2022 අගෝස්තු 14 වන ඉරිදා

ඝාතන රැල්ලේ කිමිදෙන නාඳුනන තුවක්කුකරු!

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 45

මේ වනවිට රටපුරාම ඝාතන රැල්ලක් නිර්මාණය වෙමින් තිබේ. නාඳුනන තුවක්කුකරුවා යළි එළියට පැමිණ ඇත. කලක් මෙම තත්ත්වය පාලනය වී තිබුණද පසුගිය මාස දෙක තුනක කාලයක සිට එම තත්ත්වයට විරාමයක් වැටී තිබේ. රාත්‍රි කාලයේ මෙන්ම දෙනෝදාහක් ගැවසෙන මහ දවාලේද තුවක්කුකරුවෝ කිසිදු බියකින් තොරව තම ඉලක්කය සොයා යති. මොවුන් ඝාතන සඳහා යන්නේ යතුරුපැදිවලිනි. බොහෝවිට මෙම ඝාතනවලට ලක්වන්නේ පාතාලය හා සම්බන්ධ පිරිස් යැයි පොලීසිය අනාවරණ කරගෙන තිබේ. 

කාලයක සිට සංවිධානාත්මක අපරාධකරුවන් හෝ පාතාල සාමාජිකයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මත්ද්‍රව්‍ය ජාවාරමයි. විදෙස්ගතව සිට ඒවා මෙහෙයවන ප්‍රබලයන් තම ඒකාධිකාරය තහවුරු කර ගැනීම සඳහා විරුද්ධවාදීන්, ඔත්තුකරුවන් සහ තැරුව්කරුවන් වැනි පුද්ගලයන් ඝාතනය කිරීමට උත්සාහ ගනී. මෙම ඝාතකයන් සම්බන්ධයෙන් පොලීසිය කොතරම් අවධානයෙන් පසුවුවද  ඔවුන් පොලිස් ඇසට වැලිගසා තම අරමුණ කරා යන බවක් දැකිය හැකිය. මේ වනවිට 20කට අධික පිරිසක් මෙලෙස නාඳුනන තුවක්කුකරුවාගේ ඉලක්ක බවට පත්ව ඇති අතර දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වෙරළටද වරින්වර මළ සිරුරු ගොඩ ගසනු දැකිය හැකිය. ඇතැම් දේශපාලකයන්ද මොවුන්ගේ ගොදුරු බවට පත්ව තිබේ. ඒ සම්බන්ධ මෑත උදාහරණය මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති සුමුදු රුක්ෂාන් නමැති දේශපාලකයාය. මෙවැනි ඝාතන රැල්ලක් නිර්මාණය වීමට බලපාන සාධක පිළිබඳව අප විද්වත් දෙපළකගෙන් විමසා බැලුවෙමු. පහත සඳහන් වන්නේ එම දෙපළ පැවසූ අදහස්ය.

නීතිය බිඳවැටීමෙන් ඝාතන රැල්ලක් හැදුනා
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මයුර සමරකෝන් 

මෙවැනි ඝානන රැල්ලක් ඇතිවීමට පසුගිය කාලයේ රටේ නිර්මාණය වූ විරෝධතා ව්‍යාපාර හේතුවෙන් නීතියේ ආධිපත්‍යයේ කිසියම් බිඳවැටීමක් ඇතිවීමද බලපෑවා.  නීතිය ආරක්ෂා කිරීමට බෙහෙවින් උපකාරි වන්නේ පොලීසියයි. පසුගිය කාලයේ පැවැති අරගල රැල්ලේදී හා ඉන්ධන අර්බුදයේදී පොලීසිය සමස්ත සමාජය තුළ දැඩි ලෙස විවේචනයට ලක් වුණා. මහජනතාවගේ විරෝධය එල්ල වුණා. 

එම තත්ත්වයට මුහුණ දීමට පොලීසිය සතුව ධනාත්මක වැඩපිළිවෙළක් තිබුණේ නැහැ. ජනතා විරෝධතා මැඩ පැවැත්වීමට පොලීසියට නොහැකි යැයි සමාජය තුළ යම් මතයක් නිර්මාණය වුණා. පොලීසිය නමැති නීතිය ක්‍රියාත්මක කරන ආයතනය බිඳ වැට්ටවීමට සමාජ මාධ්‍යයද හිතාමතාම කටයුතු කළ බව පෙනෙන්නට තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙසිනුයි මෙලෙස ඝාතන සහ මංකොල්ලකෑම් වැනි අපරාධ රැල්ලක් නිර්මාණය වී තිබෙන්නේ. මෙම ඝාතනවලට වැඩිවශයෙන් ගොදුරු වූ පුද්ගලයන් පිළිබඳව සැලකීමේදී ඔවුන් පාතාලය හා මත්ද්‍රව්‍ය අතර සම්බන්ධයක් ඇති පුද්ගලයන් බව පෙනෙන්ට තිබෙනවා. තමන්ගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය ව්‍යාප්ත කර ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් අතර විශාල බල අරගලයක් පවතිනවා.  

ඔවුන් තම බලය ගොඩ නඟාගන්නේ මත්ද්‍රව්‍ය ව්‍යාපෘතිය හරහායි.  පාතාලයේ පැවැත්ම සඳහා අවශ්‍ය අවි ආයුධ මිලට ගැනීමට, දේශපාලන සහය සහ  සුඛෝපභෝගී ජීවිත ගෙනයාමට අවශ්‍ය පසුබිම නිර්මාණය වන්නේ ඔවුන් ගොඩනඟා ගන්නා බලය සහ මුදල් තුළිනුයි. තමන්ගේ ප්‍රතිවාදියෙක් මත්ද්‍රව්‍ය වෙළෙඳාමේ නිරත වනවා නම් එම ව්‍යාපාරය අඩාල කිරීමට ඔවුන් පියවර ගන්නවා. තම බලය රුක ගැනීමට සහ ආධිපත්‍යය පවත්වාගෙන යාම සඳහා තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීමටත් මොවුන් කටයුතු කරනවා. අරගලය පැවැති සමයේ පොලිසියේ හා අධිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳවද යම් යම් ගැටලු දැකිය හැකි වුණා. එවැනි පසුබිමක් යටතේ අපරාධ කල්ලි ඉන් ප්‍රයෝජන ගැනීමට පෙළඹුණා. ඔවුන් සිතුවේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය යම් පමණකට අකර්මණ්‍ය වී ඇති බවයි. ඒ නිසා තම විරුද්ධවාදීන් ඝාතනය කිරීමට හොඳම අවස්ථාව මෙය බව ඔවුන් සිතුවා. මෙවැනි ඝාතන රැල්ලක් නිර්මාණය වීමට බලපෑවේ එවැනි කරුණුයි.

මෙම තත්ත්වය නීතිගරුක මහජනතාවට විශාල පීඩනයක් එල්ල කරනු ලබනවා. ඔවුන් ඉතාමත් අසරණ තත්ත්වයකට පත්වෙනවා. රටේ සාමකාමී තත්ත්වය පිරිහීමට ලක්වීමෙන් සමාජය තුළ විවිධාකාරවූ මානසික ගැටලු නිර්මාණය විය හැකියි. ජනතාවට බියෙන් ජීවත්වීමට සිදුවී තිබෙනවා. මහමග වෙඩිතබා ගැනීම් නිසා සාමාන්‍ය ජනතාවද එම ගැටුම් අතරට මැදිවී ජීවිතයෙන් පවා වන්දි ගෙවූ අවස්ථා අසන්නට ලැබුණා. මෙම තත්ත්වය කඩිනමින් මර්දනය කළ යුතුයි.

මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට නම් පොලීසිය කාර්යක්ෂම ආයතනයක් බවට පත් කළ යුතුයි. ඉක්මනින්ම අපරාධවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගත හැකි යාන්ත්‍රණයක් සකස් විය යුතුයි. තාමත් පොලිස් ක්ෂණික ඇමැතුම් දුරකථනයට ඇමතුමක් ලබා දුන්නත් අවශ්‍ය පහසුකම් නොමැති බැවින් ක්‍රියාත්මක වන්නේ බොහෝ ප්‍රමාද වෙලයි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පොලීසියට සපයාදීම අවශ්‍යයි. එමෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන් කායික වශයෙන් පොලිස් කාර්යයට සුදුසුද යන ගැටලුවක් මතුවෙනවා. එක් පුද්ගලයෙක් මර්දනය කිරීමට පොලිස් නිලධාරීන් හත් අට දෙනෙක් අවශ්‍ය වූ අවස්ථා පසුගිය කාලයේ අප දුටුවා. ඒ නිසා අදට ගැලපෙන පොලිස් නිලධාරියෙක් නිර්මාණය විය යුතුයි. ඒ සඳහා ඔවුන්ට නීතිය පිළිබඳ දැනුමක් හා මනා පුහුණුවක් ලබාදීම ඉතා වැදගත්.

ඝාතනවලට ලක්වන්නේ පාතාලයට සම්බන්ධව සිටි පිරිස්
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව

මෙවැනි ඝාතන රැල්ලක් එක්වරම නිර්මාණය වූයේ ඇයිද යන්න පිළිබඳව නිශ්චිතවම මතයක් ප්‍රකාශ කළ නොහැකියි. නමුත් අපට නිරීක්ෂණය වී ඇති අයුරින් මෙම ඝාතන පිටුපස විදේශයන්හි සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන පුද්ගලයන් සිටින බව පෙනෙනවා. ජාවාරම්කරුවන් අතර අභ්‍යන්තර වශයෙන් නිර්මාණය වී ඇති මුදල් වංචා, කණ්ඩායම් පිළිබඳ තොරතුරු විරුද්ධ පාර්ශ්වවලට යාම වැනි අර්බුද මෙන්ම බාහිර කණ්ඩායම් සමඟ ඇතිකර ගන්නා නොමනාපකම් හේතුවෙන්ද මෙවැනි ඝාතන සිදුවන බව නිරීක්ෂණය වී තිබෙනවා. පොලීසිය තවම මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු මෙහෙයවන බැවින් අවසන් නිගමනයකට පැමිණ නොමැති වුවත් ඉහත කී කරුණු මෙවැනි තත්ත්වයක් නිර්මාණය වීමට බලපා ඇති බව කිව හැකියි.

මෙම අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරන විට පෙනී යන්නේ මෙවැනි අර්බුද පසුගිය මාස දෙක තුනේ නිර්මාණය වූ ඒවා නොවන බවයි. බොහෝවිට ඝාතනවලට මුල් වී තිබෙන්නේ ඔවුන් අතර ඇතිවූ අතීත සිදුවීම්. ඒවාට මේ අවස්ථාවේ පලිගැනීමට කටයුතු කරන බවක් පෙනෙනවා. පසුගිය දිනවල  ඉන්ධන පිරවුම් හල් අසල සහ වෙනත් ස්ථානවල විරෝධතාවයේ යෙදුණු පුද්ගලයන් පාලනය කිරීමට පොලීසිය යෙදවූ අවස්ථාවේ පොලීසිය බලය පාවිච්චි නොකර සාමකාමීව, ඉවසීමෙන් යුතුව ඒවා විසඳීමට කටයුතු කළ නිසා එය වැරදියට වටහාගත් සංවිධානාත්මක අපරාධකරුවන් පොලීසියට කිසිවක් කළ නොහැකිය යන මතයේ සිට ඔලුව උස්සන්න පටන් ගත්තාද යන සැකය මතු වෙනවා. මෙම තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව බියට පත් වෙනවා. එහෙත් මෙම ඝාතන සාමාන්‍ය පුද්ගලයන් ඉලක්ක කරගත් ඒවා නොව විවිධ ජාවාරම්වලට සම්බන්ධ අපරාධකරුවන් අතරම සිදුවූ ඒවා බව පැහැදිලියි. මේ සෑම කෙනෙක්ම කිසියම් කණ්ඩායමක් සමඟ කිසියම් හෝ අවස්ථාවක සම්බන්ධකම් පැවැත්වූ පුද්ගලයන්.

මෙවැනි ක්‍රියා මැඩපැවැත්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. මෙවැනි අපරාධ පරීක්ෂණ සඳහා යොදවා ඇති නිලධාරීන්ට එම කාර්ය සඳහා ප්‍රමුඛතාව ලබා දී  එය අවසන් වන තෙක්ම එම කටයුතුවල නිරත වීමට අවශ්‍ය පසුබිම සකස් කර තිබෙනවා. ඔවුන් වෙනත් රාජකාරී සඳහා නොයෙදවීමට උපදෙස් ලැබී තිබෙනවා. බුද්ධි නිලධාරීන්ද නොකඩවා එම රාජකාරිවල යොදවා ඇති අතර ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයද වැඩි කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායද මේ සම්බන්ධයෙන් කටයුතු කරනවා.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05