2022 අගෝස්තු 14 වන ඉරිදා

මිල අඩුවීෙම් වාසිය අපටද? වෙළෙන්දාටද?

 2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:00 124

පසුගිය සතිය ආරම්භයේදීම ජනතාවට යම් අස්වැසිල්ලක් ගෙන දුන් පුවතක් වාර්තා විය. එය නම් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල සෑහෙන ප්‍රමාණයකට පහළ යාමය. පවතින ආර්ථික තත්ත්වය හමුවේ එකවර මෙතරම් විශාල ලෙස ආහාර ද්‍රව්‍යවල මිල අඩුවේ යැයි ජනතාව බලාපොරොත්තු තබාගෙන සිටියේ නැත. එසේ වුවද අදහාගත නොහැකි වන පරිදි ආහාර ද්‍රව්‍යවල මිල පහළ වැටුණු බව තොග වෙළෙඳපොළ ආරංචි මාර්ග සනාථ කළේය.

මේ අනුව විශාල ලෙස මිල අඩුවීම සිදුවූයේ ආනයනික මයිසූර් පරිප්පුවලය. ඒ වනවිට රුපියල් 680 – 700කට අලෙවි වූ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 200කින් පමණ පහළ ගොස් රුපියල් 480 බවට පත් විය. ඒ වනවිට පරිප්පු කිලෝවක සිල්ලර මිල රුපියල් 800කට ආසන්නව තිබූ බව අමතක කළ නොහැකිය. ලක් සතොස වෙළෙඳසල්වල පරිප්පු තිබුණේම නැත.

රුපියල් 370කට පමණ අලෙවි කළ සුදු සීනි කිලෝවක මිල රුපියල් 50කින් අඩු වී රුපියල් 320ක් බවට පත්ව තිබුණි. රුපියල් 340කට අලෙවි වූ තිරිඟු පිටි කිලෝව රුපියල් 275 – 280 ක් දක්වා පහළ ගියේය. ඒ අතර ආනයනික අර්තාපල් කිලෝව රුපියල් 260 සිට 200 දක්වාද බීලූනු කිලෝව රුපියල් 160 – 170 දක්වා රුපියල් 50කින්ද අඩු විය. එසේම කිලෝව රුපියල් 4000ට අලෙවි වූ වියළි මිරිස් කිලෝව රුපියල් 1400ක් වී ඇති අතර සුදු ලූනු මිලද කිලෝව රුපියල් 50ක් පමණ අඩු වී තිබේ. තොග මිල පහළ යාමට සාපේක්ෂව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල ගණන් ද පහළ ගියේය. මේ ද්‍රව්‍ය ආශ්‍රයෙන් නිදපවන බොහෝ කෑම වර්ගවල මිල ගණන් මේ වනවිට පහළ යමින් පවතී.

මේ අතර වෙළෙඳපොළේ සහල් මිලටද යම් බලපෑමක් ඇතිවෙමින් පවතී. දේශීය සහල් මිලද අඩුවෙමින් පවතින අතර මේ වනවිට යල කන්න අස්වැන්න වෙළෙඳපොළට ලැබෙමින් තිබෙන බව සැල වේ. සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති පී.කේ. රංජිත් පවසන්නේ දේශීය සහල් මිල අඩුවීමට වඩා ප්‍රමාණයකින් මේ වනවිට ආනයනික සහල් මිල පහළ බැස ඇති බවය. විශාල ලෙස සහල් ආනයනය කිරීම සහ දේශීය සහල් නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම මෙයට හේතු වී ඇති බව ඔහු කියයි. ඔහුගේ අදහස වන්නේ ඉදිරියේදී සහල් මිල තවත් පහළ යාමේ ප්‍රවණතාවක් පවතින බවය.

ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහළ, යාම ඉන්ධන ලැබීම නිසා ප්‍රවාහනය විධිමත් වෙමින් පැවතීම ආහාර ද්‍රව්‍ය මිල පහළ යාමට හේතු වී තිබේ. සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසන්නේ බත් පැකැට්ටුවක මිල 10% - 15%කින් අඩු කිරීමට තම සාමාජිකයන් කටයුත කර ඇති බවය. එසේම තේ කෝප්පයකට යම් ස්ථාවර මිලක් පැනවීම බලාපොරොත්තු වන බවද හේ පැවසීය.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ඇන්.කේ. ජයවර්ධන පවසන්නේ බේකරි සඳහා යොදාගනු ලබන්නේ විශාල ප්‍රමාණයේ ගෑස් සිලින්ඩර වන අතර ඒවායේ මිල අඩු වී නොමැති බවය. එසේම මේ වනවිට බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා බිත්තර මිල රුපියල් 60 දක්වා වැඩි වී ඇති අතර බිත්තර නිෂ්පාදකයන් තම නිෂ්පාදන අඩකින් අඩුකර මිල ඉහළ නැංවීමේ කුමන්ත්‍රණයක යෙදී සිටින බවට ඔහු චෝදනා කරයි. ඒ නිසා තමා ඉන්දියාවෙන් බිත්තර ආනයනය කර මිල පහළ දමන ලෙසට රජයට යෝජනා කර ඇති අතර බේකරි නිෂ්පාදනයට යොදාගන්නා අමුද්‍රව්‍යවල මිලද අසාමාන්‍ය ලෙස වැඩි වී ඇති නිසා මේ අවස්ථාවේ බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට නොහැකි බවද හෙතෙම කියයි.

රටේ භාණ්ඩ මිල වැඩි වු විට ඒ ඇසිල්ලේම ගමේ කඩේ රාක්කය දක්වා ඇති බඩුවල මිල වැඩිවන නමුත් මිල අඩු වූ විට එම සහනය පාරිභෝගිකයාට එම අවස්ථාවේ තබා දින ගණනකට වුවද ලැබෙන්නේ නැත. ''අපි ළඟ තියෙන්නේ පරණ ගාණට ගෙනා බඩු'' යැයි මුදලාලිලා කියති. ඒ නිසා අඩු කළ මිල නොසලකා වැඩි මිලට අලෙවි කරනු දැකගත හැකිය. ගමේ ගඩේ පමණක් නොව සුපිරි වෙළෙඳසලේද පවතින්නේ මෙම තත්ත්වයයි.

එහෙත් මෙහි විකල්පයෙන්ද පීඩාවට පත්වන්නේ පාරිභෝගිකයාය. පසුගියදා ඖෂධ මිල විශාල ලෙස ඉහළ නැංවුණු විට ඖෂධ පැකට්වල පෙර තිබූ මිල මත අලුත් මිල අලවා පාරිභෝගිකයා ගසා කෑ අයුරු අපට මතකය. එහෙත් ඒ පිළිබඳ වගකිවයුත්තන් ඇසක් හැර බැලුවේ නැත. කිරිපිටි මිල ඉහළ නැංවූ විටද වෙළෙඳසල්වල අලෙවි කළ කිරිපිටි පැකට් අලුත් මිලට අලෙවි කිරීම ජයටම සිදුවිය. මුද්‍රණය කළ මිල එසේම තිබියදී කිසිදු හිරිකිතයක් නොමැතිව වැඩි මිල අය කළ බව දක්නට ලැබුණි. මේ පිළිබඳ රජයේ මිල පාලන අංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය මුනිවත රුකි බව මතකය.

මෙවරද තොග මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලැබේද යන්න සැකසහිත වී ඇත්තේ නුදුරු අතීතය සිහිපත් වන විටය. පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ කිසිවක් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ මිල පාලනයට යටත් කර නොමැති නිසා වැඩි මිලට අලෙවි කරන්නන් වැටලීමට බලතල නොමැති බවය. ඔවුන් පවසන්නේ වෙළෙඳපොළේ මිල පිළිබඳ තරගයක් පවතින නිසා වෙළෙඳපොළ තුළින් ස්වයංක්‍රියව මිල පාලනය වනු ඇති බවය. මෙහිදී සිදුවිය හැකි තවත් අනර්ථයක් නම් සංවිධානය වූ වෙළෙඳ කණ්ඩායම් අඩු මිලට භාණ්ඩ තොග වශයෙන් මිලට ගෙන සඟවා තබා වැඩි මිලට අලෙවි කිරීමට කටයුතු කිරීමය. මේ පිළිබඳ වගකිවයුත්තන් දැන් සිටම ක්‍රියාත්මක විය යුතුව ඇත.
මෙලෙස අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් විශාල ලෙස පහළ යාමට බලපෑ හේතු මොනවාද යන්න පිළිබඳ විමසූ විට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසුවේ මෙලෙස මෙවර මිල පහළ වැටීමට හේතු කිහිපයක් බලපා ඇති බවය.

''ප්‍රධාන හේතුව වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමට මුලින් පනවා තිබූ තහංචි ඉවත් කිරීමයි. රජය තීරණය කළා ආනයන බලපත්‍ර අවශ්‍ය නැහැ. ඕනෑ කෙනකුට ආනයනය කරන්න පුළුවන්ය කියලා. ඒ නිසා ආනයනකරුවන් වැඩි වුණා. ඔවුන් අතර තරගය වැඩි වුණා. ඔවුන් විවිධ රටවල අඩු මිල සොයාගෙන ගොස් එම මිලට බඩු ගෙන්වන්න පටන් ගත්තා. එවිට ස්වල්ප දෙනකු අත තිබූ ආනයන ඒකාධිකාරය බිඳ වැටුණා. බොහෝ දෙනකු ආනයනයට බැසීම නිසා ඔවුන් අතර තරගයක් ඇතිවී මිල අඩු වුණා. අද සිදුව ඇත්තේ එයයි.

එසේම ඩොලර් සොයාගන්න පුළුවන් නම් ඕනෑ කෙනකුට බඩු ගෙන්විය හැකියි. එවිට කළුකඩ මිලට හෝ ඩොලර් ලබාගත හැකි නම් ආනයනය කරන්න පුළුවන්. බැංකු ඩොලර් නොදුන්නත් විවිධ ආකාරයෙන් ඩොලර් උපයාගෙන ගෙන්විය හැකියි. අනිත් අතට මෙලෙස ගෙන්වන ආහාර ද්‍රව්‍ය දීර්ඝ කාලයක් රඳවාගෙන තබාගන්න බැහැ. වැඩි කල් ගබඩා කර තබාගන්නා විට නරක් වෙනවා. විශේෂයෙන් ලූනු, අල, පරිප්පු, මිරිස් වගේ ද්‍රව්‍ය. ඒ නිසා ආනයනය කරලා සුළු ලාභයක් තබාගෙන විකිණීම තමා සුදුසු. නරක්වෙලා ඉවත දමනවට වැඩිය. කුඩා ලාභයකට අලෙවි කිරීමට පටන්ගෙන තිබෙනවා. ඒ නිසා වෙන කාලවල වගේ තොග සඟවාගෙන තබන්නේ නැහැ. ගෙන්වන සියල්ල වෙළෙඳපොළට එනවා.

මෙම මිල පහළ යාම දිගටම මෙහෙම තියෙන්නේ නැහැ. මිල වැඩිවෙනවා. අඩුවෙනවා. අඩුවෙලා යළි වැඩිවෙනවා. කවදත් එකම මිල තියෙන්නේ නැහැ. ඉල්ලුම හා සැපයුම මත තමා තොග වෙළෙඳපොළ මිල තීරණය වන්නේ. පසුගිය මැයිවල ආනයනය අඩු වූ විට මිල ඉහළ ගියා. රජය ආනයන රෙගුලාසි ලිහිල් කළ පසු වැඩිපුර ගෙන්වීමෙන් මිල පහළ ගියා. පරිප්පු මිල තමා මෙවර සෑහෙන ප්‍රමාණයකට පහළ වැටුණේ. රුපියල් 620 තිබුණු තොග මිල රුපියල් 200ක් අඩුවෙලා 420ට පහළ ගියා. අනිකුත් ආනයන ආහාර ද්‍රව්‍ය මිල රුපියල් පනහ සියය වගේ ප්‍රමාණවලින් තමා අඩුවෙලා තියෙන්නේ. ආනයන නීති යළි දැඩි වුණොත් ආනයනය අඩුවෙලා මිල ඉහළ යාවි. අනිත් අතට ආනයන රටවල මිල වැඩි වුණොත් මෙහෙත් මිල වැඩි වෙනවා. එසේම ඩොලර් ගැටලුව නිසාද මිල වැඩි වෙනවා. ඒ නිසා අද පවතින මිල හැමදාම තියෙන්නේ නැහැ. දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීමද මිල පහළ යාමට හේතුවක්. පසුගිය කාලයේ දේශීය අල, ලූනු වෙළෙඳපොළට එන විට ගොවියා ශක්තිමත් කිරීමට කියලා රජය ආනයන බදු ඉහළ දැමුවා. එවිට මිල වැඩිවෙලා පාරිභෝගිකයා අමාරුවේ වැටුණා. මෙවරත් එම තත්ත්වය උද්ගත නොවේ යැයි කාටවත් කියන්න බැහැ.

කොහොම වුණත් පාලන මිලක් දමලා මිල අඩු කරන්න බැහැ. ආණ්ඩුව එය වටහාගෙන තියෙන බව පෙනෙනවා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් මේ පිළිබඳ විමසූ විට එහි පාරිභෝගික කටයුතු සහ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර පැවසුවේ අඩු කළ මිලට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයාට ලැබෙනවාද යන්න පිළිබඳ අධිකාරිය නිරතුරුව විමසිලිමත්ව සිටින බවය. පාරිභෝගික ආරක්ෂණ පනත අනුව භාණ්ඩ අලෙවි කරන මිල වෙළෙඳසල්වල ප්‍රදර්ශනය කළ යුතු අතර එහිදී එම ප්‍රදර්ශනය කර ඇති මිල සාධාරණද යන්න පිළිබඳ සොයා බලන බවද හෙතෙම කීය. එසේම යම් ලෙසකින් භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකරන්නේ නම් එවැනි වෙළෙඳසල් වටලා නීතිමය කටයුතු කරන බවද ඔහු කීය. දැනටමත් ඒ පිළිබඳ නඩු රුසක් පවතී.
''මෙම අත්‍යවශ්‍ය භාණ්ඩවලට දැනට මිල පාලනයක් නොමැති නිසා උපරිම සිල්ලර මිල පිළිබඳ කටයුතු කරන්න බැහැ. මිල පිළිබඳ නඩු පැවරීමට හා දඬුවම් කිරීමට නොහැකියි. එහෙත් අපට තොග මිල හා සසඳලා අලෙවි කරන මිල සාධාරණද කියලා බලන්න පුළුවන්. මිල පාලනය කරන්නට ගිහිල්ලා පසුගිය දිනවල සිදු වුණේ එම බඩු වෙළෙඳපොළේ නොමැතිවීමයි. පසුගිය කාලයේ සිමෙන්ති සහ කිරිපිටි ආදියේ මිල පාලනය කරන්න ගොස් සිදු වූයේ එයයි. මිල පාලනය කළ විට වෙළෙන්ඳන් එම මිලට අලෙවි කරන්න බැරි යැයි අලෙවියෙන් වැළකී සිටිනවා. ඒ අය කියන්නේ තමන්ට නඩු දමාගන්න අවශ්‍ය නැති බවයි. කොහොමත් වර්තමාන විවෘත වෙළෙඳ රටාව අනුව මිල පාලනය බලාත්මක කළ නොහැකියි. අනිත් අතට මෙම සමහර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දැනට යම් පමණකට අඩුව තිබුණත් එය සැමදාම එලෙස පවතින්නේ නැහැ. එම අඩුවීම තාවකාලිකයි. ඒ නිසා එහෙම වෙනස් වන විට නිතරම පාලන මිලක් ප්‍රකාශයට පත් කිරීම ප්‍රායෝගිකව අපහසුයි.

අනිත් අතට මෙම භාණ්ඩවල ආනයනය සැමටම විවෘත කර තිබෙන නිසා බොහෝ දෙනා ඒවා ආනයනයට නැඹුරුවෙලා තියෙනවා. එවිට වෙළෙඳපොළේ තරගකාරී මිලක් ඇතිවෙලා ඉබේම මිල එක්තරා සමතුලිත මට්ටමකට පැමිණෙනවා. ඒ නිසා අසාධාරණ ලෙස මිල ඉහළ දමන්න වෙළෙඳුන්ට හැකිවන්නේ නැහැ. එලෙස සිදුවීම මිල පාලනයට නීති දමනවාට වඩා ප්‍රායෝගිකයි.''

යසවර්ධන රුද්රිගූ

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05