2022 ජුලි 17 වන ඉරිදා

පිල්ලි නොගිය ජනපති මැඳුරේ සල්ලි!

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 173

පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාර නොතැකූ අරගලකරුවන් කාකි ඇඳුමටත් ගිනිඅවියටත් නොබියව ජනපති මැඳුර, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මැඳුර මෙන්ම අගමැති කාර්යාලයත් අත්පත් කර ගැනීම ලංකා ඉතිහාසයේ පෙර නොවූ සිද්ධියකි. අරගලකරුවන්ගේ ජයග්‍රහණයට රටපුරා ප්‍රීතිඝෝෂා නැගුණේ පවතින ආණ්ඩුවටත් එහි පාලකයන්ටත් එරෙහිවය. එදා නන් දෙසින් ජනතාව පාගමනින් හෝ කොළඹට පැමිණියේ ආර්ථික අර්බුදයෙන් නොසෑහෙන්න බැටකමින් සිටි නිසාය.

ජූලි 9 වැනිදා අරගලය ක්‍රියාත්මකව තිබියදී දහවල් දොළහ වන්නටත් පෙර අගලකරුවෝ කොළඹ ජනාධිපති මාවතේ පිහිටි ජනාධිපති මන්දිරය සිය අණසකට යටත් කර ගැනීමට සමත් වූහ. අරගලකරුවන්ගේ සහායට පැමිණි ජනතාව සමඟ ජනපති මන්දිරයට ඇතුළු වූ පිරිස් ජාතික ධජ අතැතිව ප්‍රීතිඝෝෂා නඟමින් සිටියහ. අරගලයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් ඔවුහු ජනපති මැඳුර හා උද්‍යානය පුරා ඔබ මොබ සැරිසරමින් සතුටු සාමීචියේ යෙදුණාහ.

ඇතැම් අරගලකරුවන් ජනපති මැඳුරේ කාර්යාල, රුස්වීම් ශාලා හා කාමරවල සැරිසරන අතරතුර ඇතැම්හු උස් තාප්ප බැමි ඔස්සේ මැඳුරේ වහළයට නැගී ප්‍රීතිඝෝෂා නගමින් ජාතික ධජ සිටවූහ. මේ අතර තරුණ අරගලකරුවෝ ජනපති මැඳුරේ ගෘහභාණ්ඩ හා ලිපි ලේඛන ඇතුළු ද්‍රව්‍ය ආරක්ෂිතව තැබීම සඳහා සුදුසු ලෙස රුස්කර තැබීමට කටයුතු කළහ. ජනාධිපති මන්දිරයේ කාමරයක තබා තිබූ අල්මාරියක අසුරන ලද පාර්සලයක් හමුව තිබුණේ මේ අතරය. ඒ පිළිබඳව සෝදිසි කිරීමේදී එම පාර්සලය තුළ මුදල් නෝට්ටු තොගයක් ඇති බව හඳුනාගෙන ඇත. මෙම මුදල් තොගය දැක තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි තරුණ අරගලකරුවන් පිරිසකි. එම මුදල් තොගය හමුවී තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුඳී සිටියේ යැයි කියැවෙන කාමරය තුළ තිබියදීය.

විශ්වවිද්‍යාල සිසුන් පිරිස මෙම මුදල් පාර්සලය ගණනය කිරීමට කටයුතු කොට තිබුණි. එහිදී රු. 5000 නෝට්ටු රැසක් තිබී ඇති අතර එහි සම්පූර්ණ වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක් වූ බව අරගලකරුවෝ කියා සිටියහ. එම මුදල් තොගය එම අවස්ථාවේ ජනාධිපති මන්දිරයේ ආරක්ෂාවට රුඳී සිටි විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිෂේද ප්‍රනාන්දු නැමැති නිලධාරියකු වෙත භාරදීමට අරගලකරුවෝ උත්සුක වූහ. එහෙත් එම නිලධාරියා අදාළ මුදල බාරගැනීම ප්‍රතික්ෂේප කොට එසැණින් පියවර ගෙන තිබුණේ කොළඹ කොටුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ මහතාට ඒ ගැන දැන්වීමටය.

වහා ක්‍රියාත්මක වූ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීහු පිරිසක් ජනාධිපති මන්දිර පරිශ්‍රයට ගොස් එම මුදල් තොගය භාරයට ගෙන මුදල් හමු වූ ස්ථානය බව කී තැන වීඩියෝ ගතකර එම ස්ථානයේ සිටි සිසුන් පස්දෙනකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට පියවර ගත්හ. එම පියවර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා ක්‍රියා කර තිබුණේ කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මතය. පසුව මෙම මුදල් තොගය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට ඇවැසි පියවර ගනිමින් සිටියදී එදින (19) වැනිදා රාත්‍රියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හදිසියේම කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුමක් ලබා දී තිබුණි. එහිදී ඔහු පවසා ඇත්තේ එම මුදල් තොගය පිළිබඳව පොලිස් පොත්වල කිසිදු සටහනක් නොතබන ලෙසය. වැඩිදුරත් ප්‍රකාශ කර ඇත්තේ හෙට දිනයේ එනම් 10 වැනිදා උදෑසනම එම මුදල් තොගය පොලීසිය භාර ඇමැතිවරයා වෙත බාරදීමට කටයුතු කරන ලෙසය. උසස් පොලිස් නිලධාරියා විසින් දුරකථන මගින් ලබා දුන් උපදෙස් මත ක්‍රියා කිරීමට අකැමැති වූ කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට පෙරළා &තමුසේ මම කියපු දේ කරනවා* යැයි දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේය. ඉහත නම සඳහන් පොලිස් නිලධාරියා වෙත ඉකුත් දිනෙක ගෝල්ෆේස් පිටියේ අරගලකරුවන්ට එල්ල කළ මැර ප්‍රහාරය වැළැක්වීමට ඇවැසි පියවර නොගැනීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල විය. ඔහු එම ප්‍රහාරය සඳහා වගකිවයුත්තකු බවට තර්ක ගොඩනැගෙද්දී කොටුව පොලීසියේ ස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීම සිදුකර ඇති බවට ඇතැම්හු චෝදනා කරති.

මේ කරුණ පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් මාධ්‍ය සිදු කළ විමසීමේදී ඔහු කියා සිටියේ මෙම මුදල් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික මුදලක් බැවින් එම මුදල අදාළ පාර්ශ්වය වෙත බාරදීමට කටයුතු කරන ලෙස දැන්වූ බවය. සාමාන්‍ය පුරවැසියකුගේ මුදලක් පොලීසිය වෙත ලැබුණද අනන්‍යතාව තහවුරු කර ගැනීමෙන් පසුව අදාළ පාර්ශ්වය වෙත මුදල ලබාදෙන බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් අරගලකරුවන් සිදු කළ අරගලයේදී ඔවුන් බාරයට ගැනුණු ජනපති මැඳුරේ තිබියදී සොයාගත් මුදල් තොගය පිළිබඳව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. 

ඒ පිළිබඳ අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ''ජනාධිපති මන්දිරය තුළ තිබියදී සිවිල් ජනතාවට හමුව තිබූ රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදලක් කොළඹ කොටුව පොලීසිය භාරයට ගෙන තිබුණා. කොළඹ මධ්‍යම කොට්සාය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් අනුව කොටුව පොලීසියේ නිලධාරින් පිරිසක් ජනාධිපති මන්දිරයට ගොස් අදාළ මුදල බාරයට ගත්තා. ඒ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු සිදු කර තිබෙනවා.'' යැයි පැවසීය.

 සමන්ත ප්‍රදීප් විල්තෙර