ශ්‍රී ලංකාව තුළ මතුව ඇති වත්මන් විරෝධතාව පසුගිය සති කිහිපය තුළම ලෝකයේම අවධානය දිනාගත් ප්‍රධාන පුවතක් බවට පත්ව තිබුණි. ලොව සියලුම ප්‍රධාන පෙළේ මාධ්‍ය මේ තත්ත්වය පිළිබඳ උණුසුම් පුවත් දිනපතාම සවිස්තරාත්මකව කතාබහට ලක් කර තිබුණි.
“ශ්‍රී ලංකාව: රට ආර්ථික අර්බුදයක ඇයි?” යනුවෙන් BBC News ඉතා මෑතක නවතම තත්ත්වය විග්‍රහ කරමින් සටහනක් තබා තිබුණි.
“ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සිය කාර්යාලයට විරෝධතාකරුවන් කඩා වැදීමෙන් පසු, රට යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ඕනෑම දෙයක් කරන ලෙස රටේ හමුදාවට පවසා තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටින් පලා යාමත් සමඟ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.”
“ඔහුගේ නික්ම යාම සිදුවූයේ දිවයිනේ උග්‍ර වන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මාස ගණනාවක් පුරා පැවති මහජන විරෝධතාවලින් පසුවය.” යනුවෙන් එහි විස්තර කර ඇත.
“විරෝධතාකරුවන් අගමැති කාර්යාලයට කඩා වැදී ඇති අතර ජනතාවට කඳුළු ගෑස් ප්‍රහාර” යනුවෙන් බිබිසිය ම පෙර වාර්තාවක දක්වා ඇත.
“ආර්ථික කඩා වැටීම හේතුවෙන් මතුව ආ ජනතා කෝපය මධ්‍යයේ ජනාධිපතිවරයා සිය පවුල සමඟ මාලදිවයිනට පලා යාමෙන් පසු ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ.” යනුවෙන්ද එහි දක්වා තිබුණි.
“අප්‍රේල් මස මුලදී කොළඹ අගනුවර ආරම්භ වූ විරෝධතා වර්ධනය වී දැන් රට පුරා ව්‍යාප්ත වී තිබේ.
දෛනික විදුලිය විසන්ධි වීමත්, ඉන්ධන, ආහාර, ඖෂධ වැනි මූලික අවශ්‍යතා හිඟකමත් සමඟ මාස ගණනාවක් තිස්සේ ජනතාව දුෂ්කරතාවට පත්ව සිටිති. රටේ උද්ධමනය 50෴ කට වඩා වැඩි මට්ටමක පවතී.” යනුවෙන් බිබිසි ය පැහැදිලි කර ඇත.
ඊට සමගාමි වාර්තාවක, “ශ්‍රී ලංකා අර්බුදය: එදා යුද විරුවන් අද දුෂ්ඨයන් වූ හැටි” යනුවෙන් රට තුළ රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඇතිවූ ආකල්පමය වෙනස විමසීමකට ලක් කර තිබුණි.
ලෝ ප්‍රකට Al Jazeera ආයතනය සිද්ධිය පියවරෙන් පියවර විකාශනයට ලක් කළේය.
"ශ්‍රී ලංකා විරෝධතාකරුවන් සර්ව පාක්ෂික ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි, රාජපක්ෂලා එලවන්න ඕනෑ. දේශපාලනඥයන් විසින් සාකච්ඡාවට ලක් කරන සර්ව පාක්ෂික ආණ්ඩුවක් එපා යැයි විරෝධතාකරුවෝ පවසති, එය ‘රාජපක්ෂ කල්ලියට’ දිගටම බලයේ සිටීමට මාර්ගයක් වනු ඇතැයි පවසති.” යනුවෙන් එහි 12 වැනිදා වාර්තාවක් කියා ඇත.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ මාලදිවයින් ගමන සහ ඒ නිසා හටගත් වියවුල 13දා ඔවුන් වාර්තා කළේ, “ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීම සම්බන්ධයෙන් මාලදිවයින් රජයට විරෝධයක්! අපකීර්තියට පත් ශ්‍රී ලංකා නායක ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලා යාමත් සමඟ මාලදිවයින් වැසියෝ දැඩි කෝපය පළ කරති.”යනුවෙනි.
ඔවුන් 14 වැනිදා සිද්ධිය වාර්තා කර තිබුණේ “ශ්‍රී ලංකා ජනාධිපති රාජපක්ෂ පලා යාමෙන් පසු ඉල්ලා අස්වීම භාර දෙයි.* හැටියටය.
“ආර්ථික අර්බුදයක් හේතුවෙන් හටගත් විරෝධතා මධ්‍යයේ ශ්‍රී ලංකාවෙන් පැන ගිය ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පැමිණෙයි.”යනුවෙන් කියන එම වාර්තාව ජනාධිපති ඉල්ලා අස්වූ බවද මුල් වරට වාර්තා කළේ මෙසේය.
“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පලා ගොස් පැය කිහිපයකට පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට ඉල්ලා අස්වීමේ ලිපියක් භාර දී ඇති බව කථානායකවරයාගේ ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම නිවේදනය වාණිජ අගනුවර වන කොළඹ නගරයේ ප්‍රීති ඝෝෂාවක් ඇති කළේය, එහිදී නගර පුරා ඇඳිරි නීතිය නොතකමින් විරෝධතාකරුවෝ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත රුස්ව සිටියහ.
රාජපක්ෂගේ මුල් නමට සමච්චල් කරමින් ගෝඨා ගෝ ගම ලෙස නම්කර ඇති විරෝධතා භූමියේ රුස්ව සිටි පිරිස රතිඤ්ඤා පත්තු කරමින්, සටන් පාඨ කියමින්, උද්දාමයෙන් නැටූහ.
රාජපක්ෂ සිය ඉල්ලා අස්වීම බ්‍රහස්පතින්දා අගභාගයේදී විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කළ අතර ලේඛනයේ නිත්‍යනුකූල බව සත්‍යාපනය කිරීමෙන් පසු සිකුරාදා එය නිල වශයෙන් පිළිගැනීමට ලක්වනු ඇතැයි කථානායක ප්‍රකාශකවරයා පැවසීය.” යැයි එහි දැක්වේ.
The Hindu පුවත් අඩවිය සිය 14දා සජීව වාර්තාවන්හි මේ ගැන තවත් විස්තර ඉදිරිපත් කර තිබුණේ මෙසේය.
“ගෝඨාභය මහතාට "පෞද්ගලික සංචාරයක් සඳහා" සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව නගර-ප්‍රාන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඔහු සරණාගතභාවය ඉල්ලා නැති අතර ඔහුට කිසිදු සරණාගතභාවයක් ලබා දී නැත, යැයි අමාත්‍යාංශය පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් කළින් ප්‍රකාශ කළ පරිදි සිකුරාදා පාර්ලිමේන්තුව නොකැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ කාර්යාලය පවසයි.
ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගත් පසු, එය 1948 නිදහසින් පසු රටේ ඇති වූ දරුණුතම ආර්ථික පසුබෑමේ වගකීම භාරගනිමින් "ගෝඨා ගෙදර යන්න" යැයි ඉල්ලා මාස ගණනාවක් පුරා පුරවැසියන් ගෙන ගිය විරෝධතාවයේ විශිෂ්ට ජයග්‍රහණයක් පෙන්නුම් කරයි.” යනුවෙන් ඒ වාර්තාව විස්තර කර ඇත.
“ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම එරට වේලාවෙන් පෙරවරු 7.30 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කථානායක කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම සිකුරාදා දේශීය වේලාවෙන් පෙ.ව. 7:30 ට (IST IST පෙරවරු 7:30) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බව කථානායක කාර්යාලය බ්‍රහස්පතින්දා අගභාගයේදී ප්‍රකාශ කළේය.” යනුවෙන් - Reuters පුවත් සේවාවද වාර්තා කර තිබුණි.
ඒ අතර Al Jazeera ඉදිරිපත් කළ තවත් උණුසුම් වාර්තාවක හිටපු නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පලා නොයනු ඇති බව ඔහුගේ ප්‍රධාන සහායකයකු කී බව වාර්තා කර තිබුණි. ඒ මෙසේය.
“හිටපු නායක මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවෙන් පලා නොයනු ඇත: ප්‍රධාන සහායක”
''දිවයිනේ දරුණුතම ආර්ථික අර්බුදයට වගකිව යුතු බලවතුන් කණ්ඩායමේ කුලදෙටුවා ඔහුගේ සහෝදර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළාක් මෙන් ගැලවී පලා නොයන බව සහයකයෙක් පවසයි.
76 හැවිරිදි හිටපු ජනාධිපති සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයින තුළ පවතින නොසන්සුන්තාවයට හේතු වූ දශක කිහිපයකින් රටේ හටගත් දරුණුතම ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි බොහෝ ශ්‍රී ලාංකිකයන් දොස් පවරන රාජපක්ෂ වංශයේ ප්‍රධානියාය.
කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා මහින්ද රාජපක්ෂගේ ඉහළම සහයකයකු කියා සිටියේ රාජපක්ෂ පරම්පරාවේ හිටපු ප්‍රබලයාට සහ කුලදෙටුවාට එවැනි රට හැර යාමේ සැලැස්මක් නොමැති බවයි. මහින්දගේ වැඩිමහල් පුත් හිටපු අමාත්‍ය නාමල් ද තමන් රට හැර නොයන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.” යනුවෙන් මේ වාර්තාව දක්වා ඇත.
මේ අතර ලෝ ප්‍රකට Bloomberg අඩවිය තවත් අමුතු කතාවක් එළිදරව් කර තිබුණි. ඒ නාමල් රටේ ඉදිරි නායකත්වය ගැනීමට සුදානම්ව ඇති බවටය.
“ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යාකූලත්වය මධ්‍යයේ තරුණ රාජපක්ෂ නැවත පැමිණීමක් සැලසුම් කරයි!* යනුවෙන් සඳහන්ව ඇති ඒ වාර්තාව, “මහින්ද රාජපක්ෂගේ පුත් නාමල් ඊළඟ පරම්පරාවේ සිට සාටකය ගන්නා ප්‍රධාන පුද්ගලයා ලෙස ස්ථානගත වෙමින් සිටී.”යැයි කියයි.
නාමල් කළින් කළ සම්මුඛ සාකච්ඡාවක අදහස් ඉදිරිපත් කරන එහි ඔහු රටේ නව නායකත්වයට සුදානම්ව සිටින බව තහවුරු කිරීමට කටයුතු කර තිබේ. ඒ මෙසේය.
“තම ප්‍රතිපත්ති මාමාට වඩා පියාගේ ප්‍රතිපත්තිවලට ගැලපෙන බව නාමල් පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය වූයේ ශ්‍රී ලංකාව නිෂ්පාදන හා ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ සැලසුමෙන් බැහැරවීම බව ඔහු පැවසීය. වැඩි සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය කර ගැනීමට සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැඩිදියුණු කිරීම සඳහා ගුවන් තොටුෙපාළ වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු පෙන්වා දී ඇත.”
සුගත් පී. කුලතුංගආරච්චි