2022 ජුලි 17 වන ඉරිදා

විනාශකාරීත්වයෙන් තොර සැබෑ අරගලය ඔ‍බේත්, මගේත්, ර‍ටේත් ජයග්‍රහණයයි

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 1039

අරගලය යන්න නුහුරු නුපුරුදු වචනයක් නොවන තරමට අද දවසේ එය හැම මුවග නැගෙන වචනයක් බවට පත්වෙලා....

ලක්ෂ සංඛ්‍යාත මිනිසුන් පිරිසක් අරගල කරන්නෙ භූමිය වෙනුවෙන් නොව මනුෂ්‍යත්වය වෙනුවෙන්, බලය වෙනුවෙන් නොව ආදරය වෙනුවෙන්, අද දවස වෙනුවෙන් නොව හෙට දවස වෙනුවෙන් හදවතේ ගැඹුරුම තැනින් නිෂ්පන්න වූ අරගල පිළිබඳ ලෝක  ඉතිහාසයේ පරිච්ඡේද සිසාරා ලියවී ඇති මතක සමුදායන් සැබැවින්ම උත්තරීතරයි...

අපි පැතුවෙත් එහෙම අරගලයක්.
කටු අතු මත හෙට මල් පිපෙන දවසක්!

එහෙත් පොළොව හේදෙන්න වහින මහ වැස්සක් සේ සුබවාදී සහ යථාර්ථවාදී ප්‍රාර්ථනා පමණක් අරගල භූමිය තෙමෙන්න නොවැසි වග පසක් කරන්නට දෘෂ්‍ය සාක්ෂි අරගල භූමියේ ඇතැම් අරගලකරුවන් විසින්ම රඳවා තබා හමාරයි...
අරගලය යනු අපරාධය හෝ විනාශය නොවේ....

සත්‍ය වශයෙන්ම අරගලය යනු පොදු මිනිස් වර්ගයාගේ ඒකාත්මික පැතුමක් වෙනුවෙන් ආත්මාර්ථකාමී පැතුමන් පසෙකලා පරමාදර්ශී ලෙස පෙළගැසුණු සොඳුරු සන්ධානයක් විය යුතුමයි. එය එසේ නොවුණු තැන ලාභ පටු සිල්ලර අපේක්ෂාවන් වෙනුවෙන් දියකර හරින්නේද සුවහසක් මිනිසුන්ගේ හෙට දවස වෙනුවෙන් ප්‍රාර්ථනාවයි.

මෙවන් පූර්විකාවක් තබන්නට මට හිතුණේ ජූලි 9 වැනිදා අරගලයේ සේද මාවත දුහුවිල්ලෙන් තෙත් කරන්නට අරගලකරුවන් විසින්ම සිදුකළ හෘද සාක්ෂියට එකඟව කිසිසේත් අනුමත කළ නොහැකි විනාශය අභිමුවයි... ජනාධිපති මන්දිරය, අරලිය ගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය යනු ජනාධිපතිවරයෙක්ගේ හෝ දේශපාලනඥයෙකුගේ තනි උරුමයක් නොව ඓතිහාසික වටිනාකමක් උසුලන ජාතික සම්පත්. ලන්දේසි ආණ්ඩු සමයේ ඉදිකළ ජනාධිපති මන්දිරය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකුට සෙවණ සැලසූ තැනක්...

පාලනයට සහ පාලකයන්ට එරෙහිව ජනතාව නැගී සිටි හැම මොහොතකම එවන් ස්ථාන ඔවුන්ගේ ග්‍රහණයට නතු වෙද්දී මෙසේ විනාශ කර දැමූ එක් සංසිද්ධියක්වත් ලෝක දේශපාලනය තුළ හමුවෙන්නේ නැහැ ලංකාවේ හැරෙන්න, මර්දනයට පීඩනයට සොරකමට එරෙහිව අවි ඔසවන්නේ නම් ඒ ඔසවන අවිය තුළ නිරපේක්ෂ වශයෙන්ම තිබිය යුත්තේ යුක්තිය වෙනුවෙන් කෑමොර දෙන හඬ සංධ්වනියක මනුසත් ස්වරය මිස අපරාධය හෝ විනාශය නෙවෙයි.

එසේ විනාශ කළ සම්පත් හෙට දවසේ යළි ගොඩ නඟන්නට වැය කළ යුත්තේද ගරා වැටෙමින් යන රටක රුපියල් බව ඔබ අමතක නොකළ යුතුයි... මේ මහ පොළොවට, ගහකොළට ගංගා ධාරාවන්ට ප්‍රාණ සමව සෙනෙහසක් දැක්වූ රතු ඉන්දියානු නායක සියැටල් ගෝත්‍රිකවාදී චින්තනයකින් කිසිදා සොබාදහම නිර්වචනය නොකළ සොබාදහමට ඇත්තටම ආදරය කළ ගෝත්‍රිකයෙක්... තම වර්ගයාට මෙන්ම තමන්ගේ ඓතිහාසික උරුමයන්ට තමන් අයිති සොබාදහමට ආදරේ කළ නොහැකි මිනිසා මිනිස් වර්ගයාට ආදරය කරන්නේ කෙසේද යන්න ඇත්තටම ප්‍රශ්නයක්...

පොදු අරමුණක් කරා යන ගමනකදීත් මිනිසුන් මේ අයුරින් අපරාධය සහ විනාශය කෙරේ යොමුවන්නේ ඇයි?  අපරාධය  සහ විනාශය පසෙක ලා ආදරයෙන් ලොව දිනන මග එළි පෙහෙළි කරගත නොහැක්කේ ඇයි... මනෝ විද්‍යාත්මක පසුබිමක සිට අපි ඒ ගැන කතාකරමු. මනෝවිද්‍යාත්මකව විමසා බැලුවහොත් සෑම පුද්ගලයෙක්ම පොදු දේපළ විනාශ කරන්නට පෙළඹෙන්නෙ නැහැ. බොහෝ අය උත්සාහ කරන්නෙ පොදු දේපළ ආරක්ෂා කරන්නට. පොදු දේපළ විනාශකාරීත්වය සඳහා විවිධ හේතු සහ විවිධ මානසික මට්ටම්, පෞරුෂ මට්ටම් බලපාන්නට පුළුවන්.

සමාජ විරෝධී පෞරුෂ අක්‍රමතාව සහිත පුද්ගලයින් සෑමවිටම කැමති වන්නේ සමාජ විරෝධී වැඩවල නිරත වන්නට. එවන් අයගෙන් පොදු දේපළ සුරක්ෂිත බවක් අපේක්ෂා කරන්නට බැහැ. පරාර්ථකාමී නොවන ආත්මාර්ථකාමී පෞරුෂ සහිත පුද්ගලයන් පොදු දේපළ විනාශ කරන්නට පෙළඹෙනවා. මම දැක්ක එහෙම අවස්ථා කිහිපයක්. ජනාධිපති මැදුරෙ වටිනා භාණ්ඩ සම්පූර්ණයෙන්ම විකෘති කරලා. මේව රටේ ජනතාවගේ මුදලින් නඩත්තු වන දේවල්. විනාශ කළ දේ නැවත පිළිසකර කරන්නට යොදවන්නෙත් පාලකයන්ගේ සල්ලි නොවන බවත් ජනතාවගේ බදු මුදල් වලින් එකතු වන සල්ලි බවත් ජනතාව අමතක නොකළ යුතුයි. ඇතැම් වීඩියෝ දර්ශනවල මම දැක්ක ජනාධිපති නිල නිවසේ යකඩ වැටේ යකඩ පවා ඇතැම් පුද්ගලයින් විසින් සොරා ගන්නා ආකාරයක්. අරගලය අනුමත කළ හැකි අයෙකුට එවන් චෞර ක්‍රියාවන් අනුමත කළ හැකිද? යන්න ගැටලුවක්.

පොදු දේපළ විනාශ කිරීම හා සම්බන්ධ ඉංග්‍රීසි වචනයක් තියෙනවා ‘Vandalism’ කියලා. එම වචනයෙහි අර්ථය තමා නාශකවාදය. කලාවස්තු කෙලෙසීම, මිලේච්ඡතාව වැනි අර්ථත් එම ඉංග්‍රීස් වචනය තුළ ගැබ්ව පවතිනවා. විනාශකාරී ක්‍රියාව යනු දේපළවල වටිනාකම අඩුකරන භෞතික කැළලක් හෝ වෙනත් කාරයකින් පවසතොත් දේපළ හිතාමතා විනාශ කිරීම හෝ හානි කිරීමයි. මාර්ක් තියෝහාරිස් විසින් &විනාශ කිරීම* යන යෙදුම විස්තර කරන්නේ පොදු හෝ පෞද්ගලික දේපළවලට හානි කරන හෝ හානි කරන හැසිරීම් ලෙස. පොදු දේපළ විනාශ කිරීම යන ප්‍රස්තුතය ප්‍රතිවිරෝධතා,  දාමරිකකම, ද්වේෂසහගත අනර්ථය, සොරකම් කිරීම, හිරිහැර කිරීම, බිය ගැන්වීම, කඩා දැමීම යනාදිය සමගද සම්බන්ධතාවක් දක්වනවා.
මිනිසුන් විනාශ කරන්නේ ඇයි? පොදුවේ ගත් කළ ද්වේෂසහගත ගිජුකම, යම් කොන්දේසියකට අවධානය යොමු කිරීමට ඇති ආශාව, දේශපාලන මතවාදයක්, යම් පුද්ගලයෙකුගෙන් පළිගැනීමේ ආශාව, කලකිරීම හෝ නොමඟ ගිය සෙල්ලක්කාරකම මගින් පොදු දේපළ විනාශ කිරීම සඳහා පුද්ගලයෙක් පෙළඹෙන්නට පුළුවන්.

විනාශය අපරාධයක්. විනාශ කිරීම යනු අපගේ ජීවන තත්ත්වයට විශාල බලපෑමක් ඇති කරන අපරාධයක් වන අතර විනාශ වූ දේපළ අලුත්වැඩියා කිරීමට මිලියන, බිලියන ගණනින් මුදල් වැයවෙනවා. එය සුළු වරදක් ලෙසින් බැහැර කිරීම පහසු නමුත් එය අපගේ ප්‍රජාවන්ට විශාල බලපෑමක් ඇති කරන කාරණයක්. විනාශය සමාජ ගැටලුවක්. ඉතිහාසය පුරා විනාශකාරී ක්‍රියා, යුධ කාලීන ක්‍රියා සමාජ ජීවිතයේ පිළිගත් කොටසක් වී තිබෙනවා. ‘Vandalism’ යන වචනයට බොහෝ අර්ථ ඇති නමුත් සාමාන්‍යයෙන් අදහස් කරන්නේ දේපළ විනාශ කිරීමයි.

විනාශය සමාජ සංවර්ධනයට බලපාන්නේ කෙසේද?

විනාශකාරී හැසිරීම් රටවැසියන්ගේ හැසිරීම් සහ සමාජ තත්ත්වය එකිනෙකා මත රඳා පවතිනවා. විනාශකාරී ක්‍රියාවන්හි සම්භාවිතාව කෙරෙහි හැම පුද්ගලයෙක්ම යොමු වෙන්නෙ නැහැ. විනාශකාරී ක්‍රියාවන්ට යොමුවන පුද්ගලයින්ගේ මානසික මට්ටම, සමාජ ආර්ථික මට්ටම මේ සඳහා බලපානවා. විනාශකාරීත්වය සමග රංචු ගැසෙන පුද්ගලයින් ආක්‍රමණශීලීත්වය නැවත නැවත ඇති කරනවා. විනාශකාරීත්වය පොදුවේ  පුරවැසියන්ට බලපාන අතර පැහැදිලි ලෙසම සමාජ සංවර්ධනය අඩාල කිරීම සඳහා විනාශකාරී චර්යාවන් බලපානවා. 

තමාගේ නිවසේ තිබෙන වටිනා වස්තූන් එනම් රෑපවාහිනී යන්ත්‍රය, වටිනා ලස්සන පුටු සැටි, අල්මාරි, වාහන, ඇඳ ඇතිරිලි මුළුතැන්ගෙහි උපකරණ, වටිනා චිත්‍ර යනාදිය පණ මෙන් ආදරෙන් ආරක්ෂා කරන්නට පෙළඹෙන පුද්ගලයෙක් පොදු දේපළ විනාශ කරන්නේ විකෘති මානසිකත්වයක් නිසා. ඊර්ෂ්‍යාවක් නිසා. ඒවා තමාට ලබාගත නොහැකි නිසා වෙනත් අයටත් නොලැබිය යුතුය යන මානසිකත්වයක් නිසා. අරගලය පොදු අරමුණක් වුවත් ඇතැම් පුද්ගලයින්ගේ විනාශකාරී ක්‍රියාවන් එම පොදු අරමුණට හානිදායක ලෙස බලපාන්නට පුළුවන්. එමනිසා සෑම දෙනාම විනාශකාරී ක්‍රියවෙන්ගෙන් මිදී පොදු අරමුණ උදෙසා කැපවීමෙන් කටයුතු කරන්නේ නම් ඒක ඔබෙත්, මගෙත්, රටෙත් ජයග්‍රහණයක් බව අවසාන වශයෙන් කිව යුතුයි.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05