2022 ජුලි 17 වන ඉරිදා

ජයගත් අරගලය

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 880

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිළ වශයෙන් පසුගිය බ්‍රහස්පතින්දා සිය ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙස ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වුණේ මෙරට හැරදා මාලදිවයිනට ගොස් එතැනින් සිංගප්පූරුවට ගොස්ය. ගෝඨාභය රාජපක්ෂ මහතාට එලෙස රට අතහැරදා යන්නට සිදුවීම ගැන යම් කනගාටුවක් ඇතත් ඔහු මේ ආකාරයෙන් රටත් හැරදා, තනතුරත් හැරදා යන්නට හේතුවක් තිබූ බව අමුතුවෙන් කිවයුතු නැත.

ඒ වෙන කිසිවක් නොව මහා ජනතා නැගිටීම නොහොත් ජන අරගලය නිසාය. ගෝඨාභය රාජපක්ෂ මහතාහට බුද්ධි අංශ විසින් මහා ජන පිබිදීමක් ගැන අනාවැකි කිව්වේ මේ වසරේ පෙබරවාරි මාසය තුළය. එය දේශපාලන පිබිදීමක් නොවන බවත් එය ජීවන ගැටලුව නිසා ඇතිවෙන පිබිදීමක් බවත් බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබුණේය. ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සිදුකළේ ඉක්මනින් ජාතිය අමතා ජනතාවට තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමය. කෙසේ වෙතත් යම් අඩුපාඩුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෝ ඔහුට උපදෙස් ලබාදුන් පිරිස් විසින් සිදුකළ බව කිවයුතුමය. ඒ රටේ අවදානම වෙනුවට ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම ජාතිය අමතා කීවේ ඔහු විසින් සිදුකළ දේවල් ගැනය. ඒ ගැන විශ්වාසය තබා තමන් විශ්වාස කරන ලෙස ඔහු කීවේය. එපමණක් නොව විපක්ෂයෙන් දරුණු ආර්ථික අවුලකට රට යන බව කීවත් ඔවුන්ට පවා ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු පෙරළ පෙරළා වචනයෙන් පහර දුන්නේය. මේ සියල්ල දෙස ජනතාව ඉතාම අවධානයෙන් බලාගෙන සිටියේ අවදානම ගැන අවබෝධයකින් තොරවය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් ජනතාවට එල්ල කළ රිදෙන ප්‍රහාරය වූයේ විදුලි විසන්ධි වීමය. ඉතාම රස්නය සහිත කාලගුණයක් ඇති මොහොතක පැය 2,3,4,5,6,8,10,13 දක්වා විදුලි කප්පාදුව එන්න එන්නම වැඩිවිය. පාසල් දරුවන්ගේ අධ්‍යාපන වැඩවලට පවා එය බලපෑමක් වූවා පමණක් නොව ඇතැම් කාර්යාල, සේවා ස්ථාන වසා දමන තැනට පත්විය. එකී තත්ත්වයත් සමග ක්‍රමයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව තැන් තැන්වල ජනතා විරෝධයන් උඩට එමින් තිබුණේය.

ඉතාම කනගාටු තත්ත්වය නම් මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් මැති ඇමතිවරු විහිළුවට ගන්නා තැනට පත්වීමය. ඇතැම් අවස්ථාවල ඔවුන් සුවසේ විදුලිය ලබමින් සිටින බවට තොරතුරු වාර්තා විය. මේ නිසා ජන විරෝධය හදවත් තුළ කැකෑරෙමින් තිබුණේය.

එකී ජන පීඩනය සමාජ මාධ්‍ය මගින් ක්‍රමයෙන් වර්ධනය වන්නට පටන් ගත් අතර එහි කූටප්‍රාප්තිය අප්‍රේල් 3 වැනිදා ඇති විය. තමන්ගේ විරෝධය නිවස, නගරය ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ වනවිටත් සමාජ මාධ්‍ය පුරාවටම ගෝඨා ගෝ හෝම් නමින් හෑෂ් ටැග් එකක් ලෝකය පුරාම ප්‍රචාරය වන්නට විය. පසුව එය අරගලයේ මූලික සටන් පාඨය බවට ක්‍රමයෙන් පත්විය.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ එකී ආණ්ඩුව මේ ජනතා පිබිදීම තඹයකට මායිම් නොකළ බවට හොඳම උදාහරණය වන්නේ 3 වැනිදා මෙම විරෝධයට ප්‍රතිවිරෝධයක් ලෙස හදිසියේ පොලිස් ඇඳිරිනීතිය දැමීමයි. මහා ජන අරගලයකට පාර කැපීමේ පළමු වෙඩිල්ල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණින්ම සිදුවූ මොහොතයි. මෙකී ඇඳිරි නීතිය නිසා ජනතාව තව තවත් ඊට එරෙහිව නැගී සිටින්නට වූ අතර ඇතැම් පිරිස් ඇඳිරි නීතිය නොතකා තම නගරයට එකතුවිය. අවසානයේ දහස් ගණනක් විරෝධය පළ කළහ. ගෝඨාභය රාජපක්ෂ එහෙම නම් අපිත් වැඩේ අත අරින්නේ නෑ තැනට මේ කතාව පත්කළ නිසා ඊට පසුදින 4 වැනිදා ඇඳිරි නීතිය ඉවත් කළ සැණින් ජනතාව සංවිධානය වෙමින් ගමින් ගම ආයතනයෙන් ආයතනය තම විරෝධය පාන්නට විය. නොසිතූ විරෑ ලෙස ජනතාව එක්රුස් විය. ඒ අතර ඇතැම් පිරිස් අමාත්‍යවරුන්ගේ නිවෙස්වලට පවා ප්‍රහාර එල්ල කළෝය.

එම තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය තුළ විවිධ කණ්ඩායම් එක්වෙමින් මහා දැවැන්ත විරෝධයක් ඇති කිරීම සඳහා සූදානම් වූහ. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ අප්‍රේල් 9 වැනිදාය. ගෝල්ෆේස් භූමියට රුස්වී ගෝඨාභය රාජපක්ෂට තම හයිය පෙන්වීම ඔවුන්ගේ අරමුණ විය. ඒ අනුව ජනතාව අප්‍රේල් 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නිළ කාර්යාලය ඉදිරිපිට මහා ජන ගඟක් රුස්විය.

පැය කිහිපයකට සූදානම් වුවත් අවසානයේ එය ඉදිරියට ඇදී ගිය අතරම එදින කණ්ඩායම් නැවතී සිටීමට තීරණය කළේ ඊට පසුදින තෙක් අරගලය කරගෙන යාමටය. කෙසේ වෙතත් නම වැනිදා වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අරගලකරුවන් විසින් අතට ගත්තේය. අරගලකරුවන්ගේ ගේට් සීරෝ අත්පත් කර ගැනීම එසේ සිදුවිය.

10 වැනිදා රාත්‍රියේ ෂැංග්‍රිලා හෝටලය ඉදිරිපිට ඇති භූමියේ ඇතැම් තරුණයන් කූඩාරම් ගසාගෙන නැවතුනේය. එහෙත් දහවැනිදා උදෑසන වනවිට වැහිබර තත්ත්වය නිසා ජනතාව වැඩිය නොසිටියත් ක්‍රමයෙන් දහවල් වනවිට ජනතාව ඇදී එමින් සිටියේය. ඒ වනවිටත් පළමු අරගලකරුවන්ට නන්දෙසින් කෑම බීම ජනතාව විසින් ගෙනත් දුන් අතර ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා ලහිරු වීරසේකරගේ කණ්ඩායම විසින් පළමු වැහි ආවරණය ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකළේය. ක්‍රමයෙන් දහවල් වනවිට ජනතාව පැමිණීම ඉහළ ගිය අතර එදින රාත්‍රියත් විශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් ගතවිය. මේ අතර ගෝඨා ගෝ ගම පිහිටුවන්නේ 10 වැනිදාය. එනම් දහවැනිදා වනවිට එය දින ගණනක් කරගෙන යාම අරගලකරුවන්ගේ අරමුණ විය.
කෙසේ වෙතත් 10 වැනිදාම අරගලකරුවන් විසින් තීන්දු කළේ අලුත් අවුරුදු උත්සවය අරගල භූමියේ පැවැත්වීමටය. ආණ්ඩුව පවා අපේක්ෂා කළේ අවුරුදු නිවාඩුව හේතුවෙන් ජනතාව කොළඹින් බැහැරට යන නිසා අරගල භූමිය හිස්වෙතැයි යන්නය. එහෙත් එය නතර වූයේ නැත. නන් දෙසින් ආ අරගලකරුවෝ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් කැවුම් කිරිබත් කමින් අලුත් අවුරුදු උත්සවය ලේකම් කාර්යාලය ඉදිරියේ ගාලු පාරේ සැමරුවෝය. පුදුමය නම් අරගලය පාලු වෙතැයි සිතුවත් හැමදාම රාත්‍රිය වනවිට තරුණ තරුණියන් වැඩිහිටියන්ගෙන් අරගලය පිරි ඉතිරී ගියේය. එයට හේතු කාරණා ගොඩක් තිබුණේය. එකක් කලාකරුවන් විසින් පැවැත්වූ සංගීත සහ කලා වැඩකටයුතු නිසාය. අනෙක මුස්ලිම් ජනතාව නෝම්බි අත්හලේ ගාලු මුවදොර වීම නිසාය. එපමණක් නොව තවත් පිරිසකට මෙය අලුත් අත්දැකීමක් විය. 

අරගලය ගැන බොහෝ අයට විවේචන තිබුණේය. ඇතැම් අය කීවේ මෙය විකාරයක් කියාය. තවත් අය කීවේ මෙය කානිවල් එකක් කියාය. තවත් අය මෙය බටහිර කුමන්ත්‍රණ කීවේය. මේ සියල්ල ඉවසා වදාරා සිටි අරගලකරුවන් දිනෙන් දින සංවිධානය වෙමින් අරගල භූමිය පුළුල් කරගත්තේය. පාසල්, චිත්‍රපටි ශාලා, පුස්තකාල, කලාගාර, පමණක් නොව ප්‍රථමාධාර සැපයීම සඳහා රතු කුරුස, ශාන්ත ජෝන් වැනි ආයතනත් එක්විය. එපමණක් නොව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මයිනා ගෝ ගමත් ඉදිවූයේ මේ අතරය. ආණ්ඩුව අරගලය තඹයකට මායිම් කළේ නැත. ඒ වෙනුවට දිගින් දිගටම අවලාද මඩ ගැසුවේය.

දින ගණනාවකට පසුව අරගලයේ ජනතා පැමිණීම අඩුවන්නට විය. මේ අතර රටේ ජීවන අරගලය එන්න එන්න වැඩිවීමත්, ජනතා විරෝධයත් නිසා ආණ්ඩුව අස්ථාවර වන්නට විය. මේ නිසාම ගෝඨාභය ජනාධිපතිවරයා ආණ්ඩුවත් තමන් කෙරහිත් එන ජනතා විරෝධය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර සමනය කරන්නට උත්සාහ ගත්තේය. අවසානයේ මහින්ද රාජපක්ෂ මහතා ඉවත්වෙන බවත් ඒ සඳහා ප්‍රකශයක් ලබාදෙන බවත් කීවේය. එය මැයි 9 වැනිදාට දා ගත්තේය. එසේ තීරණය කළත් පොහොට්ටුවේ මැති ඇමැතිවරු කීවේ අගමැතිවරයාට ඉවත් නොවන ලෙසටය. ඒ සඳහා බලකරන්නට පොහොට්ටු සාමාජිකයින් බස්වල නංවාගෙන අරලිය ගහ මැදුරට රුගෙන ආවේය. එසේ රුගෙනවිත් ජනතාවගෙන් කැමැත්ත විමසන විට ඔවුහු මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් නොවන ලෙස කීවෝය. අවසානයේ සතුට ඉහවහා ගිය පොහොට්ටු සාමජිකයින් ඇතැම් දේශපාලනඥයන්ගේ උසිගැන්වීම් නිසා පොලු රුගෙන අරගල භූමිය ආක්‍රමණය කරන්නට විය. අරලිය ගහ මන්දිරය ඉදිරිපිට අරගල භූමිය ගෝල්ෆේස් අරගල භූමිය සියල්ල ප්‍රහාර එල්ල කරමින් විනාශ කර දැමුවේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉරණම තීන්දු කළ දිනය ලෙස එදින ඉතිහාස ගත වෙන්නේය. අරගලය යනු ගෝල්ෆේස් නොවන බව දැනගත්තේ එදාය. පැමිණි පිරිසට වගේම, පොහොට්ටු මැති ඇමැතිවරුන්ගේ නිවාසවලටත් යම් යම් පිරිස් ප්‍රහාර එල්ලකර ගිනි තැබූහ. මෙය ජාත්‍යන්තරව පවා ප්‍රචාරය වූ අතර එය භීෂණකාරී දිනයක් විය. කෙසේ වෙතත් අරගලය ආරම්භ කර හරියටම මාසයක් වී තිබුණි. එදින සවස ගෝල්ෆේස් සිදුවීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්විය.
කෙසේ වෙතත් මැයි නමවැනිදා සිදුවීමත් සමඟ පොහොට්ටු පක්ෂයේ බෙදීම සිදුවිය. පවතින තත්ත්වයත් සමඟ බැසිල් රාජපක්ෂ මහතා ජූනි 9 වැනිදා මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය. අරගලය ආරම්භයේ දිනයත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඉවත්වීමේ දිනයත් අංක 9 ට  කේන්ද්‍ර විය. එය පුදුම සහගත අංකයකි. අරගලකරුවන් විසින් ඊළඟ මෙහෙයුම් පටන් ගත්තේ ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව රනිල් වික්‍රමසිංහ මහතා පවා ඉවත් කරන්නටය. ඒ සඳහා අරගලකරුවන් සුපුරුදු අංකය ඊට යොදාගත්තේය. ජූලි 09 ගෝඨාභය ගෙදර යවන්නට තීන්දු කළේය. ඒ සඳහා හතර දිග්බාගයෙන් මිනිස්සු කැඳවීමට තීරණය කළේය.

එහි පළමු පියවර තැබුවේ සර්වපාක්ෂික අරගලකරුවන් විසිනි. ඔවුන් විසින් 6 වැනිදා පක්ෂ නායක රැස්වීමක් කැඳවා අරගලකරුවන් සහ පක්ෂ නායකයන් සමඟ පොදු එකඟතාවයකට පැමිණියේය. එපමණක් නොව 9 වැනිදා අරගලය සඳහා පක්ෂවල සහායද ඉල්ලා සිටියේය. ඉන් අනතුරුව ගෝල්ෆේස් අරගලකරුවන්ද පක්ෂ නායකයන් හමුවී සහාය ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඒ වනවිට ජනතාව තෙල් පෝලිම්, ගෑස් පෝලිම්වල දුක් විඳිමින් සිටියේය. ඊටත් වඩා ඒවා දරන්නට බැරි මිල ගණන්වලට ඉහළ ගොස් තිබුණේය. ජනතාව ජීවන බරෙනුත්, පාරේ අව්වෙනුත් හෙම්බත් වී සිටි නිසා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ දැඩි කෝපයකින් සිටියේය. එය ජූලි 9 කොළඹ එන්නට ප්‍රධාන හේතුව විය. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාට නැවතත් වැරදුනේය. ජනතාවගේ ඉවසීම පරීක්ෂ කරන්න සුදානම් වන සේ එකවර 9 වැනිදා ඇඳිරි නීතිය දැම්මේය. ඒ ආකාරයෙන් හදිසි නීතිය නොමැතිව පොලිස් ඇඳිරි නීතිය දැමීම සම්බන්ධයෙන් නීති විශාරදයන් දැඩි විවේචනයක් සිදුකළේය. එහෙත් අවසානයේ 9දා අලුයම ඇඳිරි නීතිය ඉවත් කළේය. ජනතාවෝ නන්දෙසින් කොළඹට පැමිණියහ. එපමණක් නොව දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරු ස්ව කැමැත්තෙන් දුම්රිය ධාවනය ආරම්භ කළේය. මේ හේතුවෙන් කොළඹට මහා ජනගඟක් ගලාගෙන ආවේය. ජනතාව ජනාධිපති මැදුරේ සියලු ඇතුළු වන මාර්ගයන් අසල උද්ඝෝෂණය කළේය. ජනාධිපතිවරයාට ඉවත්වෙන ලෙස කීය.

කඳුළු ගෑස් එක පිට එක ජනතාව අතරට වැටුණත් කිසිවකු පසුබැස ගියේ නැත. පැය ගණනක සටනක් ආරක්ෂක අංශ සහ අරගලකරුවන් අතර සිදුවිය. මේ අතර ඇතැම් ආරක්ෂක අංශ නිලධාරීන් තම ගිනිඅවිය බාරදී ඒ මොහොතේම අරගලයට එක්විය. එහෙත් දහවල් 12 පසුවන විට ආරක්ෂක අංශ තෙහෙට්ටු වී සිටියේය. වහාම ජනතාව ජනාධිපති මන්දිරයේ ආරක්ෂක වැට කඩා‍ගෙන මන්දිරයට අතුළු වී එය තමන් යටතට ගත්තේය. ඉන් අනතුරුව අරගලකරුවන්ගේ දෙවැනි ඉලක්කය තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයය. ජනතාව සවස් වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත්තේය.

අරගලකරුවන්ගේ අවසාන ඉලක්කය වූයේ අරලිය ගහ මන්දිරය අල්ලා ගැනීමය. එයද රාත්‍රියේ ආයාසයකින් තොරව සිදුවිය. අවසානයේ අරගලකරුවෝ ජනාධිපති අගමැති නිවාස ඔවුන් බාරයට ගත්හ. එදින රාත්‍රියේ ඇතැම් පක්ෂවල පෞද්ගලික ගැටීම් හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස වටලා ඔහුට ඉවත් වෙන ලෙස බල කළහ. එය අවසානයේ ආරක්ෂක අංශ සමඟ ගැටීමක් දක්වා දුරදිග ගොස් පිරිසක් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබුවේය. එය ඉතාම බරපතල වරදකි. එහෙත් එය අරගලකරුවන් පිටින් ගිය අතර බොහෝ දෙනා එය විවේචනය කළ අතර එයට විරුද්ධ වූහ. කෙසේ වෙතත් ඊට පසුදින එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා සඳහන් කළේ මෙය දේශපාලන කුමන්ත්‍රණයක් බවයි. ජූලි 9 දා එම සිදුවීමත් සමඟ ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කළේය. ඒ ඔහු 13 වැනිදා ඉවත් වන බවය. එය අරගලකරුවන් විශාල වශයෙන් විශ්වාස කළේ නැත. ලිඛිතව එය ලැබෙන තෙක් අරගලකරුවන් අත්පත් කරගත් භූමි නිදහස් නොකිරීමට තීන්දු කළේය.

අරගලකරුවන් විසින් අත්පත් කරගත් සියලු ස්ථාන ජනතා ප්‍රදර්ශනය සඳහා විවෘත කළේ ඊට පසු දිනයේය. පුදුමය නම් මහා ජනගඟක් ඒවා නැරඹීම සඳහා පෝලිම් ගැසී පැමිණීමය. ඇතැම් පුද්ගලයන් එම ස්ථානවලට ඉතාම බරපතල ලෙස අලාභ කළ අයුරු දැකගන්නට හැකිවිය. ජනාධිපති මන්දිරයේ පිහිනුම් තටාකයේ පැමිණි පිරිස් නෑවෝය. ඒ තරමට ඔවුන් තම නිදහස උපරිම බුක්ති වින්දේය.

මේ අතර අරගලකරුවන් නැවතත් භුමි අත්පත් කරගැනීම අත්හැර දැමුවේය. එහෙත් ගොල්ෆේස් අරගල භූමියේ සංවිධායකයන් නොදැන 13 වැනිදා හදිසියේම අග්‍රාමාත්‍ය කර්යාලය අත්පත් කර ගත්තේය. එය අරගලකරුවන් අතර යම් බෙදීමක් ඇතිවූ අවස්ථාවක් විය. එපමණක් නොව දෙවැනි අත්පත් කර ගැනීම පාර්ලිමේන්තුව බවට පත්විය. එය බරපතල වරද්දා ගැනීමක් බව බොහෝ දෙනා කීවෝය. ඒ නිසා එය කුමන්ත්‍රණයක් බවත් වහාම අරගලකරුවන් ගෝල්ෆේස් භූමියට පැමිණෙන ලෙසත් පණිවිඩ යැව්වේය. එහෙත් ජවිපේ ලාල් කාන්ත, සුනිල් හඳුන්නෙත්ති වැනි අය කීවේ වහාම පාර්ලිමේන්තු අසලට පැමිණෙන ලෙස කියාය. ඒ පමණක් නොව පැතුම් කර්නර් නැමැති සමාජ ක්‍රියාකාරිකයා පවා සිටියේය. අවසානයේ පොල්දූව හන්දිය අසල මහා ගැටුමක් සිදුවිය. අරගලකරුවන් 40 රෝහල් ගතවිය. හමුදා සෙබලුන් දෙදෙනකුට අසාධ්‍ය විය. එක් අයකුගේ ගිනි අවියක් පවා පැහැරගෙන ගොස් තිබුණි. මේ නිසා මෙම තත්ත්වය ඉතාම අවුල් සහගත තැනකට යමින් සිටින බව ගෝල්ෆේස් අරගලකරුවන්ගේ පවා මතය විය. එසේම තවත් පිරිස් ජාතික රෑපවාහිණියට කඩා වැදීම පවා  පුදුම සහගත සිදුවීමක් විය. මේ නිසා යම් යම් පක්ෂවල කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බව ප්‍රසිද්ධියේ කතා වෙන්නට විය.

ජනාධිපතිවරයා ඉවත්වන බව දැන්වීමත් සමඟ අරගලකරුවන් විසින් තීන්දුවක් ගත්තේය. ඒ අත්පත් කරගත් භූමිය නැවත ආරක්ෂක අංශ වෙත දීමටය. ඒ අනුව නිළ වශයෙන් 14 වෙනිදා පෞරාණික වටිනාකමක් ඇති ජනාධිපති මන්දිරය පුරා විද්‍යා නිලධාරීන්ට ලබා දුන්නේය. කෙසේ වෙතත් අවසානයේ අරගලයේ මූලික අරමුණ ජයගනිමින් 14 වැනිදා රත්‍රියේ අරගලයේ පණිවිඩය ලැබුණේය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා මේ රට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වුණ බව දන්වාය. එය නිළ වශයෙන් ඊට පසුදින ප්‍රකාශ කරන බව දැන්නුවේය. ඒ අනුව සිකුරාදා උදෑසන කථානායකවරයා විසින් එය නිළ වශයෙන් ප්‍රකාශ කරමින් එම අස්වීම ප්‍රසිද්ධ කළේය.

ඒ අනුව දින 100 කට ආසන්න කාලයක් පැවැති අරගලයේ මූලික අරමුණ එසේ නිමාවිය. දැන් අරගලකරුවන්ගේ ඊළඟ අරමුණ අලුත් ජනාධිපති කෙනෙක් සහ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගැනීමය. එය 20 වැනිදා සිදුවන අතර දැන් අරගලකරුවන් ව්‍යවස්ථානුකූලව එය සිදුකිරීමට ඉඩ ලබා දී තිබේ. එහෙත් අරගලකරුවන්ගේ යෝජනා තවම අවසන් නැත. ඒ නිසා අරගලය තවමත් සක්‍රීය බව අමුතුවෙන් කිවයුතු නැත.

ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05