නඳුන් චින්තක නොහොත් ''මිදිගම චින්තක'' හෙවත් ''හරක් කටා'', මේ රටේ බහුතර ජනයා දන්නා නමකි. පාතාලයේ නොම්බර එකේ අපරාධකරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ හරක් කටා පහුගිය කාලය පුරාවටම සැඟව සිටියේ ඩුබායි රාජ්‍යයේය. එසේ ඩුබායි රාජ්‍යයට පැන ගියේද මේ රටේ නමගිය අපරාධකාරයකුට වැඩක් දෙමිනි. ඒ සන්ෂයින් සුද්දාටය. එතැන් පටන් හරක් කටා සිටියේ ඩුබායි රාජ්‍යයේ සැඟවය.
හරක් කටා යනු මාකඳුරේ මධූෂ්ගේ ගෝලයෙකි. අනෙක් ගෝලයා වුණේ මිරිස්සේ සන්ෂයින් සුද්දාය. දෙදෙනාම මධූෂ්ගේ ගෝලයන් වී ඔහුගේ කුඩු ජාවාරමට ඍජුව සහ වක්‍රාකාරයෙන් උදව් උපකාර කරන්නට වූහ. කාලයාගේ ඇවෑමෙන් හරක් කටා මධූෂ්ගේ අනෙක් සගයා වූ අංගොඩ ලොක්කා සමඟ එක්විය. අවසානයේ හරක් කටා කටයුතු කළේ අංගොඩ ලොක්කාගේ කීමටය. සන්ෂයින් සුද්දා මධූෂ්ගේ ධීවර යාත්‍රා බලාගනිමින් කටයුතු කරන්නට විය. කෙසේ වෙතත් මධූෂ් සහ කංජිපානි ඉම්රාන් පොලීසියට කොටුවීමත් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම අංගොඩ ලොක්කා විසින් අතට ගත් අතර ඒ වනවිට අංගොඩ ලොක්කා සැඟවී සිටියේ ඉන්දියාවේය. එහෙත් ලංකාවේ මත් ජාවාරම සම්පූර්ණයෙන් පාලනය කළේ හරක් කටා විසිනි.
හරක් කටා ජාවාරම සිදුකරගෙන යන අතරතුර මධූෂ්ගේ බලය ගත් සන්ෂයින් සුද්දා හරක් කටාට බාධාවක් විය. ඒ සුද්දා විසින් හරක් කටා සම්බන්ධයෙන් තොරතුරු පොලීසියට ලබාදෙන බවට සැකය නිසාය. එය අංගොඩ ලොක්කාගේ පවා කනට ගිය ආරංචියක් විය. මේ නිසාම වෙඩි තැබීමකට හිරේ ගිය කටා එළියට පැමිණි සැණින් ලොක්කා විසින් සන්ෂයින් සුද්දා ඝාතන කොන්ත්‍රාත්තුව හරක් කටාට ලබාදුන්නේය. ඝාතන වැඩේ අතුරුගිරියේ ජෙරාට බාරවිය. ඔහු සන්ෂයින් සුද්දා ඝාතනය කළේය.
එම ඝාතනයෙන් පසුව බියවූ හරක් කටා වහාම මියගිය අයකුගේ ගුවන් ගමන් බලපත්‍රයක් හරහා ඩුබායි රාජ්‍යයට පැනගත්තේය. එසේ පැනගත් හරක් කටා ජීවත් වුණේ ඩුබායි රාජ්‍යයේය. මධූෂ් මියයාමත්, අංගොඩ ලොක්කා මියයාමත්, කංජිපාණි හිරගත වීමත් යන සියලු කාරණා කටාට වාසනාව ගෙනාවේය. ඔහු වහාම සිය මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළට ගෙන ආ අතර ලංකාවට හෙරොයින් ගෙන්වන ප්‍රධානියා බවට පත්වන්නට වැඩි කලක් ගියේ නැත. එකවරක් පොලීසිය විසින් හරක් කටාගේ නිවසක් වටලනු ලැබීය. එහිදී අත්අඩංගුවට ගත්තේ කුඩුවලින් උපයාගත් කෝටි 6ක මුදල්ය. එම සැකකරුවන් අතර නමගිය පාතාල නායකයකු වූ සොත්ති උපාලිගේ දියණියද වූවාය. එසේම අත්අඩංගුවට ගත් අය අතර අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන බත්තරමුල්ලේ බන්ටිද සිටියේය. බන්ටි යනු ලොක්කාගේ ඕඩරයක් මත කළුතර එතනමඬලදී කඩුවෙල සමයං පැමිණි බස් රථයට වෙඩි තබන්නට පැමිණි අයෙකි. එසේම මේ අතරතුර එක් වතාවක් හරක් කටාගේ නැන්දම්මාද අත්අඩංගුවට ගනු ලැබීය. ඒ හරක් කටා එවන ලද මත්ද්‍රව්‍යවල මුදලින් බත්තරමුල්ල ස්වර්ණගම ප්‍රදේශයේ නිවසක් මිලදී ගැනීම නිසාය.
මේ අතර හරක් කටාගේ කුඩු කිලෝ 200 ගණනක් පොලීසිය විසින් ඇතැම් අවස්ථාවල අත්අඩංගුවට ගැනීම සිදුවිය. එසේ අත්අඩංගුවට ගැනීම් සඳහා යම් ඔත්තුවක් දුන් ඕනෑම අයකුට හරක් කටාගේ පිළිතුර වූයේ වෙඩි ප්‍රහාර එල්ල කිරීමය. පසුගිය කාලය පුරාම ප්‍රදේශ රැසක සිදුවූ වෙඩි තැබීම් පිටුපස හරක් කටාගේ පිරිස සිටින බව පොලීසිය විසින් තහවුරු කරගෙන සිටියේය. ඒ මෙම සියලු ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් සිදුවන නිසාය.
කෙසේ වෙතත් මේ සිදුවීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම නිසාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හරක් කටාට විරුද්ධව රතු වරෙන්තුවක් ලබාගෙන තිබුණේය. ඒ ඔහු විසින් භාවිත කරන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයට අදාළවය. ජාත්‍යන්තර පොලීසියේ මැදිහත්වීම මත සොයාබැලීමේදී හරක් කටා ඒ අතරතුර කාලයේ මැලේසියාව, සිංගප්ප්පුරුව, මාල දිවයින සහ සීෂෙල්ස් රාජ්‍ය කරා එම ව්‍යාජ ගමන් බලපත්‍රය යොදාගෙන ගමන් කර තිබුණේය. කෙසේ වෙතත් මේ තොරතුරු නිසාම ජාත්‍යන්තර පොලීසිය හරහා ඩුබායි රාජ්‍යයට පසුගිය දිනෙක හරක් කටා සම්බන්ධයෙන් විස්තර ලබාදී තිබිණි. ඒ අනුව දැනට දින පහකට පෙර හරක් කටා එරට ගුවන් තොටුපොළ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවත් ඒ වනවිට අත් අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි නොතිබුණ බැවින් නිදහස් කර යැව්වේය. නමුත් ඒ අවස්ථාවේදී තවත් තොරතුරු රුසක් අනාවරණය වී තිබුණේය. ඒ හරක් කටා ඒ වනවිටත් ප්‍රංශයේ දේශපාලන රැකවරණය පතා ඇති බවය. ඔහුට ඒ සඳහා අවස්ථාව හිමිව ඇති බවත් ඒ හේතුවෙන් ඔහු එරටට යාමට සිටින බවත් හෙළිවිය.
කෙසේ වෙතත් මේ සියලු තොරතුරු හේතුවෙන් හරක් කටා අත්අඩංගුවට ගැනීමට මත්ද්‍රව්‍ය කාර්යාංශයත් ජාත්‍යන්තර පොලීසියත් මෙහෙයුමක් ආරම්භ කර තිබුණේය. ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ හරක් කටා එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් බවට තොරතුරු ලැබෙන්නට විය. එහෙත් එය සිකුරාදා වනවිටත් සහතික වී තිබුණේ නැත. එරට ආරක්ෂක අංශ සඳහන් කර තිබුණේ ඔහු බවට සැකකරන බවය. එහෙත් මෙරට ආරක්ෂක අංශ සඳහන් කරන්නේ ඒ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා හරක් කටා බවය.
පසුගිය දිනයේ ගල්කිස්ස අධිකරණයේ වෙඩි තැබීමත්, කොටිකාවත්ත ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඝාතනය කිරීමත් හරක් කටා විසින් සිදුකර ඇති බව අත්අඩංගුවට ගත් අය විසින් අනාවරණය කරගෙන තිබුණි. මේ නිසාම ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා විශාල මෙහෙයුමක් ආරක්ෂක අංශ විසින් සූදානම් කර තිබුණු මොහොතක මෙලෙස කොටුවීම එක් පැත්තකින් ජයග්‍රහණයකි. එහෙත් ප්‍රශ්නයක් ඇත මධූෂ් වැනි සැකකරුවකු මෙරටට ලබාදී ඔහුට මැරුම් කෑමට සිදුවීම නිසා හරක් කටාද මෙරට රජයට බාරදෙනු ඇතිදැයි කියාය. දේශපාලන ආරක්ෂාව ඉල්ලා ඇති සැකකරුවකු මේ ආකාරයෙන් බාරදීම ජාත්‍යන්තර නීතිය යටතේ කෙසේ සිදුවන්නේද යන්න දන්නේ නැත. එහෙත් මේ රටේ අපරාධවල අවසානයක් තිබිය යුතුය. ඒ අවසානය නීතියට අනුකූල විය යුතුය.
ගයාන් ගාල්ලගේ
සමන්ත ප්‍රදීප්