2022 ජුලි 17 වන ඉරිදා

වැඩ බලන ජනපති රනිල්

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 170

ශ්‍රී ලංකාව නම් රාජ්‍යය ඓතිහාසික දේශපාලන සංධිස්ථානයක් පසු කරමින් සිටියි. රාජ්‍ය පාලනය වන්නේ වැඩබලන ජනාධිපතිවරයකු යටතේය. ඔහු නමින් රනිල් වික්‍රමසිංහ. සිදු වූ දෙය, සිදුවීමට යන දෙය පිළිබඳව අපි මෙහිලා සාකච්ඡා නොකරමු. අප අවධානය යොමු කරන්නේ රනිල් වික්‍රමසිංහ නම් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ වැඩබලන ජනාධිපතිවරයාගේ ඉතිහාසය ඔහුගේ වර්තමාන කතාව පිළිබඳවයි.

රනිල් වික්‍රමසිංහ නම් චරිතයේ ඉතිහාස කතාව ගෙන හැර පෑමට පෙර ඔහුගේ වර්තමාන කතාව සාකච්ඡාවට බඳුන් කිරීම සුදුසුය. රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වන්නේ ඉකුත් ජූලි 13 වැනිදාය. ඔහු වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත්වූ වහාම හදිසි නීතිය ක්‍රියාත්මක කොට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවූයේය. මෙම තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමගම රටේ බහුතරය විසින් ප්‍රශ්න කළේ ඔහු වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වූයේ කෙලෙසද යන්න පිළිබඳවයි.

ඒ වනවිටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී නොතිබූ පසුබිමක මෙම බලතල ඔහු වෙත ලැබීම බොහෝ දෙනකුට ගැටලුවක් විය. එසේ නමුත් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුව නිවේදනයක් නිකුත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයේ වැඩ බැලීම සඳහා පත්කර ඇති බවයි. එසේ නමුත් රනිල් වික්‍රමසිංහ මහතාට විශාල මහජන විරෝධයක් රටතුළ නිර්මාණය වී තිබුණි.

අරගලකරුවන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලය වටලෑම සිදුවූයේ මේ අනුවය. අවසානයේ ඔවුන් විසින් අග්‍රාමාත්‍ය කාර්යාලයේද බලය අත්පත් කරගනු ලැබීය. මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. අප මෙම ලිපිය සමඟ එය දක්වා තිබේ. කෙසේ වෙතත් එදින සවස් වනවිට පක්ෂ නායකයන් විසින් අමාත්‍යවරයාද ඉවත් විය යුතු බවට තීන්දුවක් ප්‍රකාශයට පත් කෙරිණි. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක ඇතුළු බොහෝ විපක්ෂ දේශපාලකයෝ නිවේදන නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයාට ඉල්ලා අස්වෙන ලෙස බලපෑම් කළහ. අරගලකරුවෝද වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පිළිගැනීමට අකමැති වූහ.

වර්තමාන තත්ත්වය එසේය. මෙම ලිපිය ඔබ කියවන මොහොතේදී එම තත්ත්වය තවදුරටත් වෙනස් වී තිබුණහොත් පුදුම විය යුතු නැත. මේ මොහොතේ අපට කියවාගත හැක්කේ අතීතය සහ වර්තමානයේ ගතකරමින් සිටින මොහොතක පිළිබඳ ඇති යථාර්ථයක් පමණි. දේශපාලන වශයෙන් මෙරට අනාගතය සහමුලින්ම අවිනිශ්චිතය.

කෙසේවෙතත් නමුත් රනිල් වික්‍රමසිංහ චරිතය පිළිබඳ හැරී බැලීමට මෙය සුදුසුම මොහොතයි. ඔහුගේ දේශපාලන දිවියේ මේ ආදී වූ අර්බුදකාරි ආශ්චර්යන්ගෙන් පිරී ඇත. කෙසේ නමුත් ඔහු මේ මොහොතේ පසුකරමින් සිටිනේ ඔහුගේ දේශපාලන ජීවිතේ තීරණාත්මක නිමේෂයයි. අවසානයේ ඔහුට සිහිනමය වූ ජනාධිපති ධුරයේ වැඩ බැලීමේ අවකාශ උදා වී තිබේ. එහෙත් දස අත ඇත්තේ බුර බුරා නැගෙන ගිනිදැල්ය. මේ ඔහුගේ ඉතිහාස කතාවයි.

හැත්තෑ තුන් වියැති රනිල් වික්‍රමසිංහ 70 දශකයේදී ක්‍රියාකාරී දේශපාලනයට අවතීරණය විය. 1970 වසරේ මැදභාගයේදී කැලණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ වික්‍රමසිංහ මහතා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977දී බියගම නව මැතිවරණ කොට්ඨාසයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන රනිල් වික්‍රමසිංහ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා විය. ඔහු තරුණ කටයුතු හා රුකීරක්ෂා අමාත්‍ය ධූරය දැරීය.

මෙලෙස අරඹන ඔහුගේ දේශපාලන චාරිකාවේ තවත් සන්ධිස්ථානීය කාල පරිච්ඡේදයක්  වන්නේ 90 දශකයයි. ඒ අනුව 1993 සිට 1994 දක්වා කාලයේදී වික්‍රමසිංහ මහතා පළමුවරට මෙරට අග්‍රාමාත්‍ය ධූරයට පත්වෙයි. මෙම පත්වීම සිදුවන්නේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඝාතනයත් හේතුවෙනි. එම අවස්ථාවේදී විජේතුංග මහතා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්විය. රණසිංහ ප්‍රේමදාස මහතා ඝාතනය වී දින හතකට පසු 1993 මැයි 7 වැනිදා වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දෙන්නේය. මෙය ඔහුගේ දේශපාලන චාරිකාවේ පළමු විශ්මය විය.

මේ අතර 1994 වර්ෂයේ පැවැති ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත්වූයේ ශ්‍රීමා දිසානායක මහත්මියයි. ගාමිණී දිසානායක මහතාගේ අභාවය හේතුකොටගෙන ඇය ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද අවසානයේ පරාජයට පත්වීය. එම පරාජයත් සමගම එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුණු ලැබුණි. 1994 වර්ෂයේ නොවැම්බර් 9 වැනිදා ජනාධිපතිවරණය පරාජයෙන් දින හතරකට පසු එම වසරේ නොවැම්බර් 12 වැනිදා වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකයා විය. මෙයද ඔහුගේ දේශපාලන දෛවයේ ඇති අපූර්වත්වය ප්‍රකට කරයි. කෙසේ වෙතත් පළමුවරට 1999දී ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූවද රනිල් වික්‍රමසිංහ මහතාට අත්වූයේ පරාජයකි.

එසේ නමුත් 1994 වසරේ සිට 2001 දක්වා මෙරට  විපක්ෂනායක ධුරයේ කටයුතු කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතායි. ඔහු පළමු වරට මැතිවරණයක් ජය ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත්වන්නේ 2001 වසරේදීය. එහෙත් සම්පූර්ණ කාලය ඔහුට ධුර දැරීමට නොහැකි වූයේ එවක ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් 2004 වසරේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළ බැවිණි. එම මැතිවරණය පරාජයට පත්වීම නැවතත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට විපක්ෂනායකවරයා බවට පත්විය. මේ අතර 2005 දී දෙවැනි වරටත් ජනාධිපති සිහිනය වෙනුවෙන් ඔහු තරඟ වැදුණු හතර මහින්ද රාජපක්ෂ මහතා විසින් එම සිහිනය බොඳකර දැමුවේය.

පසුව ඉතා දීර්ඝ කාලයක් විපක්ෂ නායකත්වය දරමින් ඔහු රාජ්‍ය බලය ලබාගැනීමට දැරෑ සියලු උත්සාහයන් ව්‍යාර්ථ විය. 2010 මැතිවරණය සඳහා සරත් ෆොන්සේකා ඉදිරිපත් කිරීම ඔහුගේ ව්‍යාර්ථ වී ගිය එවන් එක් උත්සාහයක් විය. එනමුත් උපායශීලී වූ රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන රජය නිර්මාණය කිරීමේ කිරීමට 2014 දී සැලසුම් සකස් කළේය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරයා බවට පත් කිරීමට ප්‍රමුඛත්වය ගත්තේ ඔහුය. ඒ අනුව ඔහු නැවතත් 2015 ජනවාරි 9 වැනිදා මෙරට අග්‍රාමාත්‍ය ධුරය ලෙස පත්වීම් ලැබීය. එවරද ජනවරම සටහන් වී තිබුණේ ඔහු නමින් නොවේ.

කෙසේ වෙතත් 2015 වසරේ පැවැති මහ මැතිවරණයෙන් ජය ලබමින් ඔහු සිය තනතුර ස්ථාවර කරගත්තේය. මෙම කාලය තුළද දෛවය විසින් සරදමට ලක් වූ ඔහු හට 2018 ඔක්තෝබර් බල පෙරළිය හේතුකොටගෙන කෙටි කලකට අග්‍රාමාත්‍ය ධූරය අහිමි විය. කෙසේ වෙතත් අවසානයේදී 2019 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කිරීමත් සමඟම රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. එවර ඔහු පක්ෂ අභ්‍යන්තරයෙන් මතුවූ විරෝධතා හමුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නම් කොට තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාය.

මෙම ජනාධිපතිවරණ පරාජයත් සමඟ එක්සත් ජාතික පක්ෂය දෙකඩ වූ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය නිර්මාණය විය. 2020 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ ලැබූ දැවැන්තම පරාජය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ ලැබීය. ඔවුනට හිමිවූයේ ජාතික ලැයිස්තුවෙන් එක මන්ත්‍රී අසුන පමණි. ඒ මන්ත්‍රී අසුන වෙනුවෙන් දීර්ඝකාලීන පක්ෂ අර්බුදයක් වූ අතර අවසානයේ එම අසුන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු පැමිණියේය

අවසානයේ ජනවරමක් නොවූ නමුත් නැවතත් අග්‍රාමාත්‍ය ධූරය හෙබවීමට ඔහු වාසනාවන්ත විය. මැයි 9 වැනිදා කෝලහලත් සමග මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඉකුත් මැයි මස 12 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතාගේ නැවත අග්‍රාමාත්‍ය ධූරයට පත්විය. නැවතත් ජූලි 9 වැනිදා සිදුවීම් පෙළත් සමඟ ජූලි 13 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා මෙරට වැඩබලන ජනාධිපතිවරයා බවට පත්වී සිටියි. දෛවෝපගත සිදුවීම් රුසකින් සමන්විත වූ රනිල් වික්‍රමසිංහ නම් දේශපාලන චරිතය ඓතිහාසික සන්ධිස්ථානයකට පැමිණ ඇත. හෙට සිදුවන්නේ කුමක්ද අපි බලා සිටිමු.

 චමිඳු නිසල් ද සිල්වා