2022 අගෝස්තු 07 වන ඉරිදා

හම්බන්තොට ඇවිළෙන ඉන්දු-චීන නැව් යුද්ධය

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 133

හම්බන්තොට වරායට පැමිණීමට නියමිත චීනයට අයත් අභ්‍යවකාශ පර්යේෂණ හා සමීක්ෂණ නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව හා චීනය අතර මතභේදාත්මත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. රොයිටර් පුවත් සේවයට අනුව මේ වන විටත් ඉන්දියාව ශ්‍රී ලංකාවට වාචිකව සිය විරෝධය පළ කර ඇත. මෙම යාත්‍රාව හම්බන්තොට වරායට පැමිණෙන්නේ නීත්‍යානුකූලව බැවින් කිසිදු පාර්ශ්වයක් එයට මැදිහත් නොවිය යුතු යැයි චීන විදේශ අමාත්‍යංශය  ප්‍රකාශ කර තිබේ.

චීනයට අයත් පර්යේෂණ සහ සමීක්ෂණ යාත්‍රාවක් වන yuan wang 5 නමැති නෞකාව චීනයේ ජියැන්යින්ග් වරායෙන් ගමනාරම්භ කළේ පසුගිය ජූලි 13 වැනිදාය. මේ වනවිට එය නොට් 19ක වේගයකින් යාත්‍රා කරන අතර ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරායට පැමිණීමට නියමිතව ඇත්තේ අගෝස්තු 11දාය. ඉන්ධන සහ මූලික පහසුකම් ලබා ගැනීම සඳහා එම නෞකාව පැමිණෙන බව පැවසෙන අතර එය අගෝස්තු 17දා දක්වා සතියක කාලයක් එහි නැංගුරම්ලා තැබීමට නියමිතය. මින් දින කිහිපයකට පෙර නැඟෙනහිර චීන මුහුදේ යාත්‍රා කරමින් තිබූ ටොන් 22686ක් බරුති මෙම නෞකාව 2007 වසරේ නිෂ්පාදනය කරන ලද්දකි. යුවාන් වැන්ග් ශ්‍රේණියේ තුන්වැනි පරම්පරාවේ සමීක්ෂණ නෞකාවක් වන අතර එය නිර්මාණය කරන ලද්දේ චීනයේ 708 පර්යේෂණ ආයතනය විසිනි. මෙම යාත්‍රාව චීනයේ මහජන විමුක්ති හමුදාවේ උපායමාර්ගික ආධාරක බලකා ඒකකය යටතේ පාලනය වන්නකි.

එම යාත්‍රාව අභ්‍යවකාශ චන්ද්‍රිකා දත්ත සහ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල දත්ත ලබා ගැනීමේ මෙහෙයුම්  සඳහා උපයෝගී කර ගැනෙන්නකි. මිසයිල සහ රොකට් දියත් කිරීමට සහ ලුහුබැඳීමට හැකි අති නවීන උපකරණ සහිත මෙවැනි නෞකා චීනය, ප්‍රංශය, ඉන්දියාව, රුසියාව සහ එක්සත් ජනපදය යන රටවල නාවික හමුදා විසින් ප්‍රධාන වශයෙන් යුදමය අරමුණු සඳහා භාවිත කෙරේ.

චීනයේ අභිලාශකාමී සබඳතා ව්‍යාපෘතිය අධ්‍යයනය කරන කොළඹ පදනම් වූ සංවිධානයක් වන (BRISL) Belt and Road Initiative Sri Lanka නමැති සංවිධානය  නෞකාව සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, එය හම්බන්තොට වරායට පැමිණීම ශ්‍රී ලංකාවට සහ කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒ සම්බන්ධයෙන් දැනුම ලබා ගැනීමට සහ ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන් සංවර්ධනය කිරීමට කදිම අවස්ථාවක් වනු ඇති බවටය. 

ඉන්දියානු සාගර කලාපය ඉන්දියාවට සම්ප්‍රදායික බලපෑමක් ඇති ප්‍රදේශයක් වන අතර එය  උපායමාර්ගික  වශයෙන් වැදගත් කලාපයකි. චීනයේ අරමුණ මියන්මාරයේ සිට නැඟෙනහිර අප්‍රිකාව දක්වා මාවතක් තනා ගැනීමය. හම්බන්තොට වරාය  සම්බන්ධයෙන් චීනයට බලපෑමක් කළ හැකි බවත් එම ක්‍රියාකාරකම් බොහොමයක් යටපත්ව පවතින බවත්  ප්‍රකාශ කරන ඉන්දියානු දේශපාලන විචාරකයෝ, හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩිංග්ස් වෙත බදු දුන්නේ, ශ්‍රී ලංකාවට ණය ආපසු ගෙවීමේ වගකීම් ඉටු කිරීමට නොහැකි වූ බැවින් යැයිද එය වරායේ විභව භාවිතය පිළිබඳ බියක් ඇති කරන්නක් යැයිද  සඳහන් කරති. හම්බන්තොට වරාය සංවර්ධන කර ඇත්තේ වැඩි වශයෙන්ම චීන ණයවලිනි. ආසියාව හා යුරෝපය අතර උපාය මාර්ගික වශයෙන් වැදගත්වන ප්‍රධාන මුහුදු මාර්ගයක පිහිටා ඇති හම්බන්තොට වරායට මෙම චීන යාත්‍රාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව නොරිස්සුම් ස්වභාවයක් පෙන්වීමට හේතු කිහිපයක්ම බලපා තිබේ.

චීනයත් ඉන්දියාවත් අතර පවතින්නේ බල අරගලයකි. ආසියාවේ බලවතා වීම මේ දෙරටේම අරමුණය. එහෙයින් අභ්‍යවකාශ යානා ලුහුබැඳීමේ නෞකාවක් වන චීනයට අයත් ‘යුවාන් වැන්ග් 5’ හම්බන්තොට වරායේ නැංගුරම් ලෑම තම රටේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ඉන්දියාව සලකයි. වයඹදිග ඉන්දීය සාගර කලාපයේ අභ්‍යවකාශ හා චන්ද්‍රිකා ක්‍රියාකාරකම් නිරීක්ෂණය සඳහා පැමිණෙන yuan wang 5 නෞකාව සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධයක් මතු කරන්නේ එය කලාපීය ආරක්ෂාවටද තර්ජනයක් බව පවසමිනි.  ඉන්දීය මාධ්‍යවලට අනුව මෙම නෞකාවට කිලෝමීටර 750 කට වඩා ඉහළ ගුවන් ප්‍රවේශ නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.. ඒ අනුව දකුණු ඉන්දියාවේ කල්පක්කම්, කුඩන්කුලම්  වැනි ඉන්දියානු පරමාණුක පර් යේෂණ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතී.  එමෙන්ම කේරළය, තමිල්නාඩු, ආන්ද්‍ර ප්‍රදේශ් වරාය ඇතුළුව දකුණු ඉන්දියානු වරාය 6ක් පමණ නිරීක්ෂණය කිරීමේ හැකියාවද පවතින අතර නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි ඉන්දීය නාවික හමුදා කඳවුරු සහ චන්දිපූර්හි පිහිටි ISRO රොකට්ටු දියත් කිරීමේ මධ්‍යස්ථානයද ඉදිරියේ අවදානමට ලක්විය හැකි බවට සැකයක් ඉන්දියාවට තිබේ. හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනමක් යටතේ චීනය විසින් ලබාගෙන ඇති හෙයින් එය චීන හමුදා කඳවුරක් ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරනු ඇතැයි යන බියද ඉන්දියාවට පවතී.

නෞකාවේ කටයුතු සාමාන්‍ය පර්යේෂණ ක්‍රියාකාරකම් පමණක් බව චීනය ප්‍රකාශ කර තිබේ. එහෙත් ඉන්දීය මූලාශ්‍රවලට අනුව පැවසෙන්නේ  චීනය මෙම ක්‍රියාකාරකම නිශ්චිතවම සිදුකරනුයේ ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තුළින් ප්‍රයෝජන ගැනීමට බවත්, ඒ තුළින්  ශ්‍රී ලංකාවේ වරායන් චීන නාවික කඳවුරු ලෙස චීන මහජන විමුක්ති හමුදාව විසින් පසුව භාවිතා කළ හැකි බවත්ය. ප්‍රධාන වශයෙන් ඉන්දියාව පිළිබඳ ඔත්තු බැලීම සඳහා චීනය කටයුතු කරනු ඇති බවත් එම මූලාශ්‍රයන්හි සඳහන්ය.

මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ  ශ්‍රී ලංකාව පසුකර යන බොහෝ රටවලට අයත් වාණිජ සහ යුද නැව්වලට ශ්‍රී ලංකා මුහුදු තීරය පසුකර යෑමට හා වරායට ඇතුළු වීමට ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් අවසර ලබා දෙන බවටය. ඒ අනුව yuan wang 5 නෞකාවටද හම්බන්තොට වරායට ඇතුළුවීමට හා නිෂ්කාෂණයට අවසර ලබාදී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

මේ ගැටලුවේදී ආණ්ඩුව වැඩේ වරද්දාගෙන
- ආචාර්ය දයාන් ජයතිලක

චීන අභ්‍යවකාශ පර්යේෂණ  හා සමීක්ෂණ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම පිළිබඳව ඉන්දියාවේ නොරිස්සුම සම්බන්ධයෙන් අප විමසා සිටියේ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂකයකු හා රාජ්‍යතාන්ත්‍රිකයකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙනි. 

ඒ මහතා සඳහන් කරන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාව අනවශ්‍ය ලෙස අපහසුතාවකට පත්ව ඇති බවයි. මෙවැනි තත්ත්වයක් 2015 දී චීන සබ්මැරින් යානයක් ශ්‍රී ලංකාවට පැමිණී අවස්ථාවේ ඇතිවූ අතර ඉන් ශ්‍රී ලංකා රජය පාඩමක් උගත යුතුව තිබුණද එසේ වී නොමැති බවද ඔහු පෙන්වා දෙයි. 

''චීන සබ්මැරින් යානයට ලංකාවට පැමිණීමට අවසර දීම සම්බන්ධයෙන්  ඉන්දියාව අමනාපයට පත් වුණා. එවක සිටි ආරක්ෂක ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ කිසිදු අර්බුදයක් ඇති නොවන බව වුවත් ඉන් විශාල ගැටලුවක් නිර්මාණය වූ අතර එය මහින්ද රාජපක්ෂ රජයේ පාලනය අවසන් කිරීමටත්  බලපෑවා. ශ්‍රී ලංකාවට ඉන්දියාව මෙන්ම චීනයත් වැදගත්. එම බලවතුන් දෙදෙනාව තුලනය කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය යුතුයි. එල්ටීටීඊ යුද ජයග්‍රහණයෙන් පසු පැවැති ආණ්ඩු දෙස බලන විට රාජපක්ෂ ආණ්ඩුව ලොව එක් බලවතකු වෙතත් ඉන්පසු  පැවති යහපාලන ආණ්ඩුව තවත් බලවතකු වෙතටත් නැඹුරු වූ බව දැකිය හැකියි. කළ යුතුව තිබුණේ සියලු දෙනාගේ මිත්‍රත්වය රුකෙන පරිදි කටයුතු කිරීමයි. ශ්‍රී ලංකාව කළ යුතුව තිබුණේ හොඳින් සිතා බලා දෙරටම අමනාප කර නොගෙන මෙම චීන නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන බව ඉන්දියාවට පවසා ඔවුන්ගේ  ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව කලින්ම විමසීමක් කිරීමයි. ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අපහසුතාවකට මුහුණ දී ඇති හෙයින් මේ අවස්ථාවේ අපේ අසල්වැසි රාජ්‍ය වන ඉන්දියාව ශ්‍රී ලංකාවට විශාල වශයෙන් උපකාර කරන බවත් චීන නෞකාව සම්බන්ධයෙන් ඔවුන්ට ගැටලුවක් නිර්මාණය වී ඇති බැවින් කළ යුත්තේ කුමක්දැයි යන්න චීනයෙන්ද විමසිය යුතුව තිබුණා. එසේ කළා නම් ඉන්දියාව අමනාප කර නොගෙන සතුටුදායක විසඳුමට පැමිණිය හැකිව තිබුණා. මෙම ගැටලුව කළමනාකරණය කර ගැනීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති අතර ඉන්දියාව තම විරෝධය නිලවශයෙන්ම ප්‍රකාශ කර තිබෙනවා.  තමන් කළ උපකාරවලට ශ්‍රී ලංකාව ප්‍රති උපකාර කළේ ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන තම තරගකරුවාට අයත් නෞකාවකට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර දීමෙන් යැයි පවසා ඔවුන් අපේ ආර්ථික අර්බුදයට උපකාර කිරීමෙන් වැළකී සිටින්නට ඉඩ තිබෙනවා.  අප කළ යුතුව තිබුණේ අපට උපකාර කළ අයගෙන් තව දුරටත් උපකාර ලබාගත හැකිවන පරිදි ඔවුන්ට ප්‍රතිඋපකාර කිරීමයි. මෙම සිදුවීමෙන්  අපිට සිටි එක මිත්‍රයෙක් අමනාප කර ගෙන ඇති බව පෙනෙනවා. 

ඉන්දියාව බියවීමට එක් හේතුවක් වන්නේ හම්බන්තොට වරාය 99 අවුරුද්දකට චීනයට බදු දී ඇති බැවින් ඔවුන් එය සාමාන්‍ය සිවිල් කටයුතු සඳහා මෙන්ම යුදමය කටයුතු යන ද්විත්ව භාවිතයකට යොදා ගනීවිය යන සැකය පවතින බැවිනුයි.. 

මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම ඉන්දියාව දකින්නේ එලෙස ද්විත්ව භාවිතයට යොදා ගැනීමේ නිදර්ශනයක් ලෙසයි. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දියාවේ දක්ෂිණ අර්ධයේ. එම කලාපයට යුදමය වශයෙන් පසමිතුරකු වන චීන නෞකාවකට  පැමිණීමට ඉඩ දීම පිළිබඳව ඉන්දියාවට කළකිරීමක් ඇති වෙනවා. හම්බන්තොට වරාය චීනයට 99 අවුරුදු බද්දට ලබා දුන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි. දැන් ඔහු ජනාධිපතිවරයා නිසා ඔහු චීනයට සහය දක්වන්නකු ලෙස ඉන්දියාව සිතන්න පුළුවන්. එවිට ඔවුන් ලංකාවට ලබා දෙන උපකාර නවතා දමන්න පුළුවන්. අපි ඉන්දියාවේ වහලකු විය යුතු නැහැ. එහෙත් මෙවැනි ගැටලු රාජ්‍යතාන්ත්‍රික වශයෙන් තුලනය කර යුතුව තිබුණා. තමන්ගේ කලාපයේ ඇති රටක් වන ශ්‍රී ලංකාව තම තරගකරුවකු හෝ පසමිතුරකුට වාසිදායක ආකාරයට හා තම මූලෝපායික ආරක්ෂාවට හානිදායක වන ආකාරයට කටයුතු කරනවාය වැනි හැඟීමක් ඉන්දියාවට ඇති වුවහොත් ඉන්දියාව ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වාවි.. අපට ආර්ථික වශයෙන් උපකාර කිරීම නවතා දමාවි. එහි ප්‍රතිඵල මෙරට පාලකයන්ට මෙන්ම ජනතාවටත් විඳින්නට සිදුවේවි.