මේ වනවිට ශ්‍රී ලංකාව පත්ව ඇත්තේ දේශපාලන අස්ථාවරත්වයකටය.. ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට බලයෙන් ඉවත්වන ලෙසට ගෙන යන අරගලය නොනවත්වාම පවතී. ජනතාව ඉල්ලා සිටින්නේ ආර්ථිකය ගොඩගත හැකි ආණ්ඩුවකි. දේශපාලන පක්ෂ පවසන්නේ මාස හයක පමණ කාලයක් අන්තර්වාර පාලනයක් ගෙන යමින් ආර්ථිකය යම් පමණකට ශක්තිමත් කර ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට ගොස් ජනතාවට වගකියන නව ආණ්ඩුවක් පත්කරගත යුතු බවටය.නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත වන්නේ 2025දීය. එහෙත් ජනතාව කියා සිටින්නේ නව ආණ්ඩුවක් අවශ්‍ය බවයි. පවතින ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලය තිබේ. එසේ නොමැති නම් පාර්ලිමේන්තුව විසින් යෝජනාවක් සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකට යා හැකිය. රටේ ජනතාව ඉල්ලා සිටින පරිදි ඉතා කෙටි කලකින් මැතිවරණයකට යාම සුදුසුදැයි අප විද්වත් පාර්ශ්ව කිහිපයකින් කළ විමසුමකි මේ.
ආණ්ඩු එලවා දැමීම පහසුයි අලුත් ආණ්ඩු පිහිටුවා ගැනීම අසීරුයි
ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා
වර්තමාන පාර්ලිමේන්තුව පත්වී වසර දෙකහමාරක් ගත වෙන්නේ ලබන වසරේ මාර්තු වගේ කාලයේ. ඒ අනුව මාර්තු මාසයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකට යාමේ හැකියාව පවතිනවා. රටම දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවක විශාල මුදලක් වැය කරමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සුදුසුද යන්න ගැටලුවක්. මැතිවරණ පැවැත්වීමට රටේ මුදල් නොමැති තත්ත්වයක් තුළ මොන තීරණ ගත්තත් මැතිවරණ පැවැත්විය නොහැකියි. ඒ නිසා මුදල් සොයාගන්නා තෙක් පවතින ආණ්ඩුවම දිගටම පවත්වාගෙන යාමට සිදුවෙනවා. ආණ්ඩු එලවා දැමීම පහසුයි අලුත් ආණ්ඩු පිහිටුවා ගැනීම අසීරුයි. මොනම ආණ්ඩුවක්වත් නොමැති වුවහොත් තත්ත්වය බෙහෙවින් භයානක විය හැකියි. පසුගිය දිනවල ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කරනු පෙනුණා. එවැනි වාතාවරණයක් යටතේ හමුදාව සහ පොලීසිය අකර්මණ්‍ය වී ඇති බවත් පෙනෙන්නට තිබෙනවා. පොලිසිය බයයි ඔවුන්ට නීතියෙන් ප්‍රශ්න ඇති වේය කියලා. දැනටමත් රටේ විශාල අස්ථාවරභාවයක් නිර්මාණය වී තිබෙනවා. හෙට මොනවා වෙයිද කියා කිසිවකුට කිව නොහැකියි. මේ වනවිට නීතියේ ආධිපත්‍යයත් ගිලිහෙමින් පවතිනවා. ජනතාවට නිදහස අවශ්‍යයයි. ඒත් නීතිය හා සාමය ආරක්ෂා කිරීම ඒ හැම දෙයකටම වඩා වැදගත්. පැවැති ආණ්ඩුවේ ක්‍රියාකලාපය හොඳ නැහැ කියන එක අපි කවුරුත් පිළිගත යුතුයි. ඒ නිසා තමයි සමස්ත ජනතාවගෙන්ම ඔවුන්ට විරෝධයක් එල්ල වුණේ. ඒ නිසා මේ අරගලය අසාධාරණ අරගලයක් යැයි කිසිවකුට කියන්න බැහැ. පවතින ආණ්ඩුව යවා සියලු දෙනා එක්ව රටට හිතකර පාලන තන්ත්රයක් පිහිටුවාගත යුතුයි. එසේ නොවුණහොත් කිසියම් විදේශීය බලවේගයක් විසින් මේ රට ගිලගනීවි. එහෙත් පවතින ආර්ථික අර්බුදය හමුවේ කඩිනමින් මැතිවරණයකට යා හැකි යැයි මා සිතන්නේ නැහැ....
අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරීන් මැතිවරණවලට තරග කළ යුතුයි
ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක
ඉදිරි මහමැතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේ. 2025 වනතෙක් මැතිවරණයක් නොපැවැත්විය යුතුයැයි කිසිවකු පවසන්නේ නම් එය යථාර්ථවාදී නොවන්නක්. මේ වනවිට සාමකාමී මහජන නැගිටීමක් සිදුවී තිබෙනවා. මින් ඉහත මෙවැන්නක් සිදුවුණේ 1953 අගෝස්තු හර්තාලය. එහිදී එවක සිටි අගමැතිවරයාට ඉල්ලා අස්වීමට සිදුවුණා. මේ දෙවැනි අවස්ථාව. මෙම මහජන නැගිටීමට අනුරෑපීව දේශපාලන තීරණ ගත යුතුයි. මේ වනවිට ලංකාවේ ආර්ථිකය පත්ලටම ගිලී තිබෙනවා. එම ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි දුෂ්කර කාර්යභාරයක්ද මේ වනවිට මතුවී තිබෙනවා. මහා මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත් කිරීම එක්තරා දුරකට ආර්ථිකයට වැදගත් වේවි. එහෙත් ඡන්දයක් පැවැත්වීම යාමෙන් ආර්ථිකය තව දුරටත් කඩා වැටුණොත් යළි ගොඩ ඒම දුෂ්කර කරුණක් වේවි. මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමුකළ යුත්තේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම ගොඩනැගීම සඳහායි. එබැවින් නුදුරේම මැතිවරණයක් පැවැත්විය නොහැකියි. අරගලයේ ප්‍රධානතම අරමුණ වූයේ ජනාධිපතිවරයා ඉවත් කිරීමයි. එය මේ වන විට ඉටු වී තිබෙනවා. එහි ශේෂගත අරමුණ වන්නේ අගමැතිවරයා ඉවත් කිරීමයි. එවිට විප්ලවයේ මූලික ඉලක්කය ඉටුවී අවසන් වනවා.. අරගලයට අවශ්‍ය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හදිසියේ කරන්න බැහැ. ඉදිරි පියවර විය යුත්තේ ආර්ථිකය ගොඩ ගැනීමයි. එය එක්තරා මට්ටමක ස්ථාවර භාවයකට පත්වූ පසු මහ මැතිවරණයකට ගොස් අලුත් බලතුලනයක් පිළිබිඹුවන ආකාරයේ ආණ්ඩුවක් පත්කරගත යුතුයි. එහෙයින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් පත්කරගෙන සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළින් ටික කාලයකට ආණ්ඩුව ගෙන යා යුතුයි. ආර්ථිකය ගොඩ ගැනීමට නම් දක්ෂම පිරිසක් එකතු කරගත යුතුයි. තනි පක්ෂයකට එය කරන්න බැහැ.
ඉදිරි මැතිවරණයකදී වත්මන් දේශපාලකයන්ගෙන් වැඩි පිරිසක් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරාවි. ඒ නිසා නාම යෝජනා ලබාදෙන විට සුදුසු පුද්ගලයන්ට පමණක් නාම යෝජනා ලබාදීමට දේශපාලන පක්ෂවලට සිදුවේවි. හොඳම දේ ජනතාව ප්‍රතික්ෂේප කරන පිරිස ඉවත් කොට රටටට සේවයක් කළ හැකි නවක පිරිසකට නාම යෝජනා ලබාදීමයි. එහෙම නොවුණොත් පක්ෂ පවා අහෝසි වී යා හැකියි. අරගලයේ ක්‍රියාකාරි වූ බලවේග තුනක් මා දකිනවා. එක් පිරිසක් නිර්පාක්ෂික යැයි පැවසූ සිවිල් ප්‍රතිරෝධක ව්‍යාපාරය. එක් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ අවශේෂ සංවිධාන. අනික් පිරිස පෙරටුගාමි සමාජවාදී පක්ෂය සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය. මෙවැනි පිරිස් මැතිවරණවලට ඉදිරිපත් වී පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි. ඇතැම් විට අරගලය කියන ලාංඡනය යටතේ නව පක්ෂයක් පිහිටුවාගෙන ඔවුන්ට මැතිවරණවලට ඉදිරිපත් විය හැකියි. ජාත්‍යන්තර අත්දැකීම් අනුව අරගලවල නිරත වූ පිරිස් තමයි මැතිවරණවලට ඉදිරිපත්ව රටේ පාලනයට සම්බන්ධ වුණේ. ඒ නිසා මුලින් ඔවුන් මැතිවරණ හරහා ආණ්ඩුබලය ලබාගෙන ඉන්පසු නව ව්‍යවස්ථා නිර්මාණය කළ යුතුයි. එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ වඩාත් වාමගාමී පාර්ලිමේන්තුවක් නිර්මාණය වේවි.
මැතිවරණයකට ගියොත් ජනතාව රටට සේවයක් කළ හැකි නවකයන්ට අවස්ථාවක් දේවි
සී.වී. විග්නේෂ්වරන් පාර්ලිමේන්තු මන්ත්‍රී - තමිල් මක්කල් තේසිය කුට්ටනි පක්ෂය
තවමත් නව ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් පත්කරගෙන නැහැ. 20 වැනිදාට අලුත් ජනාධිපතිවරයෙක් පත්කර ගැනීමට නියමිත බව පැවසෙනවා. අලුතින් පත්වන ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ලබන මාර්තුවේ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවිය හැකියි. එහෙත් මැතිවරණයකට යාමට පෙර වර්තමානයේ රටේ උද්ගතව ඇති අර්බුද විසඳාගත යුතුයි. මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට රටේ ආර්ථික ශක්තියක් තිබනවාද යන්න විශාල ගැටලුවක්. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා අති විශාල මුදලක් වැයවෙනවා. යම් හෙයකින් මැතිවරණයක් පවත්වා කිසිවකුටත් ආණ්ඩුවක් පිහිටුවීමට ප්‍රමාණවත් බලයක් නොලැබුණහොත් දැන් පවතින තත්ත්වයටත් වඩා අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය විය හැකියි. මේ අවස්ථාවේ කඩිනමින් මැතිවරණ පවත්වනවාට වඩා වසරක කාලයකටවත් අන්තර්වාර පාලනයක් ගෙනයමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දී ආර්ථිකය ශක්තිමත් වූ විට මැතිවරණයක් පැවැත්වීමයි වැදගත් වන්නේ.
කඩිනමින් මැතිවරණයක් පැවැත්වුවහොත් මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ සිටි වැඩි පිරිසකට ජනතාවගේ ඡන්දය නොලැබී යාවි. ජනතාව රටට සේවයක් කළ හැකි නවකයන්ට අවස්ථාවක් දේවි. දේශපාලකයන් වැඩි පිරිසක් දූෂිතයි කියන හැඟීම ජනතාව තුළ පවතිනවා. ඒ නිසා මැතිවරණයකදී ජනතාව ඔවුන් ප්‍රතික්ෂේප කරාවි. ජනතා විමුක්ති පෙරමුණ වැනි කුඩා පක්ෂයකට ආසන 20ක් 25ක් ප්‍රමාණයක් ලබා ගැනීමට අවස්ථාව සැලසෙන්න පුළුවන්. හැබැයි ඔවුන් පිළිබඳවත් ඇතැම් පිරිස් තවමත් සැකයකින් බලනවා ඔවුන්ගේ අතීත ක්‍රියාකාරකම් නිසා. කොහොම වුණත් රටේ දේශපාලකයන් තෝරා ගැනීෙම් බලය ඇත්තේ ජනතාවටයි. ඔවුන් කෙලෙස තීරණය කරයිද යන්න කියන්න බැහැ.
කඩිනමින් මැතිවරණයකට යනවාට වඩා සර්වපාක්ෂික ආණ්ඩුවක් තුළින් ජනතා ප්‍රශ්න විසඳීමයි වැදගත්
නීතීඥ කල්‍යානන්ද තිරාණගම
මැතිවරණයකට යාමට පෙර කළ යුතු විශාල වැඩකොටසක් තිබෙනවා. දැන් තියෙන ප්‍රධානම ප්රශ්නය පවතින ආණ්ඩුව සඳහා නව ජනාධිපතිවරයෙක් පත් කර ගැනීමයි. ඊට පසු ඉදිරි කටයුතු සඳහා තවත් කාලයක් ගතවේවි. මැතිවරණයකට යාම හදිසියේ කළ හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවත් සූදානම් විය යුතුයි. වත්මන් ආර්ථික ගැටලු හමුවේ කොපමණ කාලයකින් මැතිවරණයකට යා හැකිදැයි කියන්න බැහැ. දැනට සිටින දේශපාලනඥයන්ට ඉදිරි මැතිවරණයකදී අවස්ථාවක් ලැබෙයිද නැද්ද යන්න දැන්ම කියන්න බැහැ. මැතිවරණයක් පැවැත්වෙන කාලයේ රටේ තිබෙන වාතාවරණය අනුව කුමන දේශපාලකයන්ට තමන් ඡන්දය ප්‍රකාශ කරනවාද යන්න තීරණ කරන්නේ ජනතාවයි. මැතිවරණයක් ඉල්ලන පිරිසට මැතිවරණයකට ගම් මට්ටමින් ඉදිරිපත් කළ හැකි පිරිසක් සිටිනවාද කියන එකත් ගැටලුවක්. මේ අවස්ථාවේ කළ යුතු හොඳම දේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා ටික කාලයක් එය පවත්වාගෙන යමින් සියලු දෙනා එක්ව ජනතා ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි. මෙය පුද්ගලයන් හෝ පක්ෂ ඉස්මතු කරගන්නා කාලයක් නොවෙයි. ජනතාවට දේශපාලකයන්ගෙන් විය යුතු යුතුකම් ඉටු නොකොට තමන්ට බලය ලබා ගැනීම සඳහා මැතිවරණයකට යාම ජනතාවට කරන හතුරුකමක් ලෙසයි මා දකින්නේ.සියල්ලන් එක්ව ප්‍රථමයෙන් අනාගත සැලසුම් සහිතව රටේ ආර්ථිකය ගොඩනංවන වැඩපිළිවෙළක් නිර්මාණය කොට ජනතා ප්‍රශ්නවලට කෙටි කාලින හා දිගුකාලීන විසඳුම් සකස් කර ඉන් පසු මැතිවරණයකට යා යුතුයි. රටේ වත්මන් ඡන්ද ක්‍රමය නිසා මහජනතාවට වගකියන දේශපාලකයන් බිහිවන්නේ නැහැ. පක්ෂ ලේකම්වරුන්ගේ අණ පිළිපදින තමන්ගේ හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ නොහැකි දේශපාලකයන් පිරිසක් පමණයි බිහිවුණේ. ජනතා ප්රජාතන්ත්රවාදය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් පවතින මැතිවරණ ක්‍රමය වෙනස් වී තම ප්‍රදේශයට මන්ත්‍රිවරයකු තෝරා ගැනීමේ අයිතිය හිමි විය යුතුයි. වත්මන් මැතිවරණ ක්‍රමය තුළින් දිස්ත්‍රික්කයට අයිති දේශපාලකයන් බිහිවීම විනා තම පළාතට වගකියන දේශපාලකයන් බිහිවන්නේ නැහැ. වත්මන් දේශපාලකයන්ගේ දැනුම හා වගකීම පිරිහීමටත් දූෂණයටත් මේ ක්‍රමය බලපෑවා. මේ ක්‍රමය වෙනස් විය යුතුයි. ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. එය කඩිනමින් කරන්න බැහැ. එහෙත් එය කළයුතුම දෙයක්. මෙහිදී ගැටලුවක් තිබෙනවා. එම ක්‍රමයට කුඩා පක්ෂ කැමති නැහැ. එහෙයින් වෙනස කළ යුත්තේ ඔවුන්ටත් අසාධාරණයක් සිදු නොවන ලෙසිනුයි.
ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා