සුප්‍රකට ජපන් ජාතික ගත්කතුවරයකු වන ආචාර්ය නික්යො නිවානෝතුමා ඔහුගේ රිචර් ලයිෆ් නම් කෘතියෙන් බටහිර රටවල පවත්නා ආදරය හා විවාහය සම්බන්ධයෙන් මෙසේ දක්වයි.
ප්‍රේමය පදනම් කොටගෙන සිදුකෙරෙන විවාහය ස්වාභාවික එසේ නැත්නම් පරමාදර්ශී විවාහයක් බව බටහිර රටවල සාමාන්‍ය පිළිගැනීමය. මෑතක සිට ආසියාකරයේ ද දෙමාපිය - භාරකරුවන් ආදීන් විසින් සාම්ප්‍රදායික ක්‍රමයට පිළියෙල කර දෙනු ලබන විවාහ ක්‍රමය වෙනුවට ඔවුනොවුන්ගේ කැමැත්ත අනුව ප්‍රේමය මුල් කොටගෙන ඇතිවන විවාහ ක්‍රමය පිළිගැනීමට නැඹුරුවක් දක්වන තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. එහෙත්, සමහර අවස්ථාවලදී දෙවනුව සඳහන් විවාහ වැඩි කල් නොපැවතී යුවල වෙන්වීමෙන් හෝ දික්කසාද වීමෙන් හෝ අවසන් වන බවක් දක්නට ඇත. මේ අතර දෙමාපියන් විසින් පිළියෙල කර දෙනු ලබන විවාහයන්ට ඇතුළත් වන යුවල සතුටින්, සාමයෙන් දිගු කලක් විවාහ ජීවිතය ගත කරන බව පෙනී යයි.
ප්‍රේම සම්බන්ධයන් පදනම් කොටගෙන සිදුකෙරෙන විවාහ කෙතරම් සිත්ගන්නා සුළු වුවද එම විවාහ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක විවාහ ලෙස නම් හැඳින්විය හැකි නොවේ. චමත්කාර ප්‍රේමය ගිනිගෙන ඇවිලෙන දර කැබැල්ලකින් නැගෙන දිලිසෙන ගිනි සිළුවක් මෙන්ය. එම ගිනි සිළුව නට - නටා ඉහළ ගනිමින්, ප්‍රභාමත්ව දැවෙමින් පවතින්නේ සුළු වේලාවකට පමණි. අඹු - සැමියන් අතර පවතින ආදරය මීට වෙනස්ය. එය ඇවිලෙන්නේ හෙමිහිටය, හරියට උණුසුම ගෙන දෙන අඟුරු කැට දැවෙන්නාක් මෙන් හෙමිහිටය. එහෙත්, දීප්තිමත්ව ඇවිලෙන ප්‍රේමය ක්‍රම ක්‍රමයෙන් සන්සුන්, මුහුකුරු බවට පත්වූ සෙනෙහසකට පෙරළීමට ඉඩ තිබේ. ඇත්තෙන්ම එය එසේ විය යුතු නමුත් බොහෝ විට වන්නේ චමත්කාර ප්‍රේමය නිවී යෑමය. ඉන්පසු ඉතිරි වන්නේ අළු පමණි. ශේෂ වූ අළු සාර්ථක විවාහ ජීවිතයක් සඳහා නම් ශක්තිමත් පදනමක් සපයන්නේ නැත.
තරුණ අය සිතන්නේ ඔවුන්ගේ චිත්තාවේග ගැන පමණි. මොහොතකට ලැබෙන මිහිරි වින්දනයේ ආලෝකය ඇසුරෙන්ම ඔවුහු ඔවුහුව දකිති. ඔවුන් දකින්නේ චමත්කාරය පමණි. විවාහයෙන් පසු ගත කිරීමට සිදුවන ජීවිතය මේ චමත්කාර ලෝකයෙන් කෙතරම් දුරස්ථද? ආදරවන්තයන්ට එකිනෙකා හා ගැලපෙන පෞරුෂයන් ඇත්නම්, ජීවිතය පිළිබඳ හරවත්, සමාන මත ඔවුන් තුළ ඇත්නම්, සමාන ඇළුම්, රුචි අරුචිකම් ඇත්නම්, දෙපාර්ශ්වයේම පවුල් අතර සමගියක් වේ නම්, ආර්ථික සුරක්ෂිතතාවක් ඇත්නම් ආදරයේ මූලික උණුසුම නිවී ගිය පසු වුවද ඔවුන්ට තවදුරටත් එක්ව ජීවත් වීමට හොඳ පදනමක් පවතිනු ඇත. එහෙත්, මෙවන් වාසනාවක් නොවුවහොත් ඔවුනට විවාහයේ අසාර්ථකත්වයට මුහුණ දීමට සිදුවනු ඇත.
ඔවුන් එකිනෙකා හමු වූ අවස්ථාවන්, එම අවස්ථාවන්හි සිත්වල මැවුණු චමත්කාර මතක රෑ සටහන්, සහභාගි වුණු සාද හා බාල් නැටුම්, සියල්ල මතකයෙන් මැකී අතීතයේ සැඟවී ගිය පසු ද තරුණ ජෝඩුවලට තවදුරටත් එකට විසීමට සිදුවේ. ආහාරපාන ඔවුන් අතර බෙදාගෙන භුක්ති විඳීමට සිදුවේ. ඔවුනොවුන්ගේ ගුණ සහ නුගුණ එළිදරව් කිරීමට සිදු වේ. දිනපතාම ජීවිතයෙන් අඩකට වැඩි කොටසක් එකිනෙකා ඇසුරෙහි ගත කිරීමට සිදු වේ. ආදරය පටන්ගත් කාලයේ ඇතිවුණු ආදර හමුවීම්වලදී මෙන් නොව ඔවුනොවුන් හා එක්ව දිගටම වෙසෙන විට ඇතිවන ප්‍රශ්න බොහෝ සෙයින් වෙනස්ය.
විවාහ ජීවිතයේ දී පවුල් සම්බන්ධතා බොහෝ සේ වැදගත් වේ. අඹු-සැමි දෙදෙනාගේ දෙමාපියන් ගැන එකිනෙකාට සිතීමට සිදු වේ. තරුණ අය සිතන්නේ කෙතරම් රණ්ඩු දබර කරන නැදිමයිලන් සමඟ වුවත් හොඳින් සිටීමට %ආදරය^ තමන්ට ශක්තිය ලබා දෙනු ඇත කියාය. එහෙත් මෙය හැමවිටකදීම එලෙසම සිදු නොවේ. කොටින්ම කියතොත් චමත්කාර ආලය කෙටිකාලීනය. එය යථාර්ථයේ මුල්බැසගත් දෙයක් නොවේ. යුවලක් ඔවුනොවුනට භක්තිවන්තව බැඳ තැබීමට නම් ඔවුන්ගේ කාර්යභාරයට ඔවුන්ගේ පරිසරයට යෝග්‍ය වන අන්දමට ආදරය හසුරුවා සකසා ගත යුතුය. ආදරය කිරීමට පටන් ගන්නා කාලයේ හා විවාහ වීමෙන් අනතුරුව පවතින ආදර බැඳීම් දෙයාකාරය, එකිනෙකට වෙනස්ය. එක් ආදරයක් අනික් ආදරය සේ වරදවා ගැනීම කරදරවලට අතවැනීමකි.
තමන් විවාහ වන්නට අපේක්ෂා කරන තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ස්වභාවය, චරිත ලක්ෂණ ගැන ගැඹුරින් අපක්ෂපාතීව සිතා බැලීමෙන් විවාහයක් අසාර්ථක වීමට ඇති ඉඩ ප්‍රස්ථා අඩුකොට ගත හැකිය. විවාහයෙන් පසු චමත්කාරය පහවී යෑමට ඉඩ නොතැබීමට නම් අඹු-සැමියන්ගේ අන්‍යෝන්‍ය අවබෝධය අත්‍යවශ්‍යය. තමන් තෝරාගන්නා සහකරු හෝ සහකාරිය තම දෙගුරුන්ගේ ද අදහස්වලට ගැලපේ නම් එවන් අය අතර කෙරෙන විවාහවල සාර්ථකත්වයේ ප්‍රතිශතය දැඩි බව දක්නට ඇත. සාමකාමීව විසීමට නම් චමත්කාර ආදරය හා විවාහ ජීවිතයේදී පවතින ආදරය අතර ඇති වෙනස තේරුම් ගත යුතුමය.
බ්‍රහ්මචර්යය
ලිංගික සබඳතාවන් මගින් ලබන ආස්වාදයෙන් වැළකී සිටීම බ්‍රහ්මචර්යය වශයෙන් හැඳින්වේ. මේ නිසා බුදු දහම පිළිබඳ විවේචන ඉදිරිපත් කරන සමහරුන් කියා සිටින්නේ බෞද්ධ ඉගැන්වීම් ස්වභාවධර්මයට පටහැනි බවය. ඔවුන්ගේ මතය වන්නේ ලිංගික සබඳතා පැවැත්වීම ස්වභාවික දෙයක් හෙයින් එය අවශ්‍ය බවත්, බුදු දහම එම අවශ්‍යතාවට ඉඩ නොදෙන බවත්ය.
මෙය දුර්මතයකි. බුදු දහම ලිංගික සම්බන්ධතාවන්ට විරුද්ධ නැත. ලිංගික සම්බන්ධතා ඉතා ස්වභාවික කාම වින්දනයක් බවත් එය ජීවිතයේම අංගයක් බවත් බුදු දහම පිළිගනී. කරුණු මෙසේ නම්, බ්‍රහ්මචර්යය නැතහොත් මෛථුන විරමණය ශික්ෂාපදයක් වශයෙන් බුදුන් වහන්සේ පනවා ඇත්තේ ඇයි? එය ස්වභාවධර්මයට පටහැනි අසාධාරණ ශික්ෂාපදයක් නොවේද? යනු ප්‍රශ්න කෙනකුට නැගිය හැකිය. ආධ්‍යාත්මික දියුණුවට හිතකර ශික්ෂාපදයක් වශයෙන් මෙය බුදුන් වහන්සේ විසින් පමණක් නොව උන්වහන්සේට පෙරාතුම සිටි වෙනත් ආගමික ශාස්ත_න් වහන්සේලා විසින් ද පිළිගත් බව ආගම් ඉතිහාසයෙන් පැහැදිලිය. මෙය බුදුන් වහන්සේ දවස ආගම් අතර ඉතා සුලභව භාවිත වුණු ශික්ෂාපදයකි. අදත් හින්දු, කතෝලික වැනි ආගම් මෙය ව්‍රතයන් වශයෙන් පිළිගනී.
පවුල් ජීවිතය සමඟ වගකීම් හා යුතුකම් විශාල සම්භාරයක් බැඳී පවතින හෙයින් ස්වේච්ඡාවෙන් ලෞකික ජීවිතය අත්හල බෞද්ධයෝ, තමන්ව දැඩිව එම ලෞකික ජීවිතයට බැඳ තබන මෛථුනයෙන් වැළකීමට මේ ශික්ෂාපදය අනුගමනය කරති. මෛථුනය සඳහා ඇති පෙළඹීම සිතේ පවිත්‍ර බව හා සන්සුන් බව නැති කරයි. මෛථුනය විවාහ ජීවිතේ අංගයකි. එහෙයින්, විවාහ ජීවිතයේදී මෛථුනය සඳහා ඇතිවන ආශාව ආධ්‍යාත්මික ගුණවගාවට බලපාන අතර, එහි වර්ධනය අඩපණ කරන බව අමුතුවෙන් කිය යුතු නැත.
බුදුන් වහන්සේ විවාහ ජීවිතයට එරෙහිව දේශනා කොට නැත්නම්, බ්‍රහ්මචර්යය අගයමින්, මෛථුන විරමණයෙන් යුතුව ලෞකික ජීවිතය අත්හරින ලෙස උන්වහන්සේ දේශනා කොට වදාළේ ඇයි දැයි ප්‍රශ්න කිරීමට සමහරු පෙළඹෙති.
මෙහිදී විශේෂයෙන් මතකයෙහි තබාගත යුත්තේ ගිහිවාසය අත්හැරීම නැතහොත් අභිනිෂ්ක්‍රමණය බුදු දහම මගින් අනිවාර්ය නොකෙරෙන බවය. බෞද්ධ ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමට, බෞද්ධයකු වීමට ගිහිවාසය සම්පූර්ණයෙන්ම අත්හැරීම අත්‍යවශ්‍ය වන්නේ නැත. ඔබේ අවබෝධය අනුව ඔබේ අරමුණ අනුව ඔබට පිළිපැදිය හැකි ශික්ෂාපද පිළිගෙන ආගමික ධර්ම අනුව ඔබේ ජීවිතය සකසා ගත හැකිය. ගිහි ජීවිතයට ගැලපෙන පරිදි ඔබේ ආගමික ජීවිතය සකස් කොට ගත හැකිය. මෙසේ ගිහි ජීවිතයට යෝග්‍ය වන අයුරු ආගමානුකූල ජීවිතයක් ගත කරමින්, ක්‍රමානුකූලව ආධ්‍යාත්මික ගුණ වර්ධනය කර ගන්නා ඔබට ගිහිවාසය පූර්ණ ආධ්‍යාත්මික වර්ධනයටත් චිත්ත පාරිශුද්ධියටත් හිතකර නොවේය^ යන අවබෝධය කිසියම් දිනක ඇතිවුවහොත්, එවිට ගිහිවාසය අත්හැර දමා ආධ්‍යාත්මික ගුණ වගාව සඳහා පූර්ණ වශයෙන් ඇප කැපවීමට තීරණය කළ හැකිය.
බුදුන් වහන්සේ බ්‍රහ්මචර්යය නැතහොත් මෛථුන විරමණය අනුදැන වදාළේ මන්ද යන්න මෙයින් පැහැදිලි වේ. එහෙත්, මේ අභිනිෂ්ක්‍රමණය ස්වේච්ඡාවෙන්ම සිදුවිය යුතුය. කිසිවිටෙක බාහිර බලපෑමකින් නම් නොවිය යුතුමය. සියලු කාමාශාවන්ගේ ආදීනව, අනිත්‍යතාව, එමෙන්ම සනාතන ආත්මයක් පිළිබඳ ඇති විශ්වාසයේ මායාකාරී ස්වරෑපය ආදිය අවබෝධ කොට ගැනීමෙන්ම මේ අභිනිෂ්ක්‍රමණයට යොමුවිය යුතුය. අභිනිෂ්ක්‍රමණය අර්ථවත්, ඵලවත් වන්නේ එවිටය.
(කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමිගේ උපදේශකත්වය මත ලියැවුණු ප්‍රීතිමත් විවාහ ජීවිතය නම් ග්‍රන්ථයෙනි)