේ නිරත වන අතරේ අපි හෝටල් හිමියන්ගේ පාර්ශ්වයේ ගැටලු පිළිබඳවද විමසා බැලුවෙමු. අපි ඒ සඳහා ශ්‍රී ලංකා හෝටල් හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති සනත් උක්වත්ත මහතා සම්බන්ධ කර ගතිමු.
“දැන් සංචාරකයන්ගේ පැමිණීම සීඝ්‍රයෙන් අඩුවෙලා තියෙනවා. දිනකට සංචාරකයන් සියයකටත් අඩු ප්‍රමාණයක් පැමිණෙන්නේ. වෙනදාට අපිට දවසකට සංචාරකයන් තුන්දාහක් හාරදාහක් වගේ ප්‍රමාණයක් පැමිණියා. ඉන්ධන සහ ගෑස් හිඟය තමා මූලිකවම හේතුවෙලා තියෙන්නේ. පසුගිය සතියේ නැවතත් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාවේ සංචාරය නොකරන ලෙස ඔවුන්ගේ පුරවැසියන්ව දැනුවත් කළා. මෙවැනි හේතු නිසා කර්මාන්තය මුළුමනින්ම පාහේ බිඳවැටිලා."
සංචාරක කර්මාන්තයේ ප්‍රධානතම භූමිකාව නිරෑපණය කරන්නේ හෝටල් කර්මාන්තයයි. රටපුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රුකියා අවස්ථා සලසන හෝටල් කර්මාන්තයේ වර්තමාන බිඳවැටීම සුළුවෙන් තක්සේරු කළ නොහැකිය. එසේම ශ්‍රී ලංකාවට ඩොලර් රුගෙන ඒම උදෙසා ද හෝටල් කර්මාන්තය ඍජුව දැක්වූ දායකත්වය අපට අමතක කළ නොහැකිය.
පාස්කු ප්‍රහාරයෙන් පසුව අවස්ථා ගණනාවකදී හෝටල් කර්මාන්තය නැවත නැගී සිටීමට දැරෑ උත්සාහයන් ව්‍යාර්ථ වී ගොසිනි. ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රුකියා ද දෛනිකව අවදානමට ලක්වෙමින් තිබේ. හෝටල් සැපයුම්කරුවන් ඇතුළු හෝටල් කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපාරවල නියුතු වූ බොහෝ දෙනකුට මේ වන විටත් ජීවනෝපාය අහිමි වී ගොස් හමාරය. ඉතා ආසන්න කාලයේ දී ආර්ථික අර්බුදය කළමනාකරණය නොවුණහොත් තවදුරටත් තත්ත්වය භයානක වනු ඇත.
“සංචාරක කර්මාන්තයේ සිටින ප්‍රධානම ආයෝජකයා සහ රුකී රක්ෂා උපාදනය කරන්නා බවට පත්වෙන්නේ හෝටල් කර්මාන්තය. කොවිඩ් වසංගතයේ දී ලෝකයේම සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් එල්ල වුණා. දැන් මුළු ලෝකයම සංචාරක කර්මාන්තයට විවෘත වෙලා තියෙනවා. සංචාරකයෝ ලෝකෙ පුරා සංචාරයේ නිරත වෙනවා. නමුත් ලංකාවට ඔවුන් එන්නේ නෑ මේ තියෙන ආර්ථික අර්බුදය නිසා."
වසංගතයෙන් පසුව සංචාරක කර්මාන්තය ලොව පුරා අළු මතින් නැගී සිටියේය. නමුත් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය එම අළු අඟුරු අතරේ ළිප් බොක්කේ වැළලී ගියේය. වර්තමාන ආර්ථික අර්බුදයට මූලිකම හේතුව ශ්‍රී ලංකාව සතුව විදේශ විනිමය ඩොලර් නොමැති වීමයි. ඒ සඳහා ඇති එකම විසඳුම ද රට තුළට විදේශ විනිමය ගලා එන මාර්ග තවදුරටත් සංවර්ධනය කිරීමයි. රටට ඩොලර් ගෙන එන කර්මාන්ත අතරේ සංචාරක කර්මාන්තය ප්‍රමුඛයා බව කවුරුත් දනිති. එම නිසාම සංචාරක කර්මාන්තය විනාශ මුඛයට යා නොදී රුකගැනීම රාජ්‍යයක පළමු වගකීමයි.
“හෝටල් කර්මාන්තකරුවන් බොහෝ විට ණය මත යැපෙන්නේ. අපි නැවත ණය සහන ඉල්ලුවා. මහ බැංකුවෙන් කියලා තියෙනවා ඒ සහන ලබා දෙන්න බැහැ කියලා. අපි අහන්න කැමතියි පාලකයන්ගෙන් සංචාරකයන් එන්නෙ නැත්නම් අපි කොහොමද මේ ණය ගෙවන්නේ කියලා. ආදායම් උපයන්නේ නැතුව ණය ගෙවන ක්‍රමයක් ඔවුන්ට පුළුවන් නම් අපිට කියලා දෙන්න කියලා ඉල්ලනවා. සංචාරකයෝ ආවොත් මේවා ගෙවන්න පුළුවන්. සංචාරකයෝ රටට නොඑන විට අපි කොහොමද මේවා ගෙවන්නේ."
සනත් උක්වත්ත මහතාගේ පැහැදිලි කිරීම තුළින් ද පෙනී යන්නේ අර්බුදයේ බරපතළ බවයි. සංචාරක කර්මාන්තයේ නියුතු සියලු පාර්ශ්ව දැඩිව පීඩාවට පත් වී සිටිති.
සංචාරක කර්මාන්තයේ දායකත්වයෙන් තොරව වර්තමාන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාවට නොහැකිය. විවිධ රාජ්‍යයන් හෝ ආයතනවලින් ලබාගන්නා ණය මත යැපීමෙන් අත්වන සුගතියක් නොවේ. ඇසිල්ලක සහනයක් ලැබෙන මුත් අර්බුදයට විසඳුම අපම විදේශ විනිමය උපයා ගැනීමයි. ඒ උදෙසා සංචාරක කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට එය තවදුරටත් ආදායම් ලබන පුළුල් කර්මාන්තයක් බවට පත් කිරීම රජයේ සැලසුම විය යුතුය.
චමිඳු නිසල් ද සිල්වා