2022 අගෝස්තු 14 වන ඉරිදා

රට බෙදන - විකුණන සටන් පාඨ කළ හානිය

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 46

ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ පරතරය වාසිදායක තැනකට පැමිණ ඇත. ආනයන වියදම පාලනය කරගෙන ඇති අතර අපනයන ආදායම වර්ධනය වී ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් වසර විස්සකට පසු ඉකුත් ජූනි මාසයේ දී මෙරට වෙළෙඳ පරතරය වාසිදායක තැනක පවත්වාගෙන යන්නට සමත්ව සිටින බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. කොවිඩ් වසංගත තත්ත්වය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය අර්බුදයකට තල්ලු කළේය. අත්‍යවශ්‍ය ආනයන සඳහා පවා විනිමය හිඟ රටක් බවට පත් කළේය. එහි ප‍්‍රතිඵලය අනුව සමාජ ප‍්‍රශ්න උත්සන්න කළ අතර සංකීර්ණ දේශපාලන ගැටලු ඇති කළේය. සමාජ නොසන්සුන්තාව තවමත් අවසන්ව නැත. අපනයන වර්ධනය සතුටුදායක කරුණකි. මෙම ප‍්‍රවණතාව ඉදිරියට පවත්වා ගැනීමට ඇති වැඩපිළිවෙළ කුමක්ද?

රටට විනිමය අවශ්‍යය. විනිමය හිඟය මත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පවා ආනයනය කළ නොහැකි විය. ජාත්‍යන්තර මාධ්‍ය ශ‍්‍රී ලංකාව ගැන වාර්තා කළේ ආහාර හිඟයකට පවා මුහුණ දෙන්නට සිදුවන රටක් වශයෙනි. විනිමය හිඟවීම, ඛනිජ තෙල්, ගෑස් හා විදුලිය හිඟය දක්වා ව්‍යාප්ත වූ අතර දැඩි ආනයන රෙගුලාසිවලට රට යටත් කෙරිණි. අපනයන අංශය එහිදී රටට වැදගත් ක්ෂේත‍්‍රයකි. අත්පත් කරගත් වාසිය අනුව ලෝක වෙළෙඳපොළට ඇතුළු විය හැකි අලුත් පැති ගැන සොයා බැලීම අවශ්‍යය. 

ලෝකයේ ආනයන හා අපනයන ප‍්‍රවණතා

එක්සත් ජාතීන්ගේ වෙළෙඳ සහ සංවර්ධන ආයතනය දක්වන පරිදි 2019 අවුරුද්දට සාපේක්ෂව 2020 වසරේ දී ලෝකයේ රටවල් අතර වෙළෙඳාම පහත වැටී තිබේ. එයට හේතුව කොවිඩ් වසංගත තත්ත්වය බව දැක්වේ. ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක් ලොක්ඩවුන් වන විට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා වූ ඉල්ලුම පවා අඩාල විය. ඇතැම් වරාය හා ගුවන් තොටුපොළ වසා දැමිණ. වෙළෙඳාමක් කෙරෙන්නේ කෙසේද? ඇණවුම් රහිත කාලය තුළ කර්මාන්තශාලා අඩපණ වූ අතර ලක්ෂ ගණනකට රුකියා අහිමි විය. එය මඟහැරුණේ පසුගිය වසරේදීය. මෙම අවුරුද්ද තුළ ලෝකයේ රටවල් වෙළෙඳාම සුපුරුදු ස්ථාවරභාවය කරා නැවතත් ළඟා කරගනු ඇතැයි විශ්වාස කෙරේ. 

2019 වසරේ දී ලෝකයේ සමස්ත වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන විසි පහක් වූ බව දැක්වේ. 2020 දී එය 10%කින්, එනම් ට්‍රිලියන 2.5කින් පහත වැටී ඇත. 2021 දී අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 28 දක්වා 6%ක වර්ධනයක් වාර්තා කොට තිබේ. කලින් වසරේ මිල දී ගත නොහැකි වූ අංශ කෙරෙහි පාරිභෝගිකයෝ සැලකිල්ල යොමු කරන ලද බව මෙයින් පැහැදිලිය. අඩාල වූ අංශ නැවතත් පිබිදීමක් වාර්තා කර ඇති බව පෙනේ.

එක්සත් ජාතින්ගේ වෙළෙඳ හා සංවර්ධන දත්ත සඳහන් කරන පරිදි 2020 පළමු භාගය තුළ ද්‍රව්‍ය වෙළෙඳාම 18%කින් හා සේවා අංශය 26%කින් පහත වැටිණ. දකුණු ආසියාවේදී තත්ත්වය වඩාත් පැහැදිලිව දැක්වේ. අපයනය 16.5%කින් හා ආනයන 20%කින් පහත වැටී ඇත. ශ‍්‍රී ලංකාව වැනි රටවල් පවා ආනයන සීමා කරන ලද බව මෙහි දී මතක් කළ යුතුව තිබේ. කෙසේ වෙතත් 2021 වසරේ දී අපනයන 26%කින් හා ආනයන 5%කින් වර්ධනය වී ඇති බව දැක්වේ. මෙය මෙරට තත්ත්වය හා සමානය. ශ‍්‍රී ලංකාවේ ආනයන අංශ තවමත් නිසි සේ බලනොපවත්වන අතර අපනයන ක්ෂේත‍්‍රයේ දියුණුවක් දැක්වේ. රටට අවශ්‍ය මෙම සඵලතාව තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ පියවරකි. 

විසි වසරකට පසු වාසිදායක තැනකට

2000 වසරේ අගෝස්තු මාසයට පසු, පළමු වරට ඉකුත් ජූනි මාසයේ දී ආනයන වියදම අභිබවා අපනයන ආදායම ලැබී ඇත. 2022 මැයි මාසයේ වෙළෙඳ පරතරය අමෙරිකානු ඩොලර් මිලියන 652 ක ඍණ අගයක් ගත් අතර පසුගිය ජූනි මාසයේ දී එය මිලියන 21ක ධන අගයක්, එනම් වෙළෙඳ අතිරික්තයක් වාර්තා කර ඇති බව දැක්වේ. මහ බැංකු වාර්තා දක්වන පරිදි පසුගිය මාස හතක පමණ කාලය තුළ මාසයකට අමෙරිකානු බිලියනය ඉක්මවන අපනයන ආදායමක් ලබාගන්නට සමත්ව සිටී. 2021 වසරේ දී ඇමෙරිකානු ඩොලර් බිලියන 20ක අපනයන ඉලක්කයක් අපේක්ෂා කළේය. එය සාක්ෂාත් කරගත නොහැකි විය. මාසයකට ඩොලර් බිලියනයක අපනයන පවා අවසානයේ දී රටට ලබා දෙන්නේ උපරිම වශයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක පමණ අපනයන ආදායමකි. ශ‍්‍රී ලංකාවට ආනයන සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 21ක පමණ විදේශ විනිමය ප‍්‍රමාණයක් අවශ්‍ය කෙරේ. 

මෑත කාලය තුළ වෙළෙඳ පරතරය සමබර කර ගැනීමේ හැකියාවක් රටට නොලැබුණි. ආනයනය කරන ද්‍රව්‍ය පාලනය කරන නීති පනවන ලද අතර රේගු බදු ආදායම අඩුවීම එහි අවාසිදායක පැත්තය. පිටරටින් භාණ්ඩ ගෙන්වන විට ඒවා වර්ගීකරණය කර බදු අය කරන අතර බදු අඩුවීම ජාතික අයවැය දෙපාර්තමේන්තුවට ගැටලු ඇති කරයි. රජයේ ආදායම තරකර ගැනීම සඳහා වෙනත් ක‍්‍රියාමාර්ග ගැනීමට සිදුවේ. වැට් බදු වැඩි කිරීම, අලාභ ලබන ආයතන ප‍්‍රතිව්‍යුහකරණය ගැන අවධානය යොමුවීම මෙහි එක පැත්තකි. විදුලිය, ජලය, තැපැල් සහ ප‍්‍රවාහන කටයුතු සඳහා පිරිවැය කළමනාකරණයට යොමු වී ඇති අතර මහජනතාවට දරාගැනීමට නොහැකි අනුපාතවලින් ගාස්තු නංවන යෝජනා ඉදිරිපත්ව තිබේ. එක පැත්තකින් තෙරපෙන විට අනෙක් පැත්තෙන් ප‍්‍රසාරණය වීම සාමාන්‍යයෙන් සිදුවේ. ආර්ථිකයක නිසි ගැලපුම නොකරන අවස්ථාවක ඇතිවන තත්ත්වය බරපතළය.

වෙළෙඳ පරතරය වාසිදායක බව හුවා දක්වා තාවකාලිකව සතුටුවීම සුදුසු තත්ත්වයක් නොවේ. ස්ථාවර අවස්ථාවක් ද යන්න පැහැදිලි කරගත යුතුය. අපනයනය නොකර පැවැත්මක් නැත. අපනයන අංශය ද විවිධාංගීකරණය විය යුතුය. තේ, පොල් සහ රබර් යන සාම්ප‍්‍රදායික අපනයන ආදායම් ක්ෂේත‍්‍ර දැන් පසුබෑමක පවතී. රටට වැඩිම විනිමය ප‍්‍රමාණයක් ලැබෙන්නේ විගමණික ශ්‍රමිකයන් එවන ‍ප්‍රේෂණවලින් බව සඳහන් කළ යුතුය. එම සේවා ආර්ථිකය මත පමණක් බලාපොරොත්තු තැබීම අවදානමකි. රටට ගෙන්වන්නට අවශ්‍ය නම් මොනවා හෝ නිපදවා විකිණිය යුතුය. එය දෙපැත්තට කරන ගනුදෙනුවකි. 

අලුත් දේ ගැන කල්පනා කළ යුතුයි

මෑත භාගයේ ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අනුපාතිකය හැසිරුණු ආකාරයට අපනයන  වෙළෙඳාම සඳහා වාසිදායක විය. කෙටි කාලයක් තුළ 44%කින් පමණ රුපියලේ අගය අවප‍්‍රමාණය වී තිබේ. එය භාණ්ඩ ගැනුම්කරුවන්ට සුදුසු වාතාවරණයකි. ශ‍්‍රී ලංකාවේ අපනයන ද්‍රව්‍යවල මිල ලෝක වෙළෙඳපොළේ දී අඩුවන අතර එය තරගකාරීව හැසිරෙන්නට ඉඩ සලසයි. මෙම අවකාශයෙන් තවදුරටත් ප‍්‍රයෝජන ගත යුතුව තිබේ. තේ හා ඇඟලුම් යන අපනයන ද්‍රව්‍යවලට පමණක් මෙම විනිමය වාසිදායක වීම බලපා ඇති බව පෙනේ. කෙසේ වෙතත් ඇඟලුම් නිපදවන තරගකාරී රටවල් වන මැලේසියාව, බංගලාදේශය, තායිලන්තය හෝ වියට්නාමයට වඩා අඩුවෙන් ඇඟලුම් මිල කරන අභියෝගය රටට ඇත. ශ‍්‍රී ලංකාවේ ඇඟලුම් වැඩිපුර මිලදී ගන්නා ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන අපනයන ආදායම සලකා බලන ලද ජූනි මාසයේ දී 46.1%කින් වර්ධනය වී ඇත. ඉන්දියාව මෙරටින් මිල දී ගන්නා ප‍්‍රමාණය 21%කින් වැඩි වී තිබේ. 

වාර්තා දක්වන පරිදි මෙම 2022 අවුරුද්දේ දී පළමු වතාවට මෙරට තොරතුරු තාක්ෂණ සේවා අංශයේ අපනයන ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වනු ඇත. සංචාරක ව්‍යාපාරයේ අඩාලවීම සමඟ එය මෙරට විනිමය උපයන අංශ අතර හතරවැනි තැනට පැමිණ ඇත.

අලුත් දේ ගැන අවධානය යොමු කර අපනයන අංශ තවත් දියුණු කර ගැනීම වැදගත්ය. බලශක්ති අංශයෙහි අවස්ථා ඇත. ඉන්දියාව සමඟ මෑතක කරන ලද සාකච්ඡා මෙහිදී කැපී පෙනේ. ශ‍්‍රී ලංකාව අවට සුළං විදුලිය බලාගාර ඉදිකර එහි උත්පාදනය වන විදුලිය මිල දී ගැනීමට ඉන්දියාව සූදානම්ය. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ආයෝජනය සඳහා එකඟ වී සිටී. ත‍්‍රිකුණාමලය වරාය ද විනිමය උපයන ආයෝජනයට උපයෝගී කරගත හැක. කොළඹ වරයේ සිදුවන සංවර්ධන කටයුතු සමඟ ප‍්‍රතිඅපනයන අංශ තවත් දියුණු කළ හැක. සම්ප‍්‍රදායික අංශවලට වඩා එපිටට ගිය පැති කෙරෙහි අවධානය යොමු කරන වැඩපිළිවෙළක් අවශ්‍යය. ප‍්‍රතිපත්ති සම්පාදකයෝ ඉක්මන් තීරණ ගත යුතුය. රටට අවශ විනිමය උත්පාදනයේ දී මගහැරුණු අවස්ථා රටට ඇති කරන ලද විනාශය මතක තබාගැනීම වැදගත්ය. රට බෙදන, රට විකුණන ප‍්‍රචාරවලින් මුලාවට පත් කරන ලද ජනයා සහ ඒවායෙන් අවදි වූ වෘත්තීය සමිති ව්‍යාපාර ශ‍්‍රී ලංකාවේ විදේශ විනිමය අවශ්‍යතාව ගැන කරුණු අධ්‍යයනය නොකිරීම අවාසනාවකි.

 සාරා කන්දෙගොඩ