දින අනූවකට වැඩි ගණනක් දිවා රෑ නොතකා ගාලු මුවදොර ගෝඨාගෝගම රැඳුණු තරුණ පිරිසේ අරගලය සුවපහසු නොවූ අසීරු කර්තව්‍යයකි. හරියටම අරගලයට දින 92ක් පිරුණු ඉකුත් 9 වැනි සෙනසුරාදා නන් දෙසින් කොළඹට පැමිණි ජනතාවගේ සහාය ඇතිව අරගලකරුවන් පිරිසක් ජනාධිපති නිල නිවෙස අල්ලා නොනැවතී ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරයද අල්ලා ගත්හ. එතැනින් නොනැවතුණු අරගලකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ග්‍රහණයට ගන්නා අතරතුර එම නිවෙස ගිනි ජාලාවක් බවට පත්වීම ආදරයේ අරගලයට කළු පැල්ලමක් එකතු කර තිබේ.
තරුණ අරගලකරුවන්ගේ ක්‍රියාන්විතය ලංකා ඉතිහාසයට පරිච්ඡේදයක් නොව පිටු ගණනාවක්ම එක් කළේය. රටේ විධායක ජනපතිවරයාගේ නිල නිවෙස අල්ලා ගැනීමෙන් නොනැවතුණු පිරිස එහි ජයග්‍රහණය සමරණ අතරතුර බුද්ධි අංශ හරහා ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබුණේ අරගලකරුවන්ගෙන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස ඉදිරිපිට මාර්ගයේ ගමන් කිරීමට සූදානමක් පවතින බවත් එම පිරිසේ ගමන් කිරීම හරහා අගමැතිවරයා පදිංචි නිවෙසට යම් තර්ජනයක් එල්ල විය හැකි බවත්ය. ආරක්ෂක අංශ මේ බව කල්තියා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්වත් කොට තිබුණි.
කෙසේ හෝ එදින සන්ධ්‍යාවේ ආරක්ෂක අංශ තහවුරු කරගෙන තිබූ පරිදිම අරගලකරුවන් විශාල පිරිසක් ගාලු මුවදොර පිටිය දෙසින් රනිල් වික්‍රමසිංහ මහතා පදිංචිව සිටි කොල්ලුපිටිය පස්වැනි පටුමග පිහිටි නිවෙස ඉදිරිපිටට පැමිණ තිබුණි. එහිදී විවිධ සටන් පාඨ කියමින් අරගලකරුවෝ අගමැතිවරයාට විරෝධතාව පළ කළෝය. ඒ මොහොත වනවිටත් පොලීසිය හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ දැඩි ආරක්ෂිත රුකවල් අගමැති නිවෙස වටා යොදවා තිබී ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වීමත් සමග දේශීය හා විදේශීය ජනමාධ්‍ය නියෝජනය කරන මාධ්‍යවේදීන් රුසක් එම ස්ථානයට පැමිණ සිය රාජකාරි ඉටු කරමින් සිටියහ. ඇතැම් රෑපවාහිනී ආයතන හා සමාජ මාධ්‍ය සජීවී ලෙස තොරතුරු වාර්තාකරණයේ නියැලී ඇත. අරගලකරුවන්ගේ විරෝධය හමුවේ දැඩි ආරක්ෂක රැකවල් එම ස්ථානයේ යොදවා තිබියදී පොලිස් ජල ප්‍රහාරක රථ මෙන්ම කඳුළු ගෑස් විදීමට ඇවැසි පොලිස් බලයද ස්ථාන ගතකර තිබී ඇත. කෙසේ වෙතත් අගමැති නිවෙස ආරක්ෂාව භාරව සිටි ඇත්තේ විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුටය. ඔහු රොමේෂ් ලියනගේ නැමැති නිලධාරියෙකි. පැවති තත්ත්වය හමුවේ මාධ්‍ය ආවරණ කටයුතු ආරක්ෂාවට බාධාවක් වූයේද දන්නේ ඔහුය. එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොමේෂ් ලියනගේ මහතාගේ අණදීම මත මාධ්‍යවේදීන් පිරිසකට අමානුෂික ලෙස පහරදීමට විශේෂ කාර්ය බලකා නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබුණි.
පහරදීමෙන් ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූහ. මෙම මාධ්‍යවේදීන් සිය හැඳුනුම්පත් පවා පෙන්වමින් තම අනන්‍යතාව පවසද්දී එය තැකීමකට ලක් නොකර මාධ්‍යවේදීන්ට බිම දමා අමානුෂික ලෙස පහර දී තිබුණි. පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් රුගෙන යාමට ගිය තවත් අදාළ ආයතනයේම මාධ්‍යවේදීන් තිදෙනකුටද විශේෂ කාර්ය බලකා නිලධාරීන් පහර දී තිබුණි. ඒ අනුව මාධ්‍යවේදීන් හත් දෙනකු රෝහල් ගත කිරීමට සිදුවිය.
තත්ත්වය එසේ ගතවන විට අරගලකරුවන් අතර පිරිසක් අගමැති නිවසේ තාප්ප ගේට්ටු නොතකා එයට කඩා වැදීමට උත්සාහ කර ඇත. දිවයින පුරා කොතැනක කොයි මොහොතේ විදුලිය විසන්ධි වුවත් කිසිම අවස්ථාවක විදුලිය ඇණ නොහිටින අගමැති නිවෙස ආශ්‍රිත කලාපයේ ක්ෂණිකව විදුලිය විසන්ධි වීම පුදුමයකි. එසේ පැවති මිනිත්තු කිහිපයක් තුළදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවෙස තුළ ගිනි ජාලාවක් ඇවිලීම තවත් අබිරහසකි. සැබෑ අරගලකරුවන්ට එවැනි දේපළ හානියක් සිදු කිරීමේ චේතනාවක් නොමැති බව අරගලයට සම්බන්ධ වූවෝ ප්‍රකාශ කරති. අරගලකරුවන් අතරට පැනගත් යම් කඩාකප්පල්කාරීන් පිරිසක් රුස්වී මෙසේ ගිනිතැබීම සිදුකරන්නට ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ. එහෙත් තවමත් ඒ ගැන පරීක්ෂණ සිදුකෙරෙන බැවින් පැහැදිලි අදහසක් ඇතිකර ගැනීම අපහසුය.
ගිනි තැබීම සිදුකරන මොහොතේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිවෙසේ සිට නැතත් ඔහුගේ බිරිය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අසනීප තත්ත්වයෙන් එම නිවෙසේ සිටි බව කියැවිණි. ගිනි තැබීම හේතුවෙන් නිවසේ තිබූ පැරණි ගෘහභාණ්ඩ හා දුර්ලභ ග්‍රන්ථ සහිත මිල කළ නොහැකි පුස්තකාලය සමග නිවෙස අළු බවට පත්ව ඇත. ඒ අතර විවිධ වටිනා පොත් 2500ක් පමණ තිබූ බවද වාර්තා වේ. මෙම පොත් තොගය රනිල් - මෛත්‍රී යුවළගෙන් පසුව කොළඹ රාජකීය විද්‍යාලය වෙත සහ පේරාදෙණිය සරසවියට පරිත්‍යාග කිරීමට නියමිතව තිබූ බවද දෙපළ පදිංචි නිවෙසත් රාජකීය විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට සූදානමින් සිටි බවද කියැවේ.
මෙම ගිනිතැබීම සිදුවන අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරකු වන චන්න වික්‍රමසිංහ මහතාගේ අසල පිහිටි නිවෙසට අලාභහානි සිදුකර නිවසේ තිබූ රන් භාණ්ඩ කොල්ල කා තිබුණි. අගමැතිවරයාගේ නිවෙසට ඇතුළු වන ස්ථානයේම පසෙක ඔහුගේ නිල රථය නවත්වා තිබී ඇති අතර එය BMW 600 වර්ගයේ රුපියල් කෝටි 25ක් පමණ වටිනා වෙඩි නොවදින රථයකි. මහජන දේපළක් වන එම රථයට මැර පිරිස් ගිනි තබා විනාශ කර තිබිණි. නිවෙස තුළ ඉතිරිව ඇත්තේ බාගෙට ගිනිගෙන අවසන් වූ ගෘහභාණ්ඩ කිහිපයක් පමණි. නිවෙසේ උඩුමහළේ කාමර පහක් පුරා තිබූ පොත්පත් දහස් ගණනක් ගිනිගෙන තිබුණි. නිවෙසේ තිබූ වටිනා විවිධ බුද්ධ ප්‍රතිමා කිහිපයක්ද ගින්නට හසුව විනාශ වී තිබිණ.
වීදුරු කැබලි, පිඟන් කටු, යකඩ කැබලි වැනි සුන්බුන් ඉතිරි වන්නට ගිනි තබා විනාශ කළ නිවෙස හිමි අගමැතිවරයා සිය දේශපාලන දිවියේ 43 වසරක් මන්ත්‍රී වැටුප හෝ ලබාගෙන නැතැයි කියති. මේ විනාශය පසුපස කවුරුන් සිටියත් එය කවුරුන් විසින් මෙහෙයවුවත් අපරාධ සහ විනාශය යනු කිසිසේත් අනුමත කළ නොහැක්කකි. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථවල පැමිණීමත් මේ කලහකාරීන් වළක්වා තිබෙන බව වාර්තා වේ.
මෙවැනි සිදුවීම් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට තවත් හානියක් වනු ඇත. අගමැති නිවෙස අසළ මාධ්‍ය ආවරණයේ නිරත මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත. එම පහරදීම පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.
අගමැති නිවෙසට ගිනි තැබීමට එරෙහිව සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන සිටිති. වැඩිදුර පරීක්ෂණ රහස් පොලීසිය මගින් සිදු කෙරෙයි.
සමන්ත ප්‍රදීප් විල්තෙර